ඉඩෝරයක මල් වැස්සක් – 69

“හෙට උදේට අපිට වැදගත් ගමනක් යන්න තියෙනවා නයනා. මම සුභාෂිනීට කියලා මේකේ ජැකට් එකත් මස්සවගෙනම තමයි ආවේ.”

ජයවර්ධන පැවසූයේ වටිනා සාරියක් තම බිරිඳ අත තබමින්ය. මැජෙන්ටා පැහැ සාරියේ වාටියේ පමණක් රත් පැහැ මල් සටහන්ව තිබිණ. දුටු වනම සිත් ඇදගන්නා  සාරිය තම දෑත් මත තබාගෙන නයනා  බලා සිටියේ දෑස් විසල් කරගෙනය. අවසන් වරට ඇය සාරියක් ඇන්දේ චාරිත්‍රයක් ලෙස පොඩි දුවගේ මනාලයාගේ පාර්ශවයේ ගම්බිම් බලන්නට යද්දීය. ඒ මින් වසරකට ඉහත අතීතයේය. 

“අපි හෙට ඉසුරිලගේ ගෙදර යනවා…”

ජයවර්ධන  එසේ පැවසූයේ නයනාගේ දෙඋරහිස් මත දෑත් තබමින්ය. 

“ඔන්න මං ඔයාගේ එක ඉල්ලීමක් ඉෂ්ඨ කරන්න යන්නේ…”

“ඒ උනාට මහත්තයා මේ හදිස්සියේ. එහෙම හොඳයිද?”

“මම ඒ දරුවා ගැන හොඳට හොයලා ඒ තාත්තත් එක්කත් ගිහිල්ලා කතා කළා.”

“පුතා හවසත් ඇවිල්ලා මමත් එක්ක පැයක් විතර කතා කර කර හිටියා මේ කිසිම දෙයක් මට කිව්වෙ නෑනේ.”

“ඉඳගන්නකො නයනා. එයා තියා හංසිකාවත් මේ ගමන ගැන දන්නේ නෑ. උදේ වරුවේ හංසිකායි සුලක්ෂා දුවයි එහේ යනවා මං හිතන්නේ. අපි හෙමිහිට දවල්ට යනවා. ඒ කිසි කෙනෙක් මේක දන්නෙ නෑ. අපේ පුතාවත්.

“මේ තීරණය හරියටම හරිද මහත්තයා.”

“අපේ ඉලංදාරියා ඔෆිස් එකට ගියපු දවස්වල මං බොහෝම අවධානෙන් හිටියේ. මෙයාව බේරගන්න ඒ ළමයා ඒ ළමයාගේ වැඩ කොටස ඉක්මනට ඉවර කරලා මෙයාගේ වැඩ ටික කරලා දෙනවා. මෙයා කොයි වෙලාවෙ බැලුවත් හිටියේ ගේම් ගගහා. දවල්ට කන්න එළියට යනකොට ඒ ළමයා මෙයාව නවත්තගෙන එයාලත් එක්ක කන්න එක්කරගෙන යනවා. අපේ එක්කෙනා කාගේ කවුද කියලා හරියට දන්නේ නැති නිසා බොරුවට කඩෙන් කන්න සල්ලි වියදම් කරන්න එපා කියලා කියනවා. බෙදෙන්න අතරේ මේ විදිහේ සම්බන්ධකමක් ඇතිවෙයි කියලා මං හිතුවේ නැහැ. හැබැයි ඉසුරි කියන්නේ බොහොම ගුණයහපත් විදිහට හැදුනු දරුවෙක් කියන එක මං තේරුම් ගත්තා. අර ඉසුරිත් එක්කම අපේ ඔෆිස් එකට ගතපු අශිකා කියන ළමයා ඉසුරිට ඇනුම් පද කියන හැටි වෙනස්කම් කරන හැටි මට මිස්ටර් මීපිලිමානත් කීප වතාවක්ම කිව්වා. චූටි දුවත් ඒ ගැන අවධානයෙන් ඉන්නේ. මම දැක්කා බොහෝම ලස්සනට හිනාවෙලා ඒ දරුවා ඒ කිසි දෙයක් ගණනකට නොගෙන අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන හැටි.”

“එහෙනම් මහත්තයා කලින් ඉඳලම තීරණය කරලා තිබුනද  ඉසුරි කියන්නේ අපේ පුතාට ගැලපෙන දරුවෙක් කියලා.”

“අනේ නෑ නයනා. හීනෙකින්වත් එහෙම හිතුනෙ නෑ. අපේ මේ දඟකාරයා කසාද බඳින වයසකට ඇවිල්ල කියලා මට හිතුනෙත් නෑ. එකම දෙයයි. මම හැමතිස්සේම ඒ ළමයගෙන් ඔයාව දැක්කා..”

“ඔව් මට මතකයි. එක වතාවක් ඔයා ගෙදර ඇවිල්ල කිව්වා ඔයා වගේම ළමයෙක් ඔෆිස් එකට ඇවිත් ඉන්නවා කියලා. ඒත් මං ඇහුවනේ මගේ රූපෙමද තියෙන්නේ කියලා. ඔයා කිව්වා රූපය නෙමෙයි ගතිගුණ වලින් ඒ ළමයා ඔයාට සමානයි කියලා මට දැනෙනවා කියලා… ඉතින් මහත්තයා අපි කොහොමද පුතාට මේක කියන්නේ.”

“ඒකා මගේ කොල්ලනං ඌ මෙලහකටත් ඉසුරිට ආදරේ කරනවා. ඒකෙ ආයෙ දෙකක් නෑ.”

“ඔයත් කියන කතා…එයා ඉසුරිට ආදරය කරනවා තමයි. අද හවස මමත් එක්ක කියනවා එයා ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ දැන් ලු. ඔය වගේ වෙනද නොකියපු අමුතු කතා වගයකුත් කිව්වා”

“ඉතින් ඔයා ඇහුවෙ නැද්ද ඇයි ඒ කියලා.”

“අම්මට ළඟදිම ඒ ගැන කියන්නං කියලා කිව්වේ.”

“ඔයා හෙට උදේම එයාට  කියන්න තාත්තගේ යාළුවෙක්ගෙ ගෙදර යන්න ඕනේ ලෑස්ති වෙන්න කියලා. දාහක් ප්‍රශ්න අහයි. ඔයා කියන්න අපි මේ ගමන යන්නම ඕන එකක් කියලා. ඔයා කිව්වහම ඕන දෙයක් කරනවනේ.”

“අපි හෙටම ඒ විවාහ යෝජනාව ඒ මිනිස්සුන්ට කරනවද මහත්තයා.” 

“අපි එතනට ගිහිල්ලා තත්ත්වේ බලලා සුදුසු පියවරක් ගමු.”

ජයවර්ධන පැවසූයේ තම බිරිඳගේ හිස අත ගාමින්ය. නයනා ඒ දකුණත මත තම හිස තබා තදකර  ගත්තේ සිනහසෙමින්ය. 

“මං වැඩියෙන්ම කැමති ඔයා සමහර දේවල් සැලසුම් කරන විදිහට. මට මතකයි ලොකු දුව  මැරිකරපු ඒ දරුවත් ඔයා ගෙදරට එක් කරගෙන ආවේ අපි කාටවත් නොකියා. මේ පුංචි පුංචි දේවල් වලින් ඔයා අපිට දෙන්නෙ හරි සතුටක්.”

“ඕනෙම මිනිහෙක්ගෙ ලෝකෙ තමන්ගෙ දරු පවුල වෙන්න ඕනෙ නයනා. එතකොටයි මිනිස්සුන්ට තමන් ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.”

“ඒ මිනිස්සු අපිව දැකලා කලබල වෙයිද?”

“ටිකක්..ඉසුරිගේ තාත්තා දන්නවනේ අපි එහේ එන බව.”

තම  සැමියාට පිටුපා හැරී ගිය නයනා නතර වූයේ අල්මාරිය අසලය. පසුව යළිත් තම සැමියා අසලට පැමිණියේ කුඩා රිදී පැහැ මංජුසාවක්ද රැගෙනය. 

“මේක මම ඉසුරිට දෙන්නද මහත්තයා…”

“ඇස් දෙක වගේ ලොකු කරගතපු කොල්ලා දෙනකොට ඕවා මොනවද. ඒ අයිතිවාසිකම් නැන්දම්මල ලේලිලට ඕන විදිහට තියාගන්න. මට හැමදාම බලන්න ඕන වුනේ මෙන්න මේ මූණේ සතුට විතරයි.”

ජයවර්ධන එසේ පැවසූයේ නයනාගේ  දෙකොපුල් තම දෑත් වලින් අල්ලාගෙනය. එහි සටහන්ව තිබුණේ ආදරණීය සිනහවකි. ඔහු මේ සිනහව දුටුවේ බොහෝ කාලයකට පසුවය.

                             **************

කිසිවෙකුට කිසිවක් නොකියන්නයැයි පැවසුවත් ජයවර්ධනලා පැමිණෙන පුවත මදාරාගෙන් සඟවාගෙන සිටින්නට සුරංගට හැකි වූයේ නැත. ජයවර්ධනලාට සංග්‍රහ කළ යුතුය. ඒ කටයුතු හරියට දන්නේ කාන්තා පාර්ශවයය. පිටත අවන්හලකින් සියලුම දෙනාට කෑම ඇනවුම්  කළේ ඇගේ කැමැත්ත පරිදිය. 

“මං එදා ඉඳලම දැනගෙන හිටියා ඉසුරිට කොතනකදි හරි අනිත් හැමෝටම වඩා හරි යනවා කියලා. සුරංග ජයවර්ධනල කියන්නේ අපිට හීනෙකින්වත් ළං වෙන්න බැරි මිනිස්සු. ගුණ යහපත්කම් වලිනුත් එහෙම තමයි. ඒ මිනිස්සු ගැන  අපි අහල දැකල තිබුණු දේවල් බොරු වෙන්න විදිහක් නැහැ.  එහෙම  නොවුනනම් අපේ දරුවා ගැන කතා කරන්න කවදාවත් ජයවර්ධන මහත්තයා මෙතනට එන්නේ නැහැ.”

“දැන් මට ප්‍රශ්නේ තියෙන්නේ අක්කා. මේවා දැනගත්ත ගමන් මොන පිස්සුවක් නටාවිද දන්නේ නෑ.”

“ලොකු දුකක් ඇතිවෙයි. ඒගොල්ලො නැති කරගත්තේ රටක් රාජ්‍යයක් වටින දරුවෙක්. ඒ ගෙදරට ශ්‍රියා කාන්තාවක් වෙන්න ඉඳපු දරුවෙක්. දැන් නිදාගමු. හෙට උදේම අපි එහෙට යන්න ඕනනේ. කෙල්ලට මං දැන් චුට්ටකට කලින් කතා කළා. හැමෝම සාලේ පැදුරු එළාගෙන එකට නිදාගන්නවා කියලා කිව්වා. අපිටත් අද එහේ නතර වෙන්න තිබුණා. අපේ දුවත්,  චූටි දුවයි පුතයි එක්ක ඉන්න හරි ආසයි. ඔයාට සතුටු ඇති නේද..මට තවමත් මේක අදහගන්න බැරි තරම්. රාජණී අක්කා මේක දැනගත්තහම මොනතරම් සතුටු වෙයිද කියලා මට හිතාගන්නවත් බෑ සුරංග. අපි හැමෝම කැමති අපේ දරුවෝ ඉහළම තැනක ඉන්නව දකින්න. මේ කෙල්ල මමත් එක්කත් ඔය යාළුවා ගැන කියෙව්වනේ දෙයියනේ.”

මධාරාගේ දෑස් තුළ පිරී තිබුණේ කඳුළුය. එදත් ඔහුගේ සිත සොරකම් කලේ ඇගේ මේ ගුණ යහපත්කමය. තමාටත් වඩා ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටුකරමින් සිටියේ ඈය. 

වෙලාව ගතව යනවා නොදැණුන  තරම්ය. කාලයකට පසුව සුරංග සැනසිල්ලේ නින්දක් ලැබුවේය. තමා අතහැර ආ දරු තිදෙනාත් බිරිඳත් පිළිබඳව ඔහුගේ සිතෙහි වූයේ දුකකට වේදනාවකට සමාන වූ හැඟීමකි. මුළුමනින්ම නොවුනත් ඒ හැඟීමෙන් මද වශයෙන් හෝ ඔහු නිදහස්ව උන්නේය. මෙතැන් සිට ඇරඹෙන තම දරුවන්ගේ ජීවිතය අයහපත් එකක් නොවන බව විශ්වාසය.

                               ***************

නයනා බිනරගේ කාමරයට යන විටත් ඔහු සිටියේ අවදිවය. ජයවර්ධන නිවසට සේවිකාවක කැඳවා ගත්තේ නයනා අසනීප වූවාට පසුවය. එහෙත් පුරුද්දට සේ අදටත් ඇය පාන්දරම නැගිටී. නයනාගේ ප්‍රථම රාජකාරිය වනුයේ බුදු කුටිය අතුගා පිරිසිදු කර මල් පහන් පූජා කිරීමය. ඇය දුම් අල්ලන සාම්බ්‍රානී සුවඳින් මුළු නිවසම පිරී යන්නේ පුදුමාකාර පහන් බවක් දනවමින්ය. නිවසේ සියල්ලෝම අවදිවන්නේ ඒ සුවඳත් සමගය. වෙහෙස විය යුත්තේ බිනරව අවදි කරවීමටය. 

“අම්මා….”

පුදුමයි අද මම එන්න කලින්ම ඔයා නැගිටගෙන. 

“ඔව් මේ…වුවමනාවක් තිබුණා අම්මා…”

බිනර අත වූ ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. ‘එක්ස්කියුස් මී..’ අම්මා යැයි පවසමින් ඔහු සැඳැල්ලට ඇවිද ගියේ නයනා ඇඳ මතින් වාඩි වෙද්දීය.

“මං උඹට  කිව්වා ෆෝන් එක අතේ තියාගෙන ඉඳපන් කියලා. කිසි දෙයක් අමතක කළේ නෑ නේද. ඉක්මනට පලයන්. එයාල දැන් ලෑස්තිවෙලා බලාගෙනගෙන ඇති….”

මද හඬකින් වුවත් ඒ පැවසූ වදන් නයනාට හොඳින් ඇසිණ. ඔහු මේ සූදානම් වන්නේ කවුරුන් හෝ ඉසුරිගේ නිවසට යවන්නට විය යුතුය. 

“මාලිංග කතා කළේ අම්මා….අද එයාලා කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වෙලා.”

“ආ..පුතා එයාලත් එක්ක යන්නෙ නෑ නේද?”

“නෑ අම්මා අද මං හිතුවා දවසම ගෙදරට වෙලා නිදාගන්නවා කියලා.”

“ඒක හොඳයි…මං මේ ආවේ ඔයාට අපිත් එක්ක පොඩි ගමනක් යමු කියන්න.”

“හදිසියේ කොහේද අම්මා…”

“තාත්තගේ යාළුවෙක්ගේ ගෙදරට. එයාලා පිටරටක ඉඳලා ළඟදි තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ. කාලෙකට පස්සේ මමත් තාත්තට එකඟ වුණා පුතේ අපි එහේ යමු කියලා. තාත්තා කියනවා අක්කලා දෙන්නම නැති එකේ ඔයා හරි ගියා නං හොඳයි කියලා.”

බිනරගේ මුවගෙහි මතුවූයේ සිනහවකි. ඔහු ඉසුරිට පැවසූයේ තාත්තාගේ වැඩකට යාමට අවැසි නිසා එහි නොඑනා බවය. අවසන ඒ මුසාව ඇත්තක් වන්නට ආසන්නය.

“ඔයා එනව නේද අපි එක්ක යන්න. කාලෙකින්ම ඔයාලත් එක්ක එළියට ගියපු නැති නිසා මටත් ආසයි පුතා.”

“මං කීයටද අම්මා ලෑස්ති වෙන්න ඕනේ…”

“දහයට විතර ලෑස්ති උනහම ඇති. ඔයා ලඟ තියෙන ලස්සනම ඇදුමෙන්. වැදගත් පාටට….”

“අම්මල මට මනමාළියෙක්වත්  බලන්න යන්නද….”

බිනර ඇසුවේ නයනාව තුරුළු කරගෙනය.

“මනමාළියක් බැලිල්ල කෙසේ වෙතත් ගෙදර ඉන්න මනමාලයා ලස්සනට එක් කරගෙන යන එක තමයි අම්මගේ සතුට.”

“මං ලෑස්ති වෙන්නම් අම්මා…”

බිනර එසේ පැවසූයේ අම්මාගේ නළලත සිප ගෙනය. තත්පර කිහිපයක්ම නයනාගේ  උකුලට වී සිටි ඔහු යළිත් නැඟී සිටියේ දුරකථන ඇමතුමක් පැමිණෙද්දීය.

( යළිත් හමු වෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles