මම හැදී වැඩුණේ මහ අරුම පුදුම ගෙදරක.
මේ ගේ ඇතුලෙ හැම තිස්සෙම පිච්ච මල් සුවඳ, තින්ත සුවඳ පිරිලා තිබ්බා. ඒ උනාට අපේ ගේ අස්සෙ “මනුස්සයෙක්ගෙ ජීවිතේට වටින දේවල්” නම් හිස්වෙලා තමයි තිබ්බේ.
අපේ අම්මට තිබ්බෙ පුදුමාකාර බිසී ජීවිතයක්. එයාගෙ වැඩේම උනේ කවි ලියන එක. ඒ කවි අස්සෙ එයා පුදුමාකාර ලස්සන දේවල් ගැන ලිව්වත් ඒ ලස්සන එයාගෙ හිත අස්සෙ තිබ්බෙ නෑ කියලා මට හිතිච්ච වාර අනන්තයි.
අම්මගෙ ලස්සන කටහඬ අපේ ගෙදර කාමර ඇතුළේ පා වෙලා ගියේ හරියට සංගීතයක් වගේ. ඒත් ඒ හඬ කවදාවත් ඇවිත් මං ගාව නැවතුණේ නැහැ. අම්මා මේසෙට ඔළුව නවාගෙන ලිය ලිය ඉද්දි මං එයා ළඟට ගිහින් අහනවා.
“අම්මා… මගේ කොණ්ඩේ ගොතලා දෙනවද?” කියලා.
එයා එක තත්පරයකට විතරක් ඇස් උස්සලා මං දිහාව බලනවා. එයාගේ ඇස්වල තිබුණේ මහ අරුම පුදුම නොඉවසිල්ලකට මුහුවෙච්ච තරහක්. ඒ තරහා මං හින්දා හිත අස්සෙ ගොඩ නැගිච්ච තරහක් බව හොඳටම දන්නවා උනත් අම්මා ඒක වචන කරේ පුදුම සංයමයකින්
“පස්සේ, කමලා. මම මේ ලියනවා.”
ඒත්, ‘පස්සේ’ කියන වෙලාව කවදාවත් ආවේ නැහැ. ඒ වගේම අම්මා කොච්චර සංයමයකින් කියන්න හැදුවත් ඒ වචන අස්සෙ තිබ්බ තරහාව, නොඉවසිල්ල තේරුම්ගන්න මට අමාරු උනෙත් නෑ. මට මතකයි මම එතැන හිටගෙන හිටපු හැටි, ගෙතුවෙ නැතු කොණ්ඩේ අවුල් වෙලා තිබුණු හැටි, මං උන්නෙ මගේ ඇස් කරකව කරකව අම්මා දිහාවයි අම්මාගෙ නොඉවසිල්ලෙන් කොලේ උඩ එහෙ මෙහෙ යන දිග ඇඟිලි දිහායි නොඉවසිල්ලෙන් බලාගෙන.
ඒ තමයි මං ඉගෙන ගත්ත පළවෙනි වතාව, ආදරය කියන්නේ අපිට ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයි, ලැබෙන්නෝන දෙයක් කියන එක. ඒ තේරුම් ගැනීමත් එක්ක මං පුරුදු උනා ගේ අස්සෙ හැංගෙන්න. මගේ ආසාවල්, ආදරේ ඉල්ලන සිතුවිලි හංගලා නිශ්ශබ්ධව ඉන්න. හරියට හැමෝටම මාව පේන ලෝකෙක උනත් කවුරුවත් “මාව දැක්කෙ නෑ” කියලා ඉන්න.
මගේ ඒ “කවුරුවත් මාව දැක්කෙ නෑ” කියන ජිවිතේ වෙනස් වෙද්දි මට වයස අවුරුදු පහළවයි. මට තිබ්බේ සෙල්ලම් කරන වයසක්. අවුරුදු පහළව කියන්නෙ කෙල්ලෙක්ට කොච්චර පොඩි වයසක්ද නේද? ඔව් මම මං ගැන හිතාගෙන හිටියෙ එහෙම තමයි.ඒ මගේ පාළොස්වෙනි උපන්දිනේ දවසෙ.
තාත්තා මට තෑග්ගක් ගෙනත් තිබ්බා. මං ඉල්ලුවෙ නැති තෑග්ගක්.
මං තාත්තගෙන් ඇහුවා “මොකද්ද ඒ?” කියලා.
“මනමාලයෙක්” කියලා තාත්තා කියද්දිවත් අවුරුදු පහළවේ කෙල්ලෙක්ට මනමාලයෙක් තෑග්ගකට ලැබෙන එක ගැන මං හරිනම් සන්තෝස වෙන්නෝනද, දුක් වෙන්නෝනද කියන එක ගැනවත් තේරුමක් මට ඒ වෙද්දි තිබ්බෙ නෑ.
තාත්තා මාව දැක්කේ “දීලා දාන්න පුළුවන් දෙයක්” විදියට මිසක් දරුවෙක් විදියට නෙවෙයිද කියන එක මට ඒත් හිතුණා.
“මේක හොඳ ගැළපීමක්. ඔයාට පරිස්සමෙන් ඉන්න පුළුවන් වෙයි” කියලා තාත්තා කියද්දිත් මං කල්පනා කරේ මට ගැළපෙන දේ තෝරගන්න ඕන මම මිසක් තාත්තා නෙවෙයි නේද කියන එක. අනික් එක “පරිස්සම” කියලා තාත්තා කිව්වෙ කවුරු ගැනද, කාගෙන් පරිස්සම් වීමක් ගැනද කියන එක මට හිතාගන්න පුළුවන් උනේ නෑ.
“පරිස්සම් වෙන්නෙ මොකෙන්ද?” කියලා මම ඇහුවට ඒකට දෙන්න උත්තරයක් තාත්තා ගාව තිබ්බෙත් නෑ. එයා උත්තර දුන්නේ නැහැ. එයා නිශ්ශබ්දවම මට “මනමාලියෙක් වෙන්න” ඕන කරන සාරිය සහ ආභරණ ඇඳ උඩ තියලා සද්ද නැතුවම එතනින් ගියා.
පරෙස්සම කියන්නේ නිශ්ශබ්දව ඉන්න එක බව, පරෙස්සම කියන්නේ කීකරුකම බව, පරෙස්සම කියන්නේ මට වෙනත් විකල්පයක් නැහැ කියන එක බව වගේම මේ වතාවෙත් කවුරුවත් “මාව දැක්කෙ නෑ” කියන එක මට දෙවනි වතාවට පැහැදිළි උනේ මට අවුරුදු පහළවේදි.
මම මාධව්ගෙ බිරින්දෑ උනේ ඒ විදියට. මාධව්ගෙ මනමාලි උනේ ඒ විදියට.
දවස් ගෙවිලා ගියා. මාස කීපයක්ම ගියා. මාධව්ගේ ගෙදර ඇතුළේ කතාබහක් තිබුණේ නැහැ. මං කියලා කෙනෙක් ගැන කොහොමත් කතා බහක් තිබුණේ නෑ. අපේ අම්මගේ ගෙදර තිබුණා වගේ කවි කතා කොහෙත්ම තිබ්බෙ නෑ. හැමදේම පිළිවෙළට, පිරිසිදුව තිබුණත්, මගේ හිත තිබ්බෙ සීතලෙන් ගල් ගැහිලා ගිහිල්ලා.
මාධව් හරිම විනීතයි. එයා හැමදේම කරන්නේ වෙලාවට. උදේට යන වෙලාව, හවසට එන වෙලාව හැමදේම උනේ කාලසටහනකට අනුව. කොටින්ම මට රිද්දන එක පවා එයා කරේ කාල සටහනකට අනුව.
මම මුලදී පුරුදු වුණා එයාට ආදරයෙන් කතා කරන්න. එයා කන්න ආස කෑම හදන්න. මම හිතුවා එතකොටවත් එයා මගේ දිහා බලයි කියලා. දවසක් මම අලුත් සාරියක් ඇඳලා, හරිම ආසාවෙන් එයාගෙන් ඇහුවා “මාධව්, මම ලස්සනද?” කියලා. එයා කන එක නවත්තන්නේවත් නැතුව, ඇස් උස්සලා බැලුවා. ඇස්වල තිබුණේ වෙන කරන්න වැඩ ගොඩක් තියෙනවා වගේ පෙනුමක්.
“ආ, හොඳයි. මට අද වැඩ ගොඩක් තියෙනවා. ඉක්මනට නිදාගන්න ඕනේ.” කියන වචන අස්සෙ මං සෑහෙන වෙලා මං අහපු ප්රශ්නෙට උත්තරේ හොයන්න මහන්සි උනා. මම මාව හොයාගන්න මහන්සි වුණා.
මට තේරුණා, මම මේ ගෙදර ජීවත් වෙන්නේ එයාගේ යුතුකම ඉෂ්ට කරන්න විතරයි, මට ආදරය කරන්න, මගේ හැඟීම් වලට දෝරෙ ගලන්න මේ ගෙදර ඉඩක් නැහැ කියන එක.අම්මා මාව තනි කළේ එයාගේ කවි ලෝකයේ. මාධව් මාව තනි කළේ එයාගේ යුතුකම් ලෝකයේ. ඒ දෙන්නාම අවසානයේදී මට දුන්නේ තනිකම විතරයි.
ඒ දවස්වල මට හිතුණේ මම සෙවණැල්ලක් වගේ කියලා. කවුරුවත් කතා නොකරන, කාටවත් නොදැනෙන ගැහැණියක් බවට මම පත්වෙමින් ඉන්නවා කියලා මම තුන්වෙනි වතාවට තේරුම්ගත්තෙ මගෙ කසාදෙ ඇතුළෙදි.
කෑම උයන පිහන, ගේ අස් කරන, දරුවො බලාගන්න වැඩ අස්සෙ “මම” කියන ගෑනි දියවෙලා ගිහින් කියන එක තේරුණත් හැමදෙයක්ම නියමිත විදියට වෙන්නෝන හන්දා මම සද්ද නැතුව ඒ හැමදේම කරලා දැම්මා.මාධව් කවදාවත් හයියෙන් මට බැන්නෙ කළේ නැහැ. ඒත් එයා මං දිහා බලන හැම බැල්මක්ම මට මතක් කරලා දුන්නා මේ ජීවිතේ ඇතුලෙ, මේ ගේ ඇතුලෙ “මගේ තැන කොතනද” කියන එක.
“ඔයයි මායි අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා ඔයා හිතනවද?” කියලා මම ඇහුවෙ “ඒ තැන” මට තවත් උහුලගෙන ඉන්න බැරි විදියෙ දුකක් හිත අස්සෙ ගොඩනගන්න ගත්තම. මගේ උගුර හිරවෙලා තිබ්බා උනත් මං ඒ වචන එළියට දැම්මා.
“මං ඔයාව කසාද බැන්ද එකම මදිද?” කියලා මාධව් කියද්දි මට කෑ ගහන්න හිතුණා. මට අඬන්න හිතුණා. ඒත් මට පුළුවන් වුණේ ඔළුව වනන්න විතරයි. එදා තමයි මට මගේ හොඳම යාලූවා හම්බ වුනේ. ඒ තමයි “සද්ද නැතුව ඉන්න එක”.
මට අලුත් ජීවිතයක් ලැබුණේ කුස්සියේදී.
හැමෝම නිදාගත්තට පස්සේ, මම කුස්සියට ආවා. හිත අස්සෙ තිබිච්ච ඔක්කොම වේදනාවල් මම කුස්සියෙ බිම වාඩිවෙලා පොත්වල ලියන්න ගත්තා. මට හුරුපුරුදු ඉඳුල් සුවඳ මැද්දෙ මට තාත්තා කිව්ව “පරිස්සම” දැනුනා. මං හෙව්ව “පිළිගැනීම” හම්බුණා. අපේ අම්මා කිව්ව “පස්සෙ” කියන මොහොත අවසානයේ මාව හොයාගෙන ඇවිත් තිබ්බා. මං නිදහසේ හුස්ම ගත්තෙ, මං මාත් එක්ක නිදහසේ කතා කරේ කුස්සියෙදි. මට මං වෙන්න පුලුවන් උනේ, මං මාව දැක්කෙ කුස්සියෙදි. ලෝකෙ ලස්සන දේවල් අත් දැකලා නොතිබ්බ මට ලියන්න ලස්සන දේවල් තිබ්බෙ නෑ. ඒ නිසා මම ඇත්ත ලියන්න හිතුවා.
අම්මා කවදාවත් මාව තුරුළු කරගත්තේ නැති හැටි, අම්මා මට ආදරේ නොකල එක ගැන, මාව පොඩි කාලෙදි මගෙ ගෙදරදිම අනන්ත ප්රතික්ශේප වෙච්ච එක ගැන, ආදරය කියන්නේ අපිට ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයි, ලැබෙන්නෝන දෙයක් කියන එක මම ලිව්වා.
මාධව් ගැනත් ලිව්ව මම. එකම ඇඳක නිදාගත්ත, හැම රෑකම එයාගෙ ඇඟට අකමැත්තෙන් පොඩි වෙච්ච, අපි දෙන්නා අතරෙ තිබ්බ හිස්කම කොච්චර දුරද, දුකද කියන එක ගැන, යුතුකමකට වඩා මම වටිනවා කියලා දැනෙන්න, එයාගේ එක ආදරේ පිරිච්ච බැල්මක්, වචනයක් ලැබෙනකම් මම බලාගෙන ඉන්න හැටි ගැන මම ඒ වචන අස්සෙ ලිව්වා.
ඒ වගේම මම මං ගැනත් ලිව්වා. මට හංගන්න කියලා තිබ්බ මගේ හිතුවිලි, බය, ආශාවන්, මගේ හීන.
මම ලියපු හැම වචනයක්ම මට දැනුනෙ පුංචි යුද්ධයක් වගේ. ඒ යුද්ධෙ මට මතක් කරලා දුන්නා “මම තාම ජීවත් වෙනවා.” කියලා.
කාලෙ ගෙවිලා යද්දි, මගේ වචන අස්සෙ මං හදාගත්ත ඒ බලේ, මගේ ඇතුළේ මං මෙච්චර අවුරුදු ගාණක් හිරකරගෙන උන්න නිශ්ක්රීය ගිනි කන්දක් සක්රීය කරලා දුක, වේදනාව, තරහව, ගෑනුකම කියන ලාවා පිටාර ගලන්න පටන් අරගෙන තිබ්බා. මගේ කවි කියන්නේ නිකන්ම වචන නෙවෙයි මගේ හිතේ තිබ්බ එළියට නොපෙනෙන, බෙහෙත් නැති තුවාල කියන එක දැනන් උන්නෙ මම. මම ලිව්වේ ලෝකෙට පෙනුනෙ නැති මගේ තැලිච්ච හිත ගැන, මගේ මැරිලා ගියපු ආසාවල් ගැන. මගේ හිතේ තිබුණු හැම වේදනාවක්ම, මම තීන්ත අස්සෙ, අකුරු අස්සෙ ඇමිණුවා.
මිනිස්සු ඒවා දිහා බැලුවෙ කේන්තියෙන්
“මට මගේ සැමියාගෙන් නොලැබුණු ආදරය මම වෙන තැන්වලින් හෙව්වා…” කියලා ලිව්වම මිනිස්සු මට බැන්නේ “නරක ගෑනි” කියලා. මට ආදරේ නුදුන්න මිනිහා “නරක මිනිහා” නොවී ආදරේ ඉල්ලුව මම “නරක ගෑනි” උනේ කොහොමද කියන ප්රශ්නෙ මගෙ හිතේ තාම තියෙනවා. ආදරේ හෙව්ව මනුස්සයෙක් නරක මනුස්සයෙක් වෙන්නෙ කොහොමද කියන එක මම මගෙන්ම ඇහුවා. මම මුළූ ලෝකෙන්ම ඇහුවා.
ඒ නිසාම මම මගේ අම්මව, මාධව්ව, මට රිදෙව්ව හැම කෙනාවම මරලා දැම්මා. මගේ වචන අස්සෙ උන්ට රිද්දුවා, උන්ගෙ රෙදි ගැලෙව්වා, උන්ව තළලා පෙළලා දැම්මා, අන්තිමේ මගෙ හිත අස්සෙන් උන්ව මරලා දැම්මා.
මොකද සමහර වෙලාවට, ගැහැණියක්ව කොටු කරන්න හැදුව කෙනෙක්ගෙන් බේරෙන්න පුළුවන් එකම විදිය තමයි තමන්ගේ හිත අස්සෙන් ඒ අයව සදහටම මරලා දාන එක.
මං කරේ ඒක.
“ආදරය කියන්නේ හිරගෙයක් නෙවෙයි.. ඒක නිදහසක්..මම පාපිනියක් වෙන්න ඇති.. මම සාන්තුවරියක් වෙන්න ඇති.. ඒත් මම ගැහැනියක්!” කියලා මම ලිව්වෙ අන්න ඒකයි.
මම කමලා දාස්
මේ මගේ කතාව










