“පිරිමියනුදු පතන – අවසර කල් රහස් තැන – මිස නොලැබෙන බැවින – ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන” කියලා ලිව්වෙ ගෑනියෙක් සෙට් කරගන්න බැරි වෙච්ච මොකෙක් හරි නාකි බමුණෙක් වෙන්නැති කියල ඉස්සර අපි සිංහල පාඩම් වෙලාවෙදි කිය කිය හිනාවෙනවා.
ඕන්න ඔය වගේම කතන්දරයක් තමයි අපි අද කියන්න යන්නෙත්.
මේක ගමක්.
ගමෙන් එළියෙ මිනිස්සු මේ ගමට කිව්වෙ පව් හෝදන ගම කියලා. ඒක අර උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ වගේ සීන් එකක් තමයි. හැබැයි මේ පව් හෝදන ගමේ පව් හෝදගන්න පින තිබ්බෙ එක කාණ්ඩෙකට විතරයි.
ඒ තමයි පිරිමි.
මේ ගමේ හැම හැන්දෑවකම පුරුද්දක් වගේ කෙරෙන චාරිත්‍රයක් තියෙනවා. හැන්දෑවෙ පහ පහමාර වෙද්දි ගමේ ගෑණු පේළියට තමන්ගෙ ගෙවල්වලින් එළියට බැහැලා ගමේ නාන තොටුපොළ ළඟට යනවා. ඒ යන්නෙත් හොඳට හිනා වෙවී කතා කර කර හෙන ලොකු වතාවතක් කරන්න යනවා වගේ.
උන් නිකන් යන්නේත් නෑ.රෙදි හෝදන සබන් කෑලි, ඩිටර්ජන්ට් පව්ඩර් විතරක් නෙවෙයි හොඳට මුඩ්ඩ තියෙන පොල් ලෙලි, හයියට හදපු බුරුසු, අර පරණ රෙදිවල තියෙන තදම කුණු යවන්න ගන්න ගල් කැට පවා උන් අතේ තියෙනවා. මේක අපිට නිකන් රාජකාරියක් වගේ පෙනුනට මේ ගමේ ඉන්න ඈයන්ට නම් මේක දේවකාරිය වගේ වැඩක්.
පාර දිගේ මේ ගෑනු ටික ඇවිදගෙන යද්දී එකෙක්ට එකෙක් පරදින්නේ නැතුව කයිය ගහනවා.
“ඒයි සෝමේ… අද මං මේ ගෙනාවේ අලුත්ම පොල් මුඩ්ඩක් බං. අපේ මිනිහා අද ටවුන් එකේ පරණ යකඩ බිස්නස් එකකට ගියානේ. අනිවාර්යයෙන්ම මූ අද කාට හරි ලොකු පොල්ලක් තියලා තමයි එන්නේ. ඒ පවට අද මූගේ ඇඟේ හම ගැලවෙන්නම මට අතුල්ලන්න වෙයි,” කියලා එක්කෙනෙක් හිනා වෙවී කියනවා.
එතකොට ඉතින් පළාතම පිරිලා ඉතිරිලා යන්නෙ ඕන් ඒ කතාවට ඔක්කොමලා එක්කහු වෙලා දාන කොක්සන් හිනාවෙන්. එහෙම ගිහිල්ලා හැමෝම පේළියට නාන තොටුපලේ එක එක තැන්වල නතරවෙනවා. එක ගෑනියෙක් තමන්ගේ පොල් මුඩ්ඩ හොඳට තෙත් කරලා පදං කරගෙන ඉන්නවා. තව එකෙක් සබන් එහෙම තෙත් කරලා ලෑස්ති කරගෙන ඉන්නවා. තව එකියක් ඩිටර්ජන්ට් පව්ඩර් එහෙම බාල්දියකට දාලා ලෑස්ති කරගෙන ඉන්නවා.
මේ බලන් ඉන්නෙ වෙන දෙයක් වෙනුවෙන් නෙවෙයි. උදේ වරුවෙ එක එක වැඩ වලට ටවුන් එකට ගියපු තමන්ගෙ මිනිස්සු ආපහු ගෙදර එනකම් තමයි මේ බලාගෙන ඉන්නෙ.
එහෙම ලක ලෑස්ති වෙලා ඉද්දි ගමට එන්න තියෙන එකම පාර දිගේ පිරිමි ටික දූවිලි නංගගෙන එනවා දැක්ක ගමන් එක්කෙනෙක් අනික් කාණ්ඩෙට නිව්ස් එක දෙනවා.
“ඕන් එනවෝ” කියලා එක්කෙනෙක් කෑ ගහපු ගමන් අනික් ගෑණු ටික ගොදුරු අහුලං කන ගමන් ඔලුව උස්සලා වට පිට බලන කුකුල්ලු වගේ ඔලුව උස්ස උස්ස බලනවා තමන්ගෙ මනුස්සයා එනවද කියලා ඔය එන පිරිමි කන්දරාව අස්සෙ.
හරියට වැරැද්දක් කරලා අහුවුණු ඉස්කෝලේ කොල්ලෝ වගේ හරිම අහිංසක පෙනුමක් මූණේ මවාගෙන එන මේ පිරිමි කියන්නෙ “තඹ සතේකට විස්වාස කරන්න පුළුවන් ජාතියක් නෙවෙයි” කියලා දන්න හන්දම ඉස්සර වගේ දැන් මේ ගෑණු පිරිමින්ගෙ ඔය බොරු සෝබන වලට රැවටෙන්නෙ නෑ. ඉස්සර තමා “ආහ් පැටියෝ” කියාගෙන ආවමයි සාරි බාරි, මල්, චොකලට්, රටකජු ගොටු උස්සන් ආහම ඕන එකක් කියලා හිතාගෙන ඔය පිරිමින්ගෙ ආවතේවකම් කරන්න මේ ගමේ ගෑනු උදවිය කටයුතු කරේ.
දැන් හැබැයි එහෙම නෑ.
දැන් පිරිමි ටික ලඟට එද්දිම ගෑනු ටික කරන්නෙ උන්ගෙ අත්වල තියෙන බඩු මුට්ටු වල බර බලන එක නෙවෙයි, පිරිමින්ගෙ ඇස් දෙක දිහා බලන එක. මොකද ඒ ඇස් දෙකේ තියෙන “තමන්ගෙන් වහං කරන්න හදන” හුටපට, කසාද අස්සෙ, සම්බන්ධකං අස්සෙ තෙම්පරාදු වෙච්ච ගෑනුන්ට දැන් අල්ලගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයි.
“ආ… මාලා, බලපන් අර එන සෝමපාලයාගේ මූණේ තියෙන අහිංසක පෙනුම. අනිවාර්යයෙන්ම අද මූ ටවුමේ යාලුවෝ එක්ක මොකක් හරි මල ඉලව්වක් බීලා, ඒ මදිවට කාට හරි ලොකු බොරුවක් කියලා තමයි එන්නේ. නැත්තම් වෙනදට ඕක ඔහොම හිමිජ්ජා වගේ එන්නෙ නෑනෙ” කියලා සිරියාවතී කිව්වේ තමන්ගේ පොල් මුඩ්ඩ හොඳට වතුර එක්ක පදං කරන ගමන්.
පිරිමි ටිකත් දන්නවා දැන් මේ වෙලාවට කරන්න තියෙන එකම දේ සැරෙන් දෙන එක ඉවසගෙන ඉන්න එක විතරයි කියලා. උන් හෙමින් හෙමින් ඇවිත් නාන තොටේ ගල් පඩි උඩ වාඩි වෙන්නෙ හරියට පෝරකය ගාවට යන අපරාධකාරයෝ වගේ. හැබැයි මේ ගෑනුන්ට නම් ඒක මහ විනෝදයක් බවත් මේ පිරිමි දන්නවා.
“අද කවුද වැඩිපුරම පව් කරලා තියෙන්නෙ කියලා වතුරේ පාටෙන්ම බලාගන්න පුළුවන්,” අමරාවතී කිව්වේ හයියෙන් හිනා වෙන ගමන්. අපෙ මිනිහගේ පව් හෝදන්න අද මට සබන් කෑලි දෙකක්ම ඕන වෙයිද මන්දා. පේනවා නේද මූ එන විදිහ? ශුවර් එකට අර බඩ්ඩගෙ ගෙදර ගිහින් වෙන්නැති.”
ගෑනු ටික මේ පිරිමින්ගේ වැරදි ගැන කතා කරන්නේ හරියට ඒකෙන් හෙන විනෝදයක් ලැබෙනවා වගේ. එක පිරිමියෙක් කරපු හොර වැඩක් ගැන තව ගෑනියෙක්ට කියලා හිනා වෙන එක මේ ගමේ ගෑනුන්ට හෙන සාමාන්‍ය දෙයක්. උන්ට තියෙන එකම විනෝදෙත් ඕක. මොකෝ උදේම ටවුන් එකට යන පිරිමි හැන්දෑවට ගෙදර එද්දි ඕන කරන බඩු මුට්ටු එහෙම අරගෙන එන හන්දා ගෑනුන්ට ගමෙන් පිටට යන්න හේතුවක් තිබ්බෙත් නෑ. උදේම ඇහරිලා පිරිමින්ගෙ ආවතේව කරලා ගෙවල් වල වැඩ බලාගන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් උන්ට තිබ්බෙත් නෑ. පිරිමි ටික සද්ද නැතුව බිම බලාගෙන, තමන්ගේ සරම් කෑලි පොඩ්ඩක් උස්සගෙන, වතුරට බැහැලා පඩි උඩ වාඩි වෙනවා. ඒ අතරේ ගෑනු ටික උන්ගේ පිටවල් වලට වතුර පාරවල් හලන්න පටන් ගන්නෙ හරියට සෝදන මැෂින් එකක් වැඩ පටන් ගන්නවා වගේ.
පිරිමි ටික ගල් පඩි උඩ වාඩි වුණාම ගෑනු කතාව පටන් ගන්නවා. සිරියාවතී මුලින්ම දොඹෙන් යන්න කියලා වැඩේ පටන්ගත්තෙ සෝමපාලයගෙ ඔළුවට වතුර බාල්දියක් හලලා.
“මරන්නද යකෝ හදන්නෙ?” කියලා සෝමපාල ඒ වෙලාවෙ කෑ ගැහුවට මොකෝ සිරියාවතී නෙවෙයි ඒව තඹ සතේකට මායිම් කරේ.
“නොදකින් කාලකන්නියා, තෝව මැරුවත් ඔය පව් ටික නම් හෝදන්න බෑ. හිටපිය කුණු ටික හෝදලා යවන්න,” සිරියාවතී කිව්වෙ අර හොඳට මුඩ්ඩ තියෙන පොල් ලෙල්ල අතට ගන්න ගමන්.
“හිමිං කරපං යකෝ හම ගලවන්නද හදන්නෙ?” කියලා අහන ගමන් සෝමපාල වාඩිවෙලා උන්න පඩිය උඩ පස්ස කරකවන්න ගත්තෙ වේදනාව දරාගන්න අමාරු වෙච්ච හන්දා උනාට මොකෝ සිරියාවතී නෙවෙයි ඩිංගක්වත් අත නතර කරගත්තෙ.
“හම නෙවෙයි මං යවන්නෙ. තමුසෙ අර ටවුමේ මාලු කඩේ ගෑනිත් එක්ක මොනවද එච්චරටම හිනා වෙවී කියෙව්වේ? තොට මතක නැති වුණාට මේ පොල් මුඩ්ඩට ඒක මතකයි. බලපිය වැක්කෙරෙන වතුරෙ කළු පාට. තාර උතුරනවා වගේ. ලැගපු තැන්වලින් ඇඟේ ගාගත්ත ඒවා වෙන්නැති නේද?” කියලා සිරියාවතී එක දිගට කියාගෙන යද්දි තමයි සෝමපාල කට වහගන්නෙ.
සිරියාවතී සෝමපාලට ඒ විදියට සලකද්දි අනිත් පැත්තෙන් මාලා ගුණපාලගෙ පිට ඇතිල්ලුවෙ නිකන් පුදුමාකාර කේන්තියකින්.
“මාලා… ඇති බං… මම අද මුකුත් වැරැද්දක් කළේ නෑ… සත්තයි!” කියලා ඒ වේදනාව දරාගන්න බැරිවෙච්ච තැන ගුණපාලයා ඇඹරෙනවා. ඒ උනාට මාලා නෙවෙයි නිකමටවත් අත නතර කරේ.
“මුකුත් කළේ නැත්තෙ කොහොමද ඕයි? තමුසෙ කටෙන් ද පු%$න්ද කතා කරන්නෙ? තමුසෙ අද අර හන්දියෙ හෝටලේ ඉන්න කෙල්ලට ඇහැක් ගහපු විත්තිය මං දන්නෙ නෑ කියලද හිතන්නෙ. තමුසෙ ඇස් ගැහුවට ඒකි නිකමටවත් බැලුවද කියනවකො. ලැජ්ජ නෑනෙ ඕයි තමුසෙට. මෙච්චර මේ කලු පාටට හම උඩහින් ගැලවි ගැලවි යද්දිත් කුණු කන්දරාව තමුසෙ මට කියනවනෙ මුකුත් වරදක් කරේ නෑනෙ කියලා. මං ඕවට අහුවුනේ කසාද බැන්ද අලුත හොඳේ. දැන් තමුසෙ ගාව තියෙන ගොරකා මදි මාව තම්බන්න” කියන ගමන් මාලා හිනා වෙවී රෙදි අපුල්ලන ගල උඩට රෙද්දක් කරකවලා ගහනවා වගේ ගුණපාලයව ගලේ ගැහුවා.
“මුන් හිතාගෙන ඉන්නෙ සිරියා අක්කෙ මේ සාරි බාරි උස්සන් ආවම අපිට මුං කරපු සේරම අමතක වෙනවා කියලා. අමතක වෙයි රෙද්ද” කියන ගමන් මාලා සිරියාවතී එක්ක හිනාවෙද්දි,මුළු නාන තොටුපොළම හෙල්ලෙන්න ඔක්කොම ගෑනු ඒ හිනාවට සම්බන්ධ වෙනවා. පිරිමි ටික නිකන් මස් කඩේට දක්කන හරක් වගේ “අප්පෝ… ඌයි… හ්ම්…” ගගා ඒ වදේ විඳිනවා. හැබැයි පුදුමේ කියන්නෙ, උන් ඔය සේරම ඉවසගෙන ඉන්නෙ මේක ඉවර වුණාම හිතට දැනෙන අමුතු හෑල්ලුව හන්දමයි.
“දැන් සැපයිද සෝමපාලයෝ?” අමරාවතී ඇහුවෙ හයියෙන් හිනා වෙන ගමන්. “අපේ මිනිහා අද තමුසෙත් එක්කම නේද අර මිනිහා මැරිච්ච ගෑනිගෙ වත්තෙ පොල් ටික හොරෙන් කඩන්න ගියේ? බලපන් මූගෙ ඇඟෙන් වැක්කෙරෙන කළු වතුර. පව් කන්දරාවක් බං”
ඔහොම දාහක් ජාති කියන ගමන් මේ ගමේ ගෑනු ටික තම තමන්ගෙ මිනිස්සුන්ගෙ ඇඟවල් වල තිබ්බ ඔක්කොම කුණු කන්දරාව හෝදලා ගඟ දිගේ පල්ලෙහට පා කරලා යවනවා.
සිරියාවතී අන්තිම වතුර බාල්දිය සෝමපාලගෙ ඇඟට හැලුවෙ “ඔන්න දැන්වත් මනුස්සයෙක් වගේ හිටපිය” කියලා බනින ගමන් අනිත් ගෑනු එක්කම හිනා වෙවී.
පිරිමි ටික වතුරෙන් උඩට එද්දි උන් නිකන් අලුත උපන් සත්තු වගේ හරිම සිරියාවන්තයි. හැබැයි ඒ සිරියාවන්තකම තියෙන්නෙ හෙට උදේ ටවුමට යනකම් විතරයි කියලා ගෑනුත් දන්නවා, පිරිමිත් දන්නවා. දැන් දෙගොල්ලන්ටම ඕක පුරුදු වෙලා හන්දා උන්ට කිසිම ගාණක් නෑ.
සෝමපාලයා අලුත් වේලිච්ච සරමක් කඩාගෙන අඳින ගමන් සිරියාවතී දිහා බලලා පංකාදු හිනාවක් දැම්මා.
“දැන්වත් මගේ දිහා ඔරවන්නේ නැතුව බලපන් සිරියාවතී… දැන් මං පිරිසිදුයි නේද?”
සිරියාවතී පොල් මුඩ්ඩ පැත්තකට දාලා, හිනාව හංගගෙන සෝමපාලගේ අතින් අල්ලගත්තා.
“හ්ම්… දැන් නම් මනුස්සයෙක් වගේ. හැබැයි තමුසෙගෙ මේ පිරිසිදුකම තියෙන්නේ හෙට උදේ පාන්දර ටවුමට යන බස් එකට පය තියනකම් විතරයි කියලා මං දන්නවා. ආයෙ ඉතින් හෙට හැන්දෑවටත් මම තමුසෙව හෝදලා කරලා ගෙට ගන්න එපාය. මං තමයි නැහෙන්නෝන තමුසෙ කරගන්න පව් හෝදලා දාන්න”
ගමේ අනිත් පිරිමි ටිකත් නාලා පිරිසිදු වෙලා, හරිම සැහැල්ලුවෙන් තමන්ගේ ගෑනු පස්සෙන් පේළියට ගෙවල්වලට ඇවිදගෙන යන්න පටන් ගත්තා. පාර පුරාම දැන් විහිදෙන්නේ පිරිමින්ගේ ඇඟවල්වලින් එන සබන් සුවඳයි විතරයි.
මේ පිරිමි වැරදි කරන්න බය නැත්තේ ඇයි කියලා හිතලා බැලුවොත් ඒක මාර කතාවක්.
උන් දන්නවා උදේට ටවුමට ගිහින් මොන දේ කළත් අනුන්ගේ පොල් ටික හොරෙන් කැඩුවත්, මුදලාලිට පොල්ලක් තිබ්බත්, මාලු කඩේ ගෑනිට ඇහැක් ගැහුවත් හැන්දෑවට නාන තොටේදී ඒ හැම පවක්ම හෝදලා පිරිසිදු කරන්න තමන්ගේ ගෑනු පොල් මුඩ්ඩත් අරන් මග බලන් ඉන්නවා කියලා. වැරැද්දේ බර උන්ට දැනෙන්නේ නැහැ, මොකද ඒ බර දරාගන්න ගෑනු ලෑස්ති පිට ඉන්න නිසා.
“අඩෝ ගුණපාල… හෙටත් අපි අර වැඩේට යමුද?” සෝමපාලයා හෙමින් ඇහුවෙ ඒ විත්තිය හොඳාකාරවම දන්න හන්දා.
“යමු යමු… හෙට මීට වඩා ලොකු සීන් එකක් තියෙන්නේ. පව් වුණත් මොකද බං, අපේ ගෑනුන්ට මේක දැන් ආතල් එකක් වෙලානේ. ගෙදෙට්ටම වෙලා ඉන්න උන්ටත් විනෝදයක් තියෙන්න එපාය. අපි ඇරෙන්න වෙන කවුද ඒක සපයන්නෙ” කියලා ගුණපාලයා හිනා වෙවී උත්තර දුන්නා.
නාන තොටුපොළේ කළුගල් පඩි දිගේ අර පව් හේදුව කළු වතුර පාර පාලු ඇළ දිගේ ගලාගෙන ගියා. හෙට හැන්දෑවටත් ඒ ඇළ කළු කරන්න අලුත් පව් මූට්ටියක් පුරවාගෙන පිරිමි ටවුමෙන් එනකම් ගෑනු පේළියට ළිඳ ගාව මග බලාගෙන ඉන්න බව ඇල පාරත් දැනගෙන උන්නා.
මේක කවදාවත් නතර වෙන්නෙ නෑ කියන එකත් මේ ගමේ හැමෝම වගේම ඇල පාර දැනගෙන උන්නා.
මොකද,
පිරිමින්ගෙ පව් හෝදලා උන්ව ආපහු වතාවක් ගෙට ගන්න බලාගෙන ගෑනු ඉන්නකම් පිරිමි පව් කරන එක නතර කරන්නෙ නැති හන්දා.











