එකෝමත් එක කාලෙක, අපේ මේ ලෝකේ සිතියම්වල කොහේවත් සටහන් වෙලා නැති හරිම ලස්සන මායාකාරී දේශයක් තිබුණා.
මේ දේශයේ කෙළවරකට වෙන්න, අහසෙ ගෑවෙන තරම් උසට හැදුණු මහා දෙළුම් ගහක් තිබුණා. හැබැයි මේක අපි දකින ජාතියේ දෙළුම් ගහක් නෙවෙයි. මේ ගහේ අතු රිදී පාටින් දිලිසෙනවා, කොළ තද නිල් පාටයි. ඒ වගේම රෑට මේ ගහේ කොළවලින් හරිම ලස්සන නිල් පාට එළියක් විහිදෙනවා.
දැන් ඔයාලට හිතේවි මේකේ මොකක්ද තියෙන විශේෂත්වය කියලා. මේ ගහේ තමයි ලෝකේ තියෙන වටිනාම දේ හැදෙන්නේ. ඒ තමයි මතකයන්. අපේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ තියෙන වටිනාම දේවල් අමතක වෙද්දී ඒ කියන්නේ තමන් මුලින්ම ආදරේ කරපු හැටි, අම්මා කෙනෙක් දරුවෙක්ව වඩාගෙන නලවපු හැටි, නැත්නම් හිත පිරෙන්න සතුටු වුණු දවසක් මේ වගේ දේවල් අමතක වුණාම ඒ මතකය නිකම්ම මැකීලා යන්නේ නැහැ. ඒ අමතක වුණු මතකය රතු පාට, මැණික් කැටයක් වගේ දිලිසෙන පුංචි දෙළුම් බීජයක් බවට පත් වෙනවා. ඊටපස්සේ මේ බීජ හුළඟේ පාවෙලා ඇවිත් අර මහා දෙළුම් ගහේ අතුවල ඇලවෙනවා.
ඉතින් මේ ගහේ මුදුනෙම තිබුණා ලොකුම ලොකු රතු දෙළුම් ගෙඩියක්. ඒක තමයි සියා කුමාරියගේ ගෙදර. සියා කියන්නේ හරිම ලස්සන, හරිම කරුණාවන්ත කෙල්ලෙක්. එයාට තිබුණේ අඳුරු කළු පාටට දිලිසෙන හරිම දිග කොණ්ඩයක්. එයා හැමතිස්සෙම ඇඳලා හිටියේ රත්තරන් පාට වාටි දාපු සුදුම සුදු සේද ඇඳුමක්. සිය මේ දෙළුම් ගෙඩිය ඇතුළේ ඉඳගෙන ලෝකෙටම රහසක් වුණු ලොකු රාජකාරියක් කළා.
සියා කරන්නේ අර හුළඟේ පාවෙලා ඇවිත් අතු අස්සේ හැංගිලා තියෙන මතක බීජ එකින් එක අතට ගන්න එක. එයා ඒ බීජයක් තමන්ගේ ඇඟිලි තුඩු වලින් අල්ලපු ගමන්, ඒ මතකය සියාට පේන්න ගන්නවා. හරියට පුංචි ෆිල්ම් එකක් වගේ. එක බීජයක පේනවා දරුවෙක් තමන්ගේ තාත්තා එක්ක වෙරළේ වැලි මාලිගා හදන හැටි. තව බීජයකින් පේනවා වයසක කෙනෙක් තමන්ගේ පරණ යාළුවෙක්ව හම්බවෙලා සතුටු වුණු හැටි.
සියා ගාව තිබුණා රත්තරන් පාටින් දිලිසෙන හීනි නූලක්. එයා කරන්නේ මේ මතක බීජ එකින් එක අරගෙන, තමන්ගෙ උකුල උඩ තියෙන සුදුම සුදු සේද රෙද්දක ලස්සනට එම්බ්‍රොයිඩර් කරන එක. එයා හරිම පරෙස්සමෙන්, හරිම ආදරෙන් ඒ මතකය මලක් වගේ ඒ රෙද්දේ මහනවා. සියාඅ ඒ මැහුම ඉවර කරලා නූල කපපු ගමන්, අර මතකය අමතක වෙච්ච මනුස්සයාට එකපාරටම “ආ… මට මතක් වුණා!” කියලා ඒ සතුට හිත ඇතුළෙන් ආයෙමත් දැනෙන්න ගන්නවා.
සියාගේ මේ ලෝකය හරිම නිහඬයි. එයාට ඇහෙන්නේ එයා අදින නූලේ සිරි සිරි සද්දය විතරයි. එයා හිතුවේ තමන්ට කරන්න වෙලා තියෙන්නේ ලෝකේ තියෙන ලස්සනම වැඩේ කියලා. මොකද එයා මහන හැම මැහුමකින්ම ලෝකේ කොහේ හරි ඉන්න කෙනෙක්ගේ නැතිවුණු සතුට ආයෙමත් ලැබෙනවනේ.
ඔහොම ඉන්නකොට දවසක් හවස් වෙලාවක, මේ මහා දෙළුම් ගහ පාමුලට අමුතු තරුණයෙක් ආවා. එයා පින්තාරුකරුවෙක්. එයා ඒ ගහ පාමුල වාඩි වෙලා බලාගෙන හිටියෙ හරිම අසරණ විදිහට. එයා තමන්ගේ පින්තාරු පොත අතේ තියාගෙන හිටියත්, එකම එක ඉරක්වත් ඒ වෙද්දි පොතේ ඇඳලා තිබුණේ නැහැ. එයා උන්නෙ මොකක් හරි ලොකු දෙයක් අමතක වෙලා වගේ. ඒ මොකක්ද කියලා සියාටත් ලොකු කුතුහලයක් ඇති වෙච්ච දෙයක්. එයා තමන්ගේ මැහුම් වැඩේ පොඩ්ඩකට නතර කරලා, ඒ තරුණයා දිහා දෙළුම් ගෙඩියේ තිබුණු පුංචි හිලකින් හොරෙන් බලාගෙන හිටියා.
අන්න ඒ වෙලාවේ තමයි සියාගේ උකුලට අලුත්ම බීජයක් වැටුණේ. ඒ බීජය අල්ලපු ගමන් සියාට දැනුණේ හරිම පුදුම උණුසුමක්. ඒකේ තිබුණේ වෙන කිසිම බීජයක නැති අමුතුම දීප්තියක්. සියා ඒක අතට ගත්තා. හැබැයි සියා ඒ වෙලාවේ දැනගෙන හිටියේ නැහැ මේ බීජය තමන්ගෙ මුළු ජීවිතයම උඩුයටිකුරු කරන්න යනවා කියලා…
අර අමුතු දීප්තියක් තියෙන දෙළුම් බීජය අතට ගත්ත ගමන් සියාගේ හිතට පුදුම විදිහේ චකිතයක් දැනුණා. එයා හෙමින් ඇස් දෙක පියාගෙන ඒ බීජය තද කරලා අල්ලගත්තා. ඒ එක්කම එයාගෙ ඇස් ඉස්සරහා මැවුණේ හරිම ලස්සන දර්ශනයක්.
ඒ දර්ශනයේ හිටියේ අර ගහ පාමුල වාඩි වෙලා ඉන්න තරුණයාමයි. හැබැයි එයා දැන් ඉන්නවා වගේ අසරණව නෙවෙයි ඒ වෙලාවේ හිටියේ. එයා හරිම සතුටින්, ලොකු උද්යෝගයකින් චිත්‍රයක් අඳිමින් හිටියා. සියා ඒ චිත්‍රය දිහා හොඳට බැලුවා. ඒ වෙලාවෙ තමයි සියාට තමන්ගෙ ඇස් අදහගන්න බැරි වුණේ. ඒ චිත්‍රයේ ඇඳලා තිබුණේ වෙන කාවවත්ම නෙවෙයි තමන්වමයි. රත්තරන් පාට වාටි දාපු සුදු ඇඳුම ඇඳගෙන, දිග කළු කොණ්ඩය දෙපැත්තට දාලා, දෙළුම් ගෙඩියක් ඇතුළේ ඉඳන් මතකයන් අමුණන තමන්ගෙම රූපය තමයි ඒ තරුණයා ඇඳලා තිබුණේ.
“මෙයා කොහොමද මාව දැක්කේ?” සියා පුදුමයෙන් තමන්ගෙන්ම අහගත්තා.
ඇත්තටම ඒ තරුණයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එයා හීන පින්තාරු කරන කෙනෙක්. එයා දවසක් හීනෙන් මේ මහා දෙළුම් ගසත්, ඒක ඇතුළේ ඉන්න සියා කුමාරියවත් දැකලා තිබුණා. ඉතින් එයා ඒ හීනය සැබෑ ලෝකයේදී චිත්‍රයකට නැගුවා. හැබැයි ඒ චිත්‍රය ඇඳලා ඉවර වුණු ගමන්, එයාට ඒ හීනයයි, ඒ රූපයයි දෙකම අමතක වෙලා ගියා. අන්න ඒ මතකය තමයි දැන් සියාගේ අතේ බීජයක් වෙලා තියෙන්නේ.
සියා හෙමින් දෙළුම් ගෙඩියේ සිදුරෙන් පහළ බැලුවා. අර තරුණයා තමන්ගේ පින්තාරු පොත දිහා බලාගෙන හරිම කනගාටුවෙන් සුසුම් හෙලනවා. එයාට මතක නැහැ තමන් මොකක්ද අඳින්න හැදුවේ කියලා. එයාගේ හිත පිරිලා තිබුණේ ලොකු හිස්තැනකින්.
“මම මේක ඉක්මනට මහන්න ඕනේ… එතකොට එයාට හැමදේම මතක් වෙයි.” සියා හිතුවා. සියා ඉක්මනින් තමන්ගේ රත්තරන් නූල ඉඳිකට්ටට දාලා, අර දීප්තිමත් බීජය සුදු රෙද්දට තියලා මහන්න පටන් ගත්තා. එයා එක එක මැහුම දානකොට, ගහ පාමුල ඉන්න තරුණයාගේ මූණේ පුංචි හිනාවක් ඇඳෙන්න ගත්තා. එයාට මොකක්දෝ අමුතු සතුටක් හිතට එනවා වගේ දැනුණා.
සියා හරිම ආසාවෙන්, හරිම ආදරෙන් ඒ මතකය මහනවා. එයා ඒ චිත්‍රයේ තියෙන පාට, ඒ ආදරණීය බැල්ම හැමදේම නූලෙන් අමුණනවා. එයා මහන ගමන් හොරෙන් හොරෙන් තරුණයා දිහා බලනවා. එයත් ඉඳහිටලා ඉහළ බලනවා, හරියට කවුරුහරි තමන් දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවා වගේ.
හැබැයි මේ සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ. සියා ඒ මැහුම භාගයක් මහලා ඉවර කරද්දී, තවත් බීජයක් හුළඟේ පාවෙලා ඇවිත් එයාගෙ උකුල උඩට වැටුණා. ඒ බීජය අල්ලපු ගමන් සියාගේ ඇඟ සීතල වෙලා ගියා.
ඒක අනිත් බීජ වගේ රතු පාට නෙවෙයි තද කළු පාට බීජයක්!
සියා කවදාවත් කළු පාට බීජයක් දැකලා තිබුණේ නැහැ. එයා බයෙන් බයෙන් ඒක අල්ලලා බැලුවා. ඒ එක්කම සියාට පෙනුණේ හරිම දරුණු දර්ශනයක්. ඒ තරුණයාට තව දවස් කිහිපයකින් තමන්ගේ පෙනීම සදහටම අහිමි වෙන්න යනවා. එයා අන්තිමට දකින දේ මොකක්ද? එයාට ඒ අන්ධකාරය ගැන දැනෙන බය, ඒ වේදනාව, ඒ හැමදේම මේ කළු බීජය ඇතුළේ තැන්පත් වෙලා තිබුණා.
සියාගේ අතේ තිබුණු රත්තරන් නූල එකපාරටම ගැහෙන්න ගත්තා. සියා අසරණ වුණා. මේ කළු බීජය මැහුවොත්, එයාට එයාගෙ අනාගතයේ එන අන්ධකාරය ගැන මතක් වෙයි. තරුණයා බයෙන් මැරිලා යයි. හැබැයි මේක නොමැහුවොත්, එයාට මේ ලස්සන ආදරණීය මතකයවත් ආයෙත් කවදාවත් මතක් වෙන්නේ නැහැ. එයා ” තමන් කවුද” කියන එකවත් දන්නේ නැතිව අතරමං වුණු මනුස්සයෙක් විදිහට මේ ගහ පාමුලම මැරිලා යයි.
සියාගේ ඇස් දෙකෙන් කඳුළක් වැටුණෙ එහෙම හිතද්දි. එක පැත්තක තමන්ට ආදරේ කරපු පින්තාරුකරුවාගේ ලස්සනම හීනය, අනිත් පැත්තේ ඔහුටම උරුම වෙන්න යන දරුණු අන්ධකාරය.
අර කළු බීජය සියාගේ අතේ තියෙද්දී ඒකෙන් නිකුත් වෙච්ච සීතල එයාගෙ මුළු ඇඟ පුරාම දුවන්න ගත්තා. සියාට හිතාගන්න බැහැ මොකක් කරන්නද කියලා. එයා ආයෙමත් හෙමින් අර දෙළුම් ගෙඩියේ හිලෙන් පහළ බැලුවා. අර තරුණයා තවමත් ඉන්නේ ගහ පාමුල. එයා හරිම ආසාවෙන් පින්සල අතට අරගෙන මොකක් හරි අඳින්න හදනවා, ඒත් මොකක්ද අඳින්නේ කියලා මතක නැති නිසා ආයෙමත් පින්සල බිමින් තියනවා.
“අනේ දෙයියනේ, මම කොහොමද මේ කළු මතකය එයාට දෙන්නේ?” සියා තමන්ගෙන්ම අහගත්තෙ අන්න ඒ වෙලාවෙ.
තමන් මේ කළු බීජය මැහුවොත්, ඒ කියන්නේ ඒ මතකය අමුණලා ඉවර කළොත්, ඒ තරුණයාට තමන්ගේ පෙනීම නැති වෙන්න යන බව සියා දන්නවා. එතකොට එයාට දැනෙන ඒ බය, ඒ වේදනාව දරාගන්න බැරි වෙයි. හැබැයි ඒක නොමැහුවොත්, එයාට තමන් කවුද, තමන් මොකටද මෙතනට ආවේ, තමන් කාටද ආදරේ කළේ කියන කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. එයා හරියට පණ තියෙන මළමිනියක් වගේ මේ ලෝකේ අතරමං වේවි. සියා උන්නෙ මෙන්න මේ විදියට තමන්ගෙ සිතුවිලි අස්සෙ අතරමං වෙලා. මේ තමයි පළවෙනි වතාව සියාට තමන්ගෙ රාජකාරිය හරිම අමාරු වැඩක් කියලා හිතුණ.
සියා ඒ කළු බීජය දිහා ගොඩක් වෙලාව බලාගෙන හිටියා. එයාට පෙනුණා ඒ කළු පාට අස්සේ අර තරුණයා අඬන හැටි, එයා තමන්ගේ පින්තාරු බුරුසු පොළොවේ ගහලා කඩන හැටි. ඒ අන්ධකාරයට එයා කොච්චර බයද කියලා සියාට ඒ බීජය අල්ලද්දී දැනුණා.
“මට බෑ… මට බෑ එයාට මෙච්චර දුකක් දෙන්න,” සියා ඉකිගහලා අඬන්න ගත්තෙ ඒ හන්දා.
හැබැයි ඒ වෙලාවේම, අර කලින් මහපු රතු බීජයේ මතකය සියාගේ හිතට ආවා. ඒ තරුණයා සෑහෙන කාලයක් තිස්සේ සියා ගැන හීන මවමින් හිටපු හැටි, තමන්ගෙ රූපය අඳින්න කොච්චර වෙහෙස වුණාද කියන එක ඒ මතකයේ තිබුණා. එයාට මේ ලස්සන ආදරණීය මතකය ආයෙමත් ලැබෙන්න නම්, අර කළු බීජයත් එක්ක තියෙන සම්බන්ධය අමුණන්නම වෙනවා. මොකද මතකයන් කියන්නේ හරියට වැලක් වගේ. එකක් නැති වුණොත් අනිත් ඔක්කොම විසිරිලා යනවා.
සියා ලොකු හුස්මක් ගත්තා. අන්තිමේදි එයා තීරණය කළා.
“මට ඒ අන්ධකාරය නතර කරන්න බැරි වෙයි, ඒත් මට පුළුවන් ඒ අන්ධකාරය අස්සේ එයාට එළියක් වෙන්න.”
සියා තමන්ගේ ළඟ තිබුණු අන්තිම රත්තරන් නූල් කැබැල්ල අතට ගත්තෙ අන්න එහෙම හිතාගෙන. ඊටපස්සේ එයා කළේ කවුරුවත් හිතපු නැති දෙයක්. කවදාවත් එයා නොකරපු ජාතියේ දෙයක්. එය අර කළු බීජය අරගෙන, ඒක වටේට තමන්ගේ රත්තරන් නූලෙන් හරිම සියුම් විදිහට මල් මහන්න ගත්තා. එයා ඒ වේදනාව නිකම්ම අමුණන්නේ නැතුව, ඒක ආදරයත් එක්ක කලවම් කළා.
තමන් මහන හැම මැහුමකටම තමන්ගේ හදවතේ තියෙන කරුණාව එකතු කළා. සියා වටේට මල් මහනකොට මහනකොට ඒ කළු බීජයේ තිබුණු සීතල ගතිය හෙමින් හෙමින් අඩුවෙලා ගියා. ඒක අමුතුම විදිහේ දීප්තිමත් කළු පාටක් වුණා. හරියට තරු පායපු රෑ අහසක් වගේ.
සියාගේ ඇඟිලිවලින් ලේ එනකම්ම එයා ඒ අමාරු මැහුම මහගෙන මහගෙන ගියා. එයාට ඕන වුණේ ඒ තරුණයාට ඒ දුක මතක් වෙද්දී, ඒ දුක දරාගන්න පුළුවන් ශක්තියත් එක්කම ඒක මතක් කරලා දෙන්නයි.
අන්තිම මැහුම දාන්නත් කලින්, ගහ පාමුල හිටපු තරුණයා එකපාරටම ඔළුව අල්ලගත්තා. එයාගෙ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. එයාට මොකක්දෝ ලොකු බයක් දැනෙන්න ගත්තා. සියා වෙව්ලන දෑතින් අන්තිම මැහුම දාලා නූල කැපුවා.
සියා අන්තිම මැහුම දාලා රත්තරන් නූල කපපු ගමන්, මුළු දෙළුම් ගහම එකපාරටම හෙල්ලෙන්න ගත්තා. හරියට ලොකු හුළඟක් ආවා වගේ. සියා බයෙන් බයෙන් අර සිදුරෙන් පහළ බැලුවා.
ගහ පාමුල හිටපු තරුණයා මුලින්ම කළේ තමන්ගේ මූණ දෑතින්ම වහගන්න එක. එයාට අර කළු බීජයේ තිබුණු දරුණු මතකය ඒ කියන්නේ තමන්ට පෙනීම නැති වෙන්න යනවා කියන එක එකපාරටම තදින්ම දැනුණා. එයා ඒ වේදනාවට කෑගැහුවා. එයාගේ අතේ තිබුණු පින්තාරු පොත බිමට වැටුණා.
සියාගේ හදවත නතර වුණා වගේ දැනුණා. “අනේ මම කරපු දේ වැරදිද? මම ඒ දුක එයාට මතක් කරලා දුන්නේ අපරාදෙද?” කියලා සියා හිතුවා.
හැබැයි හරියටම තත්පර කිහිපයකට පස්සේ, තරුණයා හෙමින් හෙමින් තමන්ගේ අත් මූණෙන් අයින් කළා. එයාගේ ඇස්වලින් තවමත් කඳුළු වැටෙනවා, හැබැයි එයාගේ මූණේ දැන් තියෙන්නේ බයක් නෙවෙයි. එයාගේ මූණේ තියෙන්නේ පුදුම සහනයක්. මොකද, අර කළු බීජයේ මතකය එක්කම, සියා මහපු අර බලාපොරොත්තුවේ මල් ටිකත් එයාගේ හිතට දැනෙන්න ගත්ත නිසා.
එයාට දැන් මතක් වෙන්න ගත්තා තමන් කවුද කියලා. “මම කවීන්ද්‍ර… මම පින්තාරුකරුවෙක්. මම මේ ගහ පාමුලට ආවේ මම හීනෙන් දැකපු ඒ ලස්සන කුමාරිව අඳින්න,” එයා තනිවම තමන්ටම මුමුණන්න ගත්තා.
කවීන්ද්‍ර හෙමින් බිමට වැටිලා තිබුණු පින්සල අතට ගත්තා. එයා දන්නවා තව දවස් කිහිපයකින් එයාගේ ඇස් දෙකේ පෙනීම සදහටම නැති වෙලා යනවා කියලා. හැබැයි එයා දැන් ඒකට බය නැහැ. මොකද සියාගේ රත්තරන් නූලෙන් මැහුණු ඒ මතකය එයාට කියලා දුන්නා, පෙනීම නැති වුණත් හදවතේ තියෙන ආදරය කවදාවත් අන්ධ වෙන්නේ නැහැ කියලා.
කවීන්ද්‍ර හෙමින් හෙමින් අර පින්තාරු පොත අරගෙන අඳින්න පටන් ගත්තා. ඒත් එයා දැන් අඳින්නේ සාමාන්‍ය විදිහට නෙවෙයි. එයා ඇස් දෙක පියාගෙන, හිත ඇතුළේ පේන රූපය අඳින්න ගත්තා. සියා දෙළුම් ගෙඩිය ඇතුළේ ඉඳන් මේ හැමදේම බලාගෙන හිටියේ හරිම සතුටින්.
එයා දැක්කා කවීන්ද්‍ර අඳින රූපය. ඒක එයා කලින් අඳින්න හදපු රූපයට වඩා දහස් වාරයක් ලස්සනයි. මොකද ඒකේ දැන් තියෙන්නේ සියාගේ රූපය විතරක් නෙවෙයි, එයාලා දෙන්නා අතර තියෙන ඒ බැඳීමත් ඒ චිත්‍රයේ පේන්න තිබුණා.
හැබැයි සියා එක දෙයක් දැනගෙන හිටියේ නැහැ. එයා අර කළු බීජය වටේට තමන්ගේ රත්තරන් නූලෙන් මැහුම් දාද්දී, එයා ළඟ තිබුණු දිව්‍යමය බලයෙන් කොටසක් ඒ මැහුම් අස්සට ගිහින් තිබුණා. ඒ කියන්නේ සියා දැන් සාමාන්‍ය කුමාරියක් නෙවෙයි, එයා දැන් කවීන්දගේ මතකයේ සදාකාලිකව ජීවත් වෙන කෙනෙක් වෙලා.
එකපාරටම කවීන්ද්‍ර අඳින එක නතර කරලා, හිස ඔසවලා කෙළින්ම අර මහා දෙළුම් ගෙඩිය දිහා බැලුවා. හරියට සියා ඉන්න තැන එයාට පේනවා වගේ.
“සියා…” එයා හරිම හීන් හඬින් කතා කළා.
සියා ගැස්සිලා ගියා. කවදාවත් මනුස්සයෙක් තමන්ගෙ නම කියලා එයාට කතා කරලා තිබුණේ නැහැ. තමන් කොහොමද එයාට උත්තර දෙන්නේ? තමන් ඉන්නේ අහසට ළඟ උසම උස දෙළුම් ගහක හැදුණ දෙළුම් ගෙඩියක් ඇතුළේ, එයා ඉන්නේ පහළ පොළොවේ.
කවීන්ද්‍ර තමන්ගේ නම කියනවා ඇහුණම සියාට කරකැවිල්ලක් වගේ දැනුණා. මෙච්චර කාලයක් මිනිස්සුන්ගේ මතකයන් අමුණ අමුණ හිටපු තමන්ට, කවුරුහරි තමන්ව මතක් කරලා කතා කරන එක හරිම අලුත් අත්දැකීමක් වුණා.
“ඔයාට මාව ඇහෙනවද?” කවීන්ද්‍ර ආයෙමත් ඇහුවා. එයාගේ ඇස්වලින් පෙනීම හෙමින් හෙමින් අයින් වෙලා යද්දී, හිතේ තියෙන පෙනීම තවත් වැඩි වෙලා වගේ තිබුණා.
සියා තීරණය කළා. තමන්ට තවදුරටත් මේ දෙළුම් ගෙඩිය ඇතුළේ හැංගිලා ඉන්න බැහැ. ඒ නිසාම සියා තමන් අතේ ඉතිරි වෙලා තිබුණු අන්තිම රත්තරන් නූල් කෑල්ල අරගෙන, ඒකෙන් තමන් ඉන්න දෙළුම් ගෙඩියේ බිත්තියේ ලස්සන දොරක් මහන්න ගත්තා. එයා ඒ දොර මහලා ඉවර කරපු ගමන්, මහා පුදුමයක් වුණා.
අර දෙළුම් ගෙඩිය ලස්සන සුවඳක් විහිදුවමින් පියලි පහක මලක් වගේ පිපුණා.
සියා හෙමින් හෙමින් ඒ මල මැදින් පහළට බැස්සා. එයා පොළොවේ කකුල තිබ්බ ගමන්, ඒ ගහ පාමුල තිබුණු හැම රතු දෙළුම් බීජයක්ම එකපාරටම රතු මල් බවට පත් වුණා..
කවීන්ද්‍ර ඒ වෙලාවේ හිටියේ ඇස් දෙක පියාගෙන. එයාට දැන් ලෝකය පේන්නේ නැහැ. හැබැයි එයාගේ ළඟට කවුරුහරි එනවා කියලා එයාට දැනුණා. එයාට දැනුණේ නිකම්ම කෙනෙක් නෙවෙයි, හරියට මතකයක සුවඳ එනවා වගේ.
සියා හෙමින් කවීන්ද්‍රගේ අතින් අල්ලගත්තා.
“මම ආවා…”
කවීන්ද හිනා වුණා. එයාට ඇස් පෙනුණේ නැති වුණත්, සියාගේ අතේ තියෙන ඒ උණුසුමෙන් එයා දැනගත්තා මේ තමයි තමන් හීනෙන් දැකපු, තමන් ආදරේ කරපු ඒ මතක අමුණන කුමාරිය කියලා.
“මට දැන් පේනවා සියා… මගේ ඇස්වලින් නෙවෙයි, ඔයා මට දීපු අර මතකයන්ගෙන් මට හැමදේම පේනවා,”
සියා තේරුම් ගත්තා තමන් අර කළු බීජය වටේට රත්තරන් නූලෙන් මහපු එකේ ප්‍රතිඵලය මේකයි කියලා. ඒ මැහුම නිසා කවීන්ද්‍රගේ අන්ධකාරය ඇතුළේ ආලෝකමත් මතක ලෝකයක් නිර්මාණය වෙලා තිබුණා. එයාට දැන් මතකයන් හරහා ඕනෑම දෙයක් පේනවා.
එදායින් පස්සේ, සියා කුමාරිය ආයෙමත් දෙළුම් ගෙඩිය ඇතුළට ගියේ නැහැ. එයා කවීන්ද්‍ර එක්ක ඒ මහා දෙළුම් ගස පාමුල පදිංචි වුණා. කවීන්ද්‍ර තමන්ගේ මතකයෙන් ලස්සන ලස්සන දේවල් මවාගෙන ඒවා පින්තාරු කළා. සියා තවදුරටත් මිනිස්සුන්ගේ මතකයන් රෙදිවල මැහුවේ නැහැ. ඒ වෙනුවට එයා කළේ, මිනිස්සුන්ට තමන්ගේ මතකයන් අමතක නොවී තියාගන්න පුළුවන් ආදරයේ නූල් ලෝකය පුරාම විසුරුවන එක.
අදටත් මිනිස්සු කියනවා, අපි අපේ ආදරණීය මතකයක් ගැන හිතද්දී හිතට පුංචි උණුසුමක් දැනෙනවා නම්, ඒ සියා කුමාරියගේ රත්තරන් නූලක් අපේ හදවතේ පැටලිලා තියෙන නිසයි කියලා.
කවීන්ද්‍රගේ හිත් අහස දැන් කළු පාට නැහැ.
ඒක සියාගේ රත්තරන් නූල්වලින් පිරුණු, තරු පෑයූ ලස්සනම රෑ අහසක් වගේ.
ඉතින් ඒ දෙන්නා, මතකයන් පිරුණු ඒ ලස්සන ලෝකේ හරිම සතුටින් ජීවත් වුණාලු!











