සංසන්දනය නතර කරලා සංස්කරණය පටන් ගන්න

අද කාලේ අපි හැමෝම උදේ ඇහැරුණු ගමන් මුලින්ම කරන්නේ ෆෝන් එක අතට අරන් සෝෂල් මීඩියා ඇතුළට යන එක. 

එතනදී අපි දකින්නේ මොනවාද? 

කවුරුහරි අලුත් වාහනයක් අරන්, තවත් කෙනෙක් පිටරටක ට්‍රිප් එකක් ගිහින්, තවත් යාළුවෙක් පට්ට කූල් රෙස්ටුරන්ට් එකක කෑමක් කනවා. 

මේවා දැක්කම අපිට හිතෙන්නේ “මුන් ඔක්කොම මාර සතුටින් ඉන්නවා, මම විතරයි මේ එකම තැන පල් වෙන්නේ” කියලා.

 හැබැයි ඔයා අමතක කරන ලොකුම දේ තමයි, ඔයා ඒ දකින්නේ අනිත් අයගේ ජීවිතේ තියෙන Highlight Reel එක, එහෙමත් නැත්නම් ඔවුන්ට ලෝකෙට පෙන්වන්න ඕන හොඳම කොටස විතරයි කියන එක. ඔයා කරන්නේ අනුන්ගේ එඩිට් කරපු සුන්දර වීඩියෝ එකක් එක්ක ඔයාගේ ජීවිතේ තියෙන Behind the Scenes හෙවත් කිසිම එඩිට් එකක් නැති, ප්‍රශ්න පිරුණු, අවුල් සහගත ඇත්ත ජීවිතය සංසන්දනය කරන එකයි. මේක හරියට නිකම් ලස්සනට පැක් කරපු කෑම පාර්සලයක පිටිපස්සේ තියෙන පින්තූරය දැකලා, තමන්ගේ ගෙදර උයපු සාමාන්‍ය බත් එක ගැන දුක් වෙනවා වගේ වැඩක්. සෝෂල් මීඩියා වල ඉන්න හැමෝම තමන්ගේ දුක, තමන්ගේ ණය ප්‍රශ්න, රණ්ඩුවලින් පිරුණු ගෙවල් දොරවල් පෙන්වන්නේ නැහැ. ඒ නිසා තව කෙනෙක් පෙන්වන සුන්දරත්වය ඉස්සරහා ඔයාගේ ජීවිතේ හිස් කියලා හිතන්න එපා. අනුන්ගේ ජීවිතේ ඇතුළට එබිලා බලන එක නතර කරලා, තමන්ගේ ඇතුළාන්තය දිහා බලන්න පටන් ගත්ත දවසටයි ඔයා ඇත්තටම ජීවත් වෙන්න පටන් ගන්නේ. අනුන්ගේ දියුණුව දැකලා හූල්ලන එකෙන් වෙන්නේ ඔයාගේ තියෙන මානසික ශක්තියත් දිය වෙලා යන එක විතරයි.

මොටිවේෂන් කියන්නේ හැමදාම අලුත් දේවල් එකතු කරගන්න එක නෙවෙයි, තමන්ගේ ජීවිතේ තියෙන වැඩක් නැති දේවල් අයින් කරන එකටයි.

 අපි හැමෝම ජීවිතේ පටවගෙන ඉන්න බර වැඩියි. වැඩකට නැති යාළුවෝ, ඔයාගේ හිත රිද්දන මතකයන්, ඔයාට කරන්න බැරි දේවල් ගැන තියෙන පසුතැවීම්, මේ හැමදේම ඔයාගේ ගමන පරක්කු කරන බරක් විතරයි. සාර්ථක මිනිහෙක් වෙන්න නම් ඔයාගේ ජීවිතය Edit කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ, ඔයාගේ කාලය කන, ඔයාට සෘණාත්මකව බලපාන හැමදේම Cut කරලා දාන්න කොන්දක් තියෙන්න ඕනේ. ගොඩක් අය කරන්නේ තමන්ගේ ජීවිතේට හැමදේම ගොඩගහගන්න බලන එක. හැබැයි නියම සුන්දරත්වය තියෙන්නේ සරල බව ඇතුළේ. ඔයාගේ ෆෝන් එකේ තියෙන වැඩකට නැති ඇප් එකක් ඩිලීට් කරනවා වගේම, ඔයාගේ මානසික සුවයට බාධා කරන මිනිස්සුන්වත් ඔයාගේ ජීවිතෙන් ඩිලීට් කරන්න බය වෙන්න එපා. සංස්කරණය කරනවා කියන්නේ ඔයාට ඇත්තටම වැදගත් දේවල් මොනවාද කියලා තෝරාගෙන, ඉතිරි දේවල් අතුගා දාන එකයි. ඔයාගේ ඉලක්කය කරා යන්න බාධා වෙන හැම දර්ශනයක්ම ඔයාගේ ජීවිත කතාවෙන් අයින් කරන්න. එතකොට ඉතුරු වෙන්නේ ඔයාට ඇත්තටම වටිනාකමක් දෙන දේවල් විතරයි. ජීවිතය කියන්නේ ඔයා නිෂ්පාදනය කරන චිත්‍රපටයක් නම්, ඒකේ අධ්‍යක්ෂකවරයා වෙන්න. අනවශ්‍ය කොටස් කපලා දාලා, ලස්සනම කතාවක් නිර්මාණය කරගන්න එක ඔයාගේ අතේ තියෙන වැඩක්.

තව කෙනෙක්ට වඩා ඉස්සර වෙන්න හදන එක මහ විකාරයක්.

 මොකද හැමෝම පටන් ගන්නේ එකම තැනකින් නෙවෙයි. කෙනෙක් ඉපදෙනකොටම පෝසත් වෙන්න පුළුවන්, තවත් කෙනෙක්ට සුපිරි connections  තියෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ බිංදුවේ ඉඳන් යන ගමන අනුන්ගේ 100 වෙනි පියවර එක්ක සසඳන එක සාධාරණද? ඔයා සංසන්දනය කරන්න ඕන එකම පුද්ගලයා තමයි ඊයේ හිටපු ඔයා. ඊයේ හිටපු ඔයාට වඩා අද ඔයා එක පියවරක් හරි ඉස්සරහට ආවා නම්, අන්න ඒක තමයි නියම දියුණුව. ලෝකේ ඉන්න බිලියන ගාණක් මිනිස්සු අතරේ ඔයාටම අනන්‍ය වුණු දක්ෂතාවයක්, ගමනක් තියෙනවා. තව කෙනෙක්ගේ පාරේ යන්න ගියොත් ඔයාට ඔයාගේ පාර අමතක වෙනවා. සෝෂල් මීඩියා වල ඉන්න මිනිස්සු තමන්ගේ සතුට විකුණලා Views ගන්නවා වෙන්න පුළුවන්, හැබැයි ඒ සතුට ඔයාගේ ජීවිතේ සතුට මනින මිම්ම කරගන්න එපා. ඔයාගේ සතුට තීරණය කරන්න ඕනේ ඔයා විතරයි. අනුන්ගේ සාර්ථකත්වය දැකලා පීඩනයට පත්වෙනවා වෙනුවට, ඒකෙන් පොඩි Inspiration එකක් විතරක් අරන් තමන්ගේ වැඩේ කරගෙන යන්න. මතක තියා ගන්න, රේස් එකක් දුවද්දී අනිත් අය දිහා බල බල දුවන මිනිහා කවදාවත් දිනන්නේ නැහැ, එයා කොයි වෙලාවේ හරි පැටලිලා වැටෙනවා. ඒ වෙනුවට තමන්ගේ ඉලක්කය දිහා විතරක් බලාගෙන දුවන මිනිහා තමයි ජයග්‍රහණය කරන්නේ.

ඔයාගේ ජීවිතේ ඔයා දකින හැම අසාර්ථක වීමක්ම, හැම වැටීමක්ම ඔයාගේ සාර්ථකත්වයේ පදනමයි. 

මිනිස්සු දකින්නේ ඔයා දිනපු දවස විතරයි, හැබැයි ඔයා ඒ දිනපු දවස වෙනුවෙන් රෑ නිදි මරපු හැටි, කන්න නැතුව හිටපු හැටි, අඬපු හැටි දන්නේ ඔයා විතරයි. අන්න ඒ Behind the Scenes වලට ආදරය කරන්න ඉගෙන ගන්න. අනුන්ගේ ලස්සන ලෝන්ච් එකකට වඩා ඔයාගේ මේ අමාරු ගමන වටිනවා. ගොඩක් අය හිතන්නේ දියුණුව කියන්නේ රේඛාවක් වගේ උඩටම යන එකක් කියලා, හැබැයි දියුණුව කියන්නේ උඩට යනවා, ආයෙත් වැටෙනවා, ආයෙත් රවුම් ගහනවා වගේ පට්ට සංකීර්ණ ක්‍රියාවලියක්. වැටුණු හැම වෙලාවකම “මම අසාර්ථකයි” කියලා හිතන්නේ නැතුව, “මම දැන් ඉගෙන ගන්නවා” කියලා හිතන්න. ඔයාගේ ජීවිතේ ඔයා ලබන හැම අත්දැකීමක්ම ඔයාව පරිණත කරනවා. අනුන්ගේ ලස්සන මතුපිට ඔපයට වඩා ඔයාගේ ඇතුළාන්තයේ තියෙන ශක්තිමත් බව වැදගත්. ඔයාගෙ ජීවිතයේ තියෙන අඩුපාඩු, වැරදීම් කියන්නේ ඔයාගේ කතාවේ තියෙන Originality එකයි. ඒවා හංගන්න හදන්න එපා, ඒවායින් පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යන්න. ලෝකය දකින විදිහට නෙවෙයි, ඔයා දකින විදිහට ඔයාගේ ජීවිතේ වටිනාකම තීරණය කරන්න. දවසක ඔයා දිනපු වෙලාවට මේ හැම අමාරුකමක්ම ඔයාගේ කතාවේ තියෙන වීරත්වය වැඩි කරන්න හේතු වේවි.

මොටිවේෂන් කියන්නේ ගින්දරක් වගේ, ඒක ඉක්මනින් පත්තු වෙලා ඉක්මනින් නිවිලා යනවා. 

හැබැයි විනය කියන්නේ ඊට වඩා බලවත් දෙයක්. ඔයාගේ ජීවිතේ Edit කරලා, අනවශ්‍ය දේවල් අයින් කළාට පස්සේ ඒක දිගටම පවත්වාගෙන යන්න විනය අවශ්‍යයි. හැමදාම එකම විදිහට, එකම කැපවීමෙන් වැඩ කරන එක තමයි අමාරුම දේ. සෝෂල් මීඩියා වලට ඇබ්බැහි නොවී, අනුන්ගේ ජීවිත දෙස බැලීම සීමා කරලා, තමන්ගේ වැඩේට අවධානය දීම තමයි නියම විනය. ඔයාට කරන්න පුළුවන් පොඩිම දේ පවා හරියට කරන්න. දවසකට එක වැදගත් වැඩක් හරි ඉවර කරන්න. එතකොට කාලයත් එක්ක ඒ පොඩි පොඩි දේවල් එකතු වෙලා මහා විශාල ජයග්‍රහණයක් බවට පත්වෙනවා. සංසන්දනය නතර කරලා, තමන්ගේ වැඩේ වෙනුවෙන් කැප වෙන කෙනාට ලෝකේ කිසිම කෙනෙක්ට බාධා කරන්න බැහැ. 

2026 වසරේ ඉන්න ඔයාට තියෙන ලොකුම අභියෝගය තමයි ඔයාගේ අවධානය හොරකම් කරන්න බලන් ඉන්න ලෝකයෙන් බේරිලා, තමන්ගේ දියුණුව වෙනුවෙන් කාලය වෙන් කරන එක. ජීවිතය සංස්කරණය කරලා ලස්සන කරගන්න එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඒක ජීවිත කාලය පුරාම කරන්න ඕන දෙයක්. අදම තීරණය කරන්න, අනුන්ගේ චිත්‍රපටවල ප්‍රේක්ෂකයෙක් වෙනවාද, නැත්නම් තමන්ගේ ජීවිතේ ප්‍රධාන නළුවා සහ අධ්‍යක්ෂකවරයා වෙනවාද කියලා.

Related Articles

Don't Miss


Latest Articles