මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 17

0
102

ඒ වෙද්දි මතින්ද්‍ර මන්දස්මිතාව කසාද බැඳලා අවුරුදු දෙකකට කිට්ටු වෙලා තිබුණා. කොහොමත් මතින්ද්‍ර කියන්නෙ එදිනෙදා ජීවිතේ විස්තර වලින් එයාගෙ සෝශල් මීඩියා ප්‍රොෆයිල්ස් අප්ඩේට් කරන මනුස්සයෙක් නූන හන්දා එයාගෙත් මන්දස්මිතාගෙත් ජීවිතේ අස්සෙ මොනවද වෙන්නෙ කියල මට දැනගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. අනික මතින්ද්‍ර මාව අන්ෆලෝ වගේම බ්ලොක් කරල තිබ්බෙ. ඒ හන්ද කොහොමත් ඉඳලා හිටලා රුවිනිගෙ ප්‍රොෆයිල් එකෙන් මතින්ද්‍රගෙ අකවුන්ට් එක බැලුව මිසක්කා මට එයාගෙ ප්‍රොෆයිල් එක බලන්න විදියක් තිබ්බෙ නෑ. 

ඒත් මම මන්දස්මිතාව දිගටම ෆලෝ කරා.

ඒත් මන්දස්මිතාගෙ ප්‍රොෆයිල් එක අස්සෙත් එයා හරිම ඊස්තටිකලි ප්ලීසින් විදියට දාන ෆොටෝ අස්සෙත් මතින්ද්‍රගෙ ජායාවන් විතරක් දකින්න මට ලැබුණට ඒ අවුරුදු දෙක ගෙවෙද්දි හිත ඒවයින් රිදෙන ප්‍රමාණෙ සෑහෙන දුරකට අඩු වෙලා තිබ්බා. සමහර වෙලාවට ඒක මතින්ද්‍රගේ අතක්, එහෙමත් නැත්නම් එයාගේ බාගෙට බීලා ඉවර වෙච්ච කෝපි කෝප්පෙ, නැත්නම් එයාගේ උරහිස උඩ ඔළුව තියාගෙන ඉන්න මන්දස්මිතාගේ සෙවනැල්ලක් වගේ දෙයක් වුනා. මම ඒ පින්තූර අස්සේ මතින්ද්‍රගේ මූණ හෙව්වේත් නැහැ. ඒත් ඒ නොපෙනෙන ඡායාවල් අස්සේ වුණත් මම දන්න මතින්ද්‍රගේ ඒ හුරුපුරුදු ඉරියව් තවමත් තිබුණා කියලා මම දැක්කා.

මුල් කාලේ ඒ වගේ පින්තූරයක් දකිද්දී මගේ පපුව මැදින් මොකක් හරි හිරවෙනවා වගේ මහා බරක් මට දැනුණා. ඒත් මේ අවුරුදු දෙක ගෙවෙද්දී, ඒ පින්තූර දකිද්දී හිත රිදෙන ප්‍රමාණය සෑහෙන දුරකට අඩු වෙලා තිබුණා. දැන් මම ඒ පින්තූර බලන්නේ පරණ තුවාලයක් පෑරිලා රිදෙන වේදනාවකින් නෙවෙයි, හරියට මම කවදාවත් දැකපු නැති ලස්සන චිත්‍රපටියක එක එක දර්ශන දකිනවා වගේ හැඟීමකින්. ඒ ජීවිතේ මට අහිමි වුණ එක ගැන පසුතැවෙනවාට වඩා, මට දැන් දැනුණේ ඒක මගේ නොවන ලෝකයක් කියන හැඟීම විතරයි. මම ඒ ලෝකෙන් එළියට විසි වෙලා ගොඩක් කල් බවත්, දැන් මම ඉන්නේ මගේම කියලා අලුත් වැස්සක් වහින තැනක බවත් මට හෙමින් හෙමින් වැටහෙන්න ගත්තා.

ජීවිතේට ආදරේ මුණගැහෙන එක මහා ලොකු සද්දයක් දාලා, කලබලයකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියලා මට තේරුණේ මේ ගෙවෙන දවස් ටිකේ. 

ඒක හරියට පොද වැස්සක් වගේ. මුලින්ම ඒ වැහි බිංදු පොළොවට වැටෙනවාද නැද්ද කියලා හිතාගන්නවත් බැරි තරම් ඒක හරිම සියුම්, හරිම සැහැල්ලුයි. හුඟාක් වෙලාවට අපිටම නොදැනිමයි ඒ වැස්ස අපේ හිතේ වහින්න පටන් ගන්නේ. හැබැයි ටික වෙලාවක් ගියාම, නොදැනුවත්වම හීතලක් දැනෙන්න ගත්තාම තමයි අපිට තේරෙන්නේ මහා ලොකු බිම් කඩක් වුණත් ඒ පොද වැස්සට තෙමීගෙන යනවා කියලා.

මම දන්නෙම නැතුව මගේ හිතේ තිබුණ ගල් ගැහිච්ච, වේලිච්ච හුදකලා බිම් තෙත බරිත වෙලා තිබුණෙ අන්න ඒ හේසර කියන පොද වැස්ස හන්දා. හේසර නිසා මගේ ජීවිතේ ඒ වගේ හීන් සැරේට ආයෙත් දලු දාලා, අලුත් බලාපොරොත්තු වලින් පිරෙන්න පටන් අරන් තිබ්බා. මම හිතාගෙන හිටියේ ආයෙ කවදාවත් හිනාවක් පිපෙන්නේ නැති තරමට මගේ ජීවිතේට පෑවිල්ල ඇවිල්ලා කියලයි. ඒත් මේ පොද වැස්ස ඒ හැම අස්සක් මුල්ලක්ම තෙත් කරලා, මටත් නොදැනීම මාව වෙනස් කරලා තිබුණා.

“උඹ දැන් සෑහෙන්න වෙනස් වෙලා බං,” රුවිනි කිව්වේ කෝපි එක බොන ගමන් මගේ මූණ දිහා බලාගෙන.

“ඒ කොහොමද?” මම හිනාවෙලා ඇහුවා.

“පහුගිය කාලෙක උඹ හිනා උනේ නිකන් හිනාවෙන්න උවමනාවට හිනාවෙනවා වගේනෙ. බලෙන් හිනාවෙනවා වගේ. හැබැයි දැන්… දැන් උඹට හිනාවෙන්න ඇත්තම හේතුවක් තියෙනවා වගේ හිනාවෙනවා කියලා පේනවා.”

මම ඒක අහලා ටිකක් වෙලා සයිලන්ට් වෙලා තමයි රුවිනි කිව්ව ඒ කතාවට උත්තර දෙන්න මගේ තොල් ඈත් මෑත් කරේ.

 “මටත් සමහර වෙලාවට එහෙම දැනෙනවා” 

“හේසර නේද?” එයාට ඒකෙ අමුතුවෙන් අහන්න දෙයක් තිබුණේ නැහැ.

මම කෝපි කෝප්පෙ දිහා බලාගෙන හීන් හිනාවක් පෑවා. “කියන තරං ඒක ලේසි නෑ බං…”

“ආදරේ කියන්නේ කොහොමත් කවදාවත් ලේසි දෙයක් නෙවෙයි ,” රුවිනි කිව්වේ හරිම බැරෑරුම් විදියට.

මම ගැඹුරු හුස්මක් ඇදලා ගත්තේ හිතේ තියෙන බර අන්තිමට වමාරලා දාන්න තීරණය කළා වගේ. “හේසර මට ආදරේ බව මට දැනෙනවා. ඒ ආදරේ මම භාරගත්තොත් මට ආයෙත් සන්තෝසෙන් ඉන්න පුළුවන් බවත් මම දන්නවා.” මම එහෙම කියද්දී මගේම කටහඬ ටිකක් වෙවුලලා ගියා.

“ඉතින්… මොකක්ද ප්‍රශ්නේ?”

“ප්‍රශ්නේ තමයි…” මම ටිකක් නතර වෙලා වචන හොයන්න උත්සාහ කරේ ඇත්තටම මගෙ හිතට දැනිච්ච හැඟීම වචන කරන්න මං ගාව එවෙලෙ වචන එක්කහු වෙලා තිබුණෙ නැති හන්දා. “මගේ හිතේ එක කොටසක් තාමත් මට කියනවා, මගේ අතීත කතාව තාම ඉවර වෙලා නෑ කියලා. මට හිතෙනවා මගේ කතාවේ අන්තිම පරිච්ඡේදෙ මම තාම ලියලා ඉවර කරලා නෑ කියලා. මම මොකක් හරි මැදක හිරවෙලා ඉන්නවා කියලා මට දැනෙනවා.”

“උඹට හැමදේම මහා ලොකු අවුලක් කරගන්න පුදුම හැකියාවක් තියෙන්නෙ.”

“මම කියන්නේ ඇත්ත බං,” 

“මමත් කියන්නේ ඇත්ත, සමහර වෙලාවට අපිට ඕන විදියටම කතාවල් ඉවර වෙන්නේ නැහැ. අපිමයි තීරණය කරන්න ඕනේ දැන් ඇති, මේක මෙතනින් ඉවරයි කියලා. උඹට තාමත් ඒ පරණ කතාවට තිතක් තියාගන්න බැරි නිසා උඹ අලුත් කතාවක් පටන් ගන්න බයයි. පරණ තුවාල වල වේදනාවට උඹ කොච්චර හුරුවෙලාද කියනවා නම්, හිතට කොච්චර සනීපයක් දැනෙද්දී  උනත් උඹට ඒක බයක් වගේ දැනෙනවා.”

ඇත්තටම එක දෙක කරගෙන හිත අස්සෙම පැටලෙන්න ගෑනු අපි කොච්චර දක්ෂද කියලා මට හිතුණේ රුවිනිගේ කතාව අහගෙන ඉද්දි. අපිට තියෙන්නේ පුදුම හැකියාවක්. ළඟ ඉඳන් පණ ඇරලා ආදරේ කරන පිරිමියෙකුට වඩා, අපිට ආදරේ නැතිව වෙන ගෑනියෙක්ව තෝරගෙන අවුරුදු ගාණකට කලින්  අපව දාලා ගිය පිරිමියෙක්ගේ වටිනාකම අහස උසට තියාගන්න අපි මාර දක්ෂයි.

හේසර මගේ හැම හුස්මක් ගාණෙම මාව පරිස්සම් කරද්දී, මම කළේ ඒ පරිස්සම අස්සේ හැංගිලා මාව පහු කරලා ගිය මතින්ද්‍රගේ මතකයන් අස්සේ මාවම රිද්දගන්න එක. ළඟ තියෙන හැබෑ ආදරේට වඩා, අතහැරලා ගිය වේදනාවට ලොකු වටිනාකමක් දෙන්න මගේ හිත කොයි වෙලෙත් උත්සාහ කළා. ඒක හරියට නිකන් අතේ තියෙන රත්තරන් වලට වඩා, මඩේ වැටුණු වීදුරු කෑල්ලක් දිහා බලාගෙන ඒක මගහැරුණු එක ගැන හූල්ල හූල්ල ඉන්නවා වගේ ගොන් වැඩක් කියලා මටම හිතුණා.

ඒත් ඒ ගොංකම වෙනස් කරගන්න තරං බුද්ධිමත් වෙන්න මගේ ගෑනුකම මට ඉඩ දුන්නෙ නෑ.

මට ඕන උනේ ආයෙ ආයෙ මතින්ද්‍ර හන්දා ඉතුරු වෙච්ච හිත් වේදනාව පාර පාර “ආයෙ පාරක් ඒකම වෙයි, ඒකම වෙයි” කියලා හිත රිද්දගන්න. හිත කොනිත්තගන්න. අනික් එක මං දන්නෙ නෑ මං එහෙම හිතන එක වරදක්ද කියලා, මට ඕන උනේ හේසර වගේ මට ආදරේ කරන මිනිහෙක්ට වඩා මතින්ද්‍රට රිදෙන ජාතියේ මිනිහෙක්. මට ඕන උනේ පවර්ෆුල් මිනිහෙක්ගෙ හොර ගෑනි වෙලා හරි ඒ දිලිසීම මතින්ද්‍රගෙ ඇස් ඉස්සරහා රඟ දක්වලා මතින්ද්‍රට රිද්දන්න පුළුවන්ද බලන්න.

“උඹ මාව දාලා ගියාට මගෙ පස්සෙන් බල්ලො වගේ ගෙන්න ගන්න පිරිමි ඉන්නවා” කියලා මතින්ද්‍රට පෙන්නලා දෙන්න තරං ලොකුම ලොකු ගෑනු හීනමානයක් ඩිප්‍රෙශන් හොඳ වීගෙන යද්දි මගෙ ඔලුව අස්සෙ පිළිලයක් වගේ පැතිරිලා ගිහින් තිබ්බා.

හැබැයි එක දවසක් වෙනකම් මට ඒක තේරුණේ නෑ.

එකම එක දවසක් වෙනකම්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here