“……….. ඔයා කොහොම මොන තත්වේ උන්නත්, මගේ ආදරේ වෙනසක් නැහැ සස්මිත .. මම ඔයාගේ ළඟින්ම ඉන්නවා… ආයේ ඒකේ සැකයක් තියාගන්න එපා …”
සස්මිත චායාට තමා පසෙකින් හිඳගෙන තමා වෙතට ලංව සිටිනා මෙන් සන් කලේය. චායා වහා ආපසු හැරී සස්මිතගේ උරිස්සට බර වූවාය.
” අම්මයි තාත්තයි අක්කයි දැන් ඉන්නේ ඩුබායි වල චායා …. අවුරුදු දොළහකින් එහා මාත් දැකලා නෑ අම්මලාව…. එයාලා මාව ඇතෑරලා දැම්මා …”
චායාට හඬක් පිටවූයේ හෝ නැත. ඕ උන්නේ ගල් වීගෙනය. අඩුම තරමේ සස්මිත වැලඳගන්නට අත ඔසවාගන්නට තරම්වත් හැකියාවක් වූයේ නැත. ඇය උන් ඉරියව්වම රැක්කාය.
” මං ඒ ගැන පොඩිවත් තරහක් නෑ ඒගොල්ලෝ එක්ක … ඒත් දැන් දැන් දරාගන්න බැරි වේදනාවක් තියෙනවා…. හරියට, කවුරු හරි පපුව හූරලා දානවා වගේ… ඔයාගේ අම්මා තාත්තා අයියාට ඔයාට විහඟිට සලකන ආදරේ දැක්කම මං හරි අසරණයි කියලා මට හිතෙනවා චායා … ඒක මෙහෙමයි කියලා කියන්න තේරෙන හැඟීමක් නෙවෙයි …”
සස්මිත ඉන් නැවතුනේය. චායාද එලෙසින්ම උන්නාය.
” චායා …”
” මං අඬන්නේ නෑ.. ඔයා අඬන්නත් එපා …”
චායා එලෙසින් පවසා සස්මිතගේ ගෙල බඳාගෙන ඔහු මතට පැන්නාය. දෑත් දෙදෙනා වටා වන සේ වැටුණේය.
” ඒ කවුරු නැති වුනත්, ඔයාට මම ඉන්නවා ..”
” ඒක මම දන්නවා.. ඒ හින්දයි මේ ඔක්කොම ටික ටික කියන්නේ….”
චායා සස්මිතගේ ගෙලත් උරිස්සත් අතරෙන් වත නවතා ගත්තාය. මදක් හිස ඇල කර සස්මිත දෙස බැලුවාය.
” දුක හිතන්නෙපා .. ඔයා තනි නැහැ ….”
සස්මිත හිස සලනු ඇය දුටුවාය.
” චායා මම මීට අවුරුදු දොළහකට කලින් ලොකු වරදක් කලා..”
චායාගේ හද ගැස්ම වේගවත් විය.
” ඒ මොකක්ද කියලා මගෙන් අහන්න එපා … මම කියන්නේ නැහැ …මට කියන්න බැහැ .. අම්මලා මාව දාලා, රට ගියේ ඒ හින්දා … අම්මලා මං ගැන හොයන්නේ නැතුව ඉන්නවා කියලා තීරණය කරන්න ඇත්තේ ඒ හින්දා … මම උත්සාහ කරන හැම වතාවකම, එයාලා මාව එපා කියනවා ඇත්තේ ඒ හින්දා … මං සමාව ඉල්ලන්න කොයි තරම් උත්සාහ කලත්, මට ඉඩක් නෑ ආයේ අම්මේ කියන්න චායා…”
” අනේ රත්තරන් …”
” ඒ වරදම, අම්මාලාට වගේම මම ඔයාටත් කරලා තියෙන්නේ චායා…. “
” අනේ එපා .. ඇති ..”
අවසානයේ චායා එලෙසින් කීවාය. එහෙත් සස්මිතට ඒ සියල්ල පවසා අවසන් කල යුතුව තිබුණි. ඇය ගෙවුණු අවුරුදු දොළහේ තමාට සිදුවූ දේ පිළිබඳව යලි නොවිමසන තැනක ඕ නවතා තැබිය යුතුය.
” මට එහෙම කරන්න එපා චායා ….”
සස්මිත බිඳුණු හඬ වෙනස් නොකරම ඉල්ලා සිටියේය. චායා කඳුළු නැඟෙන්නට දුන්නේම නැත.
” මං, මං අතින් … ලොකු වරදක් වුනා චායා …”
” හරි .. ඔයා ආයේ ආයෙම ඒක කියන්නෙපා සස්මිත .. වුන දේ මොක වුනත්, දැන් ඒක වෙලා.. ඔයා ඒ වෙනුවෙන් වන්දි ගෙවලා ඉවරයිනේ නේද ?…”
” හ්ම්ම් ..”
” එහෙනම් ?…”
” ඒත් පිට කොහෙන් හරි මේක දැනගෙන ඔයාට මේක කම්පනයක් වෙන්න දෙන්න මට බැහැ කෙල්ල.. ඒ නිසයි ….”
” හරි …එහෙනම් අදින් ඔය ඔයා හංගගෙන විඳවන ඔක්කොම කතා මට කියලා දාන්න … එව්වාගේ බර මට දෙන්න .. ඔයාගේ උරිස්සෙන් ඔය බර අතෑරලා දාන්න .. කොටින්ම, ඔයා ඔයා ඝැන තියන් ඉන්න හීන මානේ අතාරින්න සස්මිත … ඔයා කොච්චරක් වටින කොල්ලෙක්ද ?.. ඔයා කොච්චරක් ටැලන්ට් එකක් තිබ්බ කොල්ලෙක්ද ?… කෝම හරි දෙයක් වෙලා, ඔයා මෙහෙම තැනකට වැටුණා තමයි.. ඒත්, ඒකෙන් ඔයාගේ වටිනාකම් නැති වෙන්නේ නැහැ.. මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ නැති වෙන්නෙත් නැහැ.. ඒ වගේමයි, ඔයා එක්ක ලෝකේ ඕනිම තැනක, ඔයා වෙනුවෙන් හිට ගන්නවා කියන කතාව වෙනස් වෙන්නෙත් නැහැ…”
සස්මිත චායාගේ හිස්ම් මුදුන සිම්බේය. ඇයව මදක් ඔසවා තමා වෙත තවත් නතු කරගන්නට උත්සාහ කලේය.
” චායා මං කැම්පස් ඉද්දී, මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ සල්ලි … ඔයා ඉස්සරහ මට මහ ලොකු හීන මානයක් දැනුනා සල්ලි නැතිකම හින්දා .. ඒ අස්සේ, අක්කාගේ අසනීපේ ඉස්සර වෙලා, අක්කා සනීප කරගන්න සල්ලි ඕනි කියනෙක ගෙදර ඇහෙන වාරයක් ගානේ මට පිස්සු වැටෙන්න වගෙයි දැනුනේ.. ඔයා එක එක වාහන වලින් ඇවිල්ලා බහිනකොට, මට දැනුනේ ඔයා කවදාවත් මට අයිති නොවෙන සුරංගනාවියක් කියලා … බයිසිකලයක්වත් හරියට නැති මම, ඩබල් කැබ් එකකින් බැහැලා එන ඔයාට ආදරේ කරනෙකට අපේම උන් හිනාවෙද්දී මට මං ගැන මහ වේදනාවක් දැනුණා…”
චායා ඉවසිලිමත්ව අසා උන්නාය. ඔහුට යම් මූල්‍යමය අපහසුතා තිබූ බව අමතක නැත. එහෙත් එය මෙතරමක පීඩනයක් දක්වා ඔහු ඇද හෙලා තිබූ බවක් චායාට මතක නැත. අක්කාගේ අසනීප තත්වය නිසා ඔහු යම් පීඩනයක උන්නා වුවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය වන මුදල් සොයා ගැනීම උදෙසා තමා ඇතුලු මිතුරන් යම් යම් සැලසුම් සකසමින් උන් බවද චායා සිහි කලේ, සස්මිතගේ උණුහුමෙන් මිදෙන්නට හෝ නොසිතමිනි.
” …… අක්කාගේ අසනීපේ එක්ක අම්මලා හරිම පීඩනේකට ඇවිල්ලා උන්නේ චායා… අම්මයි තාත්තයි නිතර දෙවේලේ රණ්ඩු වුනා… ඒ හැමවෙලාවකම අම්මා තාත්තාට කියපු එක දෙයක් ගැන මගේ ඔලුවේ තිබුණා… අම්මා තාත්තාට හැමවෙලේම කිව්වා, ඔය ඉඩකඩම් බේරගන්න නඩු කිව්වේ ඔයානේ… අනෙක් අයට ලියන එව්වා පස්සේ ලියාගන්න කියන්න … අපේ අයිතිවාසිකම් ඉල්ලගන්න කියලා … ඉන් පස්සේ, තාත්තා කියනවා, තාත්තාගෙන් එහෙම ඉල්ලන්නේ කොහොමද ?… අනෙක ඒ නඩු කිව්වේ පවුලේ ලොකු පුතා විදියට එයාගේ වගකීම ඉටු කරන්න කියලා තාත්තා කිව්වා… ඒත් අම්මා ඒක තේරුම් ගන්න පුලුවන් මානසිකත්වේක උන්නේම නෑ … අම්මාට වැදගත් වුනේ, අක්කව බේරගන්න සල්ලි හොයාගන්න එක .. දවසක් මම අම්මගෙන් ඇහුවා, ඒ ඉඩම් කතාව මොකක්ද කියලා… මං සාමාන්යෙන් අම්මලාගේ කතාවලට සම්බන්ධ වෙන්නේම නැහැ චායා.. ඒත් එවෙලේ මට ඒ ගැන අහන්න හිතුනා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා…”
” කෝ ….”
චායා සස්මිතගෙන් මිදී නැගිට්ටාය. යහනෙන් බැස්සාය. කුඩා ශීතකරණයෙන් බියර් කෑනයක් ගත්තේය. එය සස්මිත වෙත රැගෙන ආවාය. බියර් කෑනය සස්මිත වෙත පෑවාය. සස්මිත ඇඳ වියලට වාරු වී වඩා කෙලින්ව හිඳ ගත්තේය. චායා අත තිබූ බියර් කෑනය ගත්තේය.


