මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 25

0
666

මං එයාව දැක්ක තත්පරේම මගේ හිත ඇතුළේ කොහේ හරි තැනක තිබ්බ ලොකු බලාපොරොත්තුවක් හෙමින් හෙමින් කුඩු වෙලා යනවා වගේ මට දැනුණා. මීට දවසකට දෙකකට කලින් මතින්ද්‍ර මගේ ඉස්සරහ ඉඳගෙන හරිම අසරණ විදියට කිව්ව ඒ වචන ටික, “මට හිතේ සැනසීමක් නෑ මේඝා” කියපු හඬ, මතින්ද්‍රවයි මන්දස්මිතාවයි දකින වාරයක් පාසා මගේ හිත ඇතුළේ අකුණු ගහනවා වගේ මට රිද්දන්න ගත්තා.

එදා ඒ වචන ඇහුණ වෙලාවේ මගේ හිතේ තිබුණේ මහා ලොකු වේදනාවක්. මට එයා ගැන දුක හිතුණා. එයා මහා ලොකු ප්‍රශ්නයක හිරවෙලා ඉන්නවා කියලා මම අවංකවම විශ්වාස කළා. එයාව කවුරුහරි තේරුම් ගන්න ඕන කියලා, ඒ වෙනුවෙන් මම ඉන්න ඕන කියලා මගේ හිත මට බල කළා.

ඒත් අද මෙතන එයා මන්දස්මිතා එක්ක ඉන්නේ මහා ලොකු හිනාවක් මූණේ තියාගෙන. හරිම නිදහසේ. හරියට කිසිම කරදරයක්, හිතේ බරක් නැති මනුස්සයෙක් වගේ. මගේ ඉස්සරහ මූණ එල්ලාගෙන, ජීවිතේම එපා වෙලා වගේ කතා කරපු ඒ මනුස්සයාමද මේ කියලා මට හිතාගන්නත් බැහැ.

එයා මන්දස්මිතාගේ ඇස් දිහා බලලා හිනා වෙවී කතා කරනවා දකිද්දී, මගේ පපුව මැදින් දරාගන්න බැරි රිදුමක් ඇදිලා ගියා. මට ආයෙමත් සැරයක් හිතෙන්න ගත්තා, “මතින්ද්‍ර ආයෙ වතාවක් මට බොරුවක්ද කිව්වේ?” කියලා. එයා ඇත්තටම සැනසීමක් නැතුව විඳවනවාද? නැත්නම් එයා මාව ආයෙත් පාවිච්චි කළා විතරද?

මගේ හිත මටම සමච්චල් කරනවා වගේ දැනුණා. එයාගේ ඔය බොරු අසරණකමට රැවටිලා, එයා ගැන දුක් වෙච්ච මගේ මෝඩකම ගැන මට මං ගැනම ඇති වුණේ ලොකු තරහක්. අර හිනාව දිහා බලාගෙන ඉද්දි මට තේරුණා, මතින්ද්‍රට සැනසීම නැත්තේ එයාගේ ජීවිතේ නෙවෙයි, එයාට ඕන වෙලා තියෙන්නේ හැමදාම මාව රිද්ද රිද්දා එයාගේ ඊගො එක සනසගන්න විතරයි කියලා. මම මගෙම හිතෙන් අහන්න ගත්තා, “ඇයි මම තාමත් මේ වගේ මිනිස්සුන්ගේ වචන වලට මගේ හිතේ පැලවෙන්න ඉඩ දෙන්නේ?” කියලා. ඒත් මට ආයෙ වතාවක් මතින්ද්‍රව නැති කරගන්න ඕන උනේ නෑ. එහෙම කරන්න මගෙ හිත මට ඉඩ දුන්නෙත් නෑ.

එයා කියපු දේවල් බොරුවක්ද?

 නැත්නම් මේ මගෙ ඇස් ඉස්සරහා පේන දේද බොරුව?

මට ඒක තේරුණේ නෑ.

හැබැයි එක දෙයක් හොඳටම තේරුණා. ඒ තමයි මට රිදෙනවා කියන එක.

ඒක හරියට කවුරුහරි මගේ හදවත අතට අරගෙන හෙමින් හෙමින් මිරිකනවා වගේ. මට හුස්ම ගන්න ටිකක් අමාරු වුණා. අතේ තිබ්බ බෑග් එක මට බර වුණා වගේ දැනුණා.මං ඇස් බිමට හරවගන්න ට්‍රයි කරා. “බලන්න එපා…” කියලා මං මගෙම හිතට කිව්වා.

ඒත්…

මට බැරි වුණා.

මගේ ඇස් ආයෙත් එයා දිහාවට ඇදිලා ගියා.

මතින්ද්‍රගෙ ඇස් තිබ්බෙ මාරුවෙන් මාරුවට මමයි මට එහා පැත්තෙන් හිටගෙන උන්න හේසර දිහාවටයි එහෙට මෙහෙට යන ගමන්.

ඒ තත්පරේ ලෝකෙම නවත්තලා දාලා වගේ මට හිතුණා.

එයාගේ ඇස් ටිකක් ලොකු වුණා.හිනාව නැවතුණා.

ඒ ඇස් අස්සෙ මොනවදෝ හැඟීම් ගොඩක් එකවර හුවමාරු වෙන විත්තිය මට තේරුණා. අහම්බෙන් අල්ලගත්තු වරදක් වගේ නැත්නම් හොයාගෙන ආපු දෙයක් හම්බුණා වගේ මොකක් හරි අමුතු දෙයක්.මට හරියට කියන්න බැරි වුණා.හැබැයි එයා මගේ දිහා බලන් හිටියා.එක පාරක් නෙවෙයි.තත්පරයක් නෙවෙයි. සෑහෙන වෙලාවක් එයා මං දිහාව බලන් හිටියා. මන්දස්මිතා එයා ලඟ ඉඳගෙන කතා කර කර හිටියා. හිනාවෙවී මොනවදෝ කියනවා.

ඒත් මතින්ද්‍රගේ ඇස් තිබ්බෙ මගේ ලඟම නතර වෙලා

මට එකපාරටම හිතුණා අන්න එවෙලෙ “මතින්ද්‍ර කිව්වෙ ඇත්ත. ගතින් උන්නෙ එතන උනත් එයා හිතෙන් උන්නෙ එතන නෙවෙයි” කියලා.

“මේ මෙතන දැන් මිනිහා මැරිච්ච එකී වගේ සීන් එකක් දාන්න එපා. හිනාවෙලා අඳුරන්නෙ නෑ වගේ ඉඳපන්” කියලා රුවිනි කියද්දි තමයි ඇත්තටම මට මතින්ද්‍රගෙයි මන්දස්මිතාගෙයි රූපෙන් මගෙ ඇස් එහාට කරගන්න පුලුවන් උනේ.  මම සම්පූර්ණ බොරු සාටෝප හිනාවක් මූණට දාගත්තෙ..

ඒ හිනාව හරිම බොරුවක්.

ඇත්තටම ඒ වෙලාවෙ මගේ ඇතුළේ සිද්ධ වෙමින් තිබුණේ හිනාවෙන්න දේවල් නෙවෙයි. මං හිතුවෙ තව පොඩ්ඩ වෙලාවකින් මම හාට් ඇටෑක් එකක් ඇවිල්ල මැරිලා වැටෙයි කියලා. ඒ තරං පපුවෙ කැක්කුමක් මට දැනුනා. කෙනෙක් ඇඟ ඇතුළේම ඉඳගෙන ඇට කටු කඩනවා වගේ, හුස්ම ගන්නවත් අමාරු වෙන විදියට. 

“මේ side එකේ juice stall එකක් තියෙනවා, යමුද?” හේසර සරලව කියද්දි, මම ඔලුව උස්සලා “හ්ම්…” කියලා හිනාඋනා ඒත් මගේ ඇස්. ඒවා තිබ්බෙ මටත් අකීකරු වෙලා මතින්ද්‍ර යන එක දිහාවට සීසීටිවි එකක් වගේ හැරෙන ගමන්.

“මේඝා… මේ මං දිහාව බලපං.” රුවිනි ටිකක් තදින් කියද්දි මම ඇස් අහකට ගත්තත් මතින්ද්‍රගෙයි මන්දස්මිතාගෙයි ලස්සනම ලස්සන රූප දෙක ඒ වෙද්දිත් මගෙ ඇතුල් හිතේ චිත්‍රයක් වගේ ඇඳිලා තිබ්බා.

“මොකද්ද බං වෙලා තියෙන්නෙ? රෑ වැටිච්ච වගේ දවාලෙත් වැටෙන්නද යන්නෙ?” රුවිනි හීනියට බනිද්දි, මම හිනාවක් දාගන්න ට්‍රයි කරා.

“නෑ නෑ අයෑම් ෆයින්”

ඒත් ඇත්තටම අයෑම් නොට් ෆයින්.

හේසර මං දිහාවට එතන තිබ්බ ස්ටෝල් එකකින් ගත්ත කැශූ මිල්ක් බොට්ල් එකක් දික් කරේ අන්න එවෙලෙ.  “මේක බොන්න යූ විල් ෆීල් බෙටර්,” කියලා එයා හිනාවෙලා කියද්දි, මම ඒක අතට ගත්තේ, ඒ හිනාවටවත් උත්තරයක් දෙන්න බැරුව තක්බීර් වෙලා.

ඒත් මට ඒවයෙ රස මුකුත්ම දැනුනෙ නෑ. මගෙ ඇස් තිබ්බෙ මතින්ද්‍ර ළඟ හිටගෙන උන්න මන්දස්මිතා ගෙ ලස්සනම ලස්සන රූපෙ අද්දර නතර වෙලා. එයා එතන උන්නා හරිම ලස්සනට. ශාන්තව. ඇත්තටම හරිම එතනට ගැලපෙනම විදියට. පුදුම පොශ් ලුක් එකක් එන විදියට ඇඳ පැලඳගෙන. ලයිට් මේකප් එකකුත් දාගෙන කොළඹ හතේ නෝනා කෙනෙක් වගේ. අනික් අතට එතනම මම උන්නා කපු රෙද්දෙන් කරපු කුර්තා ටොප් එකකට ඩෙනිම් එකක් ඇඳලා දිගම දිග කර්ලි කොණ්ඩෙ ඔහේ කඩා වැටෙන්න දීලා සිල්වර් කලර් ජුම්කා දෙකක් එල්ලගෙන, ඒ පාටම වලලු අත්වල දාගෙන පරණ පුරුදු ක්ලැසික් ගෑනි විදියටම. ඒක තමයි මට වැඩියම රිද්දුවේ.

මතින්ද්‍ර වැරදි තැනක ඉන්නවා කියලා හිතන්නවත් බැරි විදියට එයා හරි තැනක හිටියා.

ඒත් ඒකෙන් මට දැනුනේ එක දෙයක් විතරයි. ඒ මං තමයි වැරදි තැනක ඉන්නෙ කියන එක.

අන්න එවෙලෙ තමයි මතින්ද්‍රගෙ ඇස් මගේ ඇස් එක්ක පැටළුනේ. මට ඇහුණා ඈතින් වගේ, හිත කෙලවරකින් අර සින්දුව. 

“ලොවට රහසෙන් අපට අපි මුනගැහුනු තැන් පහු කිරීම

අනුන් ලියු කවි ගීත අතරෙත් නුඹේ දෙනයන පෙනීම

හමාගෙන යන සුලං රැලි වල පුරුදු සුවඳම සෙවීම

කරන්නට මට බැරිම දේ නම් නුඹව අමතක කිරීම”

අන්න ඒ මොහොතේ, මගේ ඇස් මතින්ද්‍රගේ ඇස් එක්ක තදින්ම පැටලුණා.

 මුළු ලෝකෙම සද්ද නතර වෙලා, අපි දෙන්නා විතරක් ඒ මැද හිටගෙන ඉන්නවා වගේ මට දැනුණා. මම මෙච්චර වෙලා මගෙන්ම අහපු ප්‍රශ්න ඔක්කොම එක තප්පර ගාණකින් දියවෙලා ගියා. රුවිනි මොනවා කිව්වත්, හේසර කොච්චර ආදරෙන් මං දිහා බලාගෙන හිටියත්, මගේ හිතේ තිබුණේ එකම එක තීරණයක් විතරයි.

ඒ බැල්ම අස්සේ තිබුණේ ආරාධනාවක්ද, නැත්නම් මං හිතින් මවාගත්ත දෙයක්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් තීරණය කළා. මට ආයෙත් සැරයක් මාවම රිද්දගන්න වුණත් කමක් නැහැ, මම මේ පාර ආපස්සට හැරෙන්නේ නැහැ කියලා.

මං දැක්කා මන්දස්මිතා එහෙ මෙහෙ වෙනකම් ඉඳලා මතින්ද්‍ර එයාගෙ ෆෝන් එක අතට අරගන්නවා. ඉන්පස්සෙ තප්පර ගාණක් ෆෝන් එක දිහාම බලාගෙන උන්නු එයා ආයෙම වතාවක් අර බැල්මෙන්ම මං දිහාව බැලුවා.

ඒ වෙලාවෙම මගේ ෆෝන් එක මොනාහරි දෙයක් කියන්න වගේ “ටිං” ගාලා මැසේජ් ඇලර්ට් එකක් ආව බව මට කිව්වා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here