මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 32

0
64

මතින්ද්‍ර කිචන් කවුන්ටර් එකට හේත්තු වෙලා මං දිහා බලන් හිටියේ, මං ෆ්‍රයින් පෑන් එක ඇතුළේ චිකන් කෑලි ටික හෙමින් කලවම් කරන අතරෙ.

ගාර්ලික් සුවඳ අපාට්මන්ට්  එක පුරාම පැතිරෙමින් තිබුණා. ගම්මිරිස් ටිකක් වැඩිපුර දාපු නිසා ඇස් ටිකක් දැවිල්ල වගේ දැනුණත්, ඒ සුවඳ මට අමුතු සැනසීමක් ගෙනාවා.

“තාමත් මෙච්චර ගම්මිරිස් දානවද?” මතින්ද්‍ර අන්තිමේ හිනාවක් එක්ක ඇහුවා.

මං හැන්දෙන් සෝස් ටික කලවම් කරන ගමන්ම එයා දිහා නොබලාම කිව්වා,

“ඔයා තාමත් කම්ප්ලේන් කරනවද?”

“කම්ප්ලේන්කරනව නෙවෙයි ඉතින් වෝනින් එකක් දුන්නෙ.”

“අනේ පව්. මැරීඩ් ලයිෆ් එකෙන් එක්කෙනෙක් සැර කන එක අඩු වෙලා ගිහින් වගේ ”කියලා මං විහිලුවක් කරද්දි මතින්ද්‍ර හිනාවුණා. ඒ හිනාව හරිම මහන්සි වුණත්, ඇත්ත හිනාවක්.

“ඔයා දන්නවද” එයා හෙමින් කිව්වා, “මං කොච්චර රෙස්ටුරන්ට් වලින් පෙපර් චිකන්  කෑවත් මේ ටේස්ට් එක ආයෙ හම්බුණේ නෑ.”

මං ඒකට මුකුත් නොකියා ලිප ඕෆ් කරා. ඒ වචන සාමාන්‍ය කම්ප්ලිමන්ට් එකක් වෙන්න තිබුණා. හැබැයි මං මතින්ද්‍රව දන්නවා.එයා කෑම ගැන කතා කරද්දි ඇත්තටම කතා කරන්නෙ පරණ මතක ගැන.මං පිඟන් දෙක මේසෙ උඩින් තියද්දි, එයා අපාට්මන්ට් එක වටේ හෙමින් ඇස් යවමින් බල බල හිටියා.

“ඔයාගෙ ප්ලේස් එකේ තාම සේම් වයිබ් එකමයි තියෙන්නෙ,” එයා කිව්වා.

“මොන වයිබ් එකද?”

“අනේ මන්දා” එයා ටිකක් හිතුවා. “නොස්ටැල්ජික්.”

මගේ ඇඟ ඇතුළෙන් මොකක්දෝ හෙමින් දියවෙලා යනවා වගේ මට දැනෙද්දි මං එයා ඉස්සරහින් පුටුව ඇදලා වාඩිවුණා. “ඒවයින් වැඩක් නෑ දැන් රස්නෙ යන්න කලින් කමු නේද?” මතින්ද්‍ර හැන්ද අතට අරගෙන රයිස් ටිකක් කෑවා. ඊට පස්සේ  තත්පර දෙකක් ඇස් පියාගෙන හිටියා.

“ශිට්…”

මට හිනා ගියා එයා එහෙම කිව්වම.

“මොකද?”

“මට නිකන් එකපාර ඔලුවට සෑහෙන නොස්ටැල්ජික් මෙමරීස් එකපාර ෆ්ලෝ වෙනවා වගේ ආවා.”

“අනේ මේ.”

“සීරියස්ලි මේඝා,” එයා ආයෙත් ෆ්‍රයිඩ් රයිස් හැන්දක් චිකන් එක්ක මික්ස් කරගෙන කෑවා. “ඔයාට මතකද ඔයා මුලින්ම මේක හදපු දවස?”

මං ටිකක් හිනාවුණා.

“ඔයා අර හොඳටම පිස්සෙක් වගේ බීල වෙරි වෙලා ලූණු කපද්දි අත කපාගත්ත දවසද?”

“මං වෙරි වෙලා හිටියෙ නෑ අනේ.”

“මොකද නැත්තෙ.”

“හරි maybe little drunk.”

අපි දෙන්නම හිනාවුණා. ඒ හිනාව ඇතුළේ තිබ්බ භයානකම දේ තමයි අපි කිසි ගාණක් නැතුව හිනාවෙච්ච එක.හරියට අපි අවුරුදු ගාණක් වෙන් වෙලා උන්නා කියලා මතක නැතුව වගේ හිනාවෙච්ච එක.

“ඔයාට මතකද,” මතින්ද්‍ර ආයෙත් කතා කරා, “එදා කරන්ට් එක ගියා.”

“ඔව්.”

“ඊට පස්සේ අපි ඉටිපන්දම් පත්තු කරගෙන මෙතන බිම ඉඳන් කෑවා.”

මතින්ද්‍ර ඒ විදියට ඒ මතක ආයෙ ආයෙ වචනෙන් වචනෙ කියාගෙන යද්දි මට ඒ මතක පපුව ඇතුළේ පණ ගැහුණා ඇහුණා.මං ඒවා අමතක කරලා තිබුණේ නෑ.එදා මතින්ද්‍ර මගේ පිඟානෙ තිබ්බ චිකන් කෑලි හොරෙන් කාපු හැටි. මං එයාට ඒකට බැන්නට මං ඒ වගේ වැඩවලට කොච්චර ආදරේ කරාද කියන එක. අපි අපේ අනාගතේ ගැන කතා කරපුවා. ඉන්පස්සෙ තුරුල් වෙලා නිදාගත්තුවා. ඒ හැමදේම මට ආයෙ ආයෙ මතක් වුණා.

“මතක් වෙද්දිත් හිනා නේද?” මතින්ද්‍ර හෙමින් කිව්වා.

“මොකද්ද?”

“එදා මං හිතුවා” එයා හිනාවක් එක්ක ඔලුව පහළ බැලුවා. “අපි දෙන්නා කවදහරි එකතුවෙයි කියලා.”

මගේ හදවත ඇත්තටම ගැස්සුණා. ඒ වචන මම කවදාවත් මතින්ද්‍රගෙන් අහන්න බලාපොරොත්තු නොවිච්ච වචන. මං ඇත්තටම කවදාවත් හිතුවෙ නෑ මතින්ද්‍ර මං ගැන එහෙම හිතලා ඇති කියලා. මං මෙච්චර දවසක් හිතාගෙන හිටියෙ එයා මුල ඉඳලම මාව ආශ්‍රය කරේ මාව අතාරින්න බලාගෙන වෙන්න ඇති කියලා. මං වතුර උගුරක් බිව්වෙ වචන මගෙ උගුර අස්සෙ හිරවෙලා වගේ මට දැනිච්ච හන්දා.

“ජීවිතේ කියන්නේ අපි හිතපු දේවල් නෙවෙයි, ඇත්තටම අපිට සිද්ධ වෙන දේවල් වලට ” මං හෙමින් කිව්වා.

“ඔව්”

එයා මං දිහා බලන් හිටියා.

“හැබැයි සමහර මිනිස්සු” එයා හෙමින් කිව්වා, “අමතක වෙන්නෙ නෑ.”

මං එයාගේ ඇස් දිහා බලලා හිටියේ තත්පර දෙකයි. ඊට වඩා බලන් ඉන්න මට බය හිතුණා.

මොකද ඒ බැල්ම ඇතුළේ තිබුණේ නොස්ටැල්ජියා එක විතරක් නෙවෙයි.

අපි දෙන්නම තාමත් මේ ගින්නෙන් සම්පූර්ණයෙන්ම ගැලවිලා නෑ කියන භයානක ඇත්ත.

කෑම කාලා ඉවර වෙලාත් අපි දෙන්නා මේසෙන් නැගිට්ටෙ නැහැ.පිඟන් දෙක හිස් වෙලා තිබුණත්, කතාව තාමත් නතර වෙලා තිබුණේ නැහැ.එළියෙ හෙමින් වහින්න පටන් අරගෙන තිබුණා. ජනේලේ වීදුරුව දිගේ වතුර බිංදු පහලට ගලාගෙන යනවා මං බලාගෙන හිටියා.

“මට මේක මිස් වුණා,” මතින්ද්‍ර හෙමින් කිව්වා.

“මොකක්ද?”

“මේ වගේ නෝමල් කන්වසේශන්ස්.”

මං හිනාවුණා.

“කසාද බැන්ද මිනිස්සු එහෙම කතා කරන්නෙ නැද්ද?”

“කරනවා.” එයා හැන්ද මේසෙ උඩ තියාගෙන හුස්මක් ගත්තා. “හැබැයි ඒවා” ටිකක් නතර වෙලා, “කෙරෙනවට කෙරෙන දේවල්l.”

“ඒ කිව්වෙ?”

“හරියට නිකන් බිල් ගෙවන එක, වැඩ කරන එක, මීටින් වලට යන එක, නෑදෑයෝ බලන්න යන එක, බඩුමුට්ටු ගේන එක වගේ දේවල්.හරියට නිකන් සිස්ටම් එකක් රන් කරනවා වගේ විතරයි දැනෙන්නේ. ”

මං සද්ද නැතුව එයා දිහා බලන් හිටියා.

“ඒත් ඔයා ගාව” එයා හෙමින් හිනාවුණා. “මට හිතන්න වෙන්නෙ නෑ.”

“ඒක මට කියපු හොඳක්ද නැත්නම් මට කරපු අපහාසයක්ද?” ”

“හොඳක්.” එයා එකපාරටම සීරියස් වුණා. “මට හරිම මහන්සි මේඝා.”

ඒ වචන ටික එයා කියද්දි මට දැනුණේ ඒක මේ දවසේ පළවෙනි ඇත්ත කන්ෆෙශන් එක කියලා.

“ෆිසිකලි නෙවෙයි,” එයා ආයෙත් කිව්වා. “මෙන්ටලි ටයර්ඩ්.”

අපාට්මන්ට් එක ඇතුළේ සයිලන්ස් එක තිබ්බෙ සෙට්ල් වෙලා. මං හෙමින් සැරේ මේසෙ උඩ තිබුණ වයින් බොට්ල් එක අරගෙන ග්ලාසස් දෙකට ටික ටික වක් කරා.

“බැල්කනි එකට යමුද?” මං ඇහුවා.

මතින්ද්‍ර ඔලුව වැනුවා.

වැස්ස සුවඳ සීතල හුළඟත් එක්ක බැල්කනියට ඇවිත් වදිනවා. ටවුන් එකේ ලයිට් එළි තෙමුණු පාරවල් උඩ පරාවර්තනය වෙලා හරිම අමුතු, බොඳ වුණු එළියක් වෙලා තිබුණා. අපි දෙන්නා පුටු දෙකේ ඉඳගෙන වයින් වීදුරු දෙකත් අතේ තියාගෙන ටික වෙලාවක් යනකම් මුකුත්ම නොකියා නිශ්ශබ්දව හිටියා.

“ඔයාට මතකද,” මතින්ද්‍ර එකපාරටම ඇහුවා, “අපි මැරීන් ඩ්‍රයිව් එකේ වැස්සේ ඇවිද්ද දවස?”

මට හිනා ගියා.

“මට කිසි දෙයක් අමතක නෑ. ඒ දවස කොහෙත්ම අමතක නෑ.”

“ඔයා මට බැන බැන හිටියෙ.”

“ඇත්තනෙ අනේ ඉතින් කුඩයක්වත් තිබ්බෙ නෑ කොච්චර තෙමුණද එදා අපි.”

“ඒ වුණාට මතකද එක්කෙනෙක් එදා බියර් බීලා වැස්සෙ නැටුවා.”

මං ඒ වචන අහගෙනම වයින් උගුරක් බිව්වා.

“ඒ කාලෙ මං තරුණයි, ඒ වගේම බොළඳයි.”

“මීට වඩා සන්තෝසෙන් සැහැල්ලුවෙන් හිටියා නේද අපි ඒ කාලෙ.”

ඒ වචනෙත් එක්ක අර සයිලන්ස් එක ආයෙත් අපි අතරට ආවා.

සන්තෝසෙ. සැහැල්ලුව.

ඒක මහ අමුතු වචනයක්.මොකද මං දන්නෙ නැහැ අපි දෙන්නා ඇත්තටම සන්තෝසෙන් හිටියද කියලා. අපිට අපිව නැතුවම බැරිවෙලා හිටියා කියන එක ඇත්ත. අපි අපිට ඇබ්බැහි වෙලා හිටිය කියන එක ඇත්ත. සමහරවිට ඒ ඇබ්බැහි වීම කියන දේත් සතුටක් වෙන්න ඇති ඒ මොහොතට විතරක් හරි.

“ඔයා වෙනස් වෙලා,” මං හෙමින් කිව්වා.

මතින්ද්‍රබැල්කනියෙන් පේන එළිය දිහා බලන් හිටියා.

“හොඳ විදියකටද?”

“මහන්සි විදියකට.”

එයා හිනා වුණා. මේ පාර හරිම කටුක හිනාවක්.

“ඒක ඇත්ත. මට දැනෙන්නෙ මම එකපාර සෑහෙන්න වයසට ගිහින් වගේ.”

“ඒත් ඇත්ත ඒක නෙවෙයිනෙ. තිස් ගාණක් කියන්නෙ පිරිමියෙක්ට වයසක් නෙවි.”

“නෑ මේඝා” එයා වීදුරුව  දෙපැත්තෙන් අල්ලගෙන හෙමින් කිව්වා. “හිත ඇතුලෙන් වයසට ගිහින්.”

මට එකපාරටම එයාව බදාගන්න හිතුණා. හහරියට හොඳටම හෙම්බත් වුණු පොඩි ළමයෙක්ව නළවනවා වගේ. ඒක ඇත්තටම භයානක හැඟීමක්.මොකද ගෑනු මිනිස්සුන්ට “මට මේ මනුස්සයව බේරගන්න ඕන” කියලා හිතෙන තැන තමයි එයාලා සම්පූර්ණයෙන්ම නැතිවෙන්න පටන් ගන්නෙ.

“මට ඔයා ගාව බොරුකාරයෙක් වෙන්න ඕන නෑ,” මතින්ද්‍ර හෙමින් කිව්වා.

මං එයා දිහා බැලුවා.

“මොකද හැමෝම ඉස්සරහා මං හොඳින් ඉන්නවා වගේ රඟපාන එක කරනවා.”

එයා හිනාවුණා. ඒත් ඒ හිනාව හරිම හිස්..

“සාර්ථක මනුස්සයෙක්. ස්ථාවර ජීවිතයක්. කසාද බැඳලා. වගකීම් පිරිලා”

“ඉතින් ඒවා ඇත්තටම නැද්ද ඔයා ළඟ?”

“තියෙනවා.” එයා කෙලින්ම කිව්වා. “හැබැයි මට සමහර වෙලාවට හිතෙනවා මං මගේ ජීවිතේ මතුපිටින් විතරක් ජීවත් වෙනවා කියලා.”

වැස්ස තව ටිකක් හයියෙන් වැටෙන්න පටන් ගත්තා.

“ඔයා දන්නවද මෙතන තියෙන ලොකුම අවුල මොකද්ද කියන එක?” එයා ඇහුවා.

“මොකද්ද?”

“මට හුස්ම ගන්න ලේසි වෙන්නෙ ඔයා ගාව.”

මගේ හදවත ඒ වචනෙත් එක්ක හෙමින් සැරේ තද වෙන්න පටන් ගත්තා.මං ග්ලාස් එක තද කරලා අල්ලගත්තෙ ඒ වචන මට දරාගන්න අමාරු වෙච්ච හන්දා.

“එහෙම කියන්න එපා මතින්ද්‍ර…”

“ඒක ඇත්ත.”

“මේක දැනටමත් මාරම අවුලක් වෙලා තියෙන්නේ. මං මේක තවත් අවුල් කරන්න ට්‍රයි කරන්නේ නැහැ.”

“හැබැයි අපි ඒක කරනවා.”

එයා ටික වෙලාවක් මං දිහාම බලන් හිටියා.

“ඔයා තාමත් මාව හොඳට තේරුම් ගන්නවා” එයා හෙමින් කිව්වා.

අන්න ඒක තමයි ප්‍රශ්නෙ

මං එයාව තාමත් තේරුම් ගන්න එක. හරිනම් එයාව තේරුම් ගන්න ඕන මං නෙවෙයි එයා කසාද බැන්ද ගෑනි. එහෙම ගෑනියෙක් ඉද්දිත් මං තාමත් එයාගේ වචන වල, එයා කියන දේවල් වල, එයාගෙ හැම ඉරියව්වකම හරිම තේරුම හරියට රීඩ් කරනවා.

එයාගේ කටහඬ ඇහෙනකොට එයා ඉන්නේ මහන්සියෙන්ද, තරහෙන්ද නැත්නම් තනිවෙලාද කියලා මට තාමත් තේරෙනවා.

සමහර බැඳීම් කාලයත් එක්ක මැරිලා යන්නේ නැහැ. ඒවා නිකන් යටපත් වෙලා තියෙනවා විතරයි.

 ආයෙමත් කවදා හරි නරකම වෙලාවක පණ ගහලා එන්න.

එතකොටම එකපාරටම ඩෝ බෙල් එක වැදුණා.මං ඇත්තටම ගැස්සුණා. මං හිතුවෙ මට හාට් ඇටෑක් එකක් ඒවි කියලා

“ශිට්…”

මතින්ද්‍ර ඔලුව උස්සලා දොර දිහා බැලුවා.

“කවුද?” එයා හෙමින් ඇහුවා.

මං උත්තර දුන්නේ නැහැ.

මගේ ඔලුවට ආවෙ එකම එක කෙනෙක්ව විතරයි.

ඩෝ බෙල්එක ආයෙත් වැදුණා.

මගේ හිත පැනික් වෙන්න පටන් අරගෙන තිබුණෙ.

“කවුද?” එයා හෙමින් ආයෙමත් ඇහුවා.

ඩෝ බෙල් එක තුන්වෙනි පාරටත් වැදුණා.

අපාට්මන්ට් එක ඇතුළේ තිබුණ සයිලන්ස් එක එකපාරටම භයානක වුණා.

මං හෙමින් හුස්මක් අරගෙන දොර දිහාවට ඇවිදගෙන ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here