හේසර මගේ ජීවිතෙන් අයින් වුණේ ලොකු රණ්ඩුවකින් නෙවෙයි.
ඒක හරිම සද්ද නැතුව සිද්ධ වුණ දෙයක්.
මුලින්ම අඩුවුණේ කෝල්ස්. ඊට පස්සෙ රිප්ලයි එන එක. ඊටත් පස්සෙ මැසේජස් සීන් වෙන එක. ඒ හැමදේම අතරෙ අපි දෙන්නම කතා කරන්නෙ නැතුව මොකක් හරි තීරණයක් අරන් තිබුණා වගේ මට දැනුණා. සමහර මිනිස්සු අපේ ජීවිතෙන් යන්නෙ දොර වහලා නෙවෙයි. හෙමින් හෙමින් හෙවණැල්ලක් වගේ fade වෙලා.
හේසරත් එහෙමයි.
එයා අන්තිමට මට එවපු මැසේජ් එක තාමත් මගේ චැට් එකේ උඩට පින් වෙලා තිබුණා.
“පරිස්සමින් ඉන්න මේඝා.”
එච්චරයි.
ඒ මැසේජ් එක ඇතුළේ එයා මට බැනලා තිබුණේ නැහැ. තරහක් තිබුණේ නැහැ. ඒකයි මට තවත් දරාගන්න අමාරු වුණේ. මාව ජජ් කරපු මිනිස්සු එක්ක මට හැමවෙලේම දේවල් අමතක කරන්න, අත ඇරලා දාන්න ලේසි වුණා. ඒත් මාව තේරුම් අරගෙන නිහඬව අයින් වෙච්ච මිනිස්සු, එයාලා තමයි දිගටම හිත ඇතුළේ ඉතුරු වෙන්නෙ.
හේසර ගියාට පස්සෙ මං නොදැනීම තවත් මතින්ද්‍ර ගාවට ඇදිලා ගියා. හරියට මං ජීවිතේ එක පැත්තකින් වැටෙනකොට අනිත් පැත්ත අල්ලගෙන බැලන්ස් වෙන්න ට්‍රයි කරනවා වගේ.
මතින්ද්‍ර දැන් මගේ අපාට්මන්ට් එකට එන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා.
එයාගේ පර්ෆියුම් සුවඳ සෝෆා කුෂන් වල පවා ඉතිරි වෙලා තිබුණා. කිචන් කවුන්ටරය උඩ එයා බීපු කොෆී මග් එක. බාත්රූම් සින්ක් එක ළඟ අමතක වෙලා දාලා ගිය ශේවිං ෆෝම් එක. ඒ පුංචි පුංචි දේවල් නිසා මගේ ඇපාර්ට්මන්ට් එක හෙමින් හෙමින් මගේ තැනක් නෙවෙයි වගේ මට දැනෙන්න ගත්තා. හරියට මගේම ජීවිතේ ඇතුළේ මම ආගන්තුකයෙක් වෙනවා වගේ. ඒ එහෙම වුනේ මේ ජීවිතේ දෙවනි වතාවට.
අපි ඇබ්බැහි වෙලා හිටියේ හරිම භයානක සැනසීමකට.
එදාත් මතින්ද්‍ර බැල්කනියේ හිටගෙන සිගරට් එකක් බොන ගමන් පහළ පාර දිහා බලන් හිටියා. රෑ දහය පහු වුණාට කොළඹ පාරවල් තාමත් ඇහැරිලා. වාහන වල එළි පෝලිමට ගලාගෙන යනවා.
මං කිචන් එකේ ඉඳන් එයාට තේ එකක් හදන ගමන් හිටියේ.
“සීනි අඩුවෙන් නේද?” මං ඇහුවා.
“ම්ම්.”
එයා පිටිපස්ස හැරෙන්නෙවත් නැතුව උත්තර දුන්නා.
මං තේ කෝප්ප දෙකත් අරගෙන බැල්කනි එකට ගියා. එයා හරිම හෙමින් සිගරට් දුම් වළල්ලක් අහසට මුදා හැරියා.
“මොකද කල්පනා කරන්නෙ?”
එයා ටිකක් වෙලා උත්තර දුන්නේ නැහැ.
ඊට පස්සෙ හෙමින් හිනා වුණා.
“මුකුත් නෑ”
“බොරු.”
“ඇයි?”
“ඔයා මුකුත් නෑ කියන්නෙ මොකක් හරි දෙයක් තියෙනකොට.”
එයා මේ පාර ඇත්තටම හිනා වුණා. ඒ හිනාව අස්සෙ මහන්සියක් තිබුණා.
“ඔයා දැන් මාව හොඳට රීඩ් කරනවා.”
“කරන්න දෙයක් නෑ. ප්‍රැක්ටිස් එක වැඩි.”
මතින්ද්‍ර කප් එක අතට අරගෙන එක උගුරක් බීලා, රේලින් එකට හේත්තු වුණා.
“ඒ බෝයි එක්ක නේද ඔයා එදා ගුඩ් මාකට් ආවෙ?”
මගේ ඇඟ ඇතුළේ මොකක් හරි එකපාරටම තද වුණා.
“හේසර?”
“ම්ම්.”
එයා තාමත් මගේ දිහා නොබලාම කතා කරනවා.
“මට මාර ඉරිසියා හිතුණා එදා.”
මං හිනා වෙන්න ට්‍රයි කළා.
“ඉරිසියා?”
“ඔව්.”
එයා මේ පාර මගේ දිහා බැලුවා.
“ඔයාලා දෙන්නා එකට ඉන්නවා දැක්කම… මට පුදුම තරහක් ආවෙ.”
මං කප් එක තද කරගෙන හිටියා.
“මොකද ඒ?”
“දන්නෙ නෑ.” එයා හෙමින් කිව්වා. “ඔයා එයා එක්ක හිනා වෙවී ඉන්නවා දැක්කම මට අමුතු ෆීලින් එකක් ආවා.”
“හේසරයි මමයි යාලුවො විතරයි.”
“හ්ම්.”
ඒ “හ්ම්” එක ඇතුළේ එයා මං කිව්ව දේ පිලිගත්තෙ නෑ කියනවා වගේ මොකක් හරි හැඟීමක් තැවරිලා තිබුණා.
“ඇත්තටම?” එයා ආයෙ ඇහුවා.
මං එයා දිහා බැලුවා.
“ඔයා මොකක්ද අහන්න හදන්නෙ?”
මතින්ද්‍ර සිගරට් එක නිවලා බැල්කනි එකේ බිමට එකට දාලා පයට පොඩි කළා.
“මුකුත් නෑ,” එයා කිව්වා. “මං නිකන් ඇහුවෙ.”
හැබැයි ඒක නිකන් ප්‍රශ්නයක් නෙවෙයි කියලා මට හොඳටම දැනුණා.
“ඔයා එයා එක්ක නිදාගත්තද?”
මතින්ද්‍ර ඒක ඇහුවෙ හරිම කැශුවල් ටෝන් එකකින්.
හරියට කෑවද බිව්වද අව්වද වැස්සද කියලා අහනවා වගේ.
ඒත් ඒ වචන ටික මගේ පපුව මැදටම වැටුණා.
මං එකපාරටම එයා දිහා බැලුවා.
“මොකක්?”
“හේසර එක්ක” එයා ආයෙත් කිව්වා. “ඔයා දෙන්නා අතර එහෙම මොනාහරි තිබුණද?”
බැල්කනි එකේ හුළඟ ටිකක් තද වුණා. මගේ අතේ තිබුණ තේ කෝප්පෙ තව ටිකක් රස්නෙ වෙලා වගේ දැනුණා.
“ඇයි ඔයා එහෙම අහන්නෙ?”
මතින්ද්‍ර උරහිස් ගස්සලා වගේ දැම්මා.
“නිකන් ඇහුවෙ.”
“ඔයා නිකන්ම නිකන් අහනවා නෙවෙයි.”
එයා ටිකක් නිහඬව හිටියා.
“මං දන්නෙ නෑ ,” අන්තිමේ එයා හෙමින් කිව්වා. “මට ඔයාව වෙන කෙනෙක් එක්ක හිතින් මවාගන්නවත් අමාරුයි.”
ඒ වචන ටික මගේ හිත ඇතුළේ අමුතු විදිහකට තැන්පත් වුණා. හරිම භයානක විදිහකට.
“ඔයාට එහෙම හිතන්න කිසිම අයිතියක් නෑ කියලා ඔයා දන්නවනේ?”
මං ඒක හිනාවකින් වහගන්න උත්සාහ කරන ගමන් ඇහුවා.
හැබැයි මතින්ද්‍ර හිනා වුණේ නැහැ.
“දන්නවා.”
එයා හෙමින් ඔලුව වැනුවා.
“ඒක තමයි ප්‍රශ්නෙ.”
ඊට පස්සෙ තත්පර කිහිපයක් අපි දෙන්නම නිහඬව හිටියා. පහළ පාරේ ඇම්බියුලන්ස් එකක සද්දෙ දුරින් ඇහුණා. කොළඹ රෑට තියෙන ඒ අමුතුම පාළු ඝෝෂාව අපි දෙන්නා අතර මැද නතර වෙලා තිබුණා වගේ මට දැනුණා.
“ඔයා එයාට කැමැත්තෙන් හිටියා නේද?”
මතින්ද්‍ර මේ පාර ඇහුවෙ මගේ ඇස් දිහාම බලන්.
මට උත්තරයක් දෙන්න ටිකක් වෙලා ගියා.
“හේසර හොඳ කෙනෙක්.”
“ඒක නෙවෙයි මං ඇහුව ප්‍රශ්නෙට උත්තරේ.”
“මතින්ද්‍ර”
“ඔයාට එයා ගැන ෆීලින්ග්ස් තිබුණද නැද්ද?”
එයාගේ කටහඬ දැන් වෙනස්. කලින් තිබුණ ඒ මෘදු ගතිය ටිකක් අඩු වෙලා. ඒ වෙනුවට පාලනය කරගන්න උත්සාහ කරන කේන්තියක් කටහඬ අස්සේ තිබුණා.
“ඔයාට ඉරිසියා හිතෙනවද?”
“මට එහෙම හිතෙන්න බැරිද?”
එයා ඒක කිව්වෙ හිනාවක් නැතුව.
“මාර විහිළුවක් නේද මේක?” එයා හෙමින් හිනා වුණා. “මං නීතියෙන් වෙන කෙනෙක්ගේ මනුස්සයා වෙලත්, ඔයා වෙන කෙනෙක්ට ලං වෙනවා බලන් ඉන්න මට බෑ.”
මං නිශ්ශබ්දව හිටියා. මට කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ.
මතින්ද්‍ර හෙමින් මගේ ළඟට ඇවිත් නතර වුණා.
“මට ඇත්තම කියන්න මේඝා…”
එයාගේ ඇස් දෙකේ තිබුණේ මාව පසාරු කරගෙන යන විදියේ බැරෑරුම් බවක්.
“ඔයාට එයාව ඕන වුණාද?”
මං හුස්මක් ගත්තා.
“ඔයා මේ ප්‍රශ්න අහන්නෙ ඇයි?”
“මොකද මගේ ඔලුවෙන් ඒක අයින් කරන්න මට කොහොමටවත්ම බෑ.”
එයා ඒක කියද්දි තමයි මට තේරුණේ මේක නිකන්ම නිකන් කුතුහලයක් විතරක් නෙවෙයි කියලා. මේක අයිති කරගැනීමේ තණ්හාවක්. හරියට මාව එයාගේ විතරක්ම කරගන්න හදන උමතුවක් වගේ.
මතින්ද්‍ර මගේ ජීවිතේ ඉන්න හැම පිරිමියෙක්ම සසඳන්න කරන්න පටන් අරගෙන.
“එයා ඔයා ගැන හිතන්නෙ මං ඔයා ගැන හිතනවා වගේද?”
එයා හෙමින් ඇහුවා.
“මතින්ද්‍ර…”
“මං ඇහුව දේට උත්තර දෙන්න.”
එයාගේ කටහඬ මේ පාර කලින්ට වඩා ටිකක් තදයි.
ඒත් එක්කම මගේ හිතට අමුතු නොසන්සුන්කමක්, uneasy ගතියක් දැනෙන්න ගත්තා. කලින් මට හරිම ආරක්‍ෂිතයි කියලා දැනුණ ඒ සමීප බව ඇතුළේ දැන් අලුත් දෙයක් තියෙනවා. ඒක හරියට මුවහත් ආයුධයක් වගේ මාව පාලනය කරන්න හදන අමුතුම බලපෑමක්.
“ඔයාට බීලා වැඩියි නේද?” මං ඇහුවේ ඒ තත්ත්වයෙන් මඟඇරලා යන්න හිතාගෙන.
එයා හිනා වුණා. ඒත් ඒ හිනාව ඇතුළේ කිසිම සතුටක් තිබුණේ නැහැ.
“නෑ. මට හොඳටම සිහිය තියෙනවා මේඝා.”
එයා මගේ කම්මුලට අත තිබ්බා.
“ඒකයි ප්‍රශ්නෙ.”
ඒ වචනෙත් එක්ක මගේ පපුව ඇතුළේ හරි අමුතු සීතලක් ගියා.


