සමහර ජීවිත කතා තියෙනවා, ඒවා කොච්චර නම් අමුතුයිද, ඒ වගේම කොච්චර නම් පැටලිලි සහගතද කිව්වොත් මේක ඇත්තක්ද කියලා හිතාගන්නත් අමාරුයි.
මේක දරුවෙක්ව අහක දාපු කතාවක්ද?
නැත්නම් ලොකු වැරදි වටහාගැනීමක්ද?
එහෙමත් නැත්නම් නීතියේ තියෙන හිඩැසකින් රිංගලා කරපු සෙල්ලමක්ද?
ඒ ඔක්කොටම වඩා මේක පිටිපස්සේ හිතාගන්න බැරි තරම් අඳුරු, බය හිතෙන රහසක් තියෙනවද?
මුළු ලෝකයම හොල්ලපු, ඇඟ හිරිවැටෙන තරම් මතභේදාත්මක adoption controversy එකක් තමයි මේ නටාලියා ග්‍රේස්ගේ කතාව.
ආබාධිත තත්ත්වයන්, අනන්‍යතාවය ගැන ගැටලු, උසාවි තීන්දු වගේම එක පොඩි දරුවෙක්ගේ වයස ලෝකයක් ඉදිරියේ ලොකුම ලොකු ප්‍රහේලිකාවක් වුණු කතාවක් මේක. අදටත් හැමෝම අහන, තාමත් හරියටම උත්තරයක් නැති ඒ ප්රශ්නය තමයි… ඇත්තටම කවුද මේ නටාලියා ග්‍රේස්? සමාජය මේ දරුවව මේ තරම් දරුණු විදියට අනාථ කළේ කොහොමද?
නටාලියා ඉපදුණේ 2003 සැප්තැම්බර් 4 වෙනිදා, යුක්රේනයේ මයිකොලයිව් නගරයේ. එයාගේ උපන් නම නටාලියා වඩිමිව්නා ගාවා. නටාලියාගේ ජීවිතේ මුල ඉඳලම තිබුණේ පුදුම දුක්ඛිත කතාවක්. එයාට ඉපදෙද්දීම අස්ථි වර්ධනයට බලපාන, Dwarfism ඇති කරන හරිම දුර්ලභ ලෙඩක් තිබුණා.
එයාගේ අම්මා ඒ කාලේ ආර්ථික ප්‍රශ්න එක්ක හිරවෙලා හිටපු තරුණ කාන්තාවක්. මේ වගේ ආබාධිත තත්ත්වයක් තියෙන දරුවෙක්ව හදාගන්න තරම් වත්කමක් නැති නිසාත්, ඒ වෙනකොටත් තවත් දරුවෙක් හිටපු නිසාත්, නටාලියා ඉපදිලා ටික කාලෙකින්ම එයාව යුක්රේනයේ ළමා නිවාසයකට භාර දුන්නා. ඒ විදියට එයා නිකම්ම නිකම් අංකයක් විතරක් වෙලා ළමා නිවාසයකට කොටුවුණේ දහස් ගණන් දරුවන්ගෙන් එක්කෙනෙක් විදියටයි.
හැබැයි නටාලියාගේ ඉරණම එතනින් නතර වුණේ නැහැ. එයාගේ ගමන අනිත් හැම දරුවෙකුටම වඩා හරිම වෙනස්, ඒ වගේම හිතාගන්න බැරි තරම් අද්භූත පැත්තකටයි කැරකුණේ.
2008 අවුරුද්දේ නටාලියාට අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. ඇමරිකාවේ නිව් හැම්ප්ෂයර්වල පදිංචි ඩයන් සහ ගැරී සිසෝන් කියන යුවළ නටාලියාව දරුකමට හදාගන්න ගත්තා. එයාට නටාලියා ලූර්ඩ් සිසෝන් කියලා අලුත් නමකුත් ලැබුණා. බැලූ බැල්මට පෙනුණේ හැමදේම හරි ගිහින් නටාලියාට ස්ථිර පවුලක් ලැබුණා කියලයි.
හැබැයි ඒ සතුට තිබුණේ අවුරුදු දෙකයි. 2010 දී සිසෝන් පවුල හදිසියේම තීරණය කරනවා නටාලියාව ආයෙමත් තව කෙනෙක්ට දරුකමට දෙන්න. මාධ්‍ය වාර්තා කිව්වේ එයාගේ නොසන්සුන් හැසිරීම් නිසා මේ තීරණය ගත්තා කියලා වුණත්, ඇත්තටම එතන වුණේ මොකක්ද කියන එක අදටත් ලොකු රහසක්.
ඒ අවුරුද්දෙම නටාලියාව තවත් පවුලක් භාර ගන්නවා. ඒ තමයි ඉන්දියානා ප්‍රාන්තයේ පදිංචි ක්‍රිස්ටීන් සහ මයිකල් බානට්. මේ යුවළට ඒ වෙනකොටත් තමන්ගේම දරුවෝ හිටියා. නටාලියාගේ නම දැන් නටාලියා ග්‍රේස් බානට්. හැමෝම හිතාගෙන හිටියේ නටාලියාට ඒ වෙනකොට අවුරුදු අටක් විතර ඇති කියලා.
හැබැයි මේ ගෙදරට ගිහින් ටික දවසක් යද්දී, බානට් පවුල මුළු ලෝකයම හොල්ලන මට්ටමේ භයානක කතාවක් කියන්න පටන් ගත්තා.
ඔවුන් දිවුරලා ප්‍රකාශ කළේ නටාලියා කියන්නේ දරුවෙක් නෙවෙයි කියලා. බානට් පවුලේ අය කියපු විදියට, මේ අහිංසක පෙනුමක් තියෙන පොඩි කෙල්ල ඇත්තටම පොඩි දරුවෙක් වගේ රඟපාන වැඩිහිටි ගැහැනියක්.
අන්න එතනින් තමයි මේ කතාවේ හිතාගන්න බැරිම පිස්සු හැදෙන කොටස පටන් ගන්නේ. මුළු ඇමරිකාවම මේ කතාව පස්සේ පිස්සුවෙන් වගේ එලවන්න ගත්තේ මෙන්න මේ සිදුවීම නිසා.
2012 අවුරුද්දේ බානට් යුවළ උසාවියට ගිහින් පුදුම විදියේ පෙත්සමක් ඉදිරිපත් කළා. ඒකෙන් ඔවුන් ඉල්ලුවේ නටාලියාගේ උපන් වාර්තා වෙනස් කරන්න කියලා. හිතාගන්න පුළුවන්ද වුණු දේ? ඉන්දියානා උසාවිය ඒ ඉල්ලීමට ඉඩ දුන්නා.
එක රැයකින් නටාලියාගේ උපන් අවුරුද්ද 2003 ඉඳන් 1989 දක්වා නීත්‍යානුකූලව වෙනස් වුණා. වෛද්‍ය විද්යාත්මකවවත්, ජීව විද්යාත්මකවවත් නෙවෙයි හුදෙක් නීතිමය ලියකියවිලිවලින් විතරක් නටාලියාගේ වයස අකුරින් වෙනස් කළා.
ඊයේ රෑ වෙද්දී අවුරුදු අටක පුංචි දරුවෙක් වෙලා හිටපු නටාලියා, පහුවදා උදේ වෙද්දී නිල වශයෙන් අවුරුදු විසි දෙකක වැඩිහිටි ගැහැනියක් බවට පත් වුණා. මේ එකම එක උසාවි තීන්දුව තමයි පස්සේ සිද්ධ වුණු හැම භයානක දේකටම පාර කැපුවේ.
ඒත් එක්කම මුළු ලෝකෙම හිරිවැටිලා යන ප්‍රශ්නයක් ඉතිරි වුණා. කොහොමද එක දරුවෙක්ගේ වයස මේ තරම් ලේසියෙන් හිතාගන්න බැරි විදියට වෙනස් කරන්න පුළුවන්? මේ නීති පද්ධතියට මෙච්චර ලොකු වැරදීමක් වුණේ කොහොමද?
ඊට පස්සේ වෙච්ච දේ ඇහුවොත් ඔයාට පිස්සු හැදෙයි. 2013 දී බානට් පවුල නටාලියාව ඉන්දියානාවල අපාර්ට්මන්ට් එකකට පදිංචියට එක්කගෙන යනවා. හැබැයි ඒ එයා එක්ක ඉන්න නෙවෙයි. එයාලා නටාලියාව ඒ අපාර්ට්මන්ට් එකේ තනියම දාලා යනවා.
නටාලියාව එහෙම දාලා බානට් පවුල කරන්නේ, තමන්ගේ අනිත් දරුවෝ එක්ක කැනඩාවේ පදිංචියට යන එක. ඔවුන් කිව්වේ ඔවුන්ගේ ලොකු පුතාගේ ඉගෙනීමේ වැඩවලට කැනඩාවට යනවා කියලා. හැබැයි මේ අතඇරලා දාලා ගියේ කාවද? හරි හැටි ඇවිදගන්නවත් බැරි, Dwarfism තත්ත්වය තියෙන, තනියම ජීවත් වෙන්න කිසිම හුරුවක් නැති කෙනෙක්ව.
දැන් ලෝකය ඉදිරියේ ලොකුම ප්‍රශ්නයක් තිබුණා.
නටාලියා කියන්නේ ඇත්තටම තනියම ජීවත් වෙන්න පුළුවන් වයස 22ක ගෑනියෙක්ද? නැත්නම් තමන්ව අරන් හදාගත්තු අම්මයි තාත්තයි විසින් අතරමං කරලා දාපු අසරණ දරුවෙක්ද? මේකට උත්තරේ ලැබුණේ ඔබ විශ්වාස කරන්නේ බානට් පවුල කියන කතාවද, නැත්නම් නටාලියාගේ පෙනුමද කියන එක මත විතරයි.
හැබැයි මේ අතරමං වෙලා හිටපු නටාලියාව ඇන්ට්වෝන් සහ සින්තියා මෑන්ස් කියන යුවළගේ ඇස ගැටෙනවා. ඇන්ට්වෝන් කියන්නේ පල්ලියක බිෂොප්වරයෙක්. ඔවුන් දැක්කා මේ දරුවා තනියම ජීවත් වෙන්න දඟලන අසරණ විදිය. ඔවුන් නටාලියාව තමන්ගේ ගෙදරට එක්කගෙන යනවා.
බානට් පවුල කියපු භයානක, රඟපාන වැඩිහිටියෙක් නටාලියා ඇතුළෙන් මේ මෑන්ස් පවුලට පෙනුණේ නැහැ. ඔවුන්ට පෙනුණේ උදව් අවශ්‍ය කරන පුංචි මනුස්සයෙක් විතරයි. 2016 දී මෑන්ස් පවුල නටාලියාගේ භාරකාරත්වය ඉල්ලලා උසාවි යනවා. ඔවුන් කිව්වේ ඒ වෙද්දී නටාලියාට වයස අවුරුදු 13ක් හෝ 14ක් විතර ඇති කියලයි. ඔවුන් ඇගේ නම පවා නටාලියා ග්‍රේස් රෙනේ මෑන්ස් කියලා වෙනස් කරනවා.
හැබැයි නීතිය ඉදිරියේ මේ පැටලිල්ල එන්න එන්නම වැඩි වුණා මිසක් විසඳුමක් නම් පෙනෙන තෙක් මානයක තිබුණේ නැහැ.
අන්තිමේදී මේ ප්රශ්නය කොයි තරම් දුර ගියාද කිව්වොත්, බානට් යුවළට විරුද්ධව යැපෙන්නෙකු නොසලකා හැරීම (neglect of a dependent) යටතේ නඩු පවරන්න රජයට සිද්ධ වුණා. මේ නඩුව මුළු ඇමරිකාවෙම අවධානය දිනාගත්තේ හරිම භයානක විදියට. ඒකට හේතුව, මේ කතාව හරියටම Orphan කියන සුප්‍රසිද්ධ හොරර් ෆිල්ම් එකේ කතාව වගේම වුණු එක. ඒ ෆිල්ම් එකෙත් වෙන්නේ පවුලක් දරුකමට හදාගන්න ගන්න පුංචි කෙල්ලෙක් ඇත්තටම භයානක වැඩ කරන වැඩිහිටි ගැහැනියක් වෙන එකනේ.
බානට් පවුල උසාවියේදී දිගින් දිගටම කිව්වේ නටාලියා හරිම ප්රචණ්ඩ, සමාජ විරෝධී හැසිරීම් පෙන්නපු කෙනෙක් කියලා. ඔවුන් කිව්වා එයා වයස ගැන බොරු කියනවා විතරක් නෙවෙයි, තමන්ව මරන්න පවා හැදුවා කියලා. හැබැයි නටාලියාව පස්සේ භාරගත්තු මෑන්ස් පවුල කිව්වේ ඒකේ අනිත් පැත්ත. ඔවුන් ගාව ඉද්දි නටාලියා කිසිම ප්රචණ්ඩ වැඩක් කරලා තිබුණේ නැහැ.
දැන් මුළු ලෝකයම දෙකට බෙදුණා
නටාලියා කියන්නේ අන්ත අසරණ වුණු දරුවෙක්ද?
නැත්නම් එයා හැමෝවම රවට්ටපු භයානක වැඩිහිටියෙක්ද?
ඇත්තටම එයා ඒ වෙලාවේ දරුවෙක්ද… නැත්නම් වැඩිහිටියෙක්ද?
මේ නඩුව අවසන් වුණේ හරිම පුදුම විදියට.
2022 දී මයිකල් බානට් නිර්දෝෂී වුණා. 2023 දී ක්‍රිස්ටීන් බානට්ට තිබුණු චෝදනාත් අයින් කළා. කවුරුත් වැරදිකරුවන් වුණේ නැහැ. නටාලියාගේ ඇත්ත”මොකක්ද කියන එක තව තවත් රහසක් වුණා.
හැබැයි මේ අතරේ නීතිඥවරු කිව්වා ඔවුන් යුක්රේනයෙන් නටාලියාගේ සැබෑ අම්මව හොයාගත්තා කියලා. DNA පරීක්ෂණවලිනුත් ඒක තහවුරු වුණාලු. ඒ අම්මා වගේම යුක්රේනයේ රෙකෝඩ්ස්වලත් තිබුණේ නටාලියා ඉපදුණේ 2003 සැප්තැම්බර් 4 වෙනිදා කියලයි. ඒ කියන්නේ බානට් පවුල එයාව තනියම දාලා යද්දී එයා ඇත්තටම දරුවෙක්.
නමුත් මෙතන තමයි නීතියේ තියෙන ලොකුම විහිළුව තියෙන්නේ.
ඒ ඔක්කොම සාක්ෂි තිබුණත්, 2012 දී උසාවිය දුන්නු වයස වෙනස් කිරීමේ තීන්දුව ආපහු හැරවන්න උසාවිය කැමති වුණේ නැහැ. නීතියට අනුව එයා තාමත් උපන්නේ 1989 දී.
මේක හරිම අමුතු නීතිමය පටලැවිල්ලක්. ලියකියවිලිවල වැඩිහිටියෙක් කියලා ලියැවුණු නිසා, ඇත්තටම දරුවෙක් වෙන්න පුළුවන් කෙනෙක්ට වැඩිහිටියෙක් විදියට සලකන්න නීතියට සිද්ධ වුණා.
නටාලියා පස්සෙ වින්සන්ට් සහ නිකෝල් ඩිපෝල් කියන යුවළ එක්ක පදිංචියට ගියා. මේ යුවළගේ තියෙන විශේෂත්වය තමයි ඔවුන් දෙන්නටම නටාලියාට වගේම Dwarfism කියන තත්ත්වය තියෙන එක.
ඩිපෝල් යුවළ කියන විදිහට, බානට් පවුල නටාලියාව හදාගන්න ගන්න කලින්ම ඔවුන් නටාලියාව ගන්න උත්සාහ කරලා තිබුණා. නටාලියාත් කියන්නේ එයා පොඩි කාලේ ඉඳන්ම මේ දෙන්නට ගොඩක් ආදරේ කළා කියලයි. දැන් නීත්‍යානුකූලව වැඩිහිටියෙක් විදිහට ඔවුන් එක්ක ඉන්න ලැබුණු එකෙන් තමන්ට ලොකු නිදහසක් දැනෙනවා කියලා නටාලියා කියනවා. ඒ වගේම මේ අස්ථි රෝගී තත්ත්වයත් එක්ක කොහොමද හරියට ජීවත් වෙන්නේ කියලා ඔවුන්ගෙන් ඉගෙන ගන්න එක එයාගේ ජීවිතේට ලොකු හයියක් වෙලා.
නීතියට අනුව නටාලියා දැන් වැඩිහිටියෙක් නිසා ඔවුන් එයාව දරුකමට හදාගන්නේ නැහැ. හැමෝම එයාගේ වයස ගැන, නීතිය ගැන තර්ක කරද්දී නටාලියාට ඕන වුණේ නීත්‍යානුකූල භාරකරුවෙක් නෙවෙයි තමන්ව තේරුම් ගන්න පුළුවන්, තමන්ගේම කෙනෙක් ඉන්න තැනක් විතරයි.
යුක්රේනයේ ඉපදුණු පුංචි කෙල්ලෙක්
පවුලෙන් පවුලට මාරු වුණු අනාථ දරුවෙක්
නීතිය විසින් එක රැයකින් වයස වෙනස් කරපු වැඩිහිටියෙක්
තනියම අතරමං කරලා දාපු අසරණයෙක්
මේ හැමදේම මැද්දේ අවුරුදු ගාණක් ගියත් නටාලියා වටා තියෙන ඒ කුණාටුව තාම නතර වෙලා නැහැ.
ඇත්තටම එදා මොකද වුණේ කියලා ලෝකය කවදාවත් එකඟතාවයකට එන එකක් නැහැ.
හැබැයි මේ කතාවෙන් අපිට දෙන ලොකුම පාඩම තමයි, එක සැකයක් හිතේ පැළ වුණාම ඇත්ත කියන දේ කොච්චර නම් යටපත් වෙනවද කියන එකයි, අපේ පද්ධතිවල තියෙන දුර්වලකම් නිසා අහිංසක ජීවිත කොච්චර නම් අසරණ වෙනවද කියන එකයි.











