රැකියා මාරුව 

තාරු  උන්නේ හරි කලබලෙන්. කලබලය එක්ක නොරිස්සුමකුත් තිබුණා. 

තාරු මෙතෙක් කල් වැඩ බලමින් උන්නු තනතුරට අලුතෙන් නිලධාරිනියක් එනවා කියල ඊට කලින් දවසේ හවස ආයතන ප්‍රධානිය තාරුට දැනුම් දීලා තිබුණා.  

” ඔන්න තාරා මිස් ඔයා බැහැ බැහැ හරි කරදරයි කිය කියානේ පෝස්ට් දෙකක වැඩ කරේ…….. හෙට උදේ  අලුත් මිස් එනවා…  හෙට උදේට එයාට ඒ ඩොකියුමන්ස් ටික හෑන්ඩ් ඕවර් කරන්න.. එයා ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරලා එන කෙනෙක් ඒ නිසා එයාට සබ්ජෙක් ගැන ලොකුවට කියලා දෙන්න ඕන නැහැ. ඒත් අපේ ඔන් ගොයින් ප්‍රොජෙක්ට් ටික එයාට පොඩ්ඩක්  කියලා  දෙන්න වෙයි …. ඔයාට ඉඩ තියෙන විදියට  ඒ ටික ගැන අවබෝධයක් එනකල් ටච් එකේ ඉන්නකෝ…”

ආයතන ප්‍රධානියා එහෙම කියපු විදිය තාරුගේ ඔලුවේ ආයෙ ආයෙම ඇහෙනවා.  ඒ ඇහෙනකොට හිතෙන්නේ, තමන් සන්තකව තිබුණ යමක් කවුරුම හරි බලෙන්  අරගෙන යනවා වගේ. . 

” ඔය කවුරු කොහොම ආවත් මං කරා වගේ ඔය සබ්ජෙක්ට් එක කරන්න හම්බවෙන්නේ නැහැ. …”

තාරු ඇයට විශ්වාසවන්තවම උන්න  මිතුරිය එක්ක තමන්ගේ හිතේ කලබලේ බෙදා ගත්තේ එහෙමයි.

” තාරු ඔයා ඔය සබ්ජෙක්ට් එක කරෙත් බෑ බෑ කිය කිය නහයෙන් අඬ අඬා නේ ඉතින් මොකටද ඕකට ලෝභකම් කරන්නේ….. අතෑරලා දාන්න අනේ.. ඔය ටෙන්ඩර් කෙරුවාව මම නම් ආසම නෑ.. අනෙක අපේ මේ ජොබ් වල කිසිම දේකට ඇලෙන්න හොඳ නෑ… මෙව්වා අතාරින්න ඕනි..”..

” අනේ මට නම් ඇති ලෝභ කමක් නැහැ…මං මේ කියන්නේ අපේ ලොක්කා ඉතින් අලුත් සබ්ජෙක්ට් එකට  එන එක්කෙනාව වර්ණනා කරන හැටියට….. එච්චර දෙයක්ද අප්පා ඕක…”

තාරු එහෙම කිව්වත් තාරුගේ මිතුරියට තාරු ඒ දේ කියපු විදිය නං ඒ තරමට හිතට ඇල්ලුවේ නැහැ.  

” කෝකටත් සබ්ජෙක්ට් එක ක්ලියර්  කරලම වැඩ ටික හෑන්ඩ් ඕවර්  කරන්න….  ඔය ගමන්ම ඉන්කම්ප්ලීට් මොනවා හරි තියෙනවා නම් ඒවා කම්ප්ලීට් කරන්න ……. 

 විශේෂයෙන්ම සල්ලි සම්බන්ධ කාරණා ටික නම් විසඳලාම ඉන්න… ඔව්වා වාත වෙනවා ඈ..” 

තාරුගේ මිතුරිය එහෙම කියනකොට තාරු මිතුරිය දිහාවටත් හෙළුවේ අමනාප බැල්මක්. 

ඒත් ඇත්තටම තාරු දැනගෙන හිටියා තාරුගේ හිතේ මේ කලබලයට හේතුව තවම විසඳගන්න බැරිවෙලා තියෙන ඒ මුදල් ගනුදෙනු ටිකක් කියලා.  කිසිම හොර හිතකින් වැඩක්  නොකලා වුනත් යම් ලෙගාගන්න නොහැකි ලියකියවිලි පටලැවිල්ලක් නිසා හැදිලා තියෙන මුදල් හිරවීමක් තියෙනවා. 

තාරු කියන්නේ ස්වභාවයෙන්ම වෙහෙසිලා වැඩ කරන්න කැමති නිලධාරිනියක්.

 ඒත් හිටපු ගමන් කලබල වෙලා වැඩ කරන්න ගිහිල්ලා තාරාට  වැඩ පැටලිලා ගිය තැන් නැතුව නෙවෙයි. 

ඒ වගේම තාර නිතරම හේතුවෙ මුලු කාර්යාලයටම හරියට වැඩ කරන නිලධාරිනියකට ඉන්න තමන් විතරයි කියලා. ඒ හින්දම කවුරුන් හරි කෙනෙකුගේ  දක්ෂතාවයක් කාර්යාලය තුළදී ඇගයුනාට පස්සේ තාරු නිකන් නිරපරාදේ ම හිත රිදවගත්තා. 

අලුතෙන් එන නිලධාරිනිය ආවායින් පස්සේ තාරු අදාල විදියට රාජකාරි ටික භාර දුන්නා. ඒත් කිසිම හිතවත් කමක් නම් පෙන්නුවේ නැහැ.

දවස් දෙකක් වගේ යද්දි මේ අලුත් නිලධාරිනිය තාරු ළඟට ඇවිල්ලා ටිකක් කතා කරන්න පුලුවන්ද කියලා ඇහුවා. තාරු උත්තර දුන්නේ

අකමත්තෙන් වුනත්, අලුත් නිළධාරිනියගේ හිතවත්කම එක්ක තාරුට දිගින් දිගටම අකමැත්තෙන් ඉන්න බැරිව ගියා. දෙන්නා එක්කම එකතු වෙලා පරණ පටලැවිලි ලිහාගත්තේ ඒ අතරේ.

සති දෙකකට  විතර පස්සේ ආයතන ප්‍රධානියාගෙන් කැඳවීමක් ලැබුණා.

තාරු කැබින් එකට ඇතුල් වෙනකොට අලුතින් ආව නිළධාරිනියත් කැබින් එකේ හිටියා. 

තාරු දෙන්නාම දිහා බැලුවේ පුදුමයෙන්. 

” තාරු මිස් … “

“ඔව් සර්…”

” ඔන්න … අපේ අලුත් මිස් තාරු මිස් අපේ ටෙන්ඩර් සබ්ජෙක්ට් එක  කරලා තියෙන විදිය හරිම පැහැදිලියි කියලා මට කමෙන්ට් එක දුන්නා… මේ වගේ ෆ්ලෝව් එකකට වැඩ කරපු නිසා මිසක්, ඒ වගේ වර්ක් ලෝඩ් එකක් කරගන්න එක ලේසි  නැහැලු.. ඒක නම් සම්පූර්ණයෙන්ම ඇත්ත…. තාරු මිස් ලේසි වර්ක් ලෝඩ් එකක් නෙවෙයිනේ ඇද්දේ.. පොඩු පොඩි අඩුපාඩු ටිකක් ලු තිබුනේ… ඒ ටිකත්,දෙන්නා එක්ක විසඳගත්තා කිව්වානේ…”

තාරු ට ඒ අගය කිරීම හිතාගන්න බැරිව ගියා. ඇය අලුත් නිළධාරිනිය දිහා බැලුවේ පුදුමෙන්.

” මිස් තාරු ඇත්තටම හරිම ටැලන්ටඩ්… ඔයා හදලා තියෙන සිස්ටම් එක්ක වැඩ මාරම ලේසි…..”

ඇය එහෙම කියනකොට තාරු හිනා වුනා. හිතේ එතෙක් කල් තිබුණ අඳුරු පැල්ලම් එකපාරටම අඩු වෙලා යන බව දැනුණා.

” ඔයා හරි… අපි කරන ජොබ් ඇතුලේ කිසිම දේකට ඇලෙන්න හොඳ නෑ….. ජොබ් එක කියන්නේ ජොබ් එක …. වගකීම හරියට කරලා මූව් වෙන එකයි වෙන්නෝනා..”

තාරු මිතුරිය හොයාගෙන ගිහින් එහෙම කිව්වේ හිතේ එච්චර කල් තිබුණ මහ බර බිමින් තියල.

More Stories

Don't Miss


Latest Articles