මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 46

0
521

මේඝා ඒ දවස්වල හිටියේ හරියට පණ තියෙන කෙනෙක් වගේ නෙවෙයි.

ඔෆිස් යනවා, ගෙදර එනවා, මගෙ වාහනේට නගිනවා, වාහනෙන් බහිනවා, මං ගෙනත් දෙන එක කනවා, ඉන්පස්සෙ නිදාගන්නවා. ඒ හැමදේම ඔටෝමැටිකලි වෙද්දිත් මේඝා විතරක් ඒ හැමදේම අතරින් හෙමින් හෙමින් ඈත් වෙලා යනවා වගේ මට දැනුණා.

එයා මගේ ඉස්සරහා වාඩිවෙලා ඉන්නවා. හැබැයි එයාගේ හිත කොහෙවත් වෙන තැනක රැඳිලා තියෙන විත්තිය මට නොතේරුනා නෙවෙයි.

මං කතා කරනවා.
 එයා අහන් ඉන්නවා.

මං ප්ලෑන් හදනවා.
 එයා ඔලුව වනනවා.

ඒත් ඒ ඇස් ඇතුළේ කිසිම ලයිෆ් එකක් තිබ්බෙ නෑ.ඒක මට පිස්සු හැදෙන්න තරම් අමාරු ෆීලින් එකක්. මොකද මං දැනගෙන හිටියා ඒ තත්වෙට එයාව ගෙනාවේ මම කියලා.

“මේඝා”

එයා බැල්කනි එකේ රේලින් එකට හේත්තු වෙලා නගරේ ලයිට් දිහා බලන් හිටපු වෙලාවක මං හෙමින් කතා කළා.

එයා මං දිහා බැලුවෙ නෑ.

“මං දන්නවා ඔයා මං එක්ක තරහායි කියලා.”

ඒත් එයා මුකුත් කිව්වෙවත් මං දිහා බැලුවෙවත් නෑ.

“තරහා වෙන්නත් එපා කියන්න මට අයිතියක් නෑ.”

තාමත් අපි අතරෙ තිබ්බෙ සයිලන්ස් එකක් විතරයි.

මං හෙමින් එයා ගාවට ගියා. හැබැයි කලින් වගේ ලං වෙන්න මං බය වුණා. ඒක අලුත් දෙයක්.මං කවදාවත් මේඝා ගාව බය වෙලා හිටපු මිනිහෙක් නෙවෙයි.ඒත් දැන් එයා ටිකක් ඈත් වුණත් මට දැනුණේ මගේ පපුව හම අස්සෙන් අත දාලා එලියට ඇදලා ගත්තා වගේ වේදනාවකින්.

“මං හැමදේම අවුල් කරගත්තා.” මං හෙමින් කිව්වා. “ඔයාගේ ජීවිතෙත්… මගේ ජීවිතෙත්… ඔක්කොම.”

මේඝා හෙමින් හුස්මක් අරගෙන ඇස් පියාගත්තා විතරයි. වචනයක්වත් කිව්වෙ නෑ.

“ඒත් මං මේක හරිගස්සනවා.”

අන්න ඒ වචනෙ කියද්දි තමයි පලවෙනි වතාවට එයාගේ ඇස් ටිකක් මං දිහාට හැරුණේ.

“කොහොමද?”

හරිම හෙමින් කැඩිච්ච හඬකින් එයා ඇහුවා. මගේ පපුව ඇතුළේ මොකක්හරි තැනක් රිදුණා.

“මන්දස්මිතා එක්ක මං කතා කරනවා,” මං ඉක්මනට කිව්වා. “මේ හැමදේම මං ක්ලියර් කරනවා. ඔයාට ආයෙ කිසිම ප්‍රශ්නයක් වෙන්න මං දෙන්නෙ නෑ.”

එයා ආයෙ අහක බලාගත්තා.

“ඔයාට තේරෙන්නෙ නෑ මතින්ද්‍ර”

“තේරෙනවා.” මං ඒ පාර ටිකක් ඉක්මනට කිව්වා. “මට දැන් ඔක්කොම තේරෙනවා. මං වැරදි. හරිද? මං පිස්සෙක් වගේ හැසිරුණා. ඒත් මං වෙනස් වෙනවා.”

මේඝා ඒ පාර හිනා වුණා.හැබැයි ඒක හිනාවක් නෙවෙයි. හරියට ගොඩක් මහන්සි වෙලා ඉන්න කෙනෙක්ට ඉබේ පිටවෙන හුස්මක් වගේ.

“මිනිස්සු ඔච්චර ලේසියෙන් වෙනස් වෙන්නෙ නෑ.”

ඒ වචනෙ මට රිදුණා.

“මං වෙනස් වෙනවා.”

“ඔයා හැමදාම ඒකම තමයි කියන්නෙ. කිව්වෙ”

කාමරේ ආයෙ නිශ්ශබ්ද වුණා.මං මේඝා දිහා බලන් හිටියා.ඇත්තටම එයා දැන් හිටියේ මාත් එක්ක නෙවෙයි වගේ.හරියට එයාගේ ඇඟ විතරක් මෙතන ඉතුරු වෙලා හිත සම්පූර්ණයෙන්ම වෙන කොහෙහරි ගිහින් වගේ. ඒත් ඒක මට භාරගන්න බෑ. මොකද මට තාමත් දැනුණේ මේ හැමදේම හරිගස්සන්න පුළුවන් කියලා.මන්දස්මිතා එක්ක මේක ඉවර කරගත්තොත්, මේඝාට ටික කාලයක් දුන්නොත්, අපි දෙන්නට ආයෙ මුල ඉඳන් පටන් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතුවා.

මං ඒ අදහස අස්සෙ එල්ලිලා හිටියා. හරියට ගිලෙන මිනිහෙක් අන්තිම පාරට අල්ලගන්න දෙයක් හොයනවා වගේ.

එදා මේඝා එක්ක කතා කරලා ගෙදර යන පාරෙදිත් මගේ ඔළුව ඇතුළේ රිපීට් වෙවී තිබුණේ එකම දේ.

මං තාම පරක්කු නෑ. ඇත්ත මං පිස්සුවක් නැටුවා තමයි. ලොකු පිස්සුවක් නැටුවා තමයි. ලොකු විනාශයක් වුණා තමයි.හැබැයි ඒකෙන් හැමදේම ඉවරයි කියන එකක් කියවෙන්නෙ නෑනෙ.මිනිස්සු රණ්ඩුවලින් පස්සෙත් සම්බන්ධකම් පරිස්සම් කරගන්නවා. මැරේජස් බේරගන්නවා. බ්‍රේක් අප්ස් වලින් පස්සෙත් ආයෙ එකතු වෙනවා.

එහෙනම් ඇයි මට බැරි වෙන්නෙ?

මං ස්ටියරින් වීල් එකට අත තද කරගෙන ඩ්‍රයිව් කරන ගමන් මටම කතා කරගත්තේ ඒ වගේ දේවල්.මේඝා ඉන්නෙ හිත රිද්දගෙන. ඔව්. බයවෙලා. ඔව්. හැබැයි එයා තාම සම්පූර්නයෙන්ම මට නැතිවෙලා නෑ.මං ඒක විශ්වාස කරා. එහෙමයි කියලා මම හිතුවා. මොකද එයා අද මාව සම්පූර්ණයෙන්ම මග ඇරියෙ, අවොයිඩ් කරේ නෑ. මාව බ්ලොක් කරලා දාලා නෑ. මාව දැක්ක ගමන් නැගිටලා ගියෙත් නෑ.ඒ කියන්නෙ මට චාන්ස් එකක් තාම තියෙනවා. මට ඕන වුණේ ඒ පොඩි බලාපොරොත්තුවේ හරි එල්ලෙන්න.

ගෙදර ගිහින් වොශ්එකක් දාගෙන කන්ණාඩිය ඉස්සරහා හිටගෙන ඉද්දි පලවෙනි වතාවට මං මගේම මූණ දිහා හොඳට බැලුවා.ඇස් යට කළු වෙලා. රැවුල අවුල්.මූණ මහන්සි පාටයි.

“පිස්සෙක් වගේ” මං මටම කියාගත්තා.

ඒත් සමහරවිට මේක තමයි මගේ වේක් අප් කෝල් එක.

මං ෆෝන් එක අරගෙන තෙරපි ක්ලිනික්ස් සර්ච් කරා.මං මට රිලැක්ස් වෙන්න යන්න පුලුවන් තැන් සර්ච් කරන්නත් පටන් ගත්තා.

බාලි, තායිලන්ස්, ඇල්ල, ඕන තැනක යන්න මං ලෑස්තිවෙලා හිටියෙ.මට ඕන වුණේ මේඝාව මේ ප්‍රශ්නවලින් ටිකක් හරි ඈතකට අයින් කරගෙන යන්න.

“අපිට ආයෙ හැමදේම අලුතෙන් පටන් ගන්න, රීසෙට් වෙන්න චාන්ස් එකක් ඕන.” මං හෙමින් මටම කියාගත්තා.

ඒ සිතුවිල්ලක් එක්ක මට අවුරුදු ගාණකට පස්සෙ පලවෙනි වතාවට හුස්මක් ගන්න පුළුවන් වුණා වගේ දැනුණා.අපි දෙන්නට තනියම කොහෙහරි යන්න පුලුවන් උනොත් ෆෝන්ස් නැතුව, මිනිස්සු නැතුව, ප්‍රෙශර් එකක් නැතුව, මේ හැමදේම දිහා අලුත් විදියට බලලා හැමදේම ආයෙ අලුතෙන් හොඳ විදියට පටන් ගන්න පුලුවන් වෙයි.

මේඝා ආයෙ හිනා වෙයි.

එයා ආයෙ මං දිහා කලින් වගේ බලයි.

මං ඇත්තටම උන්නෙ හිත අස්සෙන් මේඝාගෙයි මගෙයි අනාගතේ ප්ලෑන් කරන ගමන්. මේඝා සුදු පාට බිකිනි එකක් ඇඳගෙන බීච් එකේ ඇවිදිනවා. මං එයාගෙ ෆොටෝගන්නවා. අපි දෙන්නා නෝමල් කපල් එකක් වගේ කොෆි ශොප්ස් වල ඉන්නවා.

දෙයියනේ…

මං ඒ ෆැන්ටසි එක ඇතුළේ සෑහෙන්න දුර ගිහින් තිබුණා.

ඒ අතරෙම ෆෝන් එක වයිබ්‍රේට් වුණා.

මැසේක් එකක් ඇවිත් තිබුනෙ මේඝාගෙන්. මං හිතුවෙ එයා මට කියලා ඇති කියලා තාමත් ආදරෙයි කියලා. එයාට මං නැතුව පාලුයි කියලා. මට එහෙ එන්න කියලා. ඒත් එයා කියලා තිබ්බෙ හරිම සරල දෙයක්.

“passwords ටික ප්ලීස්.”

එච්චරයි. කිසිම එමොජි එකක්, එමෝශන් එකක් ඒ මැසේජ් එකේ තිබ්බෙ නෑ. ඒක මැසේජ් එකකට වඩා රික්වෙස්ට් එකක්. මං ස්ක්‍රීන්එක දිහා ටික වෙලාවක් බලන් හිටියා.ඊටපස්සෙ රිප්ලයි  කරා.

“මං ඒවා හෙට දෙන්නම්. ප්‍රොමිස්.”

Typing typing

ඊටපස්සෙ ඒකත් නැතිවෙලා ගිහින් මේඝාගෙ චැට් එක ක්ලෝස් වෙලා ගියා. මගෙ පපුව හිස් වුනා වගේ මට දැනුනෙ ඇයිද මන්දා. හැබැයි මං කොහොමහරි ඒක ඉග්නෝර් කරා. මොකද හෙට හැමදේම වෙනස් වෙනවා. හෙට කියා දවසක් නෑ. Kal ho naho.මං මටම එහෙම කියලා කන්වින්ස් කරගත්තා.ඊටපස්සෙ මං බෙඩ් රූම් එකෙන් එළියට ආවේ මන්දස්මිතා එක්ක හීන් සැරේ  කතා කරලා ප්‍රශ්න ටික මනුස්සයො විදියට ඉවර කරන්න හිතාගෙන.

හැබැයි මම අපේ සාලෙට එද්දිත් මන්දස්මිතා ඒ යන පාරෙ තිබ්බ කෑම මේසෙ  ගාව මොන මොනවහරි කොල වගයක් දිග ඇරගෙන වාඩිවෙලා හිටියා. එයාගේ මූණේ තිබුණ මොකක් හරි ෆීලින් එකක්  දැක්ක ගමන් මගේ හිත ඇතුළ හෙමින් සීතල වෙලා යන්න පටන් ගත්තා.

මන්දස්මිතා කෑම මේසෙ ගාව වාඩිවෙලා හිටියේ හරියට පැය ගාණක් තිස්සේ එතනින් නැගිට්ටෙ නැති කෙනෙක් වගේ. මේසෙ උඩ කොල වගයක් විසිරිලා තිබ්බා. එයාගෙ ලැප්ටොප් එකත් ඕපන් වෙලා තිබ්බා. කොෆි මග් එකක් තිබ්බා. හරිම සීතල ගතියක් මුලු ගේ අස්සෙම මට දැනුනෙ. ගේ ඇතුළේ ලයිට් පවා හරිම සීතල පාටට දැනුණා.

“තාම නිදි නැද්ද?” මං නෝමල් වෙන්න ට්‍රයි කරමින් ඇහුවා.

මන්දස්මිතා මං දිහා බැලුවා.

“කතා කරන්න ඕන.”

මං පුටුවක් ඇදලා වාඩි වුණා.

“හරි. අපි ෆයිනලි නෝමල්l විදියට කතා කරමු.”

එයා ඒකට උත්තරයක් දුන්නෙ නෑ. ඒ සයිලන්ස් එකත් එක්කම මට අමුතු ටෙන්ශන් එකක් දැනෙන්න ගත්තා.

“මං දන්නවා පහුගිය ටිකේ මං හන්දා එක එක ප්‍රශ්න කරදර වුණා,” මං හෙමින් කියන්න පටන් ගත්තා. “හැබැයි මං ඒවා ෆික්ස් කරන්න හදනවා.මං බොන එක නවත්තනවා.තෙරපි යන්නත් හිතුවා. ඇන්ගර් ඉශූස් එක්ක වැඩ කරන්නම්.” මං නිකන් ලිස්ට් එක්ක කියවගෙන යනවා වගේ කියවගෙන ගියා. හරියට ඉන්ටවිව් එකකට ඇවිල්ලා මාවම ඩිෆෙන්ඩ් කරනවා වගේ.

“මං හැමදේම කන්ට්‍රෝල් එකෙන් අයින් වෙන්න දුන්නා. ඒක මගේ ප්‍රශ්නයක්.”

මන්දස්මිතා හෙමින් හුස්මක් ගත්තා.

“ෆයිනලි.”

“මොකක්?”

“ඔයා ෆස්ට් ටයිම් තමයි තමන් වැරදි කියලා පිළිගන්නෙ.”

මං ඒකට මහ කැත හිනාවක් වගේ එකක් දැම්මා.

“wow. proud of me?”

එයා මං කිව්ව දේ ගණන් ගත්තෙවත් නෑ.

“මතින්ද්‍ර… මට මහන්සියි.” ඒ වචනෙ මට ඇහුනෙ මාර බර විදියට.

“මට තවත් මේක ඇදගෙන යන්න බෑ.” මගේ ඇඟ ඇතුළේ පුදුමාකර කැලඹීම එක්ක, නොසන්සුන් ගතියක් එළියට ආව විත්තිය මට තේරුණා.

“ඒ කිව්වෙ?”

මන්දස්මිතා මේසෙ උඩ තිබ්බ ෆයිල් එකක් අතට ගත්තා. එයා ඒක මගේ පැත්තට හෙමින් සැරේ තල්ලු කරා. මං ඒ දිහා බැලුවා. මුලින්ම මට එයා කියන්න හදන දේ තේරුණේ නෑ. හැබැයි ඒ ෆයිල් එකේ තිබ්බ ලෝයර්ගෙ නම දකිද්දි මට හෙමින් සැරේ හැමදේම තේරුං ගන්න පටන් ගත්තා. මගේ පපුව ඇතුළේ මොකක්හරි එකපාරටම පහළට කඩාගෙන වැටුණා වගේ මට දැනුණා.

“මොකක්ද මේ?”

මගේ හඬ වෙනස් වෙලා තිබුණා.

“මට ඩිවෝස් එක ඕන.” මුලු ගෙදරම තිබ්බෙ සයිලන්ට් වෙලා. මං උන්නෙ ශොක් වෙලා.

ඇත්තටම මට shock එකටත් වඩා දැනුණේ වෙන දෙයක්. හරියට වහපු දොරක් තල්ලු කරලා ඇරුණා වගේ ෆීලින් එකක්. මං ඒ ෆීලින් එකට බය වුණා.

“මන්දස්මිතා…”

“නෑ,” එයා ඔළුව වැනුවා. “ප්ලීස් මුකුත් කියන්න එපා”

මං කතා කරේ නෑ. මගේ ඔළුව ඇතුළේ මේඝාගේ මූණ මැවිලා පේන්න ගත්තා. එයාගෙ මහන්සි පාට ඇස්. එයාගෙ සයිලන්ස් එක, ඩිප්‍රෙස්ඩ් ලුක් එක. එයා මගෙන් ඈත් වෙන්න හදපු විදිය. ඒ හැමදේම.

“මට මහන්සි මතින්ද්‍ර,” මන්දස්මිතා ආයෙ කිව්වා. “ඔයා කාටද ඇත්තටම ආදරේ කරන්නෙ කියලා ඔයාවත් දන්නවද කියලා මට තේරෙන්නෙ නෑ. ඔයා අඩුගානෙ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ආදරේද කියල මටවත් විශ්වාස නෑ.”

මං ෆයිල් එක අතට ගත්තා. මගේ අත් දෙක සීතල වෙලා තිබුණා. හැබැයි හිතේ ගැඹුරුම තැනක කොහේ හරි ඉඳන් කවුරුහරි හෙමින් මට කියනවා ඇහුනා,

“දැන් මේඝා එක්ක හැමදේම ආයෙ මුල ඉඳලා පටන් ගන්න පුළුවන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here