අපි කවුරුත් ආසයිනෙ අර කඩෙන් ගන්න ස්පන්චි කන්න. ඒවයේ තියෙනවා අපිට ගෙදරදී හදාගන්න බැරි වගේ හිතෙන අමුතු රසක්. ඉතින් අද මේ ලිපියෙන් අපි ඔයාලට අරගෙන එන්නේ කඩේ වගේම ගොඩක් රසට, අවන් එකක් නැතුව ගෙදර ලිපේම ස්පන්චි හදාගන්න විදිහ.
හොඳම දේ තමයි මේ ස්පන්චි හදන්න බීටර් එකක්වත්, අවන් එකක්වත් ඕන නෑ. ගෙදර තියෙන සාමාන්‍ය උපකරණවලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 2ක්
- ලුණු ස්වල්පයක්
- සීනි 100g
- පොල්තෙල් 50ml (එළවළු තෙල් හෝ දිය කරගත් බටර් භාවිත කරන්නත් පුළුවන්)
- පාන් පිටි 130g
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- වැනිලා ස්වල්පයක්
සකස් කරන විදිහ
මුලින්ම බිත්තර දෙක, ලුණු, සීනි සහ පොල්තෙල් එක භාජනයකට දාලා හොඳට මිශ්‍ර කරගන්න.
මේක විස්ක් එකකින් ගසාගන්න පුළුවන්. නැත්නම් බ්ලෙන්ඩර් එකකට දාලා බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්.
සීනි සම්පූර්ණයෙන්ම දිය වෙනකම් හොඳට මිශ්‍ර කරගන්න.
ඊට පස්සේ පාන් පිටි 130g සහ බේකින් පව්ඩර් එකතු කරන්න. මේ දෙකම පෙනේරයක් භාවිත කරලා එකතු කරනවා නම් ස්පන්චි එක තවත් මෘදු වෙනවා.
ඉන්පස්සේ ආයෙත් හොඳට මිශ්‍ර කරගෙන වැනිලා ටිකත් එකතු කරන්න.
බැටර් එක ටිකක් වැඩිපුර ඝන නම්, තවත් තෙල් ස්වල්පයක් එකතු කරලා බැටර් එක ටිකක් ලිහිල් කරගන්න පුළුවන්.
ස්පන්චි තම්බාගන්න විදිහ
මේකට සාමාන්‍ය තේ බොන කෝප්ප පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් කප් කේක් ට්‍රේ එකක් වුණත් භාවිත කරන්න පුළුවන්.
කෝප්ප ඇතුළට කප් කේක් ලයිනර් දාන්න පුළුවන්. එහෙම නැත්නම් බටර් හෝ තෙල් ටිකක් හොඳට ගාගන්න.
ඊට පස්සේ බැටර් එක කෝප්පවලට දාගන්න. හැබැයි කෝප්පේ මුදුනටම පුරවන්න එපා. කේක් එක පිම්බෙන නිසා තුනෙන් දෙකක් විතර පුරවලා තියන්න.
දැන් ලොකු භාජනයක් ලිපේ තියලා පියන වහලා විනාඩි කීපයක් ප්‍රී-හීට් කරගන්න.
ඊට පස්සේ ලිපේ ගින්දර හොඳටම අඩු කරලා බැටර් දාපු කෝප්ප ටික භාජනය ඇතුළේ පිළිවෙළට තියාගන්න.
පියන වහලා විනාඩි 35–40ක් පමණ ඉතා අඩු ගින්දරේ තැම්බෙන්න දෙන්න.
විනාඩි 40කට පස්සේ පියන ඇරලා ටූත්පික් එකක් හෝ කූරක් ගහලා බලන්න. තෙත ගතියක් නැත්නම් ස්පන්චි එක හොඳටම තැම්බිලා.
තවම තෙත ගතියක් තියෙනවා නම් තවත් විනාඩි කිහිපයක් තැම්බෙන්න දෙන්න.
අන්තිමට කෝප්ප ටික එළියට අරගෙන ටිකක් නිවෙන්න තියලා හවස තේ එකත් එක්ක රසම රස ගෙදර හදපු ස්පන්චි එකේ රස විඳින්න.











