ගීතාංජලී – 13

0
1685

“අම්මේ…ඒ.අම්මෙහ්…”

“නැගිට්ටද මගෙ පුතේ…කෝමද දැන් ඔලුව තමා අමාරුද පුතේ…”

මහා ගන අන්දකාරෙකින් පස්සෙ ආලෝකයක් දැක්ක හේ මන් දැක්කෙ මන් ලඟින් ඈඳිගෙන ඇස්වල කඳුලු පුරවන් උන්නු අපෙ අම්මව.

“අම්මේ…”

මගෙ ඇස් වලින් එකපාර කඩන් වැටිච්චි කඳුලු හංගන්න මන් තෝරගත්තෙ අම්මගෙ තුරුල්ල.මට සැනසීම දැනුනෙ, හැම වින්නැහියක්ම ඉවරයි කියාල දැනුනෙ අම්මගෙ පපුවෙන් ඔලුව හංගන් කඳුලු වක්කොරද්දි.

“දැන් වෙච්චි හැමදේම අමතක කොරල දාල නිස්කලංකෙ ඉන්න නංගියෙ”

හිමීට, බෝම අනුකම්පාවෙන් වගේ ඇහිච්ච අයියගෙ කටහඬ දිහා බලද්දි තමා මන් දුටුවෙ කාමරේ දොර අද්දර හේත්තු වෙලා ඉන්නෙ අයියව. ඒ එක්කම නංගියි මල්ලියි කාමරේට ඇතුල් වෙලා ඇද දෙපැත්තෙන් වාඩිඋනා.මට එතකොට තමා නිච්චි උනේ මන් ඉන්නෙ ගාල්ලෙ අපෙ ගෙදර මගෙ කාමරේ විත්තිය.

“මන් කවදැයි අම්මෙ මෙහෙ ආවෙ?”

මන් එහෙම අහද්දි අම්ම උත්තර දුන්නෙ මගේ කම්මුල් වල් බේරිල ගියපු කඳුලු පිහිදාන ගමන්මයි.

“දැන් දවස් තුනක් දුවේ.උඹ සිහි නැතුව උන්නෙ. උඩහ පාරෙ වෙද මහත්තය ඇවිල්ල ඊයෙ රෑ උඹට සෙත් පතල නූලක් හෙමත් අතේ දාල කිව්ව අද වෙද්දි සිහිය ඒය කියල.

කකුල පිච්චිච්ච එකට හේමත් උන්දැ බෙහෙත් දාල ගියා.තාම බිම අඩියක් හෙම තියන්න තනන්න එපා දුවේ.යටි පතුල්වල වතුර ගෙඩි හෙම දාලනෙව.

අම්ම එහෙම කියද්දි මගෙ කකුක් බලද්දි තමා මන් දුටුවෙ කකුල් දෙකම රෙදි පටි වලින් බැඳල තියන විත්තිය.

“එහෙ වලව්වෙ කුමාරිහාමි එවල තිබ්බ ටෙලිගිරෑම් එකට තමා දුවේ අපි තකහනියෙ ගොහින් උඹව එක්කාන ආවෙ. උඹ දන්නෙ නෑ උඹල එක්ක එහෙමකට කියාල කතා කරේ නැතිවට උඹ උන්නු විදිහ දැකල තාත්තා කඳුලු පෙරාපු තරම්.”

“උඹව ගෙනැල්ලත් දවස් දෙකකට පස්සෙ හේ තමා උඹට සිහිය  ආවෙ.උණ විකාරෙන් උඹකී දාහක් දේවල්දෙඩෙව්වද මගෙ දුවේ.”

“දැන් ඔව්ව කල්පනා කොරල වැඩක් නෑ දුවේ.ඔව්ව හිතෙන් අමතක කොරල දාල ඉඳහන්.උඹට මෙහෙ රිපන් කොලීජියටම මාරුවක් හදල දෙන්න මන්තිරි හාංදුරුවො බලන්නම් ය කීවා.ඕන් ඒක ආවම ඒකට පලයන් මගෙ දුවේ.අපෙ ඇස් මායිමේ නෙව මක්ක උනත් උඹ ඉන්නෙ.”

අම්ම එහෙම කිව්වෙ ඇස් වලින් කඳුලු වක්කර වක්කර.

“දරු හැවිකාරෙ තරම් ලොකු නෑ දුවේ වෙන මුකුත්”

මට මතක් උනේ නැන්ද කියාපු කතාව.හැබෑවටම මේ අම්මගෙ ඇස් වලින් වැක්කෙරෙන්න ඒ ආදරේ ඒ දරු හැවිකාරෙ නේද?

හා කියන්නෙවත් බෑ කියන්නෙවත් නැතුව මන් උන්නෙ අම්මගෙ ඇස් දිහාවම මංමුලා වෙච්ච හේ බලාගෙන.

හැබෑටම මක්කද ඒ උනේ? කවුද ඒ උන්නු දම්වැලකින් ගැටගහල උන්න මිනිහ? රංජිත් කොහෙන්ද එතෙන්ට එකපාර ආවෙ? ඇයි ආසිරි ආවෙ නැත්තෙ? අන්තිමට මන් දුටුවෙ රංජිත් කෑගහන එක මගෙ නම කියල? ඊට පස්සෙන් මක්කද උනේ?

ඇයි දෙයියනේ මට මක්කවත් මතක නැත්තෙ?

ඉන්පස්සෙ දවස් ගාණක් යනකම් මන් උන්නෙ හැබෑවටම තෝන්තුවෙන් වගේ. ගෙදර හැමෝම හේ සෑහෙන අනුකම්පාවෙන්, ආදරෙන් මට සැලකුවෙ. මට ඕන උනා අහන්න හැබෑටම මක්කද එහිදිඋනේ කියල? වෙච්ච දේ වලින් මන් නොදන්නෙ මක්කද කියල? ඒඋනාට කිසිම කෙනෙක් ඒ ගැන මා එක්ක කතා කොරේවත්, එහෙම දෙයක් අහන්න මට ඉඩකඩක් තිබ්බෙත් නෑ.

දවස් ගාණක් ගොහින් මාසයක් අවසානෙත් මට බැරිඋනා මගේ ඒ මතකෙන් මිදෙන්න.මට ඕනෙ උනේ දැනගන්න රංජිත් ට ආසිරිට ඉස්ටීවන් මහත්තයට මක්කද උනේ කියල? දම්වැලකින් ගැට ගහල උන්නු මිනිහ කවුද කියල? මට උනේ මක්කද කියල? මට වෙච්ච දේමද ස්වර්නලට සුගුණි ලට උනේ කියල?

රිපන් කොලීජිය මාත් ඉගෙන ගත්තු ඉස්කෝලෙම හන්ද වගේම ගෙදර ලඟ ඉඳල විනාඩි පහේ දුර හන්ද මට අමාරුවක් උනේ නෑ. හැබැයි එහෙ ලමයි කලින් ඉස්කෝලෙ ලමයින්ට වඩා වෙනස් කියාල මට තේරුනා. මේ ලමයිට පහසුකම් වැඩි වගේම හැම විශයක්ම උගන්නන්නැහේ ගුරුවරු උන්න.

මට උගන්නන එක මහ අමාරුවක් උනෙත් නෑ.ගමේ ඉස්කෝලෙ වගේ ගුරුවරු ලමයි අතර මහ ලොකු යාලු මිත්තර කමක් තිබුනේ නෑ.

කෝමින් කෝමින් හරි දවස් ගෙවිල ගියේ මටත් නොතේරෙන විදිහට.මුලු මාසෙම ඒ දවස් ගානම හැම තප්පරේම කල්පනා කොරත් මට උත්තරයක් හම්බුනේ නෑ මන් මගෙන්ම අහපු පුරස්න වලට.

මට දැනුනෙ මන් මහ ගන අන්දකාරෙක අතරමන් වෙච්ච කෙනෙක් හැටියට.පහුවෙච්ච කාලෙ ගැන ආපස්සහැරිල බලද්දි මට ඔක්කෝම පෙනුනෙ අඳුරු පාටට.කිසිම පැහැදිලි ගතියක් තිබුනෙ නෑ.

ඔය අස්සෙ තමා අපෙ අම්මල, ගෙදර උදවිය අතර කසු කුසුවක් යන්න පටන් ගත්තෙ.ඒ මක්කටද කවුරු ගැනද කියලන්හිතන්න අහන්න මට උවමනාවක් තිබ්බෙත් නෑ.මට ඕන උනේ ඉස්කෝලෙ අහවර වෙලාඇවිදින් මුලු දවසම කාමරේ අස්සට වෙලා කල්පනා කොරන්න. ඒත් ඒ ඔක්කොම කසුකුසු මන් ගැන තමා කියල මට තේරුනේ අම්මල ඇවිදින් කතාකොරාට පස්සෙ.

“පුතේ…ගීතා..”

කාමරේ ඇඳේ හාන්සිවෙලා බිත්තිය දිහා බලාන කල්පනා කර කර උන්නු මන් ලඟට ඇවිත් මගෙ උරපත්තට අත තීයාල කතාකොරද්දි තමා මන් කල්පනාවෙන්  තිගැස්සිලා ඇහැරුනේ.

“හ්ම්ම්ම්”

“පුතේ මක්කැයි මේ හැටි කල්පනා කොරන්නෙ?”

“මක්කවත් නෑ අම්මෙ”

“දැන් ඔය වෙච්ච සංගදි අමතක කොරල දාන්න පුතේ.දැන් ඔව්ව ගැන කල්පනා කොරත් තේරුමක් නෑ නෙව.”

“හ්ම්ම්ම්”

“යන්න කලියෙන්ම ඔය විත්තියක් දැනිච්චි හන්ද තමා අපි උඹට යන්න එපාය කිව්වෙ.උඹේ ඉරණමේ ඔහොම දෙයක් ලියැවිල තිබ්බ හන්ද තමා අපි එපා කියද්දිත් උඹ මුරණ්ඩු වෙලා ඔය ගමන යන්න තීන්දු කොරගත්තෙ.දැන් ඒවයින් කාරි නෑ දුවේ.අපි උඹේ හොඳට නෙව හැමදේම කොරන්නෙ.”

“හ්ම්ම්ම්”

මට කියන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ.ඒ හන්ද අම්ම කියන හැමදේටම මන් හූමිටි තිබ්බ මිසක්ක මන් වෙන මක්කවත් කියන්න ගියේ නෑ.

“පුතේ දැන් උඹේ වයසත් හරි හන්ද වගේම උඹ තෝන්තුවෙන් හේ ඉන්න හන්ද තාත්තා මා එක්ක කිව්ව උඹට පෙලවහක් තීන්දු කොරා නම් හොඳා කියල.ඒ ඉද්දි තමා අයිය එක්ක විස්ව විද්‍යාලෙ ඉගෙන ගත්තු ලමයෙක් උඹව කොහෙදී හරි දැකල කැන්දන් යන්න මනාප විත්තිය කියාල තිබුනෙ. ඒ ලමයිගෙ ගෙවල් හෙම නම් කැලනිය දිහාවෙ.අයිය හොඳට අදුරනවය කිව්ව ඒ ලමය.ඒ හන්දා අපි තීන්දුකොරගත්තා ලබන මහේ තුන් වෙනිද හොඳ නැකැත් දවසක් හන්ද එදාට මගුල ගන්න.ආයෙ ඉතින් හොයන්න බලන්න දෙයක් නෑ පෙරාපු රත්තරන් කියාල අයිය කිව්ව හන්ද චාලිත්තරේට එහෙන් මෙහෙට එන්න තීන්දු කොරගත්තෙ නෑ.අපි හෙට අනිද්ද දිහාවක එහෙ යන්න තීන්දු කොරගත්ත.”

අම්ම එකපාර කිව්ව දේවල් වලින් මගෙ ඇස් ගෙඩි දෙක බිරන්තට්ටු වෙච්ච පාරටම මන් මේ කටයුත්තට මනාප නැති විත්තිය අම්මට තේරුන හන්දද මන්ද උන්දැ ආයෙ මන් මක්කහරි කියන්න කලියෙන්ම කට අරින්න ලැහැත්ති උනේ.

“දුවේ උඹ මේ විදිහට මනාප නැති වෙන්න ඇහැකි.ඒඋනාට තේරුන් ගනින් දුවේ.අපි උඹට නාකක් කරන්න හදන්නෙ නෑ.හොඳක් කරන්න හදන්නෙ.ඒ හන්ද මේ පාරවත් අපි කියන දෙයක් අහපන්.”

“පොඩි නැන්දයි, එහෙ දුවයි හෙට අනිද්ද දිහාවට එන්නම්‍ ය කිව්ව ඇඳුම් කැඩුම් හෙම ලක ලැහැත්ති කොරගන්න.ලොකුවට මගුලක් ගන්න උවමනාවක් නැතැයි කියාල අපි කතාවුනා, මොකෝ ඒ ලමයගෙ පැත්තෙ අයත් එහෙම්ම කියාල තිබ්බ හන්ද.”

මට මක්කවත් කියන්න ඉඩක් තියන්නෙ නැතුවම ඔක්කොම කියල අහවර කොරපු අම්ම මගෙ ඔලුවත් අතගාල යනකම්ම මන් කොලේ හොල්මනක් දැක්ක හේ බයවෙලා ඒ දිහාව බලාන උන්නු එක.

දෙයියනේ ඇයි මට මෙහෙම එව්ව වෙන්නෙ? මගෙ ඇස් වලින් වැක්කෙරෙන කඳුලු වලට එහෙම්ම වැටෙන්න ඉඩ ඇරපු මන් කල්පනා කොර කොරම උන්නා.

දවස් ගනන් සති ගනන් ගොහිල්ල මගුලෙ වැඩ කටයුතුවලට හැම දේම ලැහැත්ති කොලා.පොඩි නැන්දල ඇවිදින් සාරි හෙම ලැහැත්ති කොලා.උන්දැගෙ දූයි, නැන්දලයි ඔක්කොම මට අන්දවන්න ලැහැත්ති කොරන් උන්න වගේම උයන පිහන සැරසිලි වැඩ වලටත් කලමනා ලැහැත්ති කල හන්ද මට මහ ලොකු මහන්සියක් , කොහෙත්ම මහන්සි වෙන්න කාරනාවක් තිබ්බෙ නෑ.

ඔය අතරෙ මගුල ගන්න දවස් තුන හතරක් තියල තමා අයිය මා එක්ක දොඩන්න හිතාගෙන මන් වත්තෙ ඇවිද ඇවිද කල්පනා කොර කොර ඉද්දි මන් උන්නු තැනට ආවෙ.

“නංගි”

“අයියෙ”

“නංගි තාම ඉන්නෙ තෝන්තුවෙන් විත්තිය මට තේරෙනව.”

මන් උන්නෙ බිම බලාන, මක්කැයි වෙන කොරන්නෙ.මක්ක කියල කියන්නෙයි?

“වෙච්ච හැමදේම නංගි අමතක කොරල දාන්න නංගියෙ.දැන් ඔව්ව හිතේ ගොඩගහගෙන උන්නය කියල කාටවත් ප්‍රොයෝජනයක් නෑ නෙව. නංගි දැන් ඒ අතීතෙ අමතක කොරල හෙට අනිද්දයින් පටන් ගන්න යන අලුත් ජීවිතේ ගැන හිතන්න.”

“හ්ම්ම්ම්”

“අපි මේ තකහනියෙ නංගිව බන්දෝල දෙන්න යන එක ගැන මගෙ මනාපයක් මුලින් තිබ්බෙ නෑ.ඒත් අම්මල මේ ගැන තකහනියක්ම දැඟලුව හන්ද තමා මන් අන්තිමේ මනාප උනේ.”

“හ්ම්ම්ම්”

“නිලන්තව මන් දන්නෙ විස්ව විද්යාලෙ ඉගෙන ගන්න සන්දියෙ ඉඳල.මිනිහ හරි හොඳයි.බෝම කරුනාවන්ත කෙනෙක්. ඒහන්ද නංගි බයවෙන්න කාරි නෑ.මන් උන්දැට කිව්ව නංගි ගැන හැම දෙයක්ම.උන්දැ ඒ ගැන කිසිම දෙයක් වගක් වත් ගනන් ගත්තෙ නෑ.මිනිහ නංගිව බෝම ආදරෙන් බලාගනිවි කියන එක මට විස්වාසයි.ඒ හන්ද නංගි බයවෙන්න කාරි නෑ”

අපිට බෝම වෙලාවට සැරපරුස විදිහට කතාකරන අයිය අදකතාකලේ බෝම ආදරෙන්.උන්දැ අන්තිම ඩිංග කතා කොරේ මගෙ ඔලුව අතගාන ගමන්.

ඇස් වලින් වැක්කිරිච්ච කඳුලු බිංදුවලට වැක්කෙරෙන්න ඉඩ සලස්සපු අයියා, මාව තනිකොරල යන්න ගියා.

දවස් ගෙවිල ගොහින් මගුල ගන්න ආව දවසත් ආව.

-මතු සම්බන්ධයි-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here