ඔලියැන්ඩර් – 86

0
44
oleander Flower

” මට නං පුදුම වෙන්න දෙයක් තිබ්බේ නෑ. එක දිගට සිද්ධ වෙච්ච දේවල් එක්ක කොයි වෙලේක හරි අනුජ් නතර වෙන්නේ පොලීසියෙන් කියලා මට ඉව දැනිලා තිබුණේ. “

” මේ ලෝකේ වැරදි කරලා හැංගිලා ඉන්න බෑ අක්කා. කොහෙන් කොහොමහරි කවදාහරි ඕවා එළියට එනවා. මෙච්චර කල් කරපු ඒවටත් ඔයා නිසාම ඇස් කන් වහන් හිටියට හැමදාමත් ඒවා කරන්න බෑ. මිනිස්සු කවදාහරි මට්ටු වෙනවා කියන්නේ මේවට. “

අත රැඳිව තිබූ වයින් වීදුරුව හිස් කර එය ටීපෝව මත තැබූ මහීල් එසේ පැවසුවේය. 

” දැන් එතකොට තාත්තටයි , අනුජ්ටයි මොනවා වෙයිද මහීල් ?” 

පහන්‍යා නැඟූ පැනයට හිස හරවා ඈ දෙස බැලූ මහීල් ඉන් පසුව සෝෆාවට බරව නිහඬව සිටිනා මිතුරා දෙස බැලුවේය. 

” එළියට නං එන්න වෙන එකක් නෑ අක්කේ. නිශ්ශංකගේ සිද්ධියට කෙලින්ම මිනීමැරුම් චෝදනාව එල්ල වෙනවා. ඊට අමතරව රවිහාන්ගේ , එතකොට සඳැස්විලගේ ගමේ සිද්ධිය මේවා වැටෙන්නෙත්  මිනීමැරුම් චෝදනාව  හරි මිනීමැරීමට තැත් කිරීමට කියලා හරි තමයි. අනික මේක නිසා රටේම මිනිස්සු ගොඩක් කේන්තියෙන් ඉන්නේ. හිතලම තමන්ට වස කැව්වා කියන එක මිනිස්සුන්ට අමතක කරන්න බෑනේ. මේකට සියත්‍ර මැදිහත් උනු නිසා අපි මේ වෙනකොට මෙහෙම නිදහසේ මෙතන ඉඳගෙන වයින් ග්ලාස් එකක් බිබී කතා කරනවා. හැබැයි මේක වෙන තැනකින් එළියට ආවානං ෆැක්ට්‍රි එක විතරක් නෙමෙයි ගෙවල් දොරවල් ඉඳන් අළු වෙන්න තිබ්බා මේ වෙද්දි “

” හ්ම්ම්.. අද දවසෙම නිවුස් වලට කිව්වේ ඕක. පැත්තකින් මිනිස්සු තාත්තට සාප කරනවා. පැත්තකින් මල්ලිට හොඳ කියනවා. අපේ අම්මයි , තාත්තයි ඉන්නකන් එයාලට පුදුම පිරිවරක් හිටියේ  . පුදුම යාළුවෝ ගොඩක් හිටියේ  . අද ඒ එක්කෙනෙක්වත් නෑ. “

” ඔයා ඔය නිවුස් බලන්න යන්න ඕනෙ නෑ අක්කා.  ඕවයේ තියෙන්නෙම ඔලුව විකාර වෙන දේවල්. “

” මං බැලුවේ තාත්තට මිනිස්සු බනින ඒවා නෙමෙයි මහීල් , මල්ලිට මිනිස්සු හොඳ කියන ඒවා. මං හිතන් හිටියේ මෙයත් අම්මයි , තාත්තයි වගේම සල්ලි පස්සෙ , බිස්නස් පස්සෙම යනවා කියලා. ඒ උනාට කොයි තරම් තාත්තා ගැන, අනුජ් ගැන හිතේ වේදනාවක් තිබ්බත් මට ඔයා ගැන හරි ආඩම්බරයි මල්ලි. කවදහරි දවසක මගේ දරුවටත් බය නැතුව කියන්න පුලුවන් මාමා වගේ වෙන්න කියලා. “

එසේ පැවසූ පහන්‍යා මඳක් ඉදිරියට විත් තමා අසල සෝෆාවේ අසුන් ගෙන සිටින සොහොයුරාගේ අතින් අල්ලා ගත්තාය. මඳ සිනහවක් මුවට නඟා ගත් ඔහු අනෙක් අතින් පහන්‍යාගේ අත තදින් අල්ලා ගත්තේය. 

” දැන් වත් ජීවිතේ ගැන හරි තීරණයක් ගන්නවා අක්කා. ගෑනු උනාම හැමදාම දුක් විඳින්න ඕන කියලා එකක් නෑ. “

පහන්‍යා දෑස සිහින් කර මළණුවන් දෙස බැලුවාය. 

” මට ඔයා කිව්ව එක තේරුන්නෑ.. මොකද්ද ….”

පැවසීමට ගිය කාරණාව අතරමඟ නතර කර දැමූ ඈ ගෙමිදුලෙන් ඇසුණු මෝටර් රථ හඬට එදෙස බැලුවාය. 

” ආයෙම කවුද ?” 

” අපි දෙන්නා යං සුදූ බයිට් මොනාහරි හදන්න “

හිඳ සිටි සෝෆාවෙන් නැඟී සිටි මහීල් තොල් පට තද කරමින් සිටි ශාක්‍යා වෙත පැමිණ ඇගේ අතින් අල්ලා ගනිමින් මුළුතැන්ගෙය දෙසට අඩි තැබුවේය. 

නිවසට ඇතුළු වූ ඉන්දීවර දුටු පහන්‍යා වහා හිස බිමට බර කර ගත් අතර සියත්‍රද හිඳ උන් සෝෆාවෙන් නැඟී සිටියේය. 

” සියත්‍ර..! මං මේ.. “

තම මුහුණ දෙස හෝ හිස ඔසවා නොබලන ඈ දෙසට දෙනෙත යොමු කළ ඉන්දීවර වහා සියත්‍ර දෙසට හැරුණේය. 

” අක්කා.. !  අනුජ්ට ආයේ කවදාවත් එළියට එන්න ලැබෙන එකක් නෑ. මොකක් හරි ක්‍රමේකින් ආවමයි කියමුකෝ. මං ඒත් දන්නවා ඔයා මිනීමරුවෙක් එක්ක ආයේ පවුල් කන්නෑ කියලා. ඔයාට ඕන කරන්නේ මොකද්ද  ඒක ඒ විදිහටම සිද්ධ වෙයි. වෙන්න ඕන දේ විතරක් මට කියන්න. එච්චරයි. “

එසේ පැවසූ තරුණ දේහදාරියා පසෙක සිට නිහඬවම බලා සිටින කුඩා යුවතියගේ අතින් අල්ලාගෙන තරප්පු පෙළ නැඟීමට පටන් ගත්තේය. 

************************************************

” මල්ලී..! අම්මට සිහිය ඇවිත්. එයාට ඔයා එක්ක කතා කරන්න ඕනෙලු. “

” හේතුව ..?”

” මල්ලී.. ප්ලීස්..! ” 

කිසිවක් නොපැවසූ දේහදාරී තරුණයා හුරු පුරුදු නිහඬ බවින්ම අත රැඳිව තිබූ පළතුරු බීම වීදුරුව තොළ ගෑවේය. 

” සර්..! ගිහින් එන්න. “

නිහඬ දෑස මොහොතකට කුඩා යුවතිය වෙතට යොමු වූයේය. 

” ගුඩ් මෝනින් ..!” 

උඩු මහලේ සිට පැමිණි මහීල් පහන්‍යා දෙසත් සියත්‍ර දෙසත් අසල උන් සඳැස්වි දෙසත් තම දෑස සිහින් කර බැලුවේය .

” ගුඩ් මෝනින් මහීල්.. අම්මට සිහිය ඇවිල්ලා “

” ආ.. එහෙමද ? දැන් කොහොමද ආන්ටිගේ සිටුවේශන් එක ?” 

” මල්ලිත් එක්ක කතා කරන්න ඕනේ කිව්වලු. “

දෑසින් ඉඟි කර ඔහුව පෙන්වමින් පහන්‍යා එවර මහීල් වෙතද එසේ පැවසුවාය. 

” ගිහින් ආවනං හරි මචං “

” ඔව් සර්.. ! ගිහින් එන්න. “

” මටත් යන්න ඕනේ. ඔයා යද්දි මාවත් එක්කන් යන්න මල්ලි “

******************************************

” ඔයා කාත් එක්කද ආවේ..?” 

” මල්ලි එක්ක අම්මා ” 

උත්පලා අපහසුවෙන් වුවත් පහන්‍යාගේ අතින් අල්ලා ගත්තාය. 

” සි.. සියත්‍ර මාව බලන්න එන්නැද්ද ? එයාට එන්න කියන්න දරුවෝ. මට එයත් එක්ක කතා කරන්න ඕනේ..”

” මල්ලි එයි අම්මා. එළියේ ඩොක්ටර්ත් එක්ක කතා කරනවා. “

පහන්‍යා තම අත අල්ලා ගෙන සිටි උත්පලාගේ අත මතින් තම අනෙක් අත තබා ඈ සනසන අයුරින් පැවසුවාය. 

” දින ලඟයිද ?” 

පිරුණු කුස දෙස බලා ඈ යළි පහන්‍යාගේ මුව දෙස බලා ඇසුවාය. 

” මේ මාසේ විසි හතර ඇවිල්ලා ඇඩ්මිට් වෙන්න කිව්වා අම්මා. “

” තව සති දෙකයිනේ.. ?” 

” ම්ම්.. ඊට කලින් අමාරුවක් ආවොත් එවෙලෙම හොස්පිට්ල් එන්න කිව්වා. “

” එ.. එතකොට ගෙදර තනියමනේ ඉන්නේ. ? හදිස්සියක් උනොත් ?” 

” සඳැස්වි ඉන්නවා අම්මා. ශාක්‍යාත් ඉන්නවා. මල්ලිත් ඉන්නවා. මහීලුත් ඉන්නවා. කිසිම තනියක් නෑ. “

මඳ සිනහවක් නැඟූ පහන්‍යා නැවතත් මුව පුරා සිනහවක් නඟමින් පැවසුවාය. ඇගේ කතාව අවසන් වනවාත් සමඟම රෝහල් කාමරයේ ද්වාරය විවර වූ අතර ඉන් ඇතුළට පිවිසි කඩවසම් දේහදාරියා දුටු උත්පලාගේ මුව පුරා පළමුව සතුටු සිනා රැල්ලක්ද දෙවනුව ඔහු වෙත මුහුණ දීමට නොහැකි අන්දමේ පසුතැවිල්ලක්ද හට ගැනිණි.

” සි.. සියත්‍ර ..!” 

මහත් ආයාසයක් දරා පුත්‍රයා දෙස බැලුවද ඔහුගේ ගැඹුරු දෑසේ එක් බැල්මක් හෝ ඈ වෙත නොවැටී පැවතිණි . ඔහු හට මව වෙත ළං වීමට ඉඩ දුන් පහන්‍යා මඳක් මෑත්වී මවගේ අනෙක් පසට ඇදුණාය. 

” ඔයා ඉන්නේ මාත් එක්කත් සෑහෙන්න කේන්තියකින් කියන්න මං දන්නවා පුතා . ඒ උනාට මගේ පැත්තෙනුත් ඔයාට කියන්න දෙයක් තියනවා. සෝමතිලකගේ සිද්ධියෙදි ඔයා දන්න දේ ඇරෙන්න මාත් ඊට වඩා දෙයක් දන්නෑ. මාව විශ්වාස කරන්න දරුවෝ. එදා පාර්ටි එක වෙලාවේ උනු දේ මං දැනන් හිටියේ නෑ. මං එද්දි ඔක්කොම වෙලා ඉවරයි. තාත්තා කිව්ව විදිහට සෝමතිලක බැල්කනි එකෙන් පහළට තල්ලු කළේ ඔයා කියන්නයි මාත් දැනන් හිටියේ පුතේ. “

සියත්‍රගේ අත තදින් අල්ලා ගත් උත්පලා කඳුළු වගුරවමින් හඬන්නට පටන් ගත් අතර ඇගේ එම ප්‍රකාශයත් සමඟ මෙතෙක් කල් සියල්ල මවද දැනගෙන සිටින්නට ඇතැයි යනුවෙන් ඔහු විශ්වාස කළ කාරණය වැරදී ඇති බව දැනුණු සැණින් ගැඹුරු දෑස මඳක් සලිත වී ගියේය. 

” සඳැස්විගේ කාරණේදී උනත් මං මේ තරම්ම අකමැති උනෙත් ඒ හේතුව නිසා පුතේ. අනික ඔයා රජෙක් වගේ කොල්ලෙක්. ඔයාට ගැලපෙන්නේ රැජිණක් වගේ කෙල්ලෙක් . මං ඒක දැක්කේ ෂෙනාර්‍යාගෙන්. මුලදි ඔයා කිසිම අකමැත්තක් නොපෙන්නා ඉඳලා පස්සේ සඳැස්වි නිසා ෂෙනාර්‍යාට අකමැති වෙච්ච එකත් මට ඔයත් එක්ක හිත නොහොඳ වෙන්න හේතුවක් උනා. මං දන්නවා සඳැස්වි කියන්නේ හරි හොඳ දරුවෙක්. සඳැස්වි නොඉන්න මගේ රස විමන මෙච්චර දුර ගේන්න වෙන්නෑ. සඳැස්විගේ තියෙන කිසිම ටැලන්ට් එකක් ෂෙනාර්‍යා ලඟ නෑ. එයා ලඟ තියන එකම දේ දේවනාරායනගේ දුව කියන එක විතරයි. ඔයා එදා පහන්‍යාගේ ගෙදරදි මගේ කනට කරලා සෝමතිලකගේ සිද්ධියට ඔයා සම්බන්ධ නෑ කියනකන් මං ඒ දේවල් දැනන් හිටියේ නෑ. එදා ගෙදර ඇවිල්ලා තාත්තාගෙන් ඒ ගැන ඇහුවම එදා තාත්තා ඒක මඟෑරියා.  දවස ගාණේ එකින් එක ප්‍රශ්න වෙද්දි , තාත්‍තට හොරා මොකක් හරි දෙයක් ඔයා ෆැක්ට්‍රි එකේ කරනවා කියන එක තාත්තා දැනගෙන හිටියේ . හැබැයි ඒ මොකද්ද කියලා තාත්තට හොයාගන්න බැරි උනා. 

එදා අනුජ්ව පොලීසියෙන් අරන් කියලා මැසේජ් එක ආවම අන්තිම පාරටත් මං කෑ ගහලා ඇහුවා සෝමතිලකගේ සිද්ධියෙදි ඔයාව වැරදිකාරයෙක් කරලා  කාගේ පව්ද ඔයාගේ පිටින් යැව්වේ කියලා ? සියත්‍ර .. මගේ පුතේ.. මේක හොඳට අහගන්න. එදා සෝමතිලක තාත්තා එක්ක රණ්ඩු වෙලා තියෙන්නේ ෆැක්ට්‍රි එකේ වෙන හොර වැඩ ගැන කියලා. ඔයා ඇවිල්ලා සෝමතිලකට පාරක් ගහලා ගියාට පස්සෙත් සෝමතිලක හදලා තියෙන්නේ ආපහු ඔයාව මුණ ගැහිලා ඒ හැමදේම ඔයාට කියන්න. ඒත්.. එවෙලේ සෝමතිලක කියන දේ නාහා ඔයා ලඟට යන්න හදපු නිසා තාත්‍තයි පුතේ සෝමතිලකව බැල්කනියෙන් බිමට තල්ලු කරලා තියෙන්නේ. ඒක අනුජ් ඇස් දෙකටම දැකලා තියනවා. ඒක කියලා ඉවර වෙලා තමයි උඹත් මැරියන් කියලා මාවත් තාත්තා ස්ටෙයාකේස් එකෙන් බිමට තල්ලු කළේ. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here