මං වරදක් කරා, ඒක මං කියනවද? පිටින් දැනගන්න ඉඩ අරිනවද?

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තීය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)

“ඔච්චර පොඩි දේකට ඔයාට මාත් එක්ක ඔච්චර රණ්ඩු වෙන්න හේතුවක් නෑනෙ. ඔව්, හරි, මට ගෑනියෙක්, දරුවෙක් ඉන්නවා තමයි. ඉතින් තමුසෙත් කසාද බැඳලනෙ ඕයි. තොත්ත බබා වගේ නිකන් මගෙ ඇඟටම හැම තිස්සෙම වරද දාන්න හදන්නෙ?

තමුසෙ ඔච්චර හොඳ පත්තිනි අම්මා වගේ ගෑනියෙක් උනා නම්, සුරංග ඔය කියන තරම් බුදු වෙන ලෙවල් එකේ හොඳ මිනිහෙක් නම්, තමුසෙ මොන රෙද්දටද මාත් එක්ක යාළු වුණේ?

තරංගා, මේ තමුසෙ හිතන්න එපා මමත් මේ තමුසෙගෙ මිනිහා වගේ කියලා. බොරු රණ්ඩු දාලා දැන් මගෙන් ගැලවිලා යන්න හදන්නෙ මිනිහා මං නොදෙන මොකක් හරි අමුතු සැපක් දෙන්න පටන් ගත්ත හන්දා වෙන්නැතිනෙ.

කරලා බලනවකො. මං එතකොට තමුසෙගෙ මිනිහටම බලාගන්න එවන්නම්කො මං තමුසෙට දුන්න සැප මොන වගේද කියලා.”

තරංගා ඒ මැසේජ් එක කියෙව්වෙ ඒ කීවෙනි පාරටද කියලා තරංගාටවත් මතක තිබ්බෙ නෑ. කී වතාවක් නම් බාත්රූම් එකට ගිහිල්ලා ඇස්වලට ආපු කඳුළු මිරිකලා යවලා ඇස් දෙක හෝදගත්තද?

“සුරංග දැනගත්තොත් මාව මරයි” කියලා හිත කිව්වෙ කහනවට නෙවෙයි. ඇත්තටම තරංගා සුරංග ගැන දන්න හන්දා.

අනික් අතට, කසාද බැඳපු ගෑනියෙක් වෙලා, අම්මෙක් වෙලා, ඇත්තට මේනුක කියනවා වගේ සුරංග අතට පයට දෙන්න පුළුවන් ඔක්කොම සැප සම්පත් දෙද්දිත්, “මං මොන මගුලට මේනුක එක්ක affair එකක් පටන්ගත්තද?” කියන ප්‍රශ්නෙ තරංගට නොතිබ්බා නෙවෙයි.

තරංගා වැඩ කළේ ලංකාවෙ ලොකුම IT Company එකක. රස්සාව කොච්චර ස්ට්‍රෙස්ෆුල් එකක් වුණත්, ටීම් එකේ උන්න සෙට් එක හෙන ආතල් නිසා කට්ටිය සන්තෝසෙන් තමයි රස්සාව කළේ. ශිෆ්ට් එක රෑට වැටෙන දවසට කන්න එළියට යන්න දාගන්න ඒවයි, පොඩි පොඩි ටී පාටි ඇරේන්ජ් කරන ඒවයි. රෑ තිස්සෙ ඇහැරගෙන වැඩ කරන දවසට ශිෆ්ට් එක ඉවර වෙනකම් වල්පල් කියවන එකයි හින්දා රස්සාවෙ අමාරුකම් තේරුණේ නැති තරම්.

ඒ වුණාට ඔන්න ඔය විනෝදෙ දුරදිග ගිහින් තමයි තරංගා අච්චර හොඳ කසාද ජීවිතයක් තියෙද්දිත් මේනුක එක්ක සෙට් වුණේ. සෙට් වෙලා කතාබහ කරන සුජීව ප්‍රසන්නාරච්චි අයියගෙ පොත්වල ඉන්න හොඳම හොඳ ප්‍රේමවන්තයාගෙ චරිතෙ නම් මේනුක රඟපෑවෙ මාසයක් දෙකක් තමයි.

කසාද බැඳපු ජෝඩුවක් පටන්ගත්ත සම්බන්ධයක් නිසාද මන්දා, අන්තිමේ දෙන්නම ගිහින් නතර වුණේ එක එක කාමරවල. “අද ඩබල් ශිෆ්ට්” කියලා සුරංගට දාහක් බොරු කියලා ගෙදරින් පනින තරංගා, එක ශිෆ්ට් එකක් ඉවර කරලා අනිත් ශිෆ්ට් එක පටන් ගන්න මේනුක එක්ක ඔය කොහේ හරි තියෙන රූම් එකක් අස්සට රිංගගත්තා.

ඕනම සම්බන්ධයක් පටන්ගත්ත කාලෙ දෙන්නා ඉන්නෙ කිරි පැණි වගේ වුණාට මොකෝ, පැණි වරකා ගහටත් හෙණ ගහනවනෙ කියන්න වගේ, එක එක දේවල්වලට මේනුකයි තරංගායි අතරෙත් ප්‍රශ්න ඇතිවෙන්න ගත්තෙ.

ඔන්න ඔහොම රණ්ඩුවක් දුරදිග ගිය දවසක තමයි මේනුක මැසේජ් එකක් එව්වෙ, “මං එතකොට තමුසෙගෙ මිනිහටම බලාගන්න එවන්නම්කො මං තමුසෙට දුන්න සැප මොන වගේද කියලා” කියලා.

ඒ මැසේජ් එකත් එක්කම අමුණලා එවලා තිබ්බ, ඇඟේ නූල් පොටක් නැතුව දෙන්නා එක්ක සොලිඩ් හොටෙල් රූම් එකක ඇඳක හාන්සිවෙලා ඉන්න පින්තූරෙ දැක්කම නම් තරංගාට හික් ගෑවුණා.

ඇත්තනෙ අනේ, බයවෙන්නෙ නැද්ද? අනික, අවුරුදු ගාණක් එක ඔෆිස් එකේ වැඩ කරපු මිනිස්සු හන්දා පවුල්වල මිනිස්සුත් එකිනෙකාව අඳුරනවා. එහෙම එකේ මේනුක කලබල වෙලා ඔය ෆොටෝස් සුරංගට එව්වොත්, සුරංග තමන්ට හොඳට සලකන විත්තිය නොදන්න ගෑනියෙක් නෙවෙයි තරංගා.

“අනේ දෙයියනේ, දැන් මොකද්ද කරන්නෙ? මේනුක ඒ ෆොටෝස් සුරංගට එව්වොත් මං මොකද කරන්නෙ? ඇයි දෙයියනේ මං මේ වගේ මෝඩ වැඩක් කරගත්තෙ. මොන මගුලටද මෙච්චර හොඳ ෆැමිලි ලයිෆ් එකක් තියෙද්දි මම මේනුක එක්ක affair එකක් පටන් ගත්තෙ. පිට මිනිස්සු මේවා දැනගත්තොත් මං කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ?” කියන ප්‍රශ්නෙ එක්කම, තමන්ට වරදක් කරලා නැති සුරංග වගේ මිනිහෙක්ව රවට්ටපු Guilt එකත් තරංගාව ඒ දවස් දෙකට තුනට පිස්සු වැට්ටුවා.

ඒ මානසික පීඩනේ දරාගන්න බැරි තැන තමයි තරංගා තීරණේ කළේ “කවුන්සලින් යනවා” කියලා.

Smartlady page එකේ anonymous post එකක් විදියට දාපු ප්‍රශ්නෙට යන්න හොඳම කවුන්සලර් රශ්මි රාජපක්ෂ කියලා දැනගෙන, තරංගා රශ්මි මැඩම් ළඟට ආවෙ ඔළුව පුපුරන්න වගේ වේදනාවක් අරගෙන.

“මට හරි බයයි මේනුක සුරංගට මේ ෆොටෝස් යවාවි කියලා.”

තරංගා කියද්දි රශ්මි මැඩම් තරංගාගෙන් මුලින්ම ඇහුවෙ මෙන්න මේ ප්‍රශ්නෙ.

“ඔයාට ඔය මේනුක ඔය ෆොටෝ එක සුරංගට යවාවි කියලා කොච්චර විශ්වාසද?”

“මම දන්නවා එයා ඕක කියන්නෙ අපි දෙන්න රණ්ඩු වෙච්ච නිසා කියලා. මට 60%-70% වගේ හිතෙනවා එයාට එවන්න පුළුවන් කියලා. ඒත් මම කාලයක් ආදරේ කළ මනුස්සයෙක් හන්දා මගේ මෝඩ හිත කියනවා මේනුක කවදාවත් මට එහෙම කරන එකක් නෑ කියලා.

ඒත් පිරිමි කියන්නෙ කාලා බලලා තේරුම් ගන්න පුළුවන් ජාතියක් නෙවෙයිනෙ මැඩම්. මේනුක හරි කලබලයි. කලබල වෙලා ඩිසිෂන්ස් අරගෙන පස්සෙ පසුතැවෙන මනුස්සයෙක්. එයා ඔය ෆොටෝ සුරංගට එව්වොත් එයා දන්නවා විනාස වෙන්නෙ මගෙ ෆැමිලි ලයිෆ් එක විතරක් නෙවෙයි, එයාගෙ ලයිෆ් එකටත් ප්‍රශ්න වෙනවා කියලා.

ඒ නිසා සමහර විට එයා සුරංගට ෆොටෝ එවන එකක් නෑ. ඒත් මට දැන් ඇත්තටම ඕන මේ මානසික පීඩනෙන් ගැලවෙන්න. මට තවදුරටත් මේ සම්බන්ධෙ කරගෙන යන්න උවමනාවක් නෑ. මේක නිකන් පණ පිටින් පිච්චෙනවා වගේ වැඩක්.

ඒත් මට හරි බයයි මම එයාගෙන් ගැලවෙන්න ගියොත් මේනුක මොනවාහරි පිස්සුවක් නටලා හැමදේම විනාස කරලා දාවි කියලා.”

තරංගා අඬ අඬ එහෙම කියද්දි රශ්මි රාජපක්ෂ මහත්මිය මේ ප්‍රශ්නෙ දිහා බැලුවෙ මෙන්න මේ විදියට.

“සමහර Tough personalities තියෙන පිරිමි අය සමහර වෙලාවට මේ වගේ emotionally blackmail කරන්න යනවා. මේනුක හොඳටම දන්නවා නම් මේ ෆොටෝස් එළියට ආවොත් ඒක ඔයාගෙ වගේම එයාගෙත් ෆැමිලි ලයිෆ් එකට ප්‍රශ්නයක් වෙනවා කියලා, එයා ඒක නොදා ඉන්න චාන්ස් එකක් තියනවා කියලා අපිට පොඩ්ඩක් හරි පොසිටිව් විදියට හිතන්න පුළුවන්.

ජීවිතේ සමහර අවස්ථා තියෙනවා අපිම කරපු වැරැද්දක් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා අපිටම තේරුම් යන. ඔයා දැන් ඉන්නෙත් ඒ තේරුම් ගැනීම තේරුම් අරගෙන. ඒක ලොකු දෙයක්.

තමන්ගෙ වරදක් තමන්ටම තේරුම් ගිහින්, තමන්ම ඒ වරද නිවැරදි කරගන්න උත්සහ කරනවා කියන්නෙ ලොකු දෙයක්. මේ වගේ අවස්ථාවකදි වරදක් accept කරන එක, එහෙම නැත්තම් තමන්ගෙ partnerට ඒක පිටින් දැනගන්න ඉඩ අරිනවට වඩා අපිම ඒක කියන එක හොඳයි.

එතනදි එයා aggressive වෙන එකක් නෑ කියලා කියන්න අපිට බෑ. එහෙම වෙන්න පුළුවන්. මේනුකගෙන් සුරංග මේක දැනගන්නවට වඩා ඔයාම මේක සුරංගට කියන එකෙන් ලොකු emotional arguments යන්නෙ නැතුව මේ ප්‍රශ්නෙ විසඳගන්න ඔයාට උදව්වක් වෙන්න, හේතුවක් වෙන්න ඉඩක් තියෙනවා.”

“සුරංග ඔයාට මීට කලින් physically abusive වෙලා තියෙනවද?” කියලා තරංගාගෙන් ඇහුවම තරංගා කියනවා,

“සුරංග මට ගහලා නෑ. හැබැයි එයා මට ගහන්න අත උස්සලා තියෙනවා. ඒ නිසයි මට ඔක්කොටම වඩා බය.”

“එහෙනම් එක්කො ඔයා ඔයාගෙ parentsලට මේක තේරුම් කරවලා, එයාලත් ඉන්න තැනකදි මේක සුරංගට කියන එක තමයි හොඳම දේ කියලා මම විශ්වාස කරනවා. මොකද එතනදි එයාට emotionally වගේම physicallyත් එයාව control කරගන්න වෙනවනෙ ඔයාගෙ parentsලා ඉන්න නිසා.”

මොන situation එකකදි වුණත්, කිසිම වෙලාවක ඔයාගෙ partnerට අත උස්සන්න ඔයාට පුළුවන්කමක් නෑ කියන එක අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන අන්න ඒ නිසයි.

මිනිස්සු අතින් වැරදි වෙනවා. වැරදි කරන්නෙත් මිනිස්සු, සමාව දෙන්නෙත් මිනිස්සු. හැබැයි තමන්ගෙ partner වරදක් කළා කියලා අපිට කිසිම අයිතියක් නෑ එයාව ශාරීරිකව වධ හිංසාවට ලක් කරන්න.

ඉතින් මේ කතාවෙන් අපිට ඔයාලට අරගෙන එන්න උවමනා වුන පණිවිඩේ මෙන්න මේක.

“විවාහය කියන්නෙ හැමදාම සතුටින්, කිසිම ප්‍රශ්නයක් නැතුව ගලාගෙන යන ගමනක් නෙවෙයි. ඒ ගමනෙත් ups and downs තියෙනවා. එකිනෙකාව නොතේරෙන දවස් තියෙනවා. එකිනෙකාගෙන් ඈත් වෙලා යන දවස් තියෙනවා. ඒ වගේම, සමහර වෙලාවට තමන් අතින්ම සිද්ධ වෙන වැරදි නිසා තමන් ආදරය කරන මිනිස්සුන්ට රිදවන අවස්ථාත් එනවා. මිනිස්සු අතින් වැරදි වෙනවා. ඒක මිනිස්සුන්ගෙ ස්වභාවයක්. හැබැයි වැරැද්දක් වුණාට පස්සෙ ඒක තේරුම් ගන්න එක, ඒ වරද පිළිගන්න එක, ඒකෙන් පැනලා යන්නෙ නැතුව තමන්ම ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන එක තමයි වඩාත්ම වැදගත් වෙන්නෙ.

මොකද විවාහය කියන්නෙ අඩුපාඩු නැති මිනිස්සු දෙන්නෙක් එකතු වෙලා ජීවත් වෙන එකක් නෙවෙයි. තමන්ගෙත්, තමන්ගෙ සහකරුගෙත් අඩුපාඩු තේරුම් ගනිමින්, වැරදි වෙන තැන්වල ඒවා හදාගනිමින්, සමහර දේවල්වලට සමාව දෙමින්, සමහර දේවල් ගැන අවංකව කතා කරමින් ඉස්සරහට යන්න ඉගෙන ගන්න ගමනක්. ඒ ගමනෙදි වැරදි නොකර ඉන්න එක තරම්ම, වැරැද්දක් වුණාම ඒක හදාගන්න තරම් ශක්තිමත් වෙන එකත් වැදගත්.

විශේෂයෙන්ම තමන්ගෙ partnerට තමන් අතින් සිද්ධ වුණු වරදක් පිටින් වෙන කෙනෙක්ගෙන් දැනගන්න ඉඩ දෙනවාට වඩා, ඒක තමන්ම පිළිගෙන තමන්ම කියන එක කොච්චර අමාරු වුණත්, ඒ අවංකකම සමහර වෙලාවට ලොකු ප්‍රශ්නයක් තවත් ලොකු වෙන්න කලින් නවත්වන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒකෙන් හැම ප්‍රශ්නයක්ම ලස්සනට විසඳෙයි කියලා පොරොන්දු වෙන්න බැහැ. ඒත් තමන්ගෙ වැරැද්ද පිළිගෙන, ඒ වෙනුවෙන් වගකීම අරගෙන, ඉස්සරහට ඒ වගේ වැරැද්දක් නොවෙන්න උත්සාහ කරන එකෙන් අඩුම තරමේ ඒ සම්බන්ධතාවයට අවංකව ඉස්සරහට යන්න අවස්ථාවක් ලැබෙනවා.

අන්තිමේදි වැදගත් වෙන්නෙ අපි ජීවිතේ වැරදි නොකරපු මිනිස්සුද කියන එක නෙවෙයි. 

අපි අතින් වැරැද්දක් වුණාම ඒක තේරුම් අරගෙන එතනින් move on වෙන්න මොනවගේ තීරණයක් ගත්තද කියන එකයි. සමහර වැරදි අපේ ජීවිතේ අපි කැමති නැති තැනකට අරගෙන යන්න පුළුවන්. ඒත් ඒ වැරැද්ද දැකලා, “මේක මගේ වැරැද්ද” කියලා පිළිගෙන, ආයෙත් හරි පාරට එන්න උත්සාහ කරනවා නම්, ඒකම තවත් හොඳ ජීවිතයක් පටන්ගන්න හේතුවෙනි පළවෙනි පියවර වෙන්න පුළුවන්. 

මොකද අවසානයේ, සම්බන්ධතාවයක් රැකෙන්නෙ වැරදි වෙන්නෙ නැති නිසා නෙවෙයි. 

වැරදි වුණාම ඒවා හදාගෙන, එකිනෙකාට අවංක වෙලා, ආයෙත් එකිනෙකා ළඟට එන්න දෙන්නෙක්ට තියෙන කැමැත්ත සහ උවමනාව නිසයි.

මේ වගේ අවස්ථාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම්, රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ධ කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ධ කරගන්න පුළුවන්!

Related Articles

Don't Miss


Latest Articles