වසන්තය තව දුරද – 26

0
183

රැකියාව පටන් ගත්තේ මෙතෙක් දවස් හිතේ තිබුණ සියලු දුක්ඛ දෝමනස්සයන් හිරු දුටු පිණි බිංදු මෙන් අරුණෝද සහගත සිතුවිලි දහරාවක විසි කර හරිමිනි.

නෙත්මලී උන්නේ ඇත්තටම සන්තෝසයෙනි. සිංහලෙන් කොහොමත් චතුර ලෙස කතා කරන්නට මෙන්ම දක්ෂ ලෙස බාසාව හසුරවන්නට දැනගෙන උන් ඇයට රැකියාව හිතට සතුටක් වුණා මිසක අපහසුවක් වුණේ නැත.

සෙට් එකේ පොඩිම කෙනා වුණේ නෙත්මලීය. අවුරුදු විසි ගණන්වල අයත්, තිස් ගණන්වල අයත්, හතළිස් ගණන්වල අයටත් එකම එක විදියේ මිත්‍රත්වයකින් සලකන මේ ක්‍රියේටිව් ඒජන්සි රැකියාව හිතේ කාර්‍යාල රැකියාවන් ගැන නෙත්මලීගේ තිබූ කුකුස බිඳින්නට, ස්ටිරිරෝටිපිකල් අදහස් වෙනස් කරන්නට හේතු විය. 

නෙත්මලී හිතාගෙන උන්නේ කාර්යාලයක වැඩ කරනවා කියන්නේ උදේම ඇවිත් මේසයක වාඩි වී පරිගණකය දිහා බලාගෙන, වැඩක් නැති වෙලාවක පවා බොහොම බරපතළ මූණක් හදාගෙන ඉන්න එකක් කියාය. ඒත් Spark Ads එකේ රැකියාව ඒ සියලු අදහස් වෙනස් කරන්නට හේතු වුණ එකකි.

වැඩ තියෙන වෙලාවට හැමෝටම පුදුම තරම් වැඩය. Deadline එකක් ළඟ නම් කෙනෙක් කෑම කන එකත් අමතක කරගෙන laptop එක දිහා බලාගෙන ඉන්නා අතර, තව කෙනෙක් “මේක හරි නෑ බං, වෙන එකක් හිතමු” කියමින් මේසයෙන් මේසයට යනු දකින්නට ලැබේ. කවුරුහරි හොඳ idea එකක් කිව්වොත් ඒක කාගේ idea එකද කියා බලන්නේ නැතුව හැමෝම ඒකට එකතු වී තවත් දේවල් එකතු කරති.

එහෙත් වැඩ අඩු දවසක ඒ කාර්යාලය කාර්යාලයක් යැයි කීමට වඩා යාළුවෝ සෙට් එකක් එකතු වී සිටින තැනක් වගේ වෙන බව නෙත්මලී අඳුරගත්තේද Spark Ads  එකේදිමය.

දවසක අහන්නෙ පරණ සිංදුය. තව දවසක බස් සිංදුය. තව දවසක නාදගමේ සිංදුය. ටික වෙලාවක් යද්දී සිංදු කියන්න බැරි අයද ඉන්නේ සිංදු කියන ගමන් ය. පරණ සිංදුවක් ප්ලේ වෙන්නට පටන් ගත් විටෙක මිලෙනියල්සා සෙට් එක එකතු වී ජෙන් සී ක්‍රව්ඩ් එක චොර කරමින් “උඹල අහන සිංදු වගේද බං මේවා” කියා ඩිස් කරන අවස්තාද නැතුව නොවේ. සමහර දවස්වල සිංදු කියන්නේ හොඳටම සද්දෙටය. කෙනෙකුට වැඩ කරන්න බැරි තරමටමය. අන්තිමේ බලද්දී ඔක්කෝම මිනිස්සුය. 

“අනේ බං, මට මේක finish කරන්න දීපන්කො”

“අමෝ අමෝ people are working here හරිද?” වගේ කතා ඇසෙද්දී හිනාව ඉතින් නවත්තගන්නට කොච්චර අමාරුද කියා නෙත්මලීට තේරුණේත් Spark Ads එකේදීය. අනෙක් අතට මේ හිනාව මෙසේ එළියට පනින්නේ බොහෝ කාලයක් සිරකරගෙන සිටීමෙන් බව නෙත්මලීට මතක් නොවුණා නොවේ. ජීවිතේ තිබුණේ අලුතෙන් පිපෙන්නට පටන් අරගෙනය.

එතැන තවත් නෙත්මලී කැමති වූ දෙයක් වූයේ කතා කිරීමට තිබූ නිදහසය. කවුරුත් කාගේ හරි වයස, තනතුර හෝ අත්දැකීම් ගණන අනුව කෙනෙකු කතා කළ යුතු විදිහ තීරණය කරගෙන උන්නේ නැත. Marketing ගැන කතා කළාට පස්සේ මිනිස්සුන්ගේ relationship ගැන කතා කරන්නටත්, relationship එකෙන් පස්සේ දේශපාලනයට යන්නටත්, එතැනින් සිංහල සිනමාවටත්, අලුත් restaurant එකකටත්, කවුරුහරි දැකපු TikTok එකකටත් යන්නට කට්ටියට වැඩි වෙලාවක් ගත වුණේ නැත.

ඒ කතා අතර නෙත්මලී මුලින් උන්නේ වැඩිය කතා නොකරමය.

තමන් අලුත් කෙනෙකු නිසාත්, අනිත් අය තමාට වඩා අවුරුදු ගණනාවක් අත්දැකීම් ඇති අය නිසාත්, වැරදි දෙයක් කියවෙයිදෝ යන බියක් නෙත්මලීගේ හිතේ තිබුණි.

නමුත් ටික දවසක් ගතවෙද්දී ඒ බයද අඩු විය.

නෙත්මලීට යම් දෙයක් ගැන අදහසක් තිබුණොත් එය කියන්නට පටන් ගත්තාය. කවුරුහරි යම් මාතෘකාවක් ගැන කතා කරද්දී තමන් දන්නා දෙයක් තිබුණොත් ඒකට එකතු වුණාය. සමහරවිට ඇය කියන දෙයක් අනිත් අය සමඟ එකඟ නොවුණත්, ඒ වෙනුවෙන් ඇයට කිසිවකුගෙන් බැනුම් අසන්නට සිදු වූයේ නැත.

“නෙත් ඇයි එහෙම හිතෙන්නෙ ඇයි?” කියා එවිට කවුරුන් හෝ අසනු ලැබුවොත් හේතුව කියන්නට ඉඩක් නෙත්මලීට Spark Ads හිදී ලැබී තිබුණාය. ඒ වනාහී කවදාවත් ගෙදරදී නොලැබුණ, අම්මා ඉදිරියේ නොලැබුණ නිදහසකි.

කෙනෙකුගේ අදහස වැරදි බව පෙන්වන්නට වඩා, ඒ අදහස තවත් හොඳ කරන්නේ කොහොමද කියා කතා කරන පිරිසක් අතර සිටීම නෙත්මලීට අලුත් අත්දැකීමක් වුණේ එලෙසිනි. 

එතෙක් ගෙදරදී නෙත්මලීගේ බොහෝ අදහස්වලට ලැබී තිබුණේ “ඒකෙන් ඇති වැඩේ මොකක්ද?” වැනි පිළිතුරුය. මෙතැනදී ඒ වෙනුවට “ඒක try කරලා බලමු” කියන වචන ඇසෙන්නට විය.

අලුත් තැනක්, අලුත් මිනිස්සු, අලුත් වැඩ කන්දරාවක් මැද්දේ වුණත් ඒ සියල්ල අතරේ තමන්ට හුරුපුරුදු යමක් තිබුණ නිසාම නෙත්මලී උන්නේ සන්තෝසයෙනි. ඒ වචන ය. වාක්‍ය ය. මිනිස්සුන්ට කියන්නට ඕනෑ දේ වචනවලට පෙරළන එකය.

පළමු දවසේ නෙත්මලීට භාර දී තිබුණේ එතරම් ලොකු වැඩක් නොවුණත්, ඒ කුඩා වැඩ ටික පවා නෙත්මලී විසින් කරනු ලැබුවේ පුදුමාකාර උනන්දුවකිනි. එකම වාක්‍යය දෙතුන් විදිහකට ලියා බලමින්, හොඳම වචනය තෝරමින්, තමන් ලියූ දේ නැවත නැවතත් කියවා බලන්නට නෙත්මලී පැය ගණන් ගත කළාය.

“මේක ටිකක් short කරමු.”

“මේ වචනෙ වෙනුවට වෙන එකක් දාන්න පුළුවන්ද?”

“මේක නියමයි. හැබැයි තව ටිකක් fun වෙන්න ඕන.” වගේ කුඩා කුඩා උපදෙස් ලැබෙද්දී නෙත්මලී ඒ හැම එකක්ම හිතේ තියාගත්තාය. නෝට් පොතේ ලියාගත්තාය. තමන් නොදන්නා දේවල් තිබුණත්, ඉගෙනගන්න බැරි දෙයක් නැති බව ඇයට ටිකෙන් ටික දැනෙන්නට වූයේ ඒ අනුවය. ඊටත් වඩා නෙත්මලී කැමති වූයේ උදේ ගෙදරින් පිටවී ආ පසු නැවත ගෙදර යනතුරු තමන්ගේ ජීවිතය ගැන කාගෙන්වත් ප්‍රශ්න අහන්නට සිදු නොවීමය. කවුරුත් “අද මොනවද කළේ?”, “ඊළඟට මොනවද කරන්නෙ?”, “රස්සාවක් හොයාගත්තද?” කියා ඇගේ හිත පාරන ප්‍රශ්න අසන්නට එහි උන්නේ නැත. ඒ වෙනුවට දවස පුරා කතා කෙරුණේ වැඩ ගැනය. කරන්නට තිබූ දේවල් ගැනය. හෙට කරන්නට තිබෙන දේවල් ගැනය.

ඒ වෙනස නෙත්මලීගේ හිතට අරගෙන ආවේ පුදුම තරම් සැනසීමකි.

දවස් දෙක තුනක් යද්දී කාර්යාලයේ පරිසරය නෙත්මලීට නුහුරු තැනක් නොවීය. උදේම ඇවිත් තමන්ගේ පුටුවේ වාඩිවීමත්, පරිගණකය ක්‍රියාත්මක කරගෙන දවසේ වැඩ ලැයිස්තුව බලන එකත්, අතරින් පතර කෙනෙකු සමග තේ කෝප්පයක් බොමින් කතා කිරීමත් නෙත්මලීගේ දවසේ සාමාන්‍ය කොටස් බවට පත්වෙමින් තිබුණි.

කලකට පසුව තමන්ට කියාත් ජීවිතයක් තිබෙන බව නෙත්මලීට දැනෙන්නට පටන් ගත්තේ එතැනදීය.

උදේ නැගිටීමට හේතුවක් තිබුණි. ගෙදරින් පිටවීමට හේතුවක් තිබුණි. දවස අවසානයේ ආපසු ගෙදර යන විට කියන්නට තරම් දෙයක් තිබුණි.

ඒ සියල්ල අතරින්, තමන්ට තමන් ගැන ටිකක් ආඩම්බර වෙන්නටත් නෙත්මලී පටන්ගෙන තිබුණි.

එහෙත් සන්තෝසයෙන් පිරී තිබූ ඒ දවස් අතරින් වුවද, ඇතැම් වෙලාවක නෙත්මලීගේ හිත තවමත් ඇය නොදැනුවත්වම වෙනත් තැනකට ගියේය. කාර්යාලයේ හැමෝම වැඩක නිරතව සිටින අතරේ, නෙත්මලී පරිගණක තිරය දෙස බලාගෙන සිටියද එහි කිසිවක් නොපෙනෙනා සේ බොහෝ දුර කල්පනාවක ගිලී සිටි අවස්ථා තිබුණි. අතේ තිබූ පෑන නොදැනුවත්වම කරකවමින්, කිසිවකු නොදකිතැයි සිතාගෙන මඳ වේලාවක් නිහඬව සිටින්නට ඇය පුරුදු වී සිටියාය.

ඒ වෙලාවට ඇය කල්පනා කළේ මොනවා ගැනදැයි නෙත්මලීගෙන් ඇසුවොත්, බොහෝවිට ඇයටත් ඒ සඳහා නිශ්චිත පිළිතුරක් තිබුණේ නැත.

කෙසේ වෙතත්, නෙත්මලී නොදැන සිටි කාරණාවක් තිබුණේය.

නෙත්මලී එසේ දුර ඈත කල්පනාවල ගිලී සිටින සෑම අවස්ථාවක්ම කාගේ හෝ විමසුම් ඇසකට ඒ වන විටත් අසුවෙමින් තිබුණේය. ඇය නොදැන සිටි ඒ ඇස් දෙක, ඇතැම් විට ඇය දෙස බලා සිටියේ මඳ සිනහවකින් යුතුවය.

“මෙච්චර පොඩි කෙල්ලෙක්ට මොනවද අනේ ඔය වයසෙදි ඔච්චර කල්පනා කරන්න තියෙන්නෙ?” යන සිතුවිල්ලද ඒ බැල්ම පිටුපසින් නිතරම ඇඳී තිබුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here