ලොබියේ තිබූ දිගු සෝෆාවේ කොනකට වී නෙත්මලී නිහඬව වාඩි වී සිටියාය. ඇගේ දෙඅත් අතර අධ්‍යාපන සහතික පත්‍ර පිරවූ ෆයිල් එකක් සිරවී තිබුණාය.
නෙත්මලී වටපිට බැලුවේ බයෙනි. තිගැස්මෙනි. මහ ලොකුවට ආවාට මේ ආවේ ආ යුතු ගමනක් දැයි මෙහි ආවේලාවෙ සිට සිත කියන්නට වූ වග දන්නේ නෙත්මලීය. බය දැනෙන්නේ හිතටය. තමන් තවමත් මෙවන් තැනකට පොඩි වැඩි බවට සාරා කියූ කතාව ඇත්තක් බව නෙත්මලීට පවා ඇත්තක් යැයි ඇයට සිතුණේ එතන හුන් අනෙක් අය දකිද්දීය.
වීදුරු දොරෙන් එහා මෙහා යන මිනිසුන්ය. පරිගණක අතේ තබාගෙන ඉක්මනින් ඇවිද යන තරුණ තරුණියන්ය. පිළිවෙළට ඇඳ පැළඳගෙන තමන්ගේ වැඩවලට යන මිනිසුන්ය. නෙත්මලීට දැනුනේ තමන් මේ ලෝකයට අලුත් කෙනෙකු මෙන්ය.
ඇඟිලි ෆෝල්ඩරයේ කොනක් මත නතර වීම් තෙරපී තිබුණේ ඒ සිතුවිල්ල නිසාවෙනි.
“ඒලෙවල් හොඳට පාස් වෙලා කැම්පස් ගිහින් ලෝයර් කෙනෙක් වෙන්න හිටපු මට කවදාහරි මෙහෙම ඒජන්සියක ජොබ් එකකට එන්න වෙයි කියලා කවුද හිතුවෙ?”
ඒ සිතුවිල්ලත් සමග හිතේ කොහේදෝ තිබූ පරණ මතකයක් ආයෙත් මතු විය.
පාසල් ඇඳුම ඇඳගෙන පොත් බෑගයත් කරේ දමාගෙන උසාවියක් ඉදිරිපිටින් ගමන් කරන තමන්ව ඇය කී වතාවක් නම් සිතින් දැක තිබුණාද? කළු කෝට් එකක් ඇඳගෙන උසාවියක් ඇතුළේ තර්ක කරන දවසක් ගැන ඇය කී වතාවක් නම් සිහින මවා තිබුණාද?
එදා ඒ සිහිනවල අනාගතය ඉතාම පැහැදිලිව තිබුණි. විශ්ව විද්‍යාලයට යන්නට, නීති පිඨයේ ඉගෙන ගන්නට, කළු කෝට් එකක් දාගෙනා උසාවි දෙදරන්නට කතා කරන්නට මෙන්ම ඒ හැමදේම අතරේ දුරින් සිටියත් තමන් ගැන ආඩම්බරයෙන් බලන තාත්තෙකුත් සිටියේය.
ඒත් දැන් ඒ සිහිනවලින් එකක්වත් තමන් ඉදිරියේ තිබුණේ නැති බව පමණක් නෙත්මලී දැන සිටියේය.
කැම්පස් යන හීනය ප්‍රතිඵල පත්‍රිකාවක් මත අඩාල වී තිබුණි. තාත්තා යන මිනිසා තමන්ගේ ජීවිතයෙන් ඈතට ගොස් තිබුණි. අම්මා සමග එකම ගෙදර සිටියත්, සමහර දවස්වල ඇය තමන්ට සලකන්නේ අම්මා කෙනෙකුට වඩා පිටස්තරයෙකු මෙනි.
ඒ සියල්ල අතරේ අද තමන් කවදාවත් සැලසුම් නොකළ රැකියාවක් ඉල්ලන්නට මෙහි පැමිණ තිබේ.
“ඒලෙවල් වලට සිංහල කරපු, ඒලෙවල් සිංහල වලට ඒ එකක් තිබ්බ, ඉස්කෝලෙ කථික තරග, පළාත් සිංහල භාශා දින තරග වල කප් ගහපු ඔයා වගේ කෙනෙක් ඇඩ් ඒජන්සි එකක කොපි රයිටර් කෙනෙක් වෙනවා කියන එක නරක දෙයක් කියලා මං කියන්නෙ නෑ. රයිටර් කෙනෙක් වෙන එක නරක දෙයක් නෙවෙයි. ඔයාට හැබැයි නෙත් ඔච්චර හිතට අමාරු ඔයාගෙ හීනෙ ඊට වඩා වෙනස් දෙයක් වෙච්ච නිසානෙ. ඔයාමයි දැන් ඩිසයිඩ් කරලා තියෙන්නෙ ජොබ් එකකට යනවා කියලා. මම නම් කියන්නෙම තව පාරක් එක්සෑම් කරන්න කියලා. මට හොඳටම ශුවර් ඔයා තව චුට්ටක් මහන්සි වෙලා සෙකන්ඩ් ශයි එක කරොත් ඔයාට ලෝ ෆැකල්ටි යන එක නතිං කියලා” සාරධා කියද්දී නෙත්මලී ඒ වචන භාරගත්තේ සිනාවකිනි.
“එකපාරක් නෙවි ඉතුරු ශයි දෙකම උනත් කරන්න මම ලෑස්ති සාරා”
“එහෙනම් නොකරන්නෙ?”
“කොහෙන්ද වියදං කරන්න සල්ලි? ඔයා හොඳටම දන්නවනෙ අපෙ අම්මාට කොච්චර අමාරුද කියලා වියදං කරන්න? අම්මා පොඩ්ඩක්වත් කැමති නෑ තාත්තගෙන් සල්ලි ගන්නත්. එහෙමෙකේ මං කොහොමද සාරා අම්මට කියන්නෙ මට සෙකන්ඩ් ශයි රිවිශන් ක්ලාසස් යන්න සල්ලි දෙන්න කියලා”
“ක්ලාසස් යන්නෙ නැතුව කරගන්න අමාරු වෙයිද?”
“මං දන්නෙ නැ සාරා. රිස්ක් එකක් අරගෙන අන්තිමේ ඒකත් නෑ මේකත් නෑ කරගන්නවට වඩා මං හිතන්නෙ මං මේකට යන එක හොඳයි. කවදහරි සල්ලි ටිකක් එකතු කරගන්න පුළුවන් වෙච්ච දවසක මම ඕපන් යුනි හරි ලෝ ෆැකල්ටි එන්ට්‍රන්ස් හරි ලියලා ලෝයර් කෙනෙක් වෙනවා” කියා සාරාට පිළිතුරු දුන්නාට අම්මා නම් ඒ ප්‍රශ්නය දිහා බලන්නේ ඒ තරම් පොසිටිව් විදියට නොවන බව නෙත්මලී කලින්ම දැන උන්නාය.
“මහ ලොකුවට උඩ දාගෙන ගියේ ඉස්කෝලෙයි පංතියි. දැන් ඉතින් අකුලගෙන පලයංකො රස්සාවලට. ඒකත් මේ මහ ලොකු රස්සාවල් නම් කමක් නෑ. තිස් පන්දාහෙ පඩියෙන් අද මොනවද කරගන්න පුළුවන්? යන එන ටිකට ඒක ඉවරයි. එක්කො ඉගෙන ගද්දි ඉගෙන ගන්නෝන විභාග ෆේල් උනත් හරිහමං රස්සාවක් කරලා, පඩියක් ගන්න පුළුවන් ජාතියෙ මොකක් හරි එකක්. ඒකත් උඩ දාගෙන කරන්න ගියානෙ කලාවක්. කලාව. ඔය කරගත්තෙ” කියා අම්මා බණිද්දී නෙත්මලී වෙනදා මෙන් ඒ වදන්වලට ප්‍රති උත්තර දෙන්නට ගියේ නැත. දී තේරුමක් නැති බව ඒ වෙද්දී හිත යාන්තමට මෙන් තේරුම් ගනිමින් උන්නාය.
ජීවිතය ගැන අපි හිතාගෙන ඉන්නා තරම් ලස්සන සැලසුමක් ජීවිතයට කවදාවත් තිබුණේ නැත. තියෙන්නේද නැත. අපි වයස අවුරුදු දහඅටේදී අඳින සැලසුමට අනුව අවුරුදු විසිපහේදී ජීවත් වෙන්නට හැකි වේ යැයි අප සිතන බව ඇත්තකි. එහෙත් අතරමගදී අපි නොසිතූ මිනිසුන් හමුවෙති. නොසිතූ දේවල් සිදුවෙති. සමහර හීන අපෙන් ගිලිහෙති. සමහර මාර්ග අපට බලෙන්ම වෙනස් කරන්නට සිදුවෙති. ඒ නිසාම ජීවිතය අසාර්ථක වූවක් යැයි කියන්නට අපට නොහැක. සමහරවිට අපි අසාර්ථක වූවා යැයි සිතන තැන්වලින්ම, අපේ ජීවිතයේ වෙනත් කතාවක් නිහඬව ආරම්භ වී තිබිය හැකිය. එහෙත් ඒ ඇත්ත තේරුම් ගන්නට නෙත්මලී ඒ වෙද්දිත් අවශ්‍ය තරම් පරිණත වී තිබුණේ නැත.
“ඒජන්සි එකක කොපි රයිටර් කෙනෙක් වෙන එක නරක ජොබ් එකක් නෙවෙයිනෙ.ලෝයර් කෙනෙක් වෙනවට වඩා ෆික්ස් ජොබ් එකක්නෙ. මේකෙන් පටන් ගෙන මට ඉස්සරහට යද්දි මේ පැත්තෙන් තව ලොකුවට ඉගෙන ගෙන තව උඩට යන්න පුළුවන් වෙයිනෙ. හිත අවුල් කරගන්න නරකයි.
අනික මං දැන් ඇවිත් ඉවරනෙ, ඉන්ටවිව් එකෙන් තේරෙන්නත් ඕනනෙ. ඒකෙන් පස්සෙනෙ ඔක්කොම” කියා නෙත්මලී හිත සනසගන්නට කටයුතු කරේ ඇයට කලින් ඉන්ටවිව් එකට යන්නට උන් පුද්ගලයා තම අසුනෙන් නැගිට කාර්‍යාලය ඇතුළට ගියයින් පසුවය.
කොපි රයිටර් කෙනෙකු වීම නරක රැකියාවක් නොවේ. ඒ බව ඇය දැන සිටියාය. තමන් ලියන්නට ආසා බවත් නෙත්මලී දැන සිටියාය. එහෙත් කවදාවත් තමන්ගේ ජීවිතය මෙතැනින් පටන් ගනීවි යැයි නෙත්මලී සිතා තිබුණේ නැත.
එහෙත් හිත වද වුණේ එයට වඩා වෙනස් කාරණාවක් නිසාවෙනි.
රැකියාව ලැබේවිද නොලැබේවිද යන්න ගැන නෙත්මලීට එතරම් බයක් නොවීය. මේ මොහොතේ ඇගේ හිත පුරාම තිබුණේ, රැකියාව ලැබුණොත් සිදුවන්නේ කුමක්දැයි යන බියය.
මක් නිසාද යත් නෙත්මලී මෙතැනට පැමිණ සිටියේ තමන්ගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන්නට වුවද ඒ පිටුවේ පළමු වාක්‍යයම ලියා තිබුණේ සම්පූර්ණ බොරුවකින් වූ නිසාවෙනි. ඒ වෙලාවේ එය කියන්නට තරම් අමාරුවක් නොදැනුණද දැන් ඒ වචන එකින් එක සිහිපත් වෙද්දී හිත තිබුණේ මදින් මද බර වෙමිනි.
“එයාලා ඒක ඇහුවොත්?” නෙත්මලී තමන්ගෙන්ම ඇහුවේ ඒ නිසාවෙනි.
එහෙත් එයට උත්තරයක් තිබුණේ නැත. අනෙක් අතට බොරුවක් වහන්නට දෙන්නට තිබෙන්නේද බොරු කිහිපයකි. ඒ හැම බොරුවක්ම තවත් බොරුවකට පාර කපන බව දැන දැනත් ඒවා අතරින් ගැළපෙන එකක් තෝරන්නට නෙත්මලී උත්සාහ කළාය.
“නෙත්මලී සමරසිංහ?”
ඇය ගැස්සී හිස එසවූවේ ඒ හඬටය. දොර ළඟ සිටි කාර්‍යාල සහයිකාව සිනාසෙමින් ඇය දෙස බලා සිටියේය.
“Come in.” නෙත්මලී හෙමින් ඉඳගෙන උන් අසුනෙන් නැගිට්ටාය.
බොරුව තව විනාඩි කිහිපයකින් අහුවෙන බව නෙත්මලී ඒ මොහොතේ දැන උන්නාය.


