වසන්තය තව දුරද – 28

0
287

“පිච් එකක් වෙලාවෙදි අඬනවා කියන්නෙ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද?” කියා අසමින් නලින්ද්‍ර තමාගේ කාර්‍යාල කාමරයේ ඇති කොෆි මැශින් එකෙන් හදන ලද කෝපි කෝප්පයක් තමන් ඉදිරියේ තියද්දිත් නෙත්මලී උන්නේ අඬමිනි. නැතිනම් කඳුළු වලට ඔහේ කම්මුල් දිගේ අවසරයකින් තොරව ගලා යන්නට ඉඩ දෙමිනි.

“මං දන්නවා” කියා නෙත්මලී යන්තමින් පැවසුවේ කෝපි කෝප්පය දෙස මදකටවත් නොබලමිනි. හිත තිබුණේ සියලුම දේ එපා යැයි කියන තැනකය. තාත්තා හැරෙන්නට කිසිම දෙයක් ඕන නැතැයි කියන තැනකය.

“දන්නවා නම් ඇයි අඬන්නෙ?” කියා නලින්ද්‍ර විත් නෙත්මලී වාඩි වී උන් පුටුවට පසෙකින් මේසයට ඇලවී දෙඅත ඇඳගෙන නෙත්මලී දෙස බලමින් ඇසුවද  ඒ ප්‍රශ්නයට නෙත්මලීට පිළිතුරක් තිබුණේ නැත. ඇත්තටම නෙත්මලී එයට පිළිතුරක් දැන සිටියේද නැත. පිච් එක අතරමැදදී තමන්ට සිදුවූයේ කුමක්දැයි සිතා බැලීමට පවා හැකියාවක් තිබුණේ නැත. තාත්තා ගැන කතා කරන්නට පටන් ගත් මොහොතේ සිටම හිතේ කොහේ හෝ තැනක හිර වී තිබූ යමක් හදිසියේම ලිහිල් වී ගියාක් මෙන් දැනී තිබුණද හිත තිබුණේ අලුතෙන් බර වී බව පමණක් නෙත්මලීට වැටහුණාය.

“මං හිතලා අඬන්න ගත්තෙ නෑ”

“ඒක මං දන්නවා”

නලින්ද්‍ර එසේ කියා තමන්ගේ මේසය වෙත ගොස් එහි තිබූ පුටුවක වාඩි විය. නලින්ද්‍රගේ කටහඬේ කිසිදු කේන්තියක් නොතිබුණද ඔහු කියන්නට යන්නේ කුමක්දැයි සිතාගන්නට බැරුව  නෙත්මලීගේ හිත තිබුනේ බර වීය.

“හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියන එක නෙවෙයි” කියා නලින්ද්‍ර කියද්දී නෙත්මලී හිස පහත් කරගත්තාය.

“Client කෙනෙක් ඉස්සරහා අපි අපේ feelings control කරගන්න ඕනෙ. ඒක මේ job එකේ කොටසක්. අද ඔයාට උන දේ මට තේරෙනවා. හැබැයි හෙට දවසෙත් මේ වගේ දෙයක් උනොත්, ඒක client කෙනෙක්ට explain කරන්න මට බෑ. දැන් අද නම් ඔයාට ඇඬුණෙ ඉන්ටර්නල් ටීම් එක ඉස්සරහනෙ. සමහරවිට ඔයාගෙ අයිඩියා එක ඔයාවම මාරෙට emotional කරපු නිසා වෙන්නැති ඔයාට ඇඬුණෙ ඒ උනාට ඉතින් නෙත්මලී මතක තියාගන්නෝන අපි ක්‍රියේටිව් රස්සාවල් කරන මිනිස්සු උනත් අපිටත් professional standards තියෙනවා කියලා මේන්ටේන් කරන්න.”

“ඔව්.”

“අනික…” නලින්ද්‍ර මඳ වේලාවක් නතර විය.

“ඔයා අද කියපු දේ ගැන මට ප්‍රශ්නයක් නෑ.” නෙත්මලී හිස ඔසවා නලින්ද්‍ර දිහා පලවෙනි වතාවට බැලුවේ ඒ මොහොතේය.

“ඒක හොඳ insight එකක්. ඇත්තටම හොඳයි. පර්සනල් එක්ස්පීරියන්ස් එකකින් ආව හොඳම හොඳ ඉන්සයිට් එකක් කියලා ඒ කතාව අහන ඕනම කෙනෙක්ට තේරෙනවා”

“ඔව් තාත්තා ගැන සෑහෙන හිතුවා මම” නෙත්මලී එසේ කියා නතර වූවාය.

“මට ඒක තේරුණා. ඒකයි මං ඔයාට මේක කියන්නෙ.”

“මොකක්ද?”

“Personal experience එකකින් හොඳ idea එකක් එන්න පුළුවන්. සමහර වෙලාවට හොඳම ideas එන්නෙ එහෙම. අපිට personally feel වෙච්ච දෙයක් නිසා වෙන මනුස්සයෙක්ටත් ඒක feel වෙන්න පුළුවන්. හැබැයි ඒ experience එක ඇතුළෙ අපිම ගිලිලා ගියොත් එතකොට අපි creative එකක් කරන්නෙ නෑ. අපේම කතාව කියන්න පටන් ගන්නවා මිසක්. මිනිස්සුන්ට අහන්න ඕන හදපු කතාවක් මිසක් අපෙ ඇත්තම කතාව නෙවෙයි නෙත්මලී”

“අද ඔයාට උනේ ඒක.”

“Sorry සර්.”

“ආයෙ sorry කියන්න එපා.”

නලින්ද්‍රගේ හඬ තිබුනේ මදින් මද මුදු වෙමිනි. මේ පුංචි කෙල්ලො එක්ක මහ එවුන් එක්ක වගේ වැඩ කරන්න බැරි බවට කුමක් හෝ හැඟීමක් ඒ වෙද්දී හිත කියන්නට පටන් ගෙන තිබුන නිසාම නලින්ද්‍ර උන්නේ නෙත්මලී විශයෙහි වඩා මුදු වෙන්නට ඉටාගෙනය.ඇය තවමත් ලෝකය ගැන ඉගෙනගනිමින් සිටින කෙල්ලක බව ඒ වෙද්දී නෙත්මලීට පෙනෙන්නට පටන් ගෙන තිබුණි. වැඩක් වැරදුණු විට ඒ වැරැද්දෙන් ඉගෙනගෙන නැවත උත්සාහ කළ හැකි වයසක සිටියද, තමන් කළ පුංචි වැරැද්දක් පවා ලෝකයම තමන්ට විරුද්ධ වූවාක් මෙන් හිතට ගන්නා වයසකද ඇය සිටින බව තේරුංගන්නට තමන් නලින්ද්‍ර පසුවූයේ පරිණත වයසකය. විශේෂයෙන්ම නෙත්මලී තුළ තිබූ ඒ අමුතු උනන්දුව ඔහුට පෙනී තිබුණි. තමා නොදන්නා දෙයක් ගැන ලැජ්ජා නොවී අසා දැනගන්නටත්, කියන දෙයක් අසාගෙන ඊළඟ වතාවේ එය හොඳින් කරන්නටත් ඇය තුළ තිබූ කැමැත්ත නලින්ද්‍ර කැමති වූ දෙයක් විය. ඒ නිසාම ඇයව බය කර වැඩ ගන්නවාට වඩා, ඇය තුළ තිබෙන ඒ උනන්දුව නැති නොකර වැඩ කරන්නට උගන්වා දීම වැදගත් බව නලින්ද්‍ර හිතට හෙමින් සැරේ කියාදෙමින් උන්නේය.

“මං ඔයාට බනින්න හිතාගෙන නෙවෙයි මේක කියන්නෙ. ඔයාට මේක තේරුං කරවන්න ඕනෙ නිසා කියන්නෙ.”

නෙත්මලී කිසිවක් නොකියා කෝපි කෝප්පය අතට ගත්තේ නලින්ද්‍රගේ වචන අස්සේ සැංගී තිබුණ යම් කිසි උණුසුම් හැඟීමක් කඳුළුවල තිබුණ සීතල ගතිය පහ කරන්නට ඒ වෙද්දී කටයුතුකර තිබුණ නිසාවෙනි. 

“තව දෙයක්.” නලින්ද්‍ර නැවත කතා කළේ නෙත්මලී කෝපි කෝප්පයේ උණුහුමට තමන්ව සනසන්නට මදින් මද අවසර දෙන අතරවාරයේය.

“තාත්තා ගැන කතාවක් නිසා ඔයා මෙච්චරටම upset වෙනවා නම්, you have to work on it more”

“මොකද්ද?”

“ඒක ඔයාම තමයි හොයාගන්න ඕන”  එසේ කියා නලින්ද්‍ර ආයෙ වරක් මඳ සිනහවක් පෑවේය.

“මං counsellor කෙනෙක් නෙවෙයිනෙ. ඉතින් මං දන්නෙ නෑ ඔයා ඒක කරන්නෝන කොහොමද කියලා කියන්න”

“ඔව්”

“හරි එහෙනම් දැන් මේක බීලා යන්න. අද මොනවද තියෙන ඉතුරු වැඩ? 

“ මේ පිච් එක තියෙනවා. ඒකෙ ක්‍රියේටිව්ස් හදන්න දෙන්න ඕන. සොෆ්ට් එකේ රිටේනර් කොපීස් ලියලා දෙන්න තියෙනවා”

“හරි මේ පිච් එක ආයෙ හොඳට ගෙදරදි ප්‍රැක්ටිස් කරලා මට පර්සනලි පිච් කරන්න. හැබැයි ආයෙ අඬන්න බෑ හරිද? අදට ආයෙ මේ පිච් එකේ වැඩ කරන්න ඕන නෑ. අනිත් වැඩ ටික බලන්න.” කියා නලින්ද්‍ර කියද්දී නෙත්මලී හිස වැනුවාය.

එහෙත් කාමරයෙන් පිටතට යාමට පෙර නෙත්මලී මඳ වේලාවක් නතර වූවේ ඇයට විමසන්නට තව කරුණක් හිතේ ඉතිරිව තිබුන නිසාවෙනි.. අද තමන් අඬපු එක ගැන හිත තිබුණේ තවමත් ලැජ්ජාවෙනි. එහෙත් ඒ ලැජ්ජාව අතරින්ම නලින්ද්‍ර තමන්ට තේරුම් ගත යුතු යමක් පෙන්වා දුන් බව නෙත්මලීට තේරුණාය.

“නලින්ද්‍ර?”

“ම්ම්?”

“මං අද කියපු idea එක” කියා නෙත්මලීට ප්‍රශ්න අසා ඉවර කරන්නට නලින්ද්‍ර ඉඩ දුන්නේ නැත.

“හොඳයි.”

“ඇත්තටම හොඳයිද?”

නලින්ද්‍ර සිනාසුණේය.

“ඔයා අඬපු එක නරකයි. Idea එක හොඳයි.”

කියා නලින්ද්‍ර කියද්දී නෙත්මලීටද  සිනහවක් ගියාය.

“ඒක දෙකක් කියලා හිතාගන්න.” කියා නලින්ද්‍ර ආය වතාවක් දෙනෙත් ලැප්ටොප් එකට යොමාගද්දී  නෙත්මලී කාමරයෙන් පිටව ගියාය.

නලින්ද්‍ර ආපසු වරක් දෙනෙත් එසවූයේ දොර වැසෙන හඬටය.අනතුරුව ඔහු මඳ වේලාවක් දොර දෙස බලා සිටියේය. 

නෙත්මලී හිතේ මහා බරක් තබාගෙන ඉන්නා බවත්, ඒ බර හිත අස්සේ රඳවාගෙන ඉන්නා තරමට එය ඇයව දවන්නට, පෙලන්නට හේතුවෙන බවත් තේරුණද නෙත්මලීගේ හිතෙන් ඒ වේදනාව එළියට ඇද දාන්නේ කෙසේද යන්න නලින්ද්‍රට හිතාගන්නට පුළුවන් වුණේ නැත.

අනෙක් අතට නලින්ද්‍රට ඊටත් වඩා හිතට වද දෙන ප්‍රශ්නයක් තිබුණාය.

“නෙත්මලීගෙ හිතේ මොන වගේ ප්‍රශ්නයක් තිබ්බත් මං මොකටද ඒක ගැන වොරි වෙන්නෙ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here