නිහඬ නගරයක සැඟවුණු මිනීමරුවා

ඒ 2010 දෙසැම්බර් 11 වෙනිදා.

Long Island වල Gilgo Beach එක ළඟ පොලිස් කණ්ඩායමක් search එකක් කරනවා. එයාලා හොයන්නෙ මාස අටකට කිට්ටු කාලයක් තිස්සේ අතුරුදන් වෙලා ඉන්න අවුරුදු 24ක ගෑනු ළමයෙක්ව. එයාගෙ නම Shannon Gilbert.

එදා search එකට ගිය පොලිස් නිලධාරියා එක්ක හිටියෙ Blue කියන German Shepherd බල්ලෙක්. එකපාරටම Blue පඳුරු අතර නවතිනවා. බිම හාරන්න පටන් ගන්නවා.

ඒ වෙලාවෙ නිලධාරියාට හිතෙන්නෙ එකම දෙයයි.

“Shannonව හම්බුණා”

හැබැයි එයාලට හම්බවෙන්නෙ Shannon නෙවෙයි. මනුස්ස ඇටසැකිල්ලක්. මුලින්ම ඒක Shannonගේ body එක වෙන්න පුළුවන් කියලා හිතුවත්, ටික වෙලාවකින් ඒ එයා නෙවෙයි කියලා තේරෙනවා. ඒ නිසා පොලිසිය ඒ අවට තවත් search කරනවා.

එතකොට තවත් body එකක්. ඊට පස්සේ තවත් එකක්. ඊටත් පස්සේ තවත් එකක් විදියට  එකම ප්‍රදේශයකින් කාන්තාවන් හතර දෙනෙකුගේ bodies හම්බවෙනවා. ඒ මොහොතේ තමයි මේක Shannon Gilbertගේ missing person case එක විතරක් නොවන බව පොලිසියට තේරෙන්න පටන් ගන්නෙ. කවුරුහරි කෙනෙක් කාන්තාවන්ව මරලා, එයාලගෙ bodies මේ ප්‍රදේශයට ගෙනත් දාලා තිබුණා කියන් එක පොලිසියට තේරෙන්න පටන් ගන්නවා.

ඒත් මේ කතාව පටන්ගන්නෙ එතනින් නෙවෙයි.

ඒක පටන්ගන්නෙ මාස අටකට කලින්, 2010 මැයි 1 වෙනිදා පාන්දර 4.51ට.

Shannon Gilbert එදා 911 එකට call කරනවා. එයා ඉන්නෙ Long Island වල කොහේහරි කියලා විතරයි දන්නෙ. හරියටම location එක කියන්න එයටත් බැහැ. හැබැයි එයාට එක දෙයක් ගැන නම් හොඳටම විශ්වාසයි.

ඒ තමයි කවුරුහරි එයාව follow කරනවා කියන එක.

“මේ මිනිස්සු මාව මරන්න හදන්නේ” Call එකේ background එකෙන් පිරිමි කටහඬවල් දෙකක් ඇහෙනවා. ඊට පස්සේ Shannon කෑගහනවා. ඒ තමයි එයාගෙන් ලැබුණු අන්තිම phone call එක.

Shannon අතුරුදන් වෙලා මාස අටකට පස්සේ එයාව හොයන්න ගිය search එකකින් bodies හතරක් හම්බවෙන්නෙ ඔන්න ඔය විදියට. ඒ bodies “Gilgo Four” කියලා හඳුන්වන්න පටන් ගත්තෙ Gilgo Beach එකෙන් හම්බෙච්ච නිසා.

මුලින්ම identify වුණේ Maureen Brainard-Barnesව. 2007දී වයස 24දී අතුරුදන් වෙච්ච Maureen, ජීවිතේ ගෙනියන්න සල්ලි හොයාගන්න ගොඩක් මහන්සි වෙච්ච තරුණ අම්මා කෙනෙක්. Waitress, telemarketer, cashier වගේ jobs කරලා තිබුණත්, අන්තිමේදී එයා escort කෙනෙක් විදිහට වැඩ කරන්න පටන්ගෙන තිබුණා. Online ads හරහා clientsලව හොයාගත්ත එයා, තමන් කරන රැකියාව ගැන පවුලේ අයට කියලා තිබුණෙ නැහැ.

එයා අතුරුදන් වෙන්න කලින් දවසෙත් තමන්ගෙ පවුලේ අයට “shoot එකකට යනවා” කියලා කියලා ගෙදරින් පිටවෙලා තිබුණා. ඊට පස්සේ Manhattan වල motel එකක හිටපු එයා, තමන්ගෙ නංගිට Penn Station එකෙන් call කරලා Norwich වලට එන්න ride එකක් ඉල්ලනවා.

ඒ තමයි එයාගෙන් ලැබුණු අන්තිම call එක.

පස්සේ Maureenගේ යාළුවෙක් වෙච්ච Saraට අමුතු phone call එකක් එනවා. කතා කරපු මනුස්සයා කියනවා එයාට “Marie” කියලා ගෑනු ළමයෙක් හම්බවුණා කියලා. “Marie” කියන්නෙ Maureen තමන්ගෙ escort work එකේදී පාවිච්චි කරපු නම.

එයා Maureenගේ පෙනුම ගැනත් විස්තර කරනවා. Sara number එක ඉල්ලනවා. Call කරපු මනුස්සයා දෙන්න එකඟ වෙනවා. හැබැයි ඒ number එක කවදාවත් ලැබෙන්නෙ නෑ.

ඊළඟට identify වෙන්නෙ Melissa Barthelemy.

Melissa 2009 ජූලි මාසෙ Bronx වලින් අතුරුදන් වෙලා තිබුණා. එයත් online ads හරහා clients හොයාගෙන escort කෙනෙක් විදිහට වැඩ කරලා තිබුණා.එයා අතුරුදන් වෙලා සතියකට විතර පස්සේ, එයාගෙ phone එකෙන් නංගි Amandaට call එකක් එනවා. Amanda හිතන්නෙ Melissa call කරනවා කියලා. ඒත් phone එකේ අනිත් පැත්තෙ ඉන්නෙ පිරිමි කෙනෙක්.

එයා Melissa ගැන කතා කරලා කියනවා. හරි අමුතු දෙයක් තමයි කියන්නෙ. “මම එයාව මැරුවා” කියල තමයි කියන්නෙ.

ඒ මනුස්සයා Amandaට හත් අට වතාවක් විතර call කරනවා. හැම වෙලාවකම පුදුම විදිහට සන්සුන්ව තමයි කතා කරන්නෙ. NYPD එක මේ calls track කරද්දි ඒවායේ locations Midtown Manhattan සහ Long Island අතරට සම්බන්ධ වෙනවා.

ඒකත් එක්ක investigatorsලාට theory එකක් හදාගන්න පුළුවන් වෙනවා.මේ මනුස්සයා Long Island වල ජීවත් වෙලා Manhattan වල වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන් කියලා.

තුන්වැනි victim Megan Waterman.

වයස 22යි. Single mother කෙනෙක්. එයාගෙ පුංචි දුව Lillianට එතකොට අවුරුදු තුනක් විතරයි වෙන්නෙ.

2010 ජූනි 6 වෙනිදා Megan Maine ඉඳලා Long Island වලට ඇවිත් Hauppauge වල hotel එකකට check-in වෙනවා. එදා රෑ boyfriendට කියන්නෙ client කෙනෙක්ව හම්බවෙන්න යනවා කියලා. එහෙම යන එයා ආයෙ hotel එකට එන්නෙ නෑ.

CCTV footage එකේ පාන්දර 1.30ට විතර Megan කහ පාට sweater එකක් ඇඳගෙන hotel එකෙන් එළියට යනවා පේනවා. එයාගෙ belongings හැම එකක්ම room එකේ තියෙනවා. ඒ කියන්නෙ එයා ආපහු එන්න බලාගෙන තමයි එළියට ගිහින් තිබුණෙ.

ඒත් එයා ආපහු ආවෙ නෑ.

අන්තිමට Gilgo Beach වලින් එයාගෙ body එක හම්බවෙනවා.

හතරවැනි victim Amber Costello.

Amber 27 හැවිරිදි කාන්තාවක්. West Babylon වල roommatesලා දෙන්නෙක් එක්ක ජීවත් වුණ කෙනෙක්. 2010 සැප්තැම්බර් 2 වෙනිදා එයත් client කෙනෙක්ව හම්බවෙන්න යනවා කියලා ගෙදරින් පිටත් වෙනවා. Phone එකවත් අරගෙන යන්නෙ නෑ. ඒ රාත්‍රියෙන් පස්සේ එයාවත් ජීවතුන් අතර දැකපු කෙනෙක් නැහැ. හැබැයි Amberගේ roommatesලාට මතක තිබුණු එක මනුස්සයෙක් හිටියා. එයා අතුරුදන් වෙන්න කලින් දවසේ client කෙනෙක් ගෙදරට ඇවිත් තිබුණා. Amber ඒ මනුස්සයා එක්ක sex කරන්න බැහැ කියද්දිත් ඒ මනුස්සයා එයාව බලහත්කාරයෙන් අල්ලන්න කරන්න උත්සාහ කරලා තිබුණා. Amber room එකට ගිහින් roommate කෙනෙක්ට call කරලා උදව් ඉල්ලලා තිබුණා.

Roommatesලා ඇවිත් ඒමනුස්සයවා එළවලා දානවා. මේ වෙච්ච සිද්දිය නිසාම එයාලට මේ මනුස්සයා ගැන හොඳට මතක තිබුණා.

ඉතාම උස, ලොකු ශරීරයක් තියෙන මනුස්සයෙක් වෙච්ච එයාව “Wrestler කෙනෙක් වගේ” කියලා තමයි එයාලා හැඳින්නුවෙ.

ඒ වගේම එයා ඇවිත් තිබුණෙ තද කොළ පාට Chevrolet Avalanche එකකින්. හැබැයි ඊටත් වඩා වැදගත් clue එකක් තිබුණා.

Amberගේ phone එකට call කරපු burner phone එකක් Massapequa Park, Manhattan සහ West Babylon අතර move වෙලා තිබුණා.

දැන් investigatorsලාට clues ගොඩක් ලැබිලා තියෙනවා. Victimsලා හැමෝම online ads හරහා clients හොයාගෙන තිබුණා කියන එක, හැමෝම Long Island පැත්තට ගිහින් තිබුණා කියන එක,  Burner phones තිබුණා කියන එක, ඒ phone calls එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණා කියන එක.

FBI එක මේ data එකින් එක map කරද්දි calls ගොඩක් සම්බන්ධ වෙන්නෙ Massapequa Park අවට ප්‍රදේශයකට කියලා හොයාගන්නවා.

හැබැයි තවමත් මිනිහා කවුද කියලා කවුරුත් දන්නෙ නෑ.

මේ අතර Shannon Gilbertව හොයන investigation එකත් දිගටම කෙරීගෙන යනවා. 2011දී තවත් search වලින් තවත් human remains හම්බවෙද්දි, මේ case එකට සම්බන්ධ වෙන්න පුළුවන් victimsලාගේ ගණන දහයක් දක්වා වැඩි වෙනවා.

හැබැයි ඒ අතර Shannon නැහැ.

වසර ගණනාවක් මේ case එක clues තිබුණත් විසඳුමක් නැති case එකක් වගේ තමයි තිබුණෙ. පොලිසිය ඇතුළෙම ඇතිවුණ ගැටලු සහ investigation එකට ලැබුණු අඩු අවධානය නිසා case එක තව තවත් මන්දගාමී වුණ එකයි වුණේ.

2018දී Geraldine Hart Suffolk County Police Commissioner විදිහට පත්වුණාට පස්සේ investigation එක ආයෙත් අලුතින් බලන්න පටන් ගන්නවා. පරණ phone records, burner phones, DNA evidence සහ electronic data එකිනෙකට සම්බන්ධ කරලා බලද්දි අවුරුදු ගණනාවකට කලින් තිබුණු ඒ clues ආයෙත් ජීවත්වෙන්න පටන් ගන්නව.

ඒ clues අවසානයේ investigatorsලාව අරගෙන යන්නෙ Massapequa Park වල ජීවත් වෙච්ච, architect කෙනෙක් විදිහට සාමාන්‍ය ජීවිතයක් ගත කරපු මනුස්සයෙක් ළඟට.

මේ මනුස්සයගෙ නම Rex Heuermann.

හොඳ job එකක් කරන,  ගෙයක් දොරක් තියෙන,  හොඳ පවුලක්,  දරුවෝ ඉන්න,  අවුරුදු 27ක විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක්.  බැලූ බැල්මට serial killer කෙනෙක් වෙන්න පුළුවන් කියලා කිසිම විදිහකට පේන්නෙ නැති මනුස්සයෙක්. ඒත් 2023 ජූලි මාසෙ මේ මනුස්සයව අත්අඩංගුවට ගන්නවා.

මුලින් මේ මනුස්සයා මේ මිනීමැරුම් ප්‍රතික්ෂේප කරනවා. ඒත් 2026 අප්‍රේල් 8 වෙනිදා එයා කාන්තාවන් හත් දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් වරද පිළිගත්තා. ඒකට අමතරව, Karen Vergata කියන කාන්තාවගේ මරණය ගැනත් තමන් වගකිව යුතු බව පිළිගත්තා.

ඒ කියන්නෙ අවසානයේ එයා කාන්තාවන් අට දෙනෙකුගේ මරණයට තමන් වගකිව යුතු බව පිළිගත්තා.

Melissa Barthelemy, Megan Waterman, Amber Costello, Maureen Brainard-Barnes, Jessica Taylor, Sandra Costilla, Valerie Mack, Karen Vergata තමයි ඒ කාන්තාවන්.

2026 ජූනි 17 වෙනිදා Rex Heuermannට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ පොලිසියට තිබුණු ප්‍රශ්නයකට අවසානයේ උත්තරයක් ලැබෙනවා.

හැබැයි මේ කතාව සම්පූර්ණයෙන්ම ඉවර වෙලා නැහැ.

මොකද මේ මුළු investigation එකම පටන්ගත්තෙ Shannon Gilbertව හොයන්න ගිය search එකකින්නෙ.

එයා දුන්න. 911 call එකෙන්.

“මේ මිනිස්සු මාව මරන්න හදනවා” කිව්ව එකෙන්.

අවුරුදු ගණනාවකට පස්සේ මිනීමරුවා හම්බවුණා. Victimsලාගේ නම් හම්බවුණා.

ඒත් Shannonට ඇත්තටම මොකද වුණේ කියන ප්‍රශ්නය තාමත් ඉතුරු වෙලා තියෙනවා.

Rex Heuermann එයාගෙ මරණය පිළිගෙන නැහැ. එයාගෙ මරණයට නිශ්චිත හේතුවක් තීරණය කරන්නත් ඒ නිසාම හැකිවෙලා නැහැ.

ඒ නිසා Gilgo Beach case එකේ භයානකම කොටස වෙන්නෙ මෙන්න මේක.

අවුරුදු ගණනාවක් හොයපු මිනීමරුවා හම්බවුණා ඒක හරි.
ඒත් ප්‍රශ්නෙ තාමත් ඉතුරුයි කියන එක.

Related Articles

Don't Miss


Latest Articles