පසළොස්වක මල් – 25

0
495

” නාවින්නේ කොහෙද අර හොයාගත්තු බෝඩිම තියෙන්නේ ?” 

තිගැස්සුණු දෑස යළි විවර වූයේ තවමත් ඉවත බලා සිදු කරන පැනයේ හඬටය.

” ප.. පරණ පාරේ “

” පරණ පාරේ කොහෙද ?” 

” ද.. දන්නෑ..”

” කීදෙනෙක් ඉන්නවද එතන ?” 

” ද.. දන්නෑ. මට ඉඩ ඇති කියලා කිව්වා”

පැනයන් ඉවත බලා වූ කල පිළිතුරුද ලැබුණේ ඉවත බලාය. 

” ඕනර් කවුද ?” 

” ද.. දන්නෑ..”

” බෝඩිම් ෆී එක ?” 

” දන්නෑ..”

” මොනාද දන්නේ එහෙනම් ?” 

නැවත වතාවක් තිගැස්සුණු දෑස ක්ෂණිකව ඔහු මතට වැටුණු අතර ඒ වනවිටත් ඇගේ උවන මත රැඳී තිබූ එකී වැළපෙන දෑස දෙස කෙලින් බැලීමට නොහැකි වූ ඈ යළිත් ඉවත බලා ගත්තාය. 

” හැ.. හැමදේම දැනගෙන ඉන්නම ඕනේ කියලා එකක් නෑනේ. ? ගි.. ගියාම දැ.. දැනගන්න පුලුවන් “

” දැන් ඒ කියන්නේ යන එක කන්ෆර්ම් ?” 

” ඔ.. ඔව්.. මං.. මං.. මොනාහරි කරගන්නං. කරදර වෙන්නෙපා. “

එසේ පැවසූ ඈ එක් අතක් පොළොවට බර කරමින් වාරු වී යළි නැඟී සිටීමට උත්සාහ කළ අතර ඔහු යළිත් ඇගේ අතින් ඇද්දේය.

” මො.. මොනවද කරන්නේ ?” 

ඇදී ආ වේගයට ඔහුගේ උරමතට කඩා වැටුණු ඈ වහා යළි පසෙකට වූවාය. නමුදු ඒ කිසිවක් මායිම් නොකළ ඔහු ක්ෂණිකව ඇගේ වත වෙතට බර වූ අතර උණුසුම සුසුම් පොද පවා දැනෙන තරමට තම උවන මතට බරව උන් තරුණයාගේ මුහුණ දුටු ඈ නැවත වතාවක් වෙව්ලීමට පටන් ගත්‍තාය. 

” දැන් ඔය යන්නේ මං හින්දද?” 

” ඔව්. “

එක දිගට එක එල්ලයේ දෑස නතර වී ඇති උවන දෙස බලාම එවර පැනය නැඟුණු අතර පිළිතුරද එකී කඩවසම් උවන දෙස බලාම විය.

” හේතුව ?” 

” සම්බන්ධයක් , යාලුකමක් , හිතවත්කමක් කිසි දෙයක් නැති උනත් , තරහාකාරයෝ වගේ එක ගෙදර ඉන්න බෑ මිස්ටර් විජේසිංහ. මේ ගෙදර අනිත් මිනිස්සු ඔක්කොම මාව ඒ අයගේ පවුලේ කෙනෙක් ගාණට දාලා මට ආදරේ කරද්දි එක්කෙනෙක් විතරක් වැරදීමකින්වත් මූණවත් නොබලන කොට , වචනයක් කතා නොකරන කොට , හැසිරෙන හැම තත්පරයකම මට අකමැති බවක් පෙන්නනකොට මට තවත් මේ ගෙදර ඉන්න පුලුවන්ද ? මං පිටින් ආපු කෙනෙක්. එහෙම මට ඔහොම කරද්දි පල නොකියා පලා බෙදනවා වගේ නෙමෙයිද ? ඔය හැමදේම තේරුම් ගන්න පුලුවන් තැනක ඉද්දි ඇයි මං ඔයාට තවත් කරදර කරන්නේ ? ඔයා එදා කිව්වා ඔයා මෙච්චර කල් මේ ගෙදර ඔයාගේ පාඩුවේ හිටියා කියලා. ඒක නැති උනේ මං නිසා නේද ? මනුස්සයෙක්ට මේ ලෝකේ තියන එකම සැනසීම තමන්ගෙ ගෙදර කියන එක මම දන්නවා. දැන දැනම මං නිසා ඔයාගේ සැනසීම නැති වෙනවානං මං ඒක තේරුම් අරන් අයින් වෙන එකනේ හොඳ ? මගේ යාළුවා හොඳ කෙනෙක්. එයා නරක තැනකට නෙමෙයි මට කතා කරන්නේ. අනික ඉක්මනට යන්න ඕන නිසයි එහෙම තැනක් තෝර ගත්තේ. ටික දවසක් ගියාම හිමින්සැරේ මාමාට කියලා වෙන හොඳ තැනක් හොයාගන්නං. ඔයා ඒ ගැන කරදර වෙන්නෙපා. “

එක දිගට හදවතේ ඇති සියල්ල පවසා දැමූ ඈ සෙමින් කොපුල මතට වැටුණු කඳුළක් පිස දැමුවාය. එතෙක් වේලා ඇගේ උවන වෙතට දෑස යොමා සිටි ඔහු එවර අනෙක් පස හැරී විසල් සුසුමක් හෙළුවේය.

” ඔයා මං ගැන මොනවා දැනගෙනද ඔහොම කතා කරන්නේ ?” 

දිගු තත්පර කිහිපයකට පසු ඉවත බලාගත් වතින්ම ඔහු නැවත ප්‍රශ්න කළේය. පිළිතුරු නොදුන් දෑස යළි ඉනූ කඳුළක් පිස දැමුවාය. නැවත වතාවක් විසල් සුසුමක් හෙළූ ඔහු යළිත් ඇගේ උවන දෙස කෙලින් බැලුවේය.

” මගේ ලඟ නැවතිලා ජීවිතේ විනාස කරගන්න එපා කිව්වේ හේතුවක් ඇතුව. කිසිම කෙනෙක් නොදන්නවා උනාට මං කසාද බැඳපු මිනිහෙක් මිහිදුමී..!” 

හිස මත විසල් ගිනි කන්දක් පුපුරා හැළුණි. විසල් වූ දෙනෙතින් මෙන්ම වෙව්ලන දෙතොලින්ද ඔහුගේ වැළපෙන දෑස දෙස එක එල්ලේ බලා සිටි ඈ වචන රහිතව ගොලුව උන්නාය.

” කැම්පස් යන කාලේ මට ගර්ල් කෙනෙක් එක්ක එෆෙයාර් එකක් තිබ්බා. මෙහෙ කෙනෙක් නෙමෙයි. දුර ගමක ළමයෙක්. ඒ නිසාද මන්දා එයා හැමදේටම කලබල උනා. මං බැච් ටොප් වෙද්දි , කැම්පස් එක ඇතුළේ ටිකක් ෆේමස් වෙද්දි එයා බය උනා මාව නැති වෙයි කියලා. ඒ බය නැති කරන්න , මාව විශ්වාස කරවන්න මං එයාව මෙහෙ ගෙදර පවා එක්කන් ආවා. ඒත්.. සමහර සමහර දේවල් නිසා එයා කොයි වෙලෙත් මං ගැන බයෙන් හිටියේ. සැරින් සැරේට අපි දෙන්නා අතරේ ප්‍රශ්න පවා උනා ඔය හේතුව උඩ. එයාට මාව විශ්වාස කරවන්න අන්තිමට මට තිබ්බේ ඔය ඔප්ශන් එක විතරයි. ඒත්.. ඒකෙන් පස්සේ එයා නැති උනා. සඳහටම…”

අවසිහියෙන් මෙන් ඔහුගේ කතාව අසා සිටි ඈ නැවත වතාවක් තිගැස්සී ගියාය. 

” මේ කතාව අම්මයි , මල්ලියි තියා තේජ්වත් දන්නෑ. මං මේක ඔයාට කිව්වේ ඔයා හරි දේ නැතුව අනිත් අනවශ්‍ය ඔක්කොම දේවල් වලින් ඔලුව පුරවන් ඉන්න නිසා. ඒ නැතුව මං ගැන තව දුරටත් ඔය හිතේ තියන දේවල් සාධාරණේ කරන්න නෙමෙයි. මොන තරම් ප්‍රශ්න කරදර වලට මූණ දීලා හිටියත් දැන් ඔයාගේ ඉස්සරහා ලස්සන ජීවිතයක් තියනවා. ඒක ඒ විදිහට ගෙවන්න පුරුදු වෙන්න. අඩු තරමේ අර මහවලතැන්නලාට හරි ආඩම්බර වෙන්න පුලුවන් විදිහට තමන්ගේ ජීවිතේ හදා ගන්න. මං ආයේ කිසිම දවසක රිලේශන්ෂිප් එකක් ගැනවත් මැරේජ් එකක් ගැනවත් හිතන්නේ නෑ. මේ සම්බන්ධව අපි දෙන්නා මේ කතා කරන අන්තිම අවස්තාව මේක. ආයේ මේ ගැන කතා කරන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මං හිතනවා. “

ඔහු එසේ පවසා හිඳ උන් තැනින් නැඟී සිටියේය.

” මගේ ජීවිතේ විනාස කරගන්න එපා කියලා නැති උනු දේවල් මත්තේ හැපි හැපි ඔයා කරන්නෙත් ඔයාගේ ජීවිතේ විනාස කරගන්න එකනේ. ?” 

බොහෝ වේලාවකට පසු ඈ නැවතත් තම මුව විවර කළාය. පිළිතුරක් නුදුන් ඔහු නිහඬවම යළිත් හිස් අවකාශය දෙස බලා සිටියදී ඈ ද වහා හිඳ උන් තැනින් නැඟී සිටියාය.

” මං දැන් එක පාරක් කිව්වා දුමී.. මට මේ ඉන්න විදිහ හොඳයි. අපි දෙන්නා ආයේ මේ ගැන කතා කරන්නෑ. අනික ඔය කටින් මේ දේවල් වෙන කාටහරි පිට වෙලා තියෙන්නත් බෑ. අන්තිම වතාවට කියන්නේ කැම්පස් ගිහින් ඉවර වෙනකන් ඔයාට මෙහෙ ඉන්න පුලුවන්. මෙහෙන් යන්න ඕනෙනං ගෙදර අයට කියලා යන්න සුදුසු තැනක් හොයන් යනවා ඇරෙන්න වෙන අඟුපිල්වලට යන්න ලෑස්ති වෙන්න එපා. එච්චරයි…!” 

තව දුරටත් එක තත්පරයක් හෝ එතන රැඳී නොසිටි හේ ඉක්මන් අඩි තබා තම නිදන කාමරය වෙතට ගිය අතර ඈ එක දිගට ඔහුගේ ගමන් මඟ දෙස බලා සිටියාය. 

” පුදුම ලොකුකමක්නේ ඒක. කසාද බැන්ඳලු . ඒක කියපු හැටියට මං හිතුවේ කසාදයක් බැඳලා දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා. කසාදේ රැක ගත්තේ නැත්තන් මැරිච්ච එක්කෙනා වළෙන් නැඟිටලා එයි කියලා බයද දන්නෑ. කෝමහරි හොඳ ටොක්සික් කෙල්ලෙක්ට අහුවෙලා ඉන්න ඇත්තේ. ඊටත් වඩා ඒ කෙල්ලට පරාණ බයේ ඉන්නැත්තේ. නැත්තන් ඉතිං හැමදේම දමලා ගහලා හොරාට බැඳගනීයෑ.. මල විකාර. මේ ලෝකේ කසාද බැඳපු එකම මිනිහා එයා වගේ. තව ඩිංගෙන් මගේ පණ ටිකත් හුචස් ගාලා යනවා , ඒක ඇහිච්ච ගමන්. හරි ලොකු වැඩක් කළා වගේ කියෙව්වේ. මේ ලෝකේ කොච්චර මිනිස්සු කසාද බැඳලා , දරුවොත් හදලා වෙන් වෙලා , ආයේ වෙන අයව කසාද බඳින තැන් තියනවද ? මෙයාට විතරක් හරි ලොකුයි ඉතිං. තියන ලොකු කමනේ. මං කචාච බැචපු මිනියෙක්… මේ ලෝකේ කසාද බැඳපු මිනිස්සු වෙන නැත්තන් හොඳයි. මියුසියම් එකේ ඉස්සරහා කණු දෙකේ එල්ලන්න ඕනේ ගිහිල්ලා.. අඤේ.. මෙන්න කචාච බැචපු මිනියෙක් කියලා අනිත් මිනිස්සුන්ටත් පේන්න. ආයේ හයේ හතරේ මොඩ්ල් එකට ඉන්නවනේ. අපිටත් බැරියෑ ඔය යන එන ගමන් පිළිමෙට මල් මාලයක් දාලා යන්න.. 

මේ සම්බන්ධව අපි දෙන්නා කතා කරන අන්තිම අවස්ථාව මේක. හිතන් ඇති අත පය දිග මූණේ ලේ පොදක් නැති කටු පිරිච්ච බැබුනා.. එයා නැත්තන් මට මේ ලෝකේ වෙන කොල්ලෝ නෑ කියලා. හිටපන්කෝ මං හොඳ වැඩක් කරලා පෙන්නන්න . යන්නෑ මං මෙහෙන්. බැබුනා මාව එළෙව්වත් යන්නෑ. වරෙන්කෝ.. වරෙන්කෝ මාවත් ඕන වෙන වෙලාවක් එයිනේ. හිටපන්කෝ මං පෙන්නන්නම් මේ මිහිදුමී දම්සේයා මහවලතැන්න කියන්නේ කවුද කියලා. හ්ම්ම්.. හිතන් ඇති කටු බැබුනා.. ඒකාට ගිය රට කියලා.. !

ඔහුගේ නිදන කාමරය දෙස බලා යටි සිතින් දොස් පවරමින් මුවද ඇද කර නැවත තම නිදන කාමරය වෙතට පැමිණි මිහිදුමී මඳක් නැවතී ජංගම දුරකතනය අතට ගත්තාය. දින කිහිපයකට පෙර දිහස් විසින් Hi යනුවෙන් සඳහන් කොට එවා තිබූ නමුත් ඒ වනවිටත් විවෘත කර නොතිබූ කෙටි පණිවිඩය විවර කළ ඈ පිළිතුරු ලෙස ඔහුටද Hi යනුවෙන් පණිවිඩයක් තබා යළිත් කිසිවෙක් පෙනෙන්නට නොමැති අසල්වැසි නිදන කාමරය දෙස බලා මුව ඇද කළාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here