පුංචි තීරණයකින් පටන් ගෙන අහස උසට ගිය ජීවිතයේ ජයග්‍රහණය

“මගේ පුතා බිස්කට් පැකට් එකක් ඉල්ලන හැම වෙලාවකම, ඒකට සල්ලි ඉතුරු කරගන්න මං බස් එකෙන් එක හෝල්ට් එකක් කලින් බැහැලා පයින් ගියා.”

ප්‍රතීක්ෂා තොන්ඩ්වල්කර් තමන්ගේ ජීවිතේ අමාරුම කාලය ගැන මතක් කරමින් කියපු මේ වචන ටික ඇහුවම, මොහොතකට නතර වෙලා හිතන්න ගොඩක් දේවල් ඒ වචන අස්සෙ අපිට තියෙනවා.

 මොකද සමහර ජීවිතවල ලොකුම ජයග්‍රහණ පටන් ගන්නේ ලොකු දේවල්වලින් නෙවෙයි. බස් එකෙන් නැවතුමක් කලින් බැහැලා පයින් යන එක වගේ හරිම පුංචි තීරණයකින් වෙන්න පුළුවන් හන්දා.

එදා ප්‍රතීක්ෂා දැනගෙන හිටියේ නෑ, ඒ පයින් යන හැම අඩියක්ම දවසක තමන්ව ඉන්දියාවේ රාජ්‍ය බැංකුවක සහකාර සාමාන්‍යාධිකාරීවරියක් වෙන තැනට අරගෙන යයි කියලා. ප්‍රතීක්ෂාට එදා ජීවිතේ ගැන ලොකු හීන දකින්න පුළුවන් විදියෙ ජීවිතයක් නෙවෙයි තිබුණේ. 

අතරමග නතර වෙච්ච ඉගෙනීමක් එක්ක, අවුරුදු දෙකක පොඩි පුතෙක් එක්ක අතේ සල්ලි නැති ජීවිතයක් ගැටගහන්න දරපු ජීවිතයක් එක්ක පොර බැදපු ප්‍රතීක්ෂා ඒ හැමදේම මැදින් “කොහොමහරි මං මේ දරුවව බලාගන්න ඕන” කියන එක විතරයි ජීවිතේ ඉදිරිය විදියට දැක්කෙ.

ප්‍රතීක්ෂා ඉපදුණේ පූනේ නගරයේ ආර්ථික අමාරුකම් තිබුණු පවුලක. 

එයා පොඩි කාලේ ඉඳන්ම ඉගෙනගන්න හරිම ආසයි. පොත්පත් කියවන්න, අලුත් දේවල් ඉගෙනගන්න ප්‍රතීක්ෂාගෙ හිතේ තිබුණා ලොකු කැමැත්තක්. හැබැයි ඉතින් අපි ආස දේවල්ම නෙවෙයි අපිට ජීවිතේ ගෙනත් දෙන්නෙ නේද? ප්‍රතික්ෂාටත් ජීවිතේ සලකන්නෙ එච්චර හොඳ විදියට නෙවෙයි.  එයාගේ ජීවිතේ මුල්ම අභියෝගය ආවේ එයාට වයස අවුරුදු දොළහක් විතර වෙද්දි. ඒ එයාගෙ තාත්තා එයාව ඉස්කෝලෙ අයින් කරලා කසාද බන්දලා දෙන්න තීරණය කරයින් පස්සෙ.

මේකට ප්‍රතීක්ෂාගෙ ඉස්කෝලෙ ගුරුවරිය කැමති වුණේම  නෑ. මොකද ප්‍රතීක්ෂට හොඳට ඉගෙනගන්න පුළුවන්කමක් තිබුණා. ප්‍රතීක්ෂාගේ ඉගෙනීමේ හැකියාව දැකලා, “මේ දරුවට ඉගෙනගන්න දෙන්න. වියදම් මං බලාගන්නම්,” කියලා මේ ඉස්කෝලේ ගුරුතුමිය ප්‍රතීක්ෂාගෙ තාත්තගෙන් ඉල්ලනවා. ඒත් ඒ ඉල්ලීම එකක්වත් සාර්ථක වෙන්නෙ නෑ. තාත්තගෙ තීරණේ දිනනවා. ප්‍රතීක්ෂාගේ පාසල් ගමන නතර වෙනවා.

ඉන්දියාවෙ පොඩි ගෑනු ළමයින්ව කසාද බන්දලා දෙන එක මහ අමුතු දෙයක් නෙවෙයිනෙ. ඒ හන්දම වයස අවුරුදු දාහතේදී ප්‍රතීක්ෂාටත් සිද්ද වෙනවා කසාද බඳින්න.

අපි සාමාන්‍යයෙන් වයස අවුරුදු දාහත කියන්නේ ජීවිතේ හීන පටන් ගන්න වයසක් කියලා හිතනවා. කීයටවත් අවුරුදු දාහත කියන්නෙ කසාද බඳින වයසක් නම් නෙවෙයි උනාට මොකද ප්‍රතීක්ෂාට ඒ වයසෙදිම ජීවිතේ බර දරාගන්න සිද්ධ වෙනවා. එයාගෙ සැමියා මුම්බායි නගරයේ රාජ්‍ය බැංකුවක පොත් බැඳීමේ රැකියාවක් කරපු මනුස්සයෙක්. ජීවිතේ ප්‍රතීක්ෂාට කොච්චර අකාරුණික විදියටද සැලකුවෙ කිව්වොත් මේ දෙන්නගෙ පවුල් ජීවිතේ වැඩි කාලයක් ගතවෙන්නත් කලින් ප්‍රතීක්ෂට වයස අවුරුදු විස්සක් වෙද්දි එයාගෙ සැමියා මියයනවා.

අවුරුදු විස්සක්. කෙල්ලෙක්ට අවුරුදු විස්සක් කියන්නෙ මහ වයසක් නෙවෙයි. ඒක තමන්ගේ ජීවිතේ මොනවගේ වෙයිද කියලා හිතන්නවත් පටන් ගන්න බැරි තරම් තරුණ වයසක්. 

ඒත් ප්‍රතීක්ෂාට එතැනින් පස්සේ තමන් ගැන විතරක් හිතන්න පුළුවන් වෙන්නෙ නෑ. එයාට ඉන්නවා අවුරුදු දෙකක පොඩි පුතෙක්.

සැමියා නැති වෙලා. ලොකු අධ්‍යාපනයක් නෑ. ස්ථිර ආදායමක් නෑ.

ඒ වෙලාවේ එයා කළේ තමන්ගේ සැමියා වැඩ කරපු රාජ්‍ය බැංකුවට යන එක.

මුලින් ප්‍රතීක්ෂා ගියේ තමන්ගෙ සැමියාට බැංකුවෙන් ලැබෙන්න නියම වෙලා තිබිච්ච සල්ලි ටික ගන්න. ඒත් බැංකුවට ගියාම ජීවිතේ අන්ත අසරණ වෙලා උන්න ප්‍රතීක්ෂා බැංකුවෙන් තවත් පොඩි ඉල්ලීමක් කළා.

“මට රස්සාවක් දෙන්න පුළුවන්ද?”

 අන්න ඒ ප්‍රශ්නෙ තමයි ප්‍රතීක්ෂාගෙ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගත්ත තැන වෙන්නෙ.

ඉගෙන ගන්න ඕන වයසෙදි කසාද බැඳල ආව ප්‍රතීක්ෂාට ලැබුණේ බැංකු නිලධාරිනියකගේ රැකියාවක් නෙවෙයි. එයා රස්සාව පටන් ගත්තේ බැංකුවේ අතුගාන සේවිකාවක් විදිහට. උදේ ඉඳන් බිම අතුගෑවා. මේස පුටු පිහ දැම්මා. වැසිකිළි පිරිසිදු කළා. ඒ වෙනුවෙන් එයාට ලැබුණේ මාසයකට රුපියල් හැටපහක් වගේ පුංචි වැටුපක්.

ඒත් ප්‍රතීක්ෂා ඒ රස්සාව ගැන ලැජ්ජා වුණේ නෑ. මොකද එයාට ඒක රස්සාවක් විතරක් වුණේ නෑ. ඒක තමයි එයාට තමන්ගෙ පුතාව බලාගන්න තිබිච්ච එකම පාර.

“මගේ පුතා බිස්කට් පැකට් එකක් ඉල්ලන හැම වෙලාවකම, ඒකට සල්ලි ඉතුරු කරගන්න මං බස් එකෙන් එක නැවතුමක් කලින් බැහැලා පයින් ගියා.” ප්‍රතීක්ෂා ඒ දවස් මතක් කරන්නෙ ඒ විදියට.

“එක බිස්කට් පැකට් එකක් ගන්න එක හෝල්ට් එකක් කලින් බහින්න ඕනද?” කියලා අපිට හිතෙන්න පුළුවන්.

එහෙමත් නැත්තම් අපිට ඒක හරිම පුංචි දෙයක් විදියට හිතෙන්න පුළුවන්. ඒත් අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවාගේ පොඩි ආසාවක් ඉටු කරන්න තමන්ගේ ගමනේ එක නැවතුමක් කැප කරන්න වෙනවා කියන එක පුංචි දෙයක් විදියට දකින්න බැරි ඒ වගේම ජීවිතේ අභියෝග ඉස්සරහා අන්ත අසරණ වෙච්ච තවත් අම්මලා කෝටි ගාණක් මේ ලෝකෙ තව ඕන තරං ඉන්නවා ඇති. අපි අතරෙම ඉන්නවා ඇති.

ඒ කාලේ ප්‍රතීක්ෂාට ජීවිතෙන් ලොකු දේවල් ඉල්ලන්න පුළුවන්කමක් තිබුණේ නෑ. එයා ඉල්ලුවේ පොඩි දේවල්. දරුවාට කෑම ටිකක්. දවස ගෙවාගන්න සල්ලි ටිකක්. හෙට දවසට බලාපොරොත්තුවක්. හෙට දවසෙ ජීවත්වෙලා ඉන්න අද දවස ගෙවාගන්න පුළුවන්කමක්.

හැබැයි ඒ හැමදේම අතරේ එයා ඇතුළෙ, එයාගෙ හිත ඇතුළෙ එකමෙක දෙයක් තවමත් ඉතුරු වෙලා තිබුණා.

ඒ තමයි ඉගෙනගන්න තිබුණ ආසාව.

“මට ඉගෙනගන්න පුදුමාකාර ආසාවක් තිබුණෙ” ප්‍රතීක්ෂා පස්සේ තමන්ගේ ජීවිතය ගැන කියද්දි එහෙම කියනවා.

“මං තවදුරටත් ඉගෙනගත්තෙ නැත්නම්, මගේ ජීවිතේ හැමදාමත් පිඟන් හෝදන එකටයි, ගෙවල් පිරිසිදු කරන එකටයි සීමා වෙයි කියලා මං දැනගෙන හිටියා. මට එහෙම ජීවත් වෙන්න ඕන වුණේ නෑ”

ඒ වචනවල තියෙන්නේ රස්සාවක් ගැන තිබුණු අකමැත්තක් විතරක් නෙවෙයි. ඒක තමන්ගේ ජීවිතේ ගැන තමන්ට තිබුණු අවබෝධයක්.

ප්‍රතීක්ෂා දැනගෙන හිටියා තමන්ගේ තත්ත්වය වෙනස් කරන්න නම් තමන්ම වෙනස් වෙන්න ඕන කියලා. ඒ නිසා දවස පුරා වැඩ කරලා, ගෙදර ගිහින්, පොඩි දරුවෙක් බලාගන්න අතරවාරෙත් ප්‍රතීක්ෂා ආයෙත් පොත් අතට ගත්තා.

විවෘත අධ්‍යාපන ක්‍රමයක් හරහා දහවැනි ශ්‍රේණියේ විභාගයට පෙනී සිටින්න ප්‍රතීක්ෂා ලෑස්ති වුණේ අන්න ඒ විදියට. බැංකුවේ සේවකයන්ගෙන් පොත්, සටහන්, ඉගෙනගන්න ඕන දේවල් ඉල්ලගෙන පාඩම් කරේ අන්න ඒ විදියට.එක පාඩමක් එක පාරක් කියවලා මතක හිටියේ නැත්නම් එයා ඒකෙන් නතර වුණේ නෑ.

“මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. එකම පාඩම පස් වතාවක් කියවලා, පස් වතාවක් ලියන්න මට සිද්ධ වුණා. ගණිතය නම් අඩුම තරමේ දහ වතාවක්වත් කරන්න වුණා. ඉංග්‍රීසි තවත් අමාරුයි. ඒ නිසා මං හැමදාම වැඩට යන ගමන් මගේ වම් අතේ ඉංග්‍රීසි වචන දහයක් ලියාගත්තා. බස් එකේ යන ගමන් ඒවා බැලුවා. ගෙදර ගිහින් ආයෙත් ඒවා ලිව්වා. මං ඒ වෙද්දිත් තීරණය කරලා තිබුණෙ කොහොමහරි මං ඉගෙනගන්නව කියලා”

“කොහොමහරි” කියන මෙන්න මේ වචනෙ  ප්‍රතීක්ෂාගේ ජීවිතේට මාරෙට ගැළපෙන වචනයක්.

කොහොමහරි බස් එකෙන් නැවතුමක් කලින් බැහැලා යනවා. කොහොමහරි වැඩ කරනවා. කොහොමහරි පාඩම් කරනවා. කොහොමහරි විභාගෙ ලියනවා. කොහොමහරි සමත් වෙනවා.

අන්තිමේදී එයා දහවැනි ශ්‍රේණියේ විභාගය හොඳ ප්‍රතිඵලයක් එක්ක පාස් වෙනවා.

ඊට පස්සේ තමයි  එයාගෙ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නෙ. අතුගාන සේවිකාවක් විදිහට බැංකුවේ රස්සාව පටන් ගත්ත ප්‍රතීක්ෂා පණිවිඩ අරං යන සේවිකාවක් වෙනවා. එතැනින් පස්සෙ ලිපිකාරිනියක් වෙනවා. හැම උසස්වීමක් එක්කම එයා තවත් ඉගෙනගන්නවා. තවත් විභාග කරනවා. තවත් ඉදිරියට යනවා.

එයාගෙ පවුලෙන් නැවත විවාහයක් ගැන යෝජනා ආවත් එයා මුලින්ම තීරණය කළේ තමන්ගේ උපාධිය සම්පූර්ණ කරන්න. පස්සේ 1993දී ප්‍රමෝද් තොන්ඩ්වල්කර් එක්ක ප්‍රතීක්ෂා නැවත විවාහ වෙනවා. ප්‍රමෝද් ප්‍රතීක්ෂාගෙ ඉගෙනීමටත්, රැකියාවටත් පුදුමාකාර සහයක් දුන්න මනුස්සයෙක්. ප්‍රතීක්ෂා  බැංකු නිලධාරී විභාගවලට පෙනී සිටිය යුතු බව කියමින් එයාව තවත් ඉදිරියට තල්ලු කළෙත් ප්‍රමෝද්.

ඒ අවස්ථාවත් ප්‍රතීක්ෂා අතහැරියේ නෑ.

2004දී එයා පුහුණු බැංකු නිලධාරිනියක් බවට පත් වෙන්නෙ ඒ විදියට.

ඊට පස්සේ එයාගෙ ගමන තවත් ඉහළට ගියා.

නිලධාරිනියක්, කළමනාකරණ වගකීම්, තවත් විභාග, තවත් උසස්වීම් එක්ක අවුරුදු ගණනාවක් පුරා එයා එක එක පියවර ඉස්සරහට තිබ්බා.

අන්තිමේදි  2022දී, ප්‍රතීක්ෂා රාජ්‍ය බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරීවරියක් බවට පත් වෙනවා.

හැබැයි මට හිතෙන්නේ ප්‍රතික්ෂාගෙ ජීවිතේ ලොකුම ජයග්‍රහණය මේ තනතුරු ලබාගත්ත එකනම් නෙවෙයි. 

අතුගාන සේවිකාවක් විදිහට බැංකුවට ඇතුළු වෙලා, අවුරුදු ගණනාවක් තිස්සේ එක එක විභාග කරන ගමන්, එක එක උසස්වීම් ලබන ගමන්, අන්තිමේදී එතැනට ආපු ගමන ඇතුළෙ තිබුණ ඒ පුංචි පුංචි තීරණ තමයි එයාගෙ ලොකුම ජයග්‍රහණය වෙන්නෙ.

 බස් එකෙන් එක නැවතුමක් කලින් බැහැලා පයින් ගිය එක.මහන්සි වෙලා වැඩ කරලා රෑට පොත් අතට ගත්ත එක, එක පාඩමක් පස් වතාවක් කියවපු එක, ගණිතය දහ වතාවක් කරපු එක, ඉංග්‍රීසි වචන දහයක් වම් අතේ ලියාගෙන බස් එකේ යන ගමන් ඒවා පාඩම් කරපු එක, ඒ හැම පුංචි පියවරක්ම එකතු වෙලා තමයි අවුරුදු ගණනාවකට පස්සේ මේ තැනට එන්න ප්‍රතික්ෂාට හේතු කාරණා සපයන්නෙ.

ඒ නිසා ප්‍රතීක්ෂාගේ කතාව අපිට කියන්නේ “හීනයක් දකින්න, ඒක පස්සේ දුවන්න” කියන සම්ප්‍රදායික වචන ටික විතරක් නෙවෙයි. 

සමහර වෙලාවට අපිට යන්න ඕන මුළු පාරම පේන්නෙ නැතිවෙන්න පුළුවන්. ඊළඟ අවුරුදු දහය කොහොම වෙයිද කියලා අපි දන්නෙ නැතිවෙන්න පුළුවන්. අද කරන පුංචි දෙයක් හෙට කොහෙට අපිව අරගෙන යයිද කියලත් අපි දන්නෙ නැතිවෙන්න පුළුවන්. 

ඒත් තමන්ගේ ජීවිතේ අතඅරින්නෙ නැතුව, අද කරන්න පුළුවන් එක පුංචි පියවරක් හරි ගන්න පුළුවන් නම්, ඒ පියවරවලට පුළුවන් අපි හිතපු තැනකටත් වඩා දුරක් අපිව අරගෙන යන්න.

ප්‍රතීක්ෂා එදා බස් එකෙන් එක හෝල්ට් එකක් කලින් බැස්සේ තමන්ගේ පුතාට බිස්කට් පැකට් එකක් අරන් දෙන්න සල්ලි ඉතුරු කරගන්න. ඒ වෙලාවේ එයා දැනගෙන හිටියේ නෑ, ඒ පයින් යන හෝල්ට් එක තමන්ගේ ජීවිතේ කොච්චර දුරක් ඉස්සරහට අරගෙන යයිද කියලා.

සමහරවිට ජීවිතේ ලොකුම ගමන් පටන් ගන්නේ අපි හිතන තරම් ලොකු අඩියකින් නෙවෙයි.

සමහරවිට ඒක පටන් ගන්නෙ බස් එකෙන් එක හෝල්ට් එකක් කලින් බැහැලා, පයින් යන්න තීරණය කරන තරමෙ පුංචි තීරණයකින් වෙන්නත් පුළුවන් බව ඉතින් අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles