වසන්තය තව දුරද – 71

0
447

“වැඩි දෙයක් මං හැදුවෙ නෑ පුතා. මං හිතුවෙ මේ අපි ටික විතරයි කියලනෙ” කියා ච්න්ද්‍රා කිව්වේ සිනාසෙමින් වුවද ඒ වචන අස්සේ තිබුණේ තමන් අමුත්තෙකු ලෙස භාරගත් වගය යන්න අතුලට නොතේරුනා නොවේ. කලක් මේ ගෙදර රාත්‍රී කෑම මේසයේ අසුන් ගත් අය අතරින් කෙනෙකු වූ තමන් අද ඒ මේසයට පැමිණ සිටියේ අමුත්තෙකු ලෙසය. චන්ද්‍රා ඒ බව වචනවලින් නොකීවාට, ඇගේ හැසිරීමෙන් එය තේරුම් ගන්නට අතුලට අපහසු නොවීය. ඒ වචන විත් හදවතට වැදුණේ වේදනාකාරී හී පහරක් ලෙසිනි. එහෙත් අතුල උන්නේ ඒ හී පහර නොදැනුනාක් මෙනි. ඒ හී පහරට ව්ඩා වේදනාකාරී බොහෝ හී පහරවල් තමා විසින් චන්ද්‍රාගේ පපුව මත්තේ පතිත කරන්නට කටයුතු කරන්නට කටයුතු කල බව මතක් වෙද්දී මෙකී වේදනාව අමතක කරන්නට අතුලට අපහසු උනේ නැත.

අනෙක් අතට අතුල උන්නේ පුදුම වීය. චන්ද්‍රා වනාහී කිසිදිනක කෑම මේසයට වාඩි වී පවුලේ අය හා එකට කෑම ගත් තැනැත්තියක ලෙස අතුලට මතක නැත. චන්ද්‍රා හැමදාම තමන් කෑම ගද්දී එක්කෝ උන්නේ කුස්සියේය. නැතිනං කුස්සියත් කෑම කාමරයත් අතර කොටසේ එහෙ මෙහෙ ඇවිද යමින් නෙත්මලීට ඇනුම් පද කියමින් කෑම අඩුපාඩු පුරවමින් ය. එහෙව් චන්ද්‍රා අද පවුලේ සියල්ලන් සමග එකට කෑම මේසයට වාඩි වී ඉඳීම අතුල භාරගත්තේ පුදුමයෙනි.

අතුලට පුදුම සිතුණේ චන්ද්‍රාගේ මේ වෙනස ගැනය. තමන් සමඟ එක වහලක් යට ජීවත් වූ කාලයේ චන්ද්‍රා නිතරම සිටියේ මොකක් හෝ දෙයකින් නොසතුටට පත්වූ ගැහැනියක ලෙසය. තමන් චන්ද්‍රාව දැක්කේ එහෙමය. කුමුදුනි වෙත ඇදෙන්නට හේතු උනේ චන්ද්‍රාගේ ඒ ඇවතුම් පැවතුම් නොවේද? ගෙදර වැඩ ගැන මැසිවිලි නැඟීමත්, දරුවන්ගේ පොඩි පොඩි වැරදිවලට කෝප වීමත්, තමන් කියන කිසිවක් තේරුම් නොගන්නා බව කියමින් තරහ ගැනීමත් ඇගේ දවසේ සාමාන්‍ය කොටස් බවට පත්ව තිබුන බව අතුලට එවෙලේට් මතක් නොවුණා නොවේ. 

“ඔයා කිසිම දේකින් සන්තෝස වෙන මනුස්සයෙක් නෙවෙයිනෙ චන්ද්‍රා. මොන දේ ලැබුණත්, කොච්චර දේවල් තිබුණත් ඔයාට ඒ කිසිම දේක නරකක් මිසක හොඳක් පේන්නෙ නැනෙ.ඉන්න ගෙදරක් තියෙනවා, මල් වගේ දරුවො දෙන්නෙක් ඉන්නවා, කන්න බොන්න අඩුවක් නෑ. මං පුළුවන් විදියට හැමදේම කරනවා. ඒත් ඔයාට හැමදාම මොකක් හරි අඩුවක් විතරමනෙ පේන්නෙ. ඔයාට ඕන මොනවද කියලා මටවත් තේරෙන්නෙ නෑ ච්න්ද්‍රා. මං මොන දේ කළත් අන්තිමට වැරදිකාරයා වෙන්නෙ මම. ඔහොම ජීවත් වෙන්න ගියාම මනුස්සයෙක්ට ගෙදර ඉන්නත් එපා වෙනවා” කියා තමන් කුමුදුනී නිසාවෙන් අතීතයේ දවසක චන්ද්‍රාට කිව් බව අතුලට එව්ලේ මතක් උනේය.

“අනේ ඔව්, ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හොඳම මනුස්සයා. මං තමයි කිසිම දෙයක් අගය කරන්න දන්නෙ නැති නරක ගෑනි. ඔයා කරන හැමදේම මට පේන්නෙ නැතුව ඇති. ඒත් ඔයා නොකරන දේවල් මට හැමදාම පේනවා අතුල. මේ ගෙදර දරුවො දෙන්නෙක් එක්ක හැමදේම තනියම කරගන්න ගියාම මටත් මහන්සි දැනෙනවා. මටත් සමහර දේවල් එපා වෙනවා. මටත් හිතෙනවා කවුරුහරි මං ගැනත් හිතනවා නම් හොඳයි කියලා. ඒවා කිව්වම මං නරක ගෑනියෙක් වෙනවා. ඔයාට ගෙදර ඉන්න එපා වෙන්නෙ මං තරහෙන් ඉන්න නිසා. එතකොට මට මේ හැමදේම තනියම කරගෙන ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ ඇයි කියලා ඔයා කවදාවත් හිතලා තියෙනවද?”  කියා එදා ච්න්ද්‍රා තරහෙන් කිව් අයුරු අතුලට මතකය. එහෙත් ඒ තරහා පිටිපස්සේ තිබුණ මහන්සිය, වේදනාව තම තේරුං ගන්නට උත්සහ නොකල බව අතුලට මතක් උනේ දැන් ය. තමන් කොතරම් දේ කළත් ඇය ඒවායේ අඩුපාඩුවක් සොයාගන්නා බවත්, ඇය වෙනුවෙන් කොතරම් වෙහෙසුණත් ඇගේ නොසතුටට හේතුවක් වන්නට තමන්ට සිදුවන බවත් පමණක් තමන් සිතූ බව අතුලට අමතක නැත.

එදා ඒ සියල්ල ගැන සිතමින් සිටි අතුලට චන්ද්‍රා දෙස බැලූ විට දැනුණේ හුරුපුරුදු නොවන හැඟීමකි. ඇය නෙත්මාල් කියන දෙයකට සිනාසෙමින් සිටියාය. නලින්ද්‍ර සමඟද සැහැල්ලුවෙන් කතා කළාය. කෑම මේසය වටා සිටි මිනිසුන් සමඟ ඇයද ඒ මොහොතේ සතුට බෙදාගනිමින් සිටියාය. කාලයක් තිස්සේ තමන් දැන සිටි චන්ද්‍රාට වඩා මේ ගැහැනිය වෙනස්ය. තමන් සමඟ සිටියදී ඇයට මෙතරම් සැහැල්ලුවෙන් සිනාසෙන්නට නොහැකි වූයේ ඇයි? තමන් නැතිව ගෙවුණු කාලය තුළ ඇය තුළ මේ තරම් වෙනසක් ඇති වූයේ කෙසේද?

එදා තමන් සිතා සිටියේ චන්ද්‍රාගේ කෝපයටත්, ඇගේ නොසතුටටත් හේතුව ඇය තුළම තිබූ යම් අඩුවක් බවය. කුඩා කාලයේ ඇය මුහුණ දුන් ප්‍රශ්නකාරී වාතාවරණයන් බවය. ඇයට කිසිවක් සතුටින් භාරගන්නට බැරි බවත්, තමන් කරන කිසිවක් ඇයට ප්‍රමාණවත් නොවන බවත්ය. එහෙත් අද ඇය දෙස බලා සිටියදී අතුලගේ හිතට අකමැත්තෙන් වුවද වෙනත් යමක් පිලිගන්නට සිදු විය.

 චන්ද්‍රා ඒ කාලයේ එතරම් අසතුටින් සිටියේ ඇගේ හැටි එය වූ නිසාමද? නැතිනම් තමන් සමඟ ජීවත් වූ ජීවිතය ඇයව එතරම් අසතුටට පත් කළ නිසාද?

ඒ ප්‍රශ්නයට පිළිතුරක් සොයාගන්නට අතුලට පහසු උනේ නැත. එහෙත් පළමු වතාවට ඔහුට තමන් මෙතෙක් විශ්වාස කරගෙන සිටි කතාවේ අනිත් පැත්ත ගැනත් සිතන්නට සිදු වී තිබිණි.

අනෙක් අතට නලින්ද්‍රත් නෙත්මාලුත් උන්නේ සිතුවාටත් වඩා හොඳින් සියල්ල සිදු වූ ආකාරය ගැන සතුටිනි. නෙත්මලී තාත්තා සමඟත්, චන්ද්‍රා අතුල සමඟත් එහෙමකට කියා දෙයක් කතා නොකළා වුවද, හිත රිදෙන වචනයක්වත් නොකියා එකම මේසයක හිඳගෙන කෑම ගන්නට ඔවුන්ට හැකි වීමම, සිදු වූ සියල්ලෙන් පසුව වුවත් මිනිසෙකුට නැවතත් තමන්ගේ ජීවිතයට ඇතුළු වන්නට ඉඩක් දීමක් ලෙස හිතන්නට, පිලිගන්නට කොල්ලන් දෙදෙනට පුලුවන් විය. සමහරවිට ඒ සමාව දීමේ ආරම්භය විය හැකිය. නැතහොත් අඩුම තරමින්, අතීතයේ සිදු වූ දේවල් නිසාම ඉදිරියටත් එකිනෙකාට රිදවාගත යුතු නැතැයි ඔවුන් තේරුම් ගනිමින් සිටින බවට ලකුණක් වන්නට හැකි බවට ඔවුන් දෙදෙනාම සිතූහ.

එහෙත් චන්ද්‍රා අතුලට නැවතත් සැමියෙකු ලෙස තම ජීවිතයට ඇතුළු වන්නට ඉඩ දීමට සූදානම් නැති බව නලින්ද්‍ර දික්කසාද වූ සැමියෙකුගෙ අත්දැකීම් සම්භරය අස්සේ දැන සිටියේය. ඇය ඔහුට නිවසට එන්නට ඉඩ දුන්නාය. දරුවන් සමඟ කතා කරන්නට ඉඩ දුන්නාය. එහෙත් ඒ සියල්ලෙන් ඇය අතීතය අමතක කළ බවක් හෝ ඔවුන් දෙදෙනා අතර පැවති විවාහය යළිත් පෙර තිබූ තැනට ගෙන යන්නට කැමති බවක් අදහස් නොවන බව නලින්ද්‍ර දැන උන්නේය. ඒ වෙනස තේරුම් ගන්නට තරම් නලින්ද්‍රට ඒ වෙද්දී ජීවිතය ගැනත්, විවාහ ජීවිතය ගැනත් අත්දැකීම් තිබුණේය

නෙත්මාල්ද ඒ ගැන සිතුවේ එලෙසමය. තමන්ගේ පියාට නැවතත් පවුලේ කෙනෙකු ලෙස ජීවිතයට සම්බන්ධ වන්නට ඉඩක් ලැබීම ගැන ඔහු සතුටු වුවද, අම්මාට සිදු වූ දේවල් අමතක කර දමන්නැයි ඇයට කියන්නට ඔහුට අවශ්‍ය උනේ නැත. පවුලක් යනු එකට ජීවත් වන මිනිසුන් පමණක් නොව, එකිනෙකාගේ වේදනාවන්ටත් සීමාවන්ටත් ගරු කරන්නට ඉගෙන ගන්නා මිනිසුන් පිරිසක් බව නෙත්මාල් හෙමින් සීරුවේ තේරුං ගනිමින් උන්නේය.

ඒ අතරේ නලින්ද්‍රට තමන් අද මෙහි පැමිණි අනෙක් කාරණයද මතක් විය. අතුලගේ පැමිණීම නිසා මේසය වටා ඇති වූ අපහසුතාව තරමක් පහව ගොස් තිබුණද, ඔහු නෙත්මලීගේ පවුල සමඟ කතා කරන්නට පැමිණියේ ඒ සඳහාම පමණක් නොවේ.

“අම්මෙ මට තව දෙයක් කතා කරගන්න තියෙනවා” කියා නලින්ද්‍ර චන්ද්‍රා දෙස බලමින් අවසර පැතුවේ ඒ කතාවටය.

“මොකක්ද පුතා?”

නලින්ද්‍ර මොහොතකට නෙත්මලී දෙස බැලුවේය. ඇය උන්නේ ඔහු කියන්නට යන දේ ගැන කුතුහලයෙන් මෙන්ම සුළු නොසන්සුන්කමකින්ද යුතුවය.

“මං අද මෙහෙට එන්න ඕන කිව්වෙ නෙත්මලීයි මමයි ගැන ඔයාලා එක්ක කතා කරන්නත් එක්ක. මං නෙත්මලීලගෙ තාත්තවත් එක්කරගෙන ආවෙ ඇත්තටම මෙහෙම කතාවකදි ඒ හැමෝම මෙතන ඉන්නෝන නිසා. මගෙ පැත්තෙන් මට එහෙම එක්කන් එන්න අම්මෙකුයි තාත්තෙකුයි නැති උනාට නෙත්මලීගෙ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර ඉද්දි ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මිස් කරගෙන මේ ගැන කතා කරන්න මට උවමනාවක් තිබ්බෙ නෑ ඒකයි”

නෙත්මාල් පුටුවේ හරි බරි ගැසී වාඩි උනේත් චන්ද්‍රාත් අතුලත් කිසිවක් නොකියා එකිනෙකාගෙ මුහුණ බලා අනතුරුව නලින්ද්‍ර දෙස බැලුවේත් එකම මොහොතකය.

“මට තේරෙනවා අම්මටයි අංකල්ටයි මේ සම්බන්දෙ ගැන හිතේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒවා තියෙන එක සාධාරණයි. නෙත්මලියි මමයි අතරෙ නොගැලපෙන තැන් සෑහෙන්න තියෙන නිසා. මං කැමතියි ඒ ගැන ඔයාලා එක්ක ඕපන්ලි කතා කරන්න. මොකද මේක නෙත්මලීගෙ ජීවිතේට විතරක් නෙවෙයි, මගේ ජීවිතේටත් බලපාන දෙයක් හන්දා. මගේ ජීවිතේ මං මේ වෙනකොට පහු කරලා තියෙන දේවල් එක්ක බලද්දි නෙත්මලී තාම ඉන්නෙ ජීවිතේ පටන් ගන්න තැන.ඒ නිසා මේ සම්බන්ධෙ ගැන තීරණයක් ගන්න කලින් ඔයාලට හිතන්න දේවල් ගොඩක් තියෙනවා කියලා මට තේරෙනවා. මං ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ මං කියන හැමදේම විස්වාස කරන්න කියන එකවත්, මං නෙත්මලීට ආදරෙයි කියන එක විතරක් අහලා මේ සම්බන්ධෙට කැමති වෙන්න කියන එකවත් නෙවෙයි. මොකද ආදරේ කරනවා කියලා කියන එකයි, ඒ ආදරේ එක්ක තව කෙනෙක්ගෙ ජීවිතේට වගකීමෙන් ඇතුළු වෙන එකයි දෙකක්. මං ඒ වෙනස තේරුම් ගන්නවා. ඒ නිසා මං ගැන ඔයාලට තියෙන සැකයක්, බයක්, ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා හංගගෙන ඉන්නෙ නැතුව මගෙන් අහන්න. මට හැම ප්‍රශ්නෙකටම ඔයාලා කැමති වෙන විදියෙ උත්තර දෙන්න පුළුවන් වෙයිද කියලා මං දන්නෙ නෑ. ඒත් මං උත්තර නොදී මඟහරින්නෙ නැතුව, මට පුළුවන් තරම් අවංකව කතා කරන්නම්. මොකද මට ඕන නෙත්මලීව මගෙ ජීවිතේට එක්කරගන්න විතරක් නෙවෙයි. එයාගෙ ජීවිතේට මං ඇතුළු වෙන එකෙන් එයාට නැති වෙන්න පුළුවන් දේවල් ගැනත් මං හිතන්න ඕන. මං ගැන තීරණයක් ගන්න කලින් ඒ හැමදේම දැනගෙන ඉන්න ඔයාලට අයිතියක් තියෙනවා කියලා මං විස්වාස කරනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here