අපි හැමෝම ජීවිතේදී එක එක දේවල් බලාපොරොත්තු වෙනවා.
හොඳ Job එකක්.
හොඳ relationship එකක්.
හීන දැකපු විදියෙ ජීවිතයක්.
අපිට ගොඩක් වටින මනුස්සයෙක්.
ඒ දේවල් ලැබුණොත් තමයි අපි සම්පූර්ණ වෙන්නේ කියලා හිතාගෙන අපි බලාගෙන ඉන්නවා.
ඒත් ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම අපි හිතන විදිහට ඉටු වෙන්නේ නෑ. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති – කවදාවත් හිතන දේ වෙන්නෙ නෑ, වෙන දේ හිතාගන්න බෑ කියලා අපි කියන්නෙ නිකන් ද නේ?
සමහර දේවල් අපිට ලැබෙන්න කලින්ම අපෙන් ඈත් වෙනවා.
සමහර මිනිස්සු අපේ ජීවිතේට ඇවිත්, අපිට ඒ මිනිස්සු එක්ක අනාගතයක් තියෙනවා කියලා හිතන්නත් කලින්ම යනවා.
සමහර අවස්ථා අපිට ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපේ අතින් ගිලිහෙනවා.
සමහර හීන අපි කොච්චර මහන්සි වුණත්, අපි හිතපු විදිහට හැබෑ වෙන්නේ නෑ.
ඒ වෙලාවට අපි හිතන්නේ අපි පැරදුණා කියලා.
හැබැයි සමහරවිට අපිට ජීවිතේ මුලින්ම උගන්වන්නේ ලැබීම නෙවෙයි. අහිමිවීම.
මොකද දෙයක් ලැබුණාම ඒක අල්ලාගෙන ඉන්න අපි හැමෝටම පුළුවන්. හැබැයි අපි ආදරේ කරන දෙයක් අහිමි වුණාමත්, ඒ වේදනාව ඇතුළෙන්ම නැගිටින්න ඉගෙනගන්න එක ලේසි නෑ.
හැබැයි අන්න ඒකම තමයි අපිව ඇතුළින් ශක්තිමත් කරන්නේ.
අද ඔයාට අහිමි වුණු දෙයක් ගැන හිතලා දුක් වෙනවා ඇති.
“මට ඒක ලැබුණේ නැත්තේ ඇයි?”
“මම මෙච්චර මහන්සි වෙලත් මට නොලැබුණේ ඇයි?”
“ඒ මනුස්සයා මගේ ජීවිතේට ආවේ ඇයි අන්තිමට දාලා යන්න නම්?” වගේ ප්රශ්න ඔයාගේ හිතේ ඇති.
ඒ ප්රශ්නවලට අද උත්තර නැති වෙන්න පුළුවන්. ඒ හැම අහිමිවීමකටම ඒ මොහොතේම තේරුමක් තියෙන්න ඕන නෑ. සමහර දේවල්වල තේරුම තේරෙන්නේ කාලයක් ගියාට පස්සේ. අද ඔයාට දරාගන්න බැරි අහිමිවීමක්, හෙට ඔයාගේ ජීවිතේ වෙනස් කළ turning point එකක් වෙලා තියෙන්න පුළුවන්.
අද වැහිච්ච දොරක්, හෙට ඔයා කවදාවත් හිතුවේ නැති තැනකට ඔයාව අරගෙන යන පාරක් වෙන්න පුළුවන්.
ඒ නිසා හැම අහිමිවීමක්ම දඬුවමක් කියලා හිතන්න එපා.
සමහරවිට ඒක ඔයාට නොගැළපෙන දෙයකින් ඔයාව අයින් කරන දෙයක් වෙන්න පුළුවන්.
ඒ වගේම අහිමි වුණාම ඉක්මනටම සතුටු වෙන්න උත්සාහ කරන්නත් එපා.
දුක නම් දුක විඳින්න.
මතක නම් මතක තියෙන්න දෙන්න.
කඳුළු එනවා නම් අඬන්න.
මොකද ශක්තිමත් වෙනවා කියන්නේ කිසිම දෙයක් ගැන දුක් නොවී ඉන්න එක නෙවෙයි.
දුක තිබුණත්, ඒ දුකත් අරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන එක.
ජීවිතේ සමහර දේවල් අපිට ලැබෙන්නේ අපිට ඒවා අහිමි වෙන්න පුළුවන් බව තේරුම් ගත්තට පස්සේ.
සමහරවිට ඔයාට ලැබෙන්න තියෙන අලුත් දෙයක් වෙනුවෙන්, පරණ දෙයක් අතහරින්න වෙනවා.
සමහරවිට අලුත් ජීවිතයක් පටන් ගන්න කලින්, පරණ ජීවිතේ ගැන තියෙන බලාපොරොත්තුවක් අතහරින්න වෙනවා.
සමහරවිට ඔයාට ඇත්තටම ගැළපෙන මනුස්සයෙක් හමුවෙන්න කලින්, ඔයාට ගැළපෙන්නේ නැති කෙනෙක්ගෙන් ඈත් වෙන්න ඉගෙනගන්න වෙනවා.
ඒ නිසා මේ දවස්වල ඔයාගේ අතේ නැති දෙයක් ගැන දුක් වෙනවා නම්, ඒ දුක ඔයාගේ දුර්වලකමක් කියලා හිතන්න එපා.
ඔයාට ඒ දේ කොච්චර වටිනවාද කියන එකේ සාක්ෂියක් විතරයි ඒ.
හැබැයි ඒ දේ නැති වුණා කියලා ඔයාගේ ජීවිතයත් එතනින් නවතින්න ඕන නෑ.
අහිමිවීමක් කියන්නේ අවසානයක්ම නෙවෙයි. සමහර වෙලාවට ඒක අලුත් දෙයක් වෙනුවෙන් ඉඩක් හදනවා වෙන්න පුළුවන්.
අද ඔයාට නොතේරෙන දෙයක් හෙට තේරෙන්න පුළුවන්.
අද ඔයා අඬන දෙයක් ගැන හෙට සන්තෝස පුළුවන්.
අද ඔයාට අවසානයක් වගේ පේන දෙයක්, හෙට බලද්දි ඔයාගේ ජීවිතේ ලස්සනම ආරම්භයක් වෙලා තියෙන්න පුළුවන්.
ඒ නිසා දෙයක් නොලැබුණාම, “ඇයි මට විතරක් මෙහෙම වෙන්නෙ?” කියලා විතරක් අහන්න එපා.
ටිකක් කාලයක් ගියාම, “මේකෙන් මම ඉගෙන ගත්තෙ මොනාද?” කියලත් අහලා බලන්න.
සමහර දේවල් ලැබෙන්න කලින් ඒවා නැතිවුණත් අපි තවමත් අපිවම අතහරින්නේ නැතුව ඉන්න පුළුවන් කියලා ඉගෙනගන්න වෙනවා. මොකද අන්තිමට අපේ ලොකුම ශක්තිය වෙන්නේ අපිට ලැබුණු දේවල් නෙවෙයි. අපිට අහිමි වුණු දේවල් අතරින්වත්, අපි අපිව නැති කරගත්තේ නැති එක වෙන්න පුළුවන්!











