පසළොස්වක මල් – 76

0
2541

” ලො.. ලොකූ.. ! ඔයා මින්දුලා අක්කා ගැන දැනගෙන හිටියද ?” 

විශ්මයෙන් බරව ගොස් තිබූ ස්ත්‍රී දෑස දෙස එක එල්ලයේ බැලූ ඔහු තවත් මඳක් කෙලින්ව ඇගේ අතකින් අල්ලා ගත්තේය.

” හ්ම්ම්.. මං මින්දුලාගේ ෆියුනරල් එකට පවා ගියා. හැබැයි ඒ වෙද්දිත් මින්දුලා , සිංදුමී අතර තිබ්බ ප්‍රශ්නේ ගැන මං දැනන් හිටියේ නෑ. මං මින්දුලාගේ ෆියුනරල් එකට ගියේ අපේ අම්මාත් එක්ක කාලෙකට කලින් එක ඉස්කෝලෙක ටීච් කරපු ටීචර් කෙනෙක්ගේ දුවෙක් අපේ කැම්පස් එකට ඇවිත් තියනවා. ඒ ළමයා කැම්පස් එකේ ස්ට්‍රෙස් එක දරාගන්න බැරුව සුයිසයිඩ් කරන් තියනවා කියන හේතුව උඩ.  හැබැයි මං මින්දුලා ගැනයි , සිංදුමී ගැනයි දැනගනිද්දී මින්දුලා නැති වෙලාත් සෑහෙන්න කල්. “

” මට.. මට අන්තිමට කියපු දේ තේරුණේ නෑ.. “

ඈ සම්පූර්ණයෙන්ම ඔහුගේ පිළිතුර හමුවේ වික්ෂිප්තවී සිටියාය.

” අහන්න…! සිංදුමී එක්ක එකට හිටපු ගෑනු ළමයි පස් දෙනෙක්ම නැති උනා කියලා ඔයා දන්නවනේ ? පළවෙනියා , දෙවෙනියා , තුන්වෙනියා නැති උනාටත් පස්සෙ හතර වෙනියට නැති උනේ ප්‍රාර්ථනා. ප්‍රාර්ථනා නැති වෙන්න දවස් දෙකකට කලිනුයි දර්ශි නැති වෙලා තිබ්බේ. දර්ශි නැති වෙලා දවසකට පස්සේ ප්‍රාර්ථනා ආවා මාව හොයාගෙන. එයා හිටියේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. එයාගේ මූණ දිහා බැලුවම එයා සෑහෙන්න ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නවා කියලා හොඳටම පෙනුණා. ඒක වෙන්න පුලුවන් දෙයක්නේ කොහොමත්. එකට හිටපු යාළුවෝ තුන් දෙනෙක්ම ඒ වෙද්දි එක විදිහට නැති වෙලා හිටියේ. සිංදුමී ළඟින් හිටියට එයාගේ යාළුවෝ එක්ක මගේ එහෙම ලොකු ආශ්‍රයක් තිබුණේ නෑ. ප්‍රාර්ථනා මාව මීට් වෙන්න ඕනේ කියද්දි ඒකට හේතුවක් මට හිතාගන්න බැරි උනා. සිංදුමී කොහොමත් කැමති උනේ නෑ මං වෙන ගෑනු ළමයි එක්ක කතා කරනවට. ඔය ඔක්කොම හිතේ තියාගෙන ලොකු කැමැත්තක් නැතුව උනත් මං ප්‍රාර්ථනාව මීට් වෙන්න ගියා. “

කිසිදු වෙනසක් නොපෙන්වා ඇගේ දෑස දෙස බලා අතීතාවර්ජනයක නිරත වූ ඔහු දෙස ඈ නිහඬවම බලා සිටියාය.

” ප්‍රාර්ථනා හිටියේ සෑහෙන්න ස්ට්‍රෙස් වෙලා. එයා කතා කරපු වචනයක් ගාණේම වෙව්ලුවා. මාව දැක්කා විතරයි එයා කළේ මුලින්ම අඬපු එක. ඊට පස්සේ කවදාවත්ම මං බලාපොරොත්තු නොවිච්ච කතාවක් එයා මට කිව්වා. ඒ මින්දුලා ගැන. අපිට පහල බැච් එකක හිටපු මින්දුලා මං ගැන සෑහෙන්න හෝප්ස් තියන් හිටියා කියලා කිව්වා. විස්තර ගොඩක් එක දිගට කියන් යද්දියි ඒ අම්මගේ යාළුවගෙ දුව නේද කියන එක මගේ ඔලුවට ආවේ. අම්මලගේ යාලුකම අපි දන්නවා උනාට ඒ අය නිතර නිතර මීට් උනේ නෑනේ. ඒ දෙන්නා කතා බහ කළේ ෆෝන් එකෙන්. ඉතිං මං මින්දුලා කවුද කියලා දැනගෙන හිටියේ නෑ. මින්දුලා මං ගැන හෝප්ස් තියන් ඉන්නව කියන එක කොහොමහරි සිංදුමී දැනගෙන තිබ්බා. ඒ දෙන්නා ඉඳලා තිබ්බෙ එකම බෝඩිමක. කොහොමහරි සිංදුමීට මින්දුලා මං ගැන ලියපු පොඩි පොඩි සිංදු කෑලි තිබ්බ පොතකුත් අහුවෙලා තිබ්බා. 

සිංදුමී කියන්නේ හරි රූඩ් කෙනෙක්. එයා සෑහෙන්න මින්දුලාට කරදර කරලා තිබ්බා. කොහොමහරි කැම්පස් එකේ ඉවෙන්ට් එකක් වෙලාවේ මං මින්දුලා එක්ක කතා කරලා තියනවා. මට ඒක එහෙම මතක නෑ. මොකද ඒ වගේ වෙලාවක අපි කීදෙනෙක් එක්ක කතා කරනවද ? එකට වැඩ කරනවද ? ඒක මං දන්නෙත් ප්‍රාර්ථනා මට කිව්ව වෙලේ. හැබැයි මට එක දෙයක් මතකයි. ඔය ඉවෙන්ට් එක දවසේ හවස සිංදුමී මාත් එක්ක සෑහෙන්න රණ්ඩු උනා. එයා දිගින් දිගටම කිව්වේ මං එයාව දාලා යයි කියලා. ඒක අහන් ඉන්න බැරි නිසා තමා මං කිව්වේ එහෙනං කසාද බඳිමු කියලා. එයාගේ හිතේ තියන සැකේ අයින් කරන්න මට වෙන ක්‍රමයක් තිබ්බේ නෑ. එදාට පහුවදා තමා අපි දෙන්නා රෙජිස්ටර් ඔෆිස් එකට ගිහින් මැරේජ් සෙටිෆිකේට් එකට සයින් කළේ. ඒක කරද්දිවත් මට මහා ලොකු දෙයක් දැනුන්නෑ. මං ගියා සයින් කළා. ආවා. මට ඕන උනේ සිංදුමීගෙන් තියන කරදරේ නැති කරගන්න විතරයි. මං දන්නවා ඒක මහ මෝඩ තීරණයක්. මොළයක් තියෙන එකෙක් කවදාවත් නොකරන වැඩක්. හැබැයි ඒක මට තේරුණේ ගොඩක් පහුවෙලා. “

ඔහු විසල් සුසුමක් හෙළා මොහොතක් නිහඬව උන්නද ඈ වචනයකින් හෝ ඔහුට බාධාවක් නොකළාය. 

” ප්‍රාර්ථනා කිව්ව විදිහට සිංදුමීට ඕන වෙලා තිබිලා තියෙන්නේ මින්දුලා කැම්පස් එන එක නතර කරන්න. මාව දකින එක  නතර කරවන්න. එයා ඒකට මහ කැත වැඩක් කරලා තිබ්බා. මින්දුලා කියන්නේ හරි අහිංසක ළමයෙක් දුමී. කවුරුහරි හයියෙන් කෑගැහුවත් බය වෙන ජාතියෙ ළමයෙක්. පස්සේ මින්දුලා ගැන හොයද්දියි මං එයා එහෙමයි කියලා දැනගත්තේ. සිංදුමී අනිත් හතර දෙනත් එක්ක එකතු වෙලා හොඳ ප්ලෑනක් ගහලා තිබ්බා. ඒ දවස්වල අපේ ලෙක්චර් කෙනෙක් හිටියා දොඩංගොඩ කියලා. Statistics ඉගැන්නුවේ. දවල් මින්දුලාට සර් එන්න කිව්වා කියලා මෙයාලා බොරුවක් කියලා මින්දුලාව සර්ගේ ඔෆිස් එකට යවලා. සර් ඒ වෙලේ ඔෆිස් එකේ ඉඳලා නෑ. හැබැයි ඔෆිස් එක ඇතුළේ සර් පෲෆ් චෙක් කර කර හිටපු පේපර් එකක්  තිබිලා තියනවා. හැබැයි ඒ බව නොදැන ඔෆිස් එකට ගිය මින්දුලා සර් නැති නිසා ආපහු හැරිලා ඇවිත්. 

හවස මින්දුලා බෝඩිමට එද්දි මේ පස් දෙනා එයා එන්න කලින්ම බෝඩිම ඇතුළේ කතාවක් යවල තිබිලා තියනවා දොඩංගොඩ සර් පෲෆ් චෙක් කර කර හිටපු පේපර් එකක් නැති වෙලා කියලා. මින්දුලා ආපු ගමන් මෙයාලා ඒ කෙල්ලව අල්ලගෙන. එයා දවල් ඔෆිස් එකට ගියා නේද කියලා අහ අහා මින්දුලාගේ හැමදේම ඇදලා. අන්තිමට බෑග් එකක තිබිලා නැති උනා කිව්ව අර පේපරේ හොයාගෙන. මින්දුලා සෑහෙන්න බය වෙලා තියනවා. ඕක දැනගත්තා කියන්නේ ආයේ ඉතිං ජීවිතේම ඉවරයි කියලා එයා හිතලා. අර කට්ටිය ඒකෙන් සෑහෙන්න එයාව මානසිකව වට්ටලා ඒ වෙලේ. මින්දුලා ඔෆිස් එකට යනවා දැකපු අය ඕන තරම් ඇති. කොහොමත් පේපරේ එයා ළඟ තිබිලා අහුවෙච්ච එකෙන්ම එයා හොරෙක් වෙනවා කියලා.  සිංදුමී කියලා තියනවා දැන්මම ඇඳුම් බෑග් එකත් අරන් පැනලා යන්න කියලා. මොකද පේපරයක් උනත් හොරකමක්නේ. අන්තිමට පොලිස් කේස් එකකුත් එයි කියලා. බය කරන්න පුලුවන් උපරිමේටම එයාව බය කරාට පස්සේ සිංදුමී අන්තිමේ අපි දෙන්නගේ මැරේජ් සෙටිෆිකේට් එකත් මින්දුලාට පෙන්නලා තියනවා. 

මින්දුලා සිංදුමීගේ කකුල් දෙක ළඟ වැටිලා සෑහෙන්න වෙලාවක් අඬලා තියනවා දුමී. ප්‍රාර්ථනා කිව්ව විදිහට එයා මැරේජ් සෙටිෆිකේට් එක දිහා බල බලත් හොඳටම අඬලා තියනවා. බොරු චෝදනාවක් කරපු එකට මින්දුලා අඬලා තියෙන්නේ බයට. ඊට පස්සේ මැරේජ් සෙටිෆිකේට් එක දැක්කම එයා අඬලා තියෙන්නේ දුකට. “

දෑසින් ගලා ගිය කඳුළු පේළියක් පිසදා දැමූ මිහිදුමී තව දුරටත් නිහඬවම ඔහු දෙස බලා සිටියාය. 

” මින්දුලාව බය කරලා එයාගේ කැම්පස් ගමන නතර කරවන්න හැදුවට හිතුවෙ නැති විදිහ ඊට දවසකට පස්සේ තමා මින්දුලා සුයිසයිඩ් කරන් තිබ්බේ. මින්දුලා නැතිවෙලා අවුරුදු දෙකක් ඇතුළත තමයි සිංදුමී , ප්‍රාර්ථනා එක්ක අනිත් පස් දෙනා නැති වෙන්න පටන් ගත්තේ. ඔයා දන්නවද මින්දුලා නැති වෙලා කාලයක් ගිහින් තිබ්බත් ප්‍රාර්ථනා ඇවිල්ලා මට මින්දුලාගේ මරණේ ගැන කිව්වේ ඇයි කියලා. මොකද එක දිගට යාළුවෝ නැති වෙනකොට ප්‍රාර්ථනාට හිතිලා තිබ්බා එයාලා එකතු වෙලා මින්දුලාට කරපු දේට කවුරුහරි එයාලගෙන් පලි ගන්නවා කියලා. මින්දුලාට උනේ මොකද්ද ? එයා ඇයි සුයිසයිඩ් කරගත්තේ කියන එක හරියටම දැනන් හිටියේ ඒ පස්දෙනා විතරයි. ප්‍රාර්ථනා මගේ ඉස්සරහා අඬ අඬා කිව්වා කවුරුහරි එයාලගෙන් මින්දුලාගේ මරණෙට පලි ගන්නවා කියලා. ඒත්.. ඔය ඔක්කොම අහන් හිටපු මට ඒ කිසි කෙනෙක් ගැන දුකක් හිතුනේ නෑ. මට හිතුණෙම මුන්ට මෙහෙම වෙලා මදි කියලා විතරයි. 

ඒත් මට විසඳ ගන්න ප්‍රශ්නයක් තිබ්බා. ඒක කතා කරන්න තිබ්බේ සිංදුමී එක්ක. සිංදුමී එක්ක එෆෙයාර් එකක් තිබ්බත් , ඒ ටොක්සික් රිලේශන්ෂිප් එක මට කරදරයක් වෙලා තිබ්බේ. ඒත් මං හිතුවෙම සිංදුමී මේ දේවල් කරන්නෙම මට තියන ආදරේ වැඩි කමට කියලා. ඒ උනාට ඔය සිද්ධියෙන් පස්සේ මට සිංදුමී ගැන මගේ හිතේ තිබ්බ අන්තිම හැඟීමත් නැති වෙලාම ගියා. මාව මීට් වෙන්න ඇවිල්ලා පිස්සුවෙන් වගේ කියවගෙන කියවගෙන ප්‍රාර්ථනා අන්‍තිමට කිව්වා ඉතුරු වෙලා ඉන්නේ එයයි , සිංදුමියි විතරයි කියලා. ඒ වගේම අනිවාර්යයෙන්ම එයාටයි , සිංදුමීටයිත් අනිත් තුන් දෙනාට උනා වගේම මැරෙන්න වෙයි කියලත් කිව්වා. ඒත්.. ඒ වෙලේ මං ඒ දෙන්නව බේර ගන්න ඕනේ කියන මානසික මට්ටකම හිටියේ නෑ. අඩුම මේ දේවල් කරන්නේ මින්දුලාගේ මරණෙ නිසාද ? කවුරුහරි මින්දුලාගේ මරණෙට පලි ගන්නවද ? එහෙමනං ඒ කවුද කියලවත් මට හොයන්න උවමනාවක් තිබුණේ නෑ. මට ඕන උනේ සිංදුමී මීට් වෙලා මගේ හිතේ තියන කේන්තිය එයාගෙන් පිට කරන්න. “

මිට මොළවා ගත් දෑතින් යටි තොළ පට සපාගත් ඔහු වේගයෙන් සුසුම් ළෑවේය. 

 ” දර්ශි නැති වෙලා හරියටම පහුවදා තමා ප්‍රාර්ථනා මාව මීට් උනේ. අපේ බැච් එකේ ගොඩක් උන් හිටියේ දර්ශිගේ මළ ගෙදර ගිහින්. මං කෙලින්ම ගියේ මළ ගෙදරට. ඒත්.. සිංදුමී එතන හිටියේ නෑ. ඊට පස්සේ බෝඩිමට. එතනත් සිංදුමී හිටියේ නෑ. එදා දවසෙම මං සිංදුමීව හෙව්වා. මට එයාව මුණ ගැහුණෙම නෑ. ඔය අතරෙයි කොල්ලෙක් මට කිව්වේ කැම්පස් එක ඉස්සරහදි ප්‍රාර්ථනා අඬ අඬා සිංදුමීට මොනාහරි කිව්වා සිංදුමී කෑගහලා ප්‍රාර්ථනාගේ කම්මුලකට ගැහුවා කියලා. ප්‍රාර්ථනා එවෙලේ ෆේන්ට් වෙලා. මං කිව්වනේ එයා මාව මීට් වෙන්න එද්දිත් හිටියේ හොඳටම ස්ට්‍රෙස් වෙලා. එයා විශ්වාස කළා කොයි වෙලේක හරි තමන්ටත් මැරෙන්න වෙනවා කියලා. ඒ නිසා මාත් එක්ක කතා කරපු ටික ඔක්කොම එයා සිංදුමී එක්ක කියන්න ඇති. මං වෙච්ච හැමදේම දැනගත්තා කියන හේතුව උඩ කේන්තිය කන්ට්‍රෝල් කරගන්න බැරුව සිංදුමී ප්‍රාර්ථනාට ගහන්න ඇති. ඒ නිසයි එයා මාව මඟෑරියේ. 

 මින්දුලාගේ හිතේ මං ගැන මොනවගේ දෙයක් තිබ්බත් එයා ඒක කවදාවත් මට අඟවලාවත් නෑ. අඩුම මින්දුලා කියලා කෙල්ලෙක් අපි අතරෙ හිටියා කියලවත් මට මතකයක් තිබුණේ නෑ. ඒ කෙල්ල හරි අහිංසක කෙල්ලෙක් දුමී. ඕනෙනං එයාට තිබුණා මට කතා කරන්න. අඩුම සිග්නල් එකක්වත් දෙන්න. ඒත් .. එයා හිටියේ මගේ ලෝකේ එහෙම කෙනෙක් ඉන්නවද කියලවත් මට නොතේරෙන විදිහට. අර පස්දෙනා එකතු වෙලා අහිංසක කෙල්ලෙක්ගේ ජීවිතයක් විනාස කළා කියන එක මට දරාගන්න බැරි උනා. මං එයාව හොයනවා කියලා දැනගෙනද මන්දා සිංදුමී ඉඳලා තියෙන්නේ හොස්ටල් එකේ. හැමෝම දර්ශිගේ මළ ගෙදරට බිසී වෙද්දී සිහි කල්පනාවක් නැතුව මරණ බයේ හිටිය ප්‍රාර්ථනා ළඟට වෙලා සිංදුමී හොස්ටල් එකේ ඉඳලා තියනවා. ඒත්.. එදාම හවස තමා ප්‍රාර්ථනාවවත් මරලා දාලා තිබ්බේ…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here