කිසිවක්ම පිළිතුරු ලෙස නොපැවසූ ඈ දිගටම ඔහු ළැම මත හිස හොවා සිටියාය.
” ඔයා මං ගැන හිතනවා කියන එක දැනිච්ච වෙලේ මං ඔයාට එහෙම කරන්න එපා කිව්වට මට ඔයා ගැන හිතෙන එක නතර කරගන්න බැරි උනා දුමී. ඒ කිසිම දෙයක් ප්ලෑන් කරලා , හිතලා මතලා වෙච්ච දේවල් නෙමෙයි. ඔයා මට නොකියා රත්නපුරේ ගිහින් තිබ්බ වෙලේ මට ඉවසගන්න බැරි කේන්තියක් ආවා. එදා රෑ භරණ මාව මීට් වෙන්න ආවා. මං මැරි කරපු කතාව එයාට හංගන්න මට උවමනාවක් තිබ්බේ නෑ. ඒක කිව්ව කියලා භරණ ඒක ගණන් ගත්තෙවත් නෑ. ඒ වෙලේ මට තේරුණා ඔයාගෙ සතුට වෙනුවෙන් භරණ ඕනම දෙයක් කරනවා කියලා. ඊටත් පස්සේ දවසේ ඔයා අඬ අඬා කෝල් කළාම මට තවත් මාව කන්ට්රෝල් කරගන්න පුලුවන් උනේ නෑ දුමී. ඒකයි මං ආවේ.
ඊට පස්සේ මගේ ඔලුවේ තිබ්බේ ඔයාව මගේ කරගන්න ඕනේ කියන එක විතරයි. ඒත්.. සිංදුමී ඔයාගේ අක්කා කියන එක දැනගත්තම මට ඒක දරාගන්න බැරි උනා. එකක් සිංදුමීගේ මතකෙත් එක්ක එකට ඇමිණිලා වගේ මගේ ඔලුවට එන මින්දුලාගේ මතකේ. ඊලඟට මින්දුලාගේ මරණෙට මාත් වග කියන්න ඕනෙද කියලා මගේ හිතේ තිබුණු ප්රශ්නේ. ඊලඟට සිංදුමී එක්ක මගේ තිබ්බ රිලේශන්ෂිප් එක. ඊටත් පස්සේ ඔයා. ඔයාට මම සෑහෙන්න ආදරේ කරා දුමී. සිංදුමීයි , මිහිදුමීයි අක්කයි , නංගියි කියන එක වගේම ඔයා මේ හැමදේම මුල ඉඳන් දැනන් හිටියා කියන එක මගේ ඔලුව අවුල් කළා. ඔය ඔක්කොම එක්ක මාව බ්ලාස්ට් උනා දුමී. එදා මගේ කටින් අර වගේ වචනයක් පිට වෙන්න තරමට මට කේන්ති ගියේ ඒකයි. ඊට පස්සේ ඔයා ගෙදර නෑ කියලා දැනගත්තම මට මැරෙන්න තරම් දුකක් දැනුණා දුමී. භරණ ඇවිල්ලා ඔයත් මේ දේවල් දැනගත්තේ මේ මෑතකදි කියලා කිව්වම තමයි මං ඕනවට වඩා කලබල උනා කියලා දැනගත්තේ. ඊට පස්සේ මට ඔයාව ඕනේ උනා. ඔයාව බලන්න ඕනේ උනා. ඒත්.. ඔයා හිටියේ නෑ. කොහෙවත් හිටියේ නෑ. හැමෝම එහෙ මෙහේ දුව දුව ඔයාව හොයද්දි මං ෆ්රීස් වෙලා වගේ හිටියේ. ඊලඟට කරන්න ඕනේ මොකද්ද කියලා මට තේරුණේ නෑ. ඔයා හොස්පිට්ල් එකේ කිව්වම මං එතනට ගියේ කොහොමද කියලවත් මට තේරුණෙ නෑ. කොටින්ම එතනදි භරණ ගහපු පාරක්වත් මට දැනුණේ නෑ. “
” මොකක් ? මාමා ඔයාට ගැහුවා. ?”
විසල් කරගත් දෙනෙතින් ඔහුගෙන් මෑත් වූ ඈ කලබලයෙන් එසේ ප්රශ්න කළද ඔහු ඒ වෙනුවට සිහින් සිනහවක් නැඟුවේය.
” හ්ම්ම්.. කම්මුල් පාරවල් දෙකක් ගැහුවා. ඊට පස්සේ කොලර් එකෙන් අල්ලලා කෑගැහුවා කෙල්ලට මොනාහරි වෙලා තිබ්බොත් තෝවත් මරාගෙන මැරෙනවා කියලා “
” අනේ.. ලොකූ.. ! මං එහෙම දෙයක් දැනන් හිටියේ නෑ. “
ඔහු මුව මත පෙරට වඩා විසල් අයුරින් සිනහවක් නැඟුණි.
” භරණ නිසා හොඳයි. වෙන එකෙක් හිටියානං මං ඊට වඩා කනවා කොහොමත්. “
ඔහු නැවත වතාවක් සිනාසෙමින් පිළිතුරක් තැබූවද ඈ විසල් අයුරින් සුසුමක් හෙළුවාය.
” මොකෝ ඉතිං දැන් ..?”
වේදනාබර උවනින් ඉවත බලා සිටි ඇගේ නිකටින් අල්ලා තමා දෙසට හරවා ගත් ඔහු එසේ විමසුවේය.
” මට බයයි ලොකූ.. “
” දැන්.. ? ඇයි ? ඒ පාර මොකද්ද ප්රශ්නේ ?”
” මින්දුලා අක්කගේ මරණෙට සිංදුමී වගකියන්න ඕනේ කියලා මාමා දැනගත්තොත් ? අම්මා දැනගත්තොත් ? මං කොහොමද ලොකූ ඒ මිනිස්සු දෙන්නට මූණ දෙන්නේ ? ඒ දෙන්නා මින්දුලා අක්කට ආදරේ කරපු තරම මං හොඳටම දන්නවා. පිට කෙල්ලෙක් වෙච්ච මට මේ තරම් ආදරයක් දෙනවනං එයාලගෙම දරුවට එයාලා කොච්චර ආදරේ කරන්න ඇතිද ? “
” දැන් ඇයි ඔයා ඒක ප්රශ්නයක් කරගන්නේ ? දුමී.. මේ අහන්න ..! අපි දෙන්නා මේ කතා කරන්නේ අවුරුදු දාහතකටත් එහා වෙච්ච සිද්ධියක් ගැන. භරණ වගේම ආන්ටි විශාඛාත් දැන් සැනසීමෙන් ජීවත් වෙනවා. ඇයි අපි ඒ මිනිස්සුන්ගේ සැනසීම නැති කරන්නේ ? ඒ මිනිස්සු දෙන්නා සෑහෙන්න දුක් ගොඩකට මූණ දීලා ඉන්නේ දුමී. දැන් ඇති. හොඳටම ඇති. මින්දුලාගේ මරණෙට හේතුව සිංදුමීලා කියන එක මට කිව්වේ ප්රාර්ථනා. එතකොට ඒක ගැන දැනගෙන හිටියේ ඒ පස්දෙනා. එයාලා දැන් නෑනේ ? ඒ ඇරෙන්න මේ දේවල් ගැන දන්නේ ඔයයි මමයි විතරයි. අපි දෙන්නට අපි දෙන්නගේ හිත් වල රහස් තියාගෙන හරි තනියම විඳව විඳව හරි මේ ගමන යන්න බෑ. මේ කතාව ඔයා පටන් ගත්තත් , නැතත් මේක ඔයා එක්ක කතා කරලා විසඳගන්න ඕනේ කියන තැන මාත් හිටියා. දැන් ඒක හරි. දැන් හැමදේම අපි දෙන්නා කතා කළානේ. මේවා මෙතනින් ඉවරයි. මේවා අපි දෙන්නගෙන් එහාට යන්න ඕනේ නෑ. භරණටයි , ආන්ටි විශාඛාටයි සැනසීමෙන් ඉන්න දෙමු දුමී. ඔයත් මේ දේවල් ගැන අදින් පස්සේ හිත හිත කරදර වෙන්න එපා. “
ඔහු එසේ පවසමින් සෙමින් ඇගේ හිස පිරි මැද්දේය.
” තව එක ප්රශ්නයක් තියනවා. “
ඈ ඇඹුල් කරගත් වතින් ඔහු දෙස බැලූ අතර ඔහු මඳ සිනහවක් නඟා මුව ඇද කළේය.
” ඒ පාර මොකද්ද ?”
” ඇත්තටම මින්දුලාගේ මරණේ උනේ සිංදුමී අක්කලා නිසා. එතකොට ඒ පස් දෙනාගේ මරණේ උනේ මින්දුලා අක්කාගේ මරණේ නිසාද ? ප්රාර්ථනා කිව්වා වගේ කවුරුහරි මින්දුලාගේ මරණෙට පලි ගත්තද ? එහෙම කරනවනං ඒක කරන්න ඕනේ මින්දුලාට ආදරේ කෙනෙක්. එයාගේ නැති වීම දරාගන්න බැරි කෙනෙක්. එහෙම උනාම ඉතිරි වෙන්නේ මාමානේ ?”
විසල් සුසුමක් අත හැරි ඔහු ඇගේ දෝතින්ම අල්ලා ගත්තේය.
” ඔය ප්රශ්නෙට උත්තරයක් ඔයාට ඕනෙමද දුමී ? මට නං එපා. මින්දුලා නැති උනේ සිංදුමීලා කරපු කරදර දරාගන්න බැරුව කියන එක තේරුම් ගත්ත වෙලාවෙම අර පස් දෙනාට ඔහොම වෙච්ච එක ගැන මට දැනුණේ සතුටක්. එතනින් එහාට ඒක කළේ කවුද කියලා හොයන්න මට කිසිම උවමනාවක් තිබුණේ නෑ. අදටත් නෑ. මට ඒක දැනගත්තා කියලා ඇති වැඩකුත් නෑ. “
එසේ පැවසූ ඔහු බිමට බර කර සිටින ඇගේ උවනේ කොපුලක් මතට තම අත තැබුවේය.
” ඔයාට ඒකෙන් ඇති වැඩක් තියනවද දුමී ? නෑ නේද ? අපි හැමෝම දැන් සතුටින් සැනසීමෙන් ඉන්නවා. ඒ ඇති නේද ? ඔයාට භරණ ඉන්නවා, ආන්ටි විශාඛා ඉන්නවා , සුභාවි ඉන්නවා , භරණගේ දරුවෝ දෙන්නා ඉන්නවා. තේජ්ලා ඉන්නවා , අපේ ගෙදර අය ඉන්නවා. මාත් ඉන්නවනේ… ඔයාට අපිව මදිද ඉතිං. ? පරණ දේවල් හැමදේම අමතක කරලා දාලා අපි සැනසීමෙන් ඉමුකෝ දුමී.. මං ඉන්නවනේ.. “
කඳුළු පිරුණු දෙනෙතින් ඔහු දෙස බැලූ ඈ ඔහුගේ බඳ වටා දෑතම යවා තදින් ඔහුට තුරුළු වූවාය.
” මාව දාලා යන්නෙපා ලොකූ..!”
ඉකි ගසමින්ම ඈ එසේ පැවසූ අතර ඔහු සෙමින් ඇගේ උවන වෙතට ළං වූයේය. ඉන්පසුව ක්ෂණිකව ඇගේ දෙතොලට බර වූයේය. සෙමින් සෙමින් එකී දෙතොල මත මත් වූ රටා තැබූ ඔහු මිනිත්තු කිහිපයකට පසු එය සෙමින් මුදා හැරියේය.
” දාලා යන්නෑ. ආයේ කවදාවත් දාලා යන්නෑ. ඔයා මාව ගහලා පැන්නුවත් දාලා යන්නෑ. හැබැයි අනිද්දට යන්න වෙනවා හොඳේ. ඒ ඔයාව දාලා යෑමක් නෙමෙයි . එහේ වැඩ ටික පිළිවෙළක් කරලා මං අනිත් පැත්තට එනවා. “
කිසිවක්ම නොපැවසූ ඈ තවත් තදින් ඔහුට තුරුළු වූවාය.
” අද හවස ඔයා මොකද කරන්නේ ?”
” විශේෂ දෙයක් නෑ . ඇයි ?”
හිස ඔසවා ඔහු දෙස බැලූ ඈ මඳක් කල්පනා කොට පිළිතුරක් තැබුවාය.
” හවසට හරණලගේ ගෙදර යං. මං කතා කරන්නං. ආයේ කම්මුල් පාරක් කන්න හරි කොහොමත් අනිද්දා යන්න කලින් මං භරණ එක්ක කතා කරන්න ඕනේ. “
” හදිස්සියක් නෑනේ ඉතිං. ඔයා ඔය ගමන ගිහින් එන්න. ඊට පස්සේ කියමු. “
” ම්ම්.. ?”
විසල් කරගත් නෙතින් ඔහු ඈ දෙස බලා මඳ සිනහවක් පෑවේය.
” පොඩි උන් වගේ හැංගි හැංගි ආදරේ කරන්න තරම් වයසක් මට නෑ. මට දැන් හතලිහක් හරිද ?”
” හතලිහක් ඔයාට ? ඊඊඊව්ව්ව්.. අන්කල් කෙනෙක්නේ ?”
” මොකද්ද කිව්වේ..?”
” අනේ.. ලොකූ.. එපා.. එපා.. “
ඇගේ විහිළුවට පෙරළා නොනවත්වා ඇගේ බඳ කිති කවන ඔහුගෙන් බොහෝ අපහසුවෙන් බේරුණු ඈ වහා නාන කාමරය වෙත දිව ගියාය.
බොහෝ වේලාවකට පසු යහනත් , නිදන කාමරයත් පවිත්ර කොට යළි සැකසූ මිහිදුමී නාන කාමරයේ සිටින ඔහු දෙස බලා මුළුතැන්ගෙය වෙත ඇවිද ගියාය. තේ කෝප්ප ද්විත්වයක් සැකසීමට විදුලි කේතලයට වතුර පුරවන ඇසිල්ලේ ජංගම දුරකතනයට අෂ්මිලගේ නමින් ඇමතුමක් ලැබිණි.
” සුදු අයියේ.. ! කියන්න. “
” මගේ සුදු නංගි පැටියෝ.. ඔයා කොහෙද ඉන්නේ ?”
” ගෙදර අනේ.. ”
ඈ සිනහවක් නඟමින්ම පිළිතුරු දී ජල කාමරය වසා දැමුවාය.
” එහෙනං දොර අරින්නකෝ. මායි , තේජුයි ඉන්නේ එළියේ. දොර ඉස්සරහා. “
තුෂ්නිම්භූතවූ ඈ නිවසේ ප්රධාන ද්වාරයත් , නිදන කාමරයත් දෙස බලා අතැති දුරකතනය තදින් අල්ලා ගත්තාය.


