පූජා ඉන්දියාවේ කුඩා නගරයක “Milk centre” එකක් පවත්වාගෙන ගිය තරුණියක්.ලෝකය පුරා පැතිර යන කොවිඩ් වසංගතයේ අතුරු බලපෑමක් වන ආර්ථික ගැටළු ඇයට ද බලපාමින් තිබුණා. නමුත් ඇය ධෛර්යමත් ලෙස එයට මුහුණ දෙමින් සිටියා.
පූජා පුවත්පත් දකින්නේ ඒ අතර.”කොරෝනා වසංගතය බොහෝ දෙනෙකුට රැකියා අහිමි කරලා” එහි ඇත්තේ එවැනි කතාවක්.හදිසියේ පහළ වන සිතුවිල්ලක් අනුව පූජාට ෆේස්බුක් සටහනක් තබන්නට සිත් වෙනවා.
“පූජා මිල්ක් සෙන්ටර් සඳහා සේවකයන් අවශ්‍යයි. ඔබ රැකියාව වසංගතය නිසා අහිමිව සිටින පුද්ගලයෙක් නම් අප ඔබව බලාපොරොත්තුවෙන් සිටිනවා.”
පූජාගේ කුඩා වෙළඳසැලේ දැනටමත් සේවකයන් තිදෙනෙකු සේවය කරනවා.ඒ අය ප්‍රමාණවත් නිසා පූජා කළේ අනවශ්‍ය වැඩක් බව කියමින් ඇගේ හවුල්කාරයා වූ බාල සහෝදරයා ඇයට දොස් නැගුවත් පූජා ඔවුන්ගේ පියා අතීතයේ පැවසූ දෙයක් සිහි කරමින් එය නොසලකා හරිනවා.
පසුවදා සේවය සඳහා මිනිසුන් පැමිණෙනවා. ඔවුන් එක් අයෙකුවත් රස කැවිලි සකසන්නට දන්නා අය නෙවෙයි. පයිප්ප අලුත්වැඩියා කරන්නෙක්, විදුලි කාර්මික ශිල්පියෙක්, වඩුවෙක් සහ ඇඳුම් මසන්නෙක් ආදී ලෙස විවිධ රැකියා කරන්නන් ඒ අතර හිඳිනවා.ඒ සියල්ලන්ම කොවිඩ් වසංගතය නිසා ඉපයීම් අහිමි වූවන්.
“මේ රස කැවිලි කඩයක්.. පාන්දර තුන වෙනකොට වැඩට එන්න..”
පූජා ඔවුන්ට පවසන්නේ එපමණයි.
“තව මැකෑනික් කෙනෙකුයි ඩ්‍රයිවර් කෙනෙකුයි ආව නම් සම්පූර්ණයි” පූජාගේ මල්ලී තරහින් පැවසුවත් පූජා කිසිවක් පවසන්නේ නැහැ.ඇය නිහඬවම දරා සිටිනවා.
වෙනත් වෘත්තීන් වල නිරත වූ ඒ අය රසකැවිලි සකසන්නට දන්නේ නැහැ. ඔවුන් නොයෙකුත් අකරතැබ්බ කරගනිද්දී පූජා කෝප ගන්නේ නැහැ. ඒ වෙනුවට රසකැවිලි සාදන්නට ඇය ඔවුන්ට උගන්වනවා.ඒ අතර ආර්ථික අවපාතය හා සටන් වදිනවා. මල්ලී මොනතරම් දොස් කීවත් ඇය නව සේවකයන් එක් අයෙකුගේ හෝ සේවය අත් හිටුවන්නේ නැහැ.
පූජා දිනක් වෙළඳසැලට එන්නේ ඇගේ කුඩා මෝටර් රථයෙන් නෙවේ. ස්කූටියකින්. ඒ ගැන විමසන සේවකයන්ට ඇගේ මල්ලී දෙන්නේ තද පිළිතුරක්.
“තමුසෙලාට පඩි ගෙවන්න එයා ඒක විකුණුවා..”
දීපවාලි වලින් පසු වෙළඳසැල වසා දමන්නට තරම් පාඩු වී ඇති කියමින් මල්ලී පූජාට බැන වැදුණත් ඇය එය නොසලකා සිටිනවා.ඇය අමතර සේවකයන් ඉවත් කරන තීරණයට එකඟ වන්නේ ම නැහැ.
“එයලටත් දීපවාලි තියෙන්න එපැයි..”
ඇය පවසන්නේ එපමණයි.
දීපවාලි දා මිල්ක් සෙන්ටර් වෙත යන පූජා සහ මල්ලි දකින්නේ එහි සෙනඟ පිරී සිටින බවක්. මංකොල්ලයක් සිදු වී ඇතිදැයි ඔවුන් කලබල වෙනවා. පූජා කලබලයෙන් එහි ඇතුළු වෙනවා.
“පොරකන්න එපා. මීටරේ දුර තියා ගන්න. කලබල නොකර ඉන්න.මාස්ක් දාගන්න..”
ඇගේ නව සේවකයන් කෑ ගසමින් සෙනඟ හසුරවන හැටි ඈ දකින්නේ ඒ මොහොතේ දී යි.රසකැවිලි පාර්සල් දහස් ගණන් අලෙවි වෙද්දී ඈ පුදුමයට පත් වෙනවා.
“මෙච්චර සෙනඟ කොහෙන්ද?”
පූජා අසන්නේ විමතියෙන්.
“අක්කා අපේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයිනෙ.. මේක බලන්න..”
සේවකයෙක් ඇයට ෆේස්බුක් හි පළවී ඇති වීඩියෝවක් පෙන්වනවා. එහි සිටින්නේ පූජාගේ සේවක කණ්ඩායම. ඒ ලයිව් වීඩියෝ එක ඔවුන් මිල්ක් සෙන්ටර් ඉදිරිපිට හිඳ පළ කෙරූවක්.
“මේ පූජා මිල්ක් සෙන්ටර් එක.විශාල මාකට් එකක තියෙන පුංචි කඩයක්.මේ කඩේ කරන්නේ පුංචි කෙල්ලක්.හැබැයි අපි ඔක්කොම එයාට කියන්නේ අක්කා කියලා.. ඇයි දන්නවද? ලෝකෙම ගිනි අරගෙන තියෙන වෙලාවක අපේ රස්සා අපිට නැතුව ගිය වෙලාවක එයා අපිට රස්සා දුන්නා. ඇයට සේවකයෝ අවශ්‍ය නැහැ.ඒත් පූජා අපිව සේවයට ගත්තා.ඒ විතරක් නෙවෙයි. අපේ සැලරි ගෙවන්න එයා එයාගේ කාර් එකත් විකුණුවා.මේ විදියට උදව් කරන්න පුලුවන් අක්කා කෙනෙක්ට විතරයි නේද? එයාගේ උත්සාහය අගය කරන්න අපේ මිල්ක් සෙන්ටර් එකට එන්න. නම් මතක තියා ගන්න..පූජා මිල්ක් සෙන්ටර්.”
පූජා ඒ වීඩියෝව දෙස කඳුලු පිරි දෑසින් බලා සිටියා.
“ඔයා ඇත්තටම හරි අක්කා.. ” මෙතෙක් දවසක් ඈ සමඟ වාද කළ මල්ලී පැමිණ ඇය වැලඳ ගත්තා. අක්කාත් මල්ලිත් දීපවාලි රසකැවිලි මිලට ගන්නට පැමිණි උතුරා යන සෙනඟ දෙස එකිනෙකා වැලඳගෙන බලා සිටියා.
ඔබ ඔබේ හදවතේ සියලුම යහපත ලෝකයට පුදන්න.ලෝකය පෙරළා ඔබට යහපත සැලසීම අනිවාර්යයෙන් සිදු වේවි.මේ කොවිඩ් වසංගතයේ අතුරුඵල පරදන්නට නම් අප සියල්ලන්ටම විශාල සහ යහපත් හදවත් අත්‍යවශ්‍ය වෙන බව අමතක කරන්නම එපා.
(දීපවාලි වෙනුවෙන් ෆේස්බුක් සමාගම ඉන්දියාවේ දී සිදු කළ වීඩියෝවක් ඇසුරිනි.)