පළිඟු එක්වර නතර නො වූවා ය. නමුත් ඇය ගමන් වේගය හොඳට ම බාල කළා ය. අක්ෂි වගේ පන්ති භේදය ඉහට ගත් කෙල්ලක එක්ක පළිඟු ට නම් කතාවක් ඇත්තේ ම නැත. ඒ වගේ අය ව ජීවිතය පැත්ත පලාතට වද්දා නො ගෙන ඈත් කොට තැබීම සාමාන්‍යයෙන් ඇගේ ස්වභාවයයි. නමුත් අක්ෂි ගැන ඇයට ඊට වැඩි සම්බන්ධයක් තියේ. ඊට වැඩි වගකීමක් තියේ. පළිඟු මේ වගේ ඉහළ පාන්තික උසස් අධ්‍යාපන ආයතනයකට පිවිස තිබෙන්නේ ඇය ට පින් සිදු වෙන්නට ය.
“මොකද නතර වෙන්න බැරිද…”
අක්ෂි පළිඟු ට ලං වූයේ ම නෝක්කාඩුවකිනි. උත්තරයක් දෙන්නට පළිඟු තත්පර කිහිපයක් පමා වූවා ය.
“මං හිතන්නෙ මන්නං නතර වෙලා ඉන්නෙ. ඔයා තමයි තාම දුවන්නෙ”
ඒ අපබ්රංසය අක්ෂිට තේරුණේ නැත. තේරුම් ගන්නට ඇය ට ඕන වුණේත් නැත.
“මට ටිකක් කතා කරන්න ඕනෙ”
අක්ෂි කෙළින් ම කාරණයට බැස්සා ය. පළිඟු මඳක් පමා වෙමින් සිටියා ය. ඔවුන් ගේ පොහොසත් ජීවිත අතර ඉත්තෙකු වන්නට වීම ගැන සතුටක් ඇය ට නැත. නමුත් අරමුණු කරා යාමේ දී අපි නො සතුටු දේවල් කරන්නත්, බෝ කැපකිරීම් කරන්නත් සිදු විය හැකි බව පළිඟු නො දැන උන්නා නොවේ. අනිත් අතට මේ පල දරමින් තිබෙන්නේ කිසල් ගේ උවමනාවයි. ඔහු ට ඕනෑ වූයේ අක්ෂි ගේ සිත් හි ඊර්ෂ්‍යාවක් හා පසු තැවීමක් උපද්දා යළි ඇය ඔහු වෙත ගෙන්වා ගැනීම නම් මේ සිදු වෙමින් පවතින්නේ එයයි.
“කියන්න”
පළිඟු අහංකාර ස්වරයකින් කතා කළා ය. අක්ෂි අසල වූ කොංක්‍රීට් බංකුවක කොනේ ඉඳ ගත්තේ අනිත් කොන පළිඟු වෙනුවෙන් බලා සිටින බව නො කියා කියමිනි. නමුත් පළිඟු එහි හිඳ ගන්නට ඉක්මන් වූයේ නැත.
“සමහර විට ඔයා දන්නැතුව ඇති. මමයි කිසල් එක්ක කළින් යාළු වෙලා හිටියෙ”
ඇය හරි ම තැනින් කතාව පටන් ගත්තා ය. පළිඟු මඳ සිනහවක් නගා ගත්තා ය.
‘ඒ වුණාට එයා දැං ඔයාගෙ නෙවෙයි. මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්’
කියා කියන්නට ඇයට නො සිතුණා නොවේ. නමුත් ඒ හුදු ගැහැනු කමට යට වන්නට පළිඟු ඇයට අවසර නො දුන්නා ය. හිතෙන ඕනෑම දෙයක් කරන්නට තිරිසන් සතෙකුට වුව පුළුවන. අමාරු තමන් ව පාලනය කර ගන්නටයි. මිනිස්කම කියා කියන්නේ බොහෝ තිරිසන් සතුන් ගෙන් මිනිසා වෙන් කරන ඒ ආත්ම දමනයයි.
“මං දන්නව”
පළිඟු මිමිණුවා ය.
“මට කිසල් කියල තියනව”
ඒ දෙවෙනි වාක්‍ය තුළින්, මුල් වතාවේ නොකී කතාව ඉබේ ම කියැවී තිබිණි. ඉන් අක්ෂි ගේ හිතේ කොනිති ගැසීමක් ඇති විය. පළිඟු ව ඊට වඩා තදින් කොනිත්තන්නට ඇය ට උවමනා විණි.
“කිසල්ව මං තරං හොඳට කවුරුත් දන්නෑනෙ. එයා තාමත් මට ආදරෙයි”
“වෙන්නැති”
පළිඟු කතා කළේ සන්සුන්ව ය.
“පව් ඔයා. වෙන කෙනෙක්ට ලව් කරන කොල්ලෙක් ළඟට වෙලා ඉන්න”
“මට එහෙම හිතෙන්නෑ”
“මොකද්ද හිතෙන්නැත්තෙ…”
“මං පව් කියල”
උතුම් එතැනින් යමින් සිටියේ ඒ වෙලාවේ ය. අක්ෂි සමග දොඩමින් සිටි පළිඟු දැක ඔහු ගේ සිත් හි මඳ ගැස්මක් ඇති විය.
“පළිඟු…ඇයි…”
“මුකුත් නෑ උතුම් අයිය. මං එන්නං ඔයා යන්න”
“අවුලක් නෑනෙ…”
“නෑ නෑ. ඔයා යන්නකො”
උතුම් පිටුපස ද හැරී බලමින් යත්දී අක්ෂි කට කොනකින් සිනාසුණා ය. කලින් ඇය ට අයිති ව තිබූ දේවල් දැන් තියෙන්නේ පළිඟු ගේ අතේ ය. අක්ෂි ට මේ ගැන දැනෙන්නේ ඊර්ෂ්‍යාවකි. කිසල් එක පැත්තකටත් අශේන් අනිත් පැත්තටත් දැමූ විට තරාදියේ බර වැඩි කොයි පැත්ත දැයි ඇය ට තවමත් නිශ්චිත නැත. හිත මේ තරම් දෙගිඩියාවේ ඉන්නේ ඒක ය. එදා, පළිඟු මේ කතාව තුළ නො සිටි දින වල නම්, අක්ෂි ට කිසල් ගේ පුරුදු සමාගමය ඇල්මැරුණ උදාසීන කමක් සේ දැනුණේ ය. අශේන් ගේ සෙල්ලක්කාර ගති සහ අත දිග හැර මුදල් විය පැහැදම් කරන ස්වභාවය තුළ ඔහු වීරයෙකු සේ දැනුණේ ය. නමුත් ඇය මුළුමනින් ම කිසල් ව අත් හැර දමා නො මැති බවත්, ඔහු ගෙන් අත්මිදී නැති බවත් දැන් දැන් ඇයට දැනේ.
“මං හිතන්නෙ ඔයාට හරි යන කෙනා කිසල් නෙවෙයි. ආන්ටිත් කේන්තියෙන් ඉන්නෙ. ඔයා දන්නවද කිසල් ගෙ අම්ම කවුද කියල…”
එවැන්නක් නො දන්නා බවක් අක්ෂි ගේ ඇස් වල ම විය. නමුත් ඕ නො දන්නා බව හැඟවීමට හිත සෙලවීමක් හෝ නො කළා ය. අක්ෂි සිනාසුණේ අපහාසයට හෝ උපහාසයටයි.
“ඔයා මොනාද දන්නෙ…කිසල් ඔයාව ගාණට අන්දල මගෙ හිතේ. දුප්පත් අසරණ ළමයෙක් නිසා”
“මේ අක්ෂි. අපි දුප්පත් වෙන්න ඇති. හැබැයි කිසිම අසරණ කමක් මගෙ නෑ හරිද…”
“ඕකේ ඕකේ…වචනයක් එහෙ මෙහෙ වුණාට කලබල වෙන්න එපා ඉතිං. තාම කිව්වෙ නෑනෙ කිසල්ගෙ අම්ම කවුද කියල. මොරීන් මැඩම්. මේ කැම්පස් එකේ ඩිරෙක්ට බෝඩ් එකේ ඉන්නෙ”
පළිඟු ගේ ඉහ මොළ දැවිල්ල ගත්තේ ය. ඇයට ශිෂ්‍යත්වය ලබා දීමේ දී මූලික වී කටයුතු කළේ ඇයයි. කිසල් මේ පටලවා තියෙන්නේ කවර නූල් බෝලයක් දැයි පළිඟු ට සිතා ගන්නට වුව බැරි තරමි. මෝඩියක් වාගේ මේ කර ගත්තේ කුමක් දැයි යුවතිය තමන්ට ම දොස් කීවා ය. දැන් ආපසු හැරෙන්නේ කොහොම ද? කෙසේ හෝ එය කරන්නට වුව කිසල් ඉඩ දෙන්නේ නැත.
පළිඟු ගේ වත භීතියෙන් හැකිළී යනු දුටු අක්ෂි තුළ ඇති වූයේ නො ඉවසිලිමත් සතුටකි.
“ඔයාට කියන්න ඕන වුණ දේ කියල ඉවරද…දැං එහෙනං මං යන්නද…”
හිත හයිය කර ගෙන පළිඟු කතා කළා ය. ඇය වූ කලී නහය ළඟට වතුර පැමිණියත් ලෙහෙසියෙන් අත්හරින කෙනෙක් නොවේ. කොහොමටත් ගිලෙනවාට වඩා පිහිනන එක පහසු බව ඇය විශ්වාස කළා ය.
උතුම් උදෙන් ම කිසල් ගේ කනේ කේළම තැබුවේ ය. විවේක වෙලාවේ දී පළිඟු මුණ ගැහෙන තෙක් කිසල් බලා සිටියේ විසිර යන සිතිවිලි වලිනි. පළිඟු ලා වාගේ අක්ෂි ලා අහිංසක නොවන වග දැන් ඔහු වටහා ගෙන හිඳී. අක්ෂි පළිඟු ව රවටා ඇගේ ඔළුවට මොනවා දමන්නට ඇති ද යන නො සන්සුන් කම, හිත එකලස් කර ගෙන දේශනයට සවන් දෙන්නටවත් කිසල් ට ඉඩ නො දෙන ලදී.
“මොකද්ද වුණේ…මොනාද අක්ෂි කිව්වෙ…”
වෙනදා වාගේ පළිඟු එන තෙක් භෝජනාගාරයට නොයා, එදා කිසල් ඇගේ දේශන ශාලාව ළඟ රැඳී උන්නේ ය. පළිඟු බිම බැලුවා ය.
“මුකුත් නෑ”
ඒ හඬ ඒ තරම් අවිහිංසක වූයේ කොහොමද? පළිඟු කියන්නේ සාමාන්‍යයෙන් අහිංසක යුවතියක නොවේ. පාසලේදීත් ඈ සිය පන්තියේ දඩබ්බර ම කල්ලියේ නායකත්වයට නිතරඟයෙන් ම පත් ව සිටියා ය.ඕනෑම අමන වැඩක් කළේ ඇයයි. එහෙවු ඇය පිරිමියෙකු ඉදිරියේ මේ විදිහට සියුමැලි වේ යයි ඇයට ම වුව සිතිය නො හැකි ය.
“මුකුත් නැති වෙන්න බෑ”
කිසල් සැර කළේ ය. ඔහු එහෙම සැර වෙන කොට තව තවත් අහිංසක වෙන්නට හිතෙන හිත මේ මොහොතේ ම මට්ටු කරන්නට ඇය ට ඕනෑ විය.
“මුකුත් නැති නිසා තමයි මුකුත් නෑ කිව්වෙ”
කැත්තට පොල්ල සේ ඇය නැගී සිටියා ය. කිසල් මොහොතකට නෙතු පියා සුරතේ ඇඟිලි වලින් හිස කේ පිටුපසට ඇද ගත්තේ ය. පළිඟු ට සතුටක් දැනිණ. හිත තබා ගත යුත්තේ මේ විදිහට ය. ඔහු ළඟ හැසිරිය යුත්තේත් මේ විදිහට ය. කවුරුන් හෝ අසලක ඇති විට පමණක් ඒ රඟපෑම කිරීම ප්‍රමාණවත් ය.
“දැං ඔයා කියන්නෙ අක්ෂි මුකුත් ම කිව්වෙ නෑ කියලද…එතකොට එහෙනං ඔය දෙන්න කතා කර කර හිටියෙ නැද්ද…”
“කතා කළා තමයි. ඒත් ඉතිං අපි කතා කරන හැම දේම මං ඔයාට කියන්න ඕනයි කියල එකක් ඇග්රිමන්ට් එකේ නෑනෙ. අපි ලවර්ස්ල වගේ ඇක්ට් කරන්න විතරනෙ මං බැඳිල ඉන්නෙ”
“තියන උද්දච්චකම නං…”
කිසල් එහෙම සිතුවා මිස කීවා නොවේ.
එදා කෑම කත්දී වෙනදා නැති බරක් පළිඟු ගේ සිතේ විය. කිසල් කටකට දෙකකට වඩා නොකා නැගිටින්නට ගියේ ය. ඒ වෙලාවේ නම් පළිඟු ට බලා සිටිය නො හැකි විය.
“ඔයා කෑවෙ නෑනෙ කිසල්”
“ඇති”
“මාත් එක්ක තරහට බඩගින්නෙ ඉන්න එපා ඉතිං”
නැගිටින්නට ගිය ඔහු ට නොසිතා ම යළි පුටුවේ ඉන්දවිණ.
“මට කාත් එක්කවත් තරහකුත් නෑ…බඩගින්නකුත් නෑ”
ඊළඟට ඇති වූයේ හදවත වඩාත් සසලවන නිහඬතාවයකි. මේ මොහොත තුළ තමන් මෙතනට නුසුදුසු කෙනෙක් වග උතුම් වහා අවබෝධ කර ගත්තේ ය. ඔහු ලොකු බත් පිඬක් මුවෙහි ඔබා ගනිමින් නැගී සිටියේ ය.
“මට ඇති”
පළිඟු සුසුමක් හෙළුවා ය.
“මොරින් මැඩම් ඔයාගෙ අම්මද…”
කිසල් තිගැස්සී යුවතිය දෙස බැලුවා ය. ඔහු නොකා ඉන්නට හදන්නේ අක්ෂි කී දේවල් නො කියන නිසා නම්, අලුතෙන් දැනගත් මේ කාරණය හෝ පවසන්නට පළිඟු ඉක්මන් තීරණයකට ආවා ය.
“හ්ම්”
මේ බව පළිඟු ට නො කියන ලෙස කිසල් උතුම් ගෙන් පවා ඉල්ලා සිටියේ ඇය දැන් ම මේ ගැන පීඩනයට පත් නො විය යුතු යයි සිතු නිසාවෙනි. නමුත් අක්ෂි ඒ රහස හෙළිදරවු කොට තිබේ.
“ඒ මොනා වුණත්…ආයෙ අක්ෂිව ළඟට ගන්න ඔයාට ඕන නිසා…ඒක සිද්ද වෙනකල් මං ඔයාට මේ උදව්ව කරනව”
මුළු ආත්මය ම රිදුම් දෙනවා පළිඟු ට දැනිණ. නමුත් ඕ රිදුම යටපත් කර ගෙන කතා කළා ය.
“මට තේරෙනව…ඔයා එයාට ගොඩක් ආදරෙයි”
කිසල් පළිඟු වෙත හෙළුවේ නො රිස්සුම් බැල්මකි. තමා අතින් වැරදි යමක් කියවිණි දැයි ඇය තැති ගත්තා ය.