හසරැලි වැස්සේ -56

“අපි ආදරේ අය අපිට ආදරේ නෑ.අපි ආදරේ අය අපිට ආදරේ නෑ..”

ඒ ජනප්‍රිය වාක්‍යය ඛණ්ඩය මට සිහි විණ.සිදුව ඇත්තේ එයයි.මම දෙනෙත්ට උමතුවෙන් ප්‍රේම කරද්දී සචිර අයියා මට ආදරය කරමින් හිඳියි.ඒ ආදරය අයියාගේ ආදරයට සමාන කර නොසිතුවානම් මේ වෙද්දී ලෝකයේ හිඳින සතුටුම යුවතිය මා වන්නට තිබිණ.

“අම්මට සනීප වෙයිද?”

ඒ පණිවිඩය වට්ස් ඇප් හරහා සචිර අයියාට යවන්නට මට සිතෙන්නට ඇත්තේ ඔහු මා ගැන තදින් සිතමින් හිඳින නිසා විය යුතු ය.

“අම්මාට තියෙන්නේ පොඩි අසනීපයක්.ඒත් අම්මා පොඩ්ඩක් අසනීප වුණත් අපිට ඒක වේදනාවක්නෙ.ඒ නිසා ඔයාට බයයි තමා සූකිරි.ඒ වුණාට අම්ම ඉන්නේ අසනීපෙන් නෙවෙයි.එයාට ඕන පොඩි රෙස්ට් එකක්.හැමදෙයක්ම හොඳට වෙන පවුලක එයාට මොනතරම් සැනසිල්ලේ ඉන්න පුලුවන්ද? නේද?”

ඔහු මගේ හිත හැදුවේ ඉතා ළයාදරයෙනි.උසස්පෙළ පන්තියේ පළමු වාර විභාගයට ලකුණු අඩු වී හොස්ස බිම ගෑවෙන තරමට එල්ලා සිටි හසරැලිට “ඔහොම වුණොත් නම් අනිවාර්යයෙන් ෆේල් වෙනව” කීවේ දෙනෙත් ය.ඔහු අසීරුම මොහොතක පවා පොල්ලෙන් ගහන්නාක් වැනි උත්තර ලබා දුන් මිනිසෙකි.

“දෙන්නව කම්පෙයා කරන එක නවත්තන්න හසරැලි.ඔයා ඉස්සරලම ඇත්තටම ඔයාට ඕනෑ කවුද කියලා තීරණය කරන්න..”

මගේ හිත මට අණ කරන්නට පටන් ගත්තේ ය.මා මේ සසැඳීම නවතන්නට උවමනා ය.නමුත් සැබෑවටම එයට ඉඩ නොලැබෙන්නේ දෙනෙත්ගෙනි.

“සුබ පැතුම්! ඔයත් සාමාන්‍ය කෙල්ලෙක් විතරයි කියල මම දැන ගත්තා..”

දෙනෙත් බෝම්බාකාර පණිවිඩයක් එවා තිබිණ.ඒ කුමන මිසයිලයකදැයි මම සිතද්දී ඔහුම එහි තේරුම එවූයේ ය.

“ඔයා සචිරට කැමති වෙලා නේද අන්තිමට.හොඳ පවුලක්.හොඳ ගෙයක්,වාහනයක්,ලස්සන කොල්ලෙක්.. ඕක තමයි ඕන කෙල්ලෙකුගෙ අන්තිම තීරණය.”

මා සචිර අයියාට කැමැත්තකින් පසුවන බව මගේ අයියා,නිර්මාණි අක්කා,මගේ මෝඩ මිතුරියන් දෙදෙනා හෝ ඕනෑම කෙනෙක් ඔවුන්ට පැවසුවාට මට කමක් නැත.නමුත් ඒ තීරණය ප්‍රශ්න කරන්නට ඔහුට අයිතියක් නොවේ.

“උපේක්ෂා අක්කා ඉන්නේ. අන්න එයා ලස්සන කොල්ලෙක් එක්ක මම ෂොප් එකකදි දැක්කා.”

අයියාව හැර ගිය පෙම්වතියක ගැන ඔහුට කියා කුරිරු සතුටක් ලබන්නට සිතමින් එසේ කී දවසක් මම සිහි කළෙමි.අයියා ඉන් කෝප නොගත් අතර සැනසිලිදායක මඳහසක් තොල් මතට අර ගත්තේ ය.

“ඒ ළමයත් සතුටින් ඉන්න ඕනනෙ.මොකද වෙන්නෙ?”

ඒ මගේ අයියා ය.මේ දෙනෙත් ය.ඔහු සිතන්නේ මා ඔහුට ආදරය කරමින් ඔහු වෙනුවෙන් කැප විය යුතු බව ද? ඔහු මට ආදරය නොකළ ද මා ඔහුට ආදරය කරමින් ඔහු මත්තේ ජීවත් විය යුතු බව ද? ඒවා අසන්නට ඔහුට යුතුකමක් තබා කිසිම අයිතියක්වත් නැති බව කියන්නට සිතුණ ද මම නිහඬ වීමි.නමුත් දෙනෙත් නොනවත්වාම මට පණිවිඩ එවමින් සිටියේ ය.

“ඔයාට කැමැත්තෙන් ඉන්නේ සචිර කියල මම දන්නව.ඒකනෙ මං ඔයාගේ ආදරේ පිළි නොගත්තෙ.කෙල්ලන්ට වඩා මට යාලුකම වටිනවා.මං ඔයාට ආදරේ නොකළේ ඒකයි.ඒ වුණාට සචිරට ඒක තේරුණේ නෑ.ඒකයි අපේ වෙනස..”

මම මේවායින් කෝප ගත යුතු නොවන බව දනිමි.ඔහු සිටින්නේ කුමන ආවේගයකින්දැයි මට නොතේරේ.මා ඔහුගේ පසුපස එනතුරු ඔහු බලා හිඳින්නට ඇත.එහෙත් ආදරය කියන්නේ යාදින්නක් නොවන බව මේ තරුණයා තේරුම් ගත යුතු නොවේද? ආදරය අයදිමින් යුවතියකට ඔහු පසුපස වැටෙන්නට ඉඩ හැර ඔහු ලබන සතුට කුමක්දැයි මම සිතීමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles