වහ වහා සිදු කළ වෛද්‍ය ප්‍රතිකර්ම නිසා කිසල් ට සුවයක් දැනෙමින් තිබුණේ ය. නමුත් ඒ වෙලාවේ බඩ පපුව දවාගෙන ආ වේදනාවේ පමණ අමතක කරන්නට කිසි දා ඔහු ට නො හැකි වනු ඇත. එක අතකට ඒ ඔහු විහින් ම ඇති කර ගත් තත්වයකි. පළිඟු එක්ක, උතුම් හේතු කොට ගෙන ඇති වූ බහින් බස් වීම නිසා ඔහු කෑම නොකා හිටියේ තමන් ගෙන් ම පළි ගන්නට මෙනි. ඒ පළි දැරීම සම්පූණ වෙත්දී ඒ තරම් පීඩාවක් උහුලා දරා ගන්නට සිදු වෙතැයි කිසල් නිකමට හෝ හිතා තිබුණේ නැත. මේ බව නො දැන පළිඟු ඔහු ගේ රෝගය ගැන කියවූවා ය.
“ඒකනෙ මං නිතරම කිව්වෙ. ඔයා පිටි කෑම කනව වැඩියි. ඒ මදිවට බොට්ල් ඩ්‍රිංක්ස්. ගෑස්ට්‍රයිටිස් ඇවිත් නතර වෙන්නෑ. දැම්ම ඕව නතර නොකළොත්”
“ලෙඩෙක් බලන්න ඇවිත් බණිනවද අප්ප ඔහොම…”
කිසල් ඇස් දෙක තද කොට පියා ගත්තේ ය.
“බණිනව නෙවෙයි. හොඳ නෑ කියල කියන්නෙ. මදැයි ඔයිං ගියා”
“කවුරු නිසා ජීවත් වෙන්න කියලද…”
“ඔය කිව්වෙ කතාවක්. දාල ගිය කෙල්ලෙක් නිසා නාස්ති වෙන්න හදනව”
පළිඟු ඒ දෙවන වැකිය කීවේ කිසල් ට නෑසෙන සේ හෙමිහිට ය. නමුත් ඔහු ට ඒ ඇසිණි. නමුත් වෙනදා සේ, සිය පෞද්ගලිකත්වයට ඇඟිලි ගසන්නට එනවා කියා ඔහු යුවතිය හා උදහස් වූයේ නැත.
“ජීවත් වෙන්න ඕනෙ තමුං වෙනුවෙං. තමං නිසා දුක් වින්ද දෙමව්පියො වෙනුවෙන්”
පළිඟු මුදු හඬින් කීවා ය.
“මීට පස්සෙනං ඔය ජරාවල් කන්න බොන්න ලෑස්ති වෙන්න එපා. ඇග්රිමන්ට් එක ඉවර වෙනකල් මටත් අයිතියක් තියෙනවනෙ. බොරුවට හරි මංනෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්”
ඇය ඒ කී තාලයට කිසල් ට සිනා ගියේ ය. පළිඟු මොහොතකට ඒ සිනහව තුළ අතරමං වූවා ය. ඔහු වූ කලී ලෙහෙසියෙන් ඒ සිනහව පිටතට දමන කෙනෙක් නොවේ.
“ඇයි…”
“ඇයි….”
“ඔහොම බලං ඉන්නෙ….”
“නෑ…නිකං…”
පළිඟු බිම බැලුවා ය. වෙන කිසි දාක ඔහු ළඟ දී දැනී නැති විදිහේ ලජ්ජාවක් ඇය යට කර ගත්තේ ය. ඈ යළි හිස නගා බලන නිමේෂයට කිසල් නළල දෙපස තද කර ගෙන සිටියේ ය.
“ඇයි…ඔයාට ආයෙ අමාරුයිද කිසල්…”
“ඔළුව රිදෙනව”
“නර්ස් කෙනෙක්ට කතා කරන්නද…”
“එපා. ඔළුව ටිකක් අතගාන්න”
ඔහු හිටියේ ඇස් පියාගෙන ය. පිටතට පෙන්වනවාටත් වඩා අපහසුතාවක් ඔහු අත් විඳිනවා ඇතැයි පළිඟු ට සිතිණ. පුටුව ඔහු ගේ ඉහ ඉද්දර ට ගත් පළිඟු හෙමිහිට කිසල් ගේ හිස පිරිමැද්දා ය. ඔහු පොඩි දරුවෙකු සේ සනීපයට ඇස් පියා ගෙන ම සිටියේ ය.
දොරට තට්ටුවක් දමමින් ම උතුම් දොර හරිත්දී ත් පළිඟු හිටියේ කිසල් ගේ හිස පිරිමදිමිනි.
“ඕකනෙ කියන්නෙ…අපිට පේන්නනෙ මරාගන්න හදන්නෙ”
උතුම් විහිළුවක් කළේ ය.
“මේ…මං දැක්ක අංකල් වර්ෂා එක්ක හොස්පිට්ල් එක ඇතුළට එනව. අපි යන එක හොඳ නැද්ද…”
“යන්න”
නෙතු නගා පළිඟු දෙස බැලූ කිසල් කීවේ ය. පළිඟු ඔහු ගේ හිස පිරිමදිමින් ම කතා කළා ය.
“පරිස්සමට ඉන්න එහෙනං. මං ගිහිං කෝල් එකක් දෙන්නං”
තමන් ඔහු ගේ පෙම්වතිය ලෙස රඟපානවා පමණක් බවත්, එය ගනු දෙනුවක් පමණක් බවත් ඒ මොහොතේ ඇයට සිතුණේ ම නැත. කළබලයෙන් පිටතට ආවාට මොකක්දෝ අඩුවක් පළිඟු ට දැනෙමින් තිබිණ. හරියට ඇගේ සිත එතැන, ඔහු ළඟ අත්හැරී ආවා මෙනි.
වත්සලා ට පළිඟු ළසොවින් හිඳින බව දැනිණ. රෑ බෝ වන තුරුත් අඹ ගහ යට බංකුවට වී සිටින යුවතියට වෙනදා සේ පිනි නොබා ගෙට එන්නයි කෑ නො ගසා, වත්සලා තමන් ගේ වැඩක් බලා ගත්තා ය.
හඬන්නට තරම් දුකක් දැනෙන්නේ ඇයි දැයි පළිඟු නොදත්තා ය.මේ වාගේ හැඟීම්බර වෙන්නට ඇගේ සිත දැන සිටියේ නැත. පළිඟු ජීවත් වූයේ දඟකාර කටකාර කෙල්ලක ලෙස මිස සංවේදී හැඟුම්බර ගැහැනු ළමයෙකු ලෙස නොවේ.
බොහෝ වෙලා හිතීමෙන් පස්සේ ඈ කිසල් ට ඇමතුමක් ගත්තා ය.
“දැන්ද ඔය ගෙදර ගියේ…මෙහෙං ගිහිං කොච්චර වෙලාද…කොහෙද ගියෙ…”
කිසල් ඇඟට කඩන් පැන්නේ ය.
“දැන් නෙවෙයි. ගොඩක් වෙලා ඇවිත්”
“එහෙනං කෝල් කළෙ නැත්තෙ…”
“මං හිතුවෙ ඔයාගෙ තාත්තල තාම ඇති කියලනෙ”
ඇය කතා කළේ බයාදු හඬිනි. මේ තරම් ඔහු ළඟ බැගෑපත් වෙන්නට ඇති කාරණා ඇය නො දනී. නමුත් කිසල් මෙවන් අයිතිවාසිකමකින් සැර කරනවාට ඇගේ හදවතෙහි වන්නේ රහසිගත ආශාවකි. ඒ සැර වැර කිරීම් ළඟ මේ විදිහට යටත් වී හිඳිනට දැන් දැන් ඇගේ හිතේ මෝදු වී ගෙන එන්නේ, මෙතෙක් ඈ හඳුනාගෙන නො සිටි ආශාවකි.
“තාම ඔළුව කැක්කුම තියෙනවද…”
“හ්ම්”
“කියල පේන් කිලර්ස්වත් ඉල්ලගන්න”
“හ්ම්”
මුළු රෑ පුරා ම ඔහු ගේ හිස පිරිමදිමින් ඉන්නට තිබුණානම් කිසිදු මැසිවිලි නැගීමකින් තොර ව එය කරන්නට පළිඟු ට හැකි ය. මේ හදිසියේ හදවත දෝරෙ ගලමින් පිටාර යන මේ හැඟුමන් වල අගක් මුලක් හොයා ගන්නට හෝ යුවතිය අපොහොසත් ව සිටියා ය.
“මං හෙට උදේට එන්නද…”
පළිඟු කතා කළේ උගුර යටින්, අමාරුවෙනි.
“කොහෙද..”
“ඔයා බලන්න…”
“ඕන්නෑ”
බලාපොරොත්තු සහගත හිත දෙපා පා මුල ම බිඳී විසිරී ගියා සේ පළිඟු ට දැනිණ. ඇයි දෝ මන්දා ඇගේ උගුර හඬන්නට සූදානමින්, රිදෙමින් තිබිණ. ඔහු පතා ඉන්නේ ඔහු බලන්නට අක්ෂි එනතුරු විය යුතු ය. පළිඟු කියන්නේ ඔහු ගේ ජීවිතය ට එකඟතා ගිවිසුමක් මිස වෙනකක් නොවේ.
“හෙලෝ…”
පළිඟු ගේ පැත්තේ ඇති වූ දිගු නිහැඬියාව නිසා ම, දුරකතන සම්බන්ධය බිඳ වැටී ද කියා කිසල් ට සිතිණ.
“හෙ…ලොව්…”
පළිඟු ගේ වචන බිඳී ගියේ ය.
“එහෙනං…මං…තියන්නං…”
ඔහු ගේ අවසර ලැබෙන්නටත් පෙර ඇය දුරකතන සම්බන්ධය බිඳ දමා ඉවර ය. එතෙක් හිර වී උන් කඳුළ ඉහිරිණ. බංකුවට හිස බර කර ගෙන, ඇස් තද කොට පියාන ඕ ඇති වෙන තුරු හැඬුවා ය. සිත කිසල් ට පෙම් කරන්නට පටන් ගෙන ඇති බව මේ මෙහොතේ ඇය පිළිගත්තා ය. ප්‍රේමය ගෙන එන්නේ ම කඳුළු හා අපමණ සිත් වේදනාවන් ය!
පළිඟු ආදරයෙන් සැඟවෙන්නට උත්සාහ කළේත් එබැවිනි. සිය යෙහෙළියන් ගේ පෙම් හබ ගැන ඇය දැන සිටියා ය. ඒවා නිසා වරින් වර ඔවුන් ට විඳ ගන්නට සිදු වූ ගින්දර වල රස්නය ඇගේ පපුවට වැදී තිබිණි. ඒ ගින්දරෙන් පිච්චෙන්නට ඇයට නො හැකි බව පළිඟු තේරුම් ගෙන සිටියා ය. කිසිදු පිරිමි ළමයෙකු මිත්‍රත්වයට එහා ගිය හැඟීමකින් ජීවිතයට ලං කර නො ගන්නට ඕ ප්‍රවේසම් සහගත වූයේ එබැවිනි.
කිසල් පැමිණියේ ප්‍රේමයේ දීප්තියක් ඇස් වල තවරා ගෙන නොවේ. බයක් නැතිව ඈ ඔහු ට ලං වූයේ එබැවිනි. නමුත් ඇයත් නො දැනී ම හිත ඔහු ගැන වද වෙන්නට පටන් ගෙන තියේ.
ඒ බංකුවෙන් නැගිට ගත්තේ වෙනදා සිටි පළිඟු නොවන බව ඇය දැන සිටියා ය. දැන් මේ ඉන්නේ ඒක පාර්ශ්වික ප්‍රේමයකින් හදවත පුරවා ගත් නන්නාඳුනන්නියකි. පළිඟු ගේ දෙතොල් මඳ සිනහවකට ඇද විය. ඒ නන්නාඳුනන්නිය ට මුළු හදවත අරක් ගන්නට දැන් ඈ ඉඩ දී ඉවර ය. ඒක පාර්ශ්වික ප්‍රේමයක් කියන්නේ සම්මත ආදරයකටත් වඩා රිදුමකි. එය ඇරඹෙන්නේ ම කඳුළකිනි. කිසල් කියන්නේ කිසි සේත් ඇයට පෙම් කරන යෞවනයෙක් නොවේ. ඔහු වූ කලී අතැර ගිය පෙම්වතියට රිදෙන්නට ව්‍යාජ ප්‍රේමයක වෙලී, ඇය යළි ඔහු වෙත එන තෙක් මග බලන පෙම්වතෙකි. ඔහු ගේ මුළු හදවත අක්ෂි වෙනුවෙන් වෙන් වී ඇති බව පළිඟු ට නොතේරෙනවා නොවේ. ඒ නිසා ඇය ගින්නට පැන්නේ මුළුමනින් දැවී පිච්චෙන වග සහතිකව ම දැනගෙන ය.
ඊළඟ උදයේ කැඩපතින් සිය මුහුණ දුටු පළිඟු තිගැස්සී ගියා ය. ඇගේ ඇස් වල ආදරයේ දිස්නය විය!
දැන් ඉතින් කිසිවකට හෝ කිසිවෙකු ට ඒ ආදරය උදුරා ගත නො හැකි ය. ඕනෑ ම අභියෝගයකට ශක්තිමත් ව මූණ දෙන්නට හැකි බවක් ඒ ඇස් වල ලියැවී තිබිණ. ආදරය විසින් ඇය ට ජීවිතයේ වැදගත් ම හා වටිනා ම පාඩම උගන්වා තිබිණි.
විශ්ව විද්‍යාලයට නොව ඈ කෙපින් ම ගියේ රෝහලට ය. කිසල් මළානික ව යහන මත වැතිර සිටියේ ය.
“අපරාදෙනෙ ඔයා ආවෙ. නිකං බොරුවට කරදර වෙන්න”
ඒ මළානික බවින් ම ඔහු කීවේ ය. පළිඟු ට ඒ කතා වල වගක් නො විණි. ඈ ඔහු ට ආදරය කරමින් සිටියා ය!
“කමු. මං කිරිබත් ටිකක් හදං ආව”
“ඉඳිආප්ප කෑව. දැං කන්න බෑ”
“ගෑස් අඩු වෙන්නනං බත් ම කන්න ඕනෙ. ටික දවසක් තෙල් මිරිස් අඩුවෙං කමු. ලෙඩ හදං විඳවන්න ඕන නෑනෙ”
පළිඟු කිසල් ගේ අවසරයකින් තොරව ම කිරිබත් ස්වල්පයක් අනා ඔහු ගේ මුවෙහි තැබුවා ය. කන්නට බෑ කීවාට ඊට පස්සේ බල කළ යුතු වූවේ නැත. ඔහු බඩ පිරෙන්නට කෑවේ ය.
“දැං ලෙක්චර්ස් මිස් වෙනවනෙ”
යුවතිය මන්දස්මිතයක් නගා ගත්තා ය.
“ඒක ලොකු පාඩුවක් වෙන්නෑ”
“අද ගෙදර යන්න පුළුවන් වෙයි”
“උතුම් අයියගෙං නෝට්ස් ඉල්ලල මං ෆොටෝ කොපි ගහල තියන්නං. දවල්ට කෑම ටික ඔක්කොම කන්න හොඳේ. ඩිස්චාජ් කරල නොතිබුණොත් මං හවසට එන්නං”
“ඔයා කරදර වෙන්නෙපා”
“කරදරයක් නෑ”
ඔහු ගේ ඉල්ලීමකින් තොරව ම පළිඟු ඕඩිකොලෝන් දමා කිසල් ගේ හිස අතගෑවා ය. ඇඳ ඇතිරිලි නවා, කුටිය අස් පස් කොට දමා නික්මුණා ය. ඇගේ හදවත විස්තර කළ නො හැකි මහත් සතුටකින් පිරී පැවතිණ.
ආදරය පෙරලා ලැබෙත්දී ආදරය කරන්නට ඕනෑ ම කෙනෙකුට පුළුවන. අසීරු, ආදරය නො ලැබෙන බව දැන දැන ආදරය කිරීමයි. නමුත් අසීරු දේ කිරීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය ඉහළ ය. පළිඟු ද ඒ අසීරු දේ කිරීම තුළින් ලද හැකි ප්‍රීතිය නො මඳ ව හදවත පුරා විඳ ගනිමින් සිටියා ය.