සුළං සීනු -26

ජීවිතයේ අපට මුණ ගැසෙන මිනිසුන් ඇසුරු කරන්නට පෙර ඔවුන් ගැන හරිහැටි තේරුම් ගැනීමේ හැකියාවක් අපට නැත.නිසල්ට සමීප වීම ගැන මට වේදනාවටත් වඩා මා කෙරෙහි අපුලක් දැනෙමින් තිබිණ.මා ආදරයක පැටලුණේ ඉතා ළාබාල කෙල්ලක කාලයේ ය. වචනකිනුදු හිත නොරිදන ප්‍රේමයක් මා සතු විය. දේවකටත් මටත් තිබුණේ එක්ව වැඩුණු අතීතයකි.එකිනෙකා නිවැරදි කරගනිමින් පාඩම් උගනමින් අපි ජීවිතය දිග ඇවිද ආවෙමු. ඒ අත්වැල ලිහී ගිය දා මා පියවි සිහියට දුර තැනැත්තියක වීමේ අරුමයක් නැත.

“කසාද බඳින්න කියල වයසක් නෑනෙ නංගි. අක්කා බැඳලා නැතුව නංගි බඳින එක වැරදී කියලා දේකුත් නෑ. ඔය නිලියෝ බලන්නකො.නංගිගේ දෙවෙනි මනමාලිත් වෙන්නෙ අක්කලා.ලොක්කිට හිත හදා ගන්න කාලයක් දෙන්න..දේවක සම්බන්දෙ අත් ඇරියා නෙවෙයිනෙ. ජීවිතේ අත් ඇරියා.කෙල්ලට දරා ගන්න පුලුවන් සීමාවක් තියනවනෙ..”

අම්මා මට විවාහයට බල කරද්දී ලොකු අම්මා මගේ පිහිටට ආවා ය. විදුහල්පතිනියක වූ ඈ ජීවිතය දෙස බැලුවේ වඩා පුළුල් ව ය. මා හඬමින්,සිහිනයෙන් ඇවිදිමින්, නොකා නොබී හිඳිද්දී කසාද වෙනුවට කළ යුතු වන්නේ මනෝ වෛද්‍යවරයෙක් වෙත මා යොමු කිරීම වග කීවේ ද ලොකු අම්මා ය.

“දේවක මැරුණා කියලා පිස්සු හැදෙන්න මෙයා දේවකව බැඳල හිටියද.. කසාදෙට ඔක්කොම ලෑස්ති වෙලා තියෙද්දී වෙච්ච දේවල් මදිවට පිස්සු කියල බේතුත් ගන්න ගියාම හොඳට තියෙයි..”

අම්මා එයට දැඩිව විරුද්ධ වූවා ය.කුමක්දෝ නම්බුව බේරා ගැනීමේ උවමනාවකින් උමතු වී සිටි ඇය හැසිරුණේ ඒකාධිපතිනියකගේ වෙස් ගෙන ය. මා “හිත හදා ගන්නට” කල් ඉල්ලද්දී ඈ මැතිරුවේ එකම මන්තරයකි.

“ඔය සේරම ලෙඩ ඉවරයි හොඳ කෙනෙක්ව බැන්දම..”

මා පෙළන්නේ සහකාරයා අහිමි වූ වේදනාව නොව ප්‍රාණය සම වූ දේවක නැති වේදනාවෙන් බව අම්මා පිළි ගත්තේ ම නැත. එතැන් පටන් මා ජීවත් වූයේ ක්‍රෝධයෙනි.දේවකගේ තැනට මගේ කැමැත්තෙන් තොරවම පත් ව ආ සංකල්පට හැකි සෑම ලෙසකින්ම නපුරුකම් කරන්නට මට ඕනෑ විය.

කියවන්න :  සුළං සීනු - 16

“ඔයාගේ ඇස් දෙකේ දරන්න බැරි වේදනාවක් තියෙනකොට මට ඒකට හේතු හොයන්න ඕන උනා.ඇත්තටම අම්මලා මට දේවක ගැන කිව්වෙත් නෑනෙ.. ලොකු අම්මම තමයි මට ඒ ගැන කීවේ. මට ඊට පස්සෙ තමයි ඔයාව ඕන උනේ..”

දේවකගේ නික්ම යාමේ සිට නිසල්ගේ ආගමනය දක්වාම කතාවට සංකල්ප සවන් දුන්නේ සන්සුන් ව ය.ඔහු මොනතරම් තේරුම් ගැනීමක් ඇති මිනිසෙක්දැයි මා සිතුවේ සැනසීමෙනි.

“ළඟම කෙනෙක් නැති වුණාම අපි ඒකට රියැක්ට් කරන හැටි විවිධයි පවී. හිත හදා ගන්න ඇත්තටම කාලයක් ඕන.මමයි චාරුයි සෙපරේට් වුනේ කතාබහ කරලා. ඒත් හිත් හදා ගන්න අපටත් කාලයක් ගියා. මං චාරුට ආදරේ කළා කියන එක මට අමතකම කරන්න පුලුවන්.මං එහෙම කරන්නත් ඕන.. ඒත් ඔයාට දේවකව හිතෙන් අතාරින්න කියන එක අසාධාරණ ඉල්ලීමක් කියල මං දන්නවා..”

සංකල්ප මගේ හිස පිරිමදිමින් කියාගෙන ගියේ බොහෝ ආදරණීය ස්වරයකිනි. ඔහුත් මාත් කතාව අරඹා බොහෝ වෙලාවකි.සීනු පහත මාලයේ නීතාත් ටිමීත් සමඟ කිකිණි සිනා නඟන හඬ පසුබිම් සංගීතයක් සේ ඇසේ.ජීවිතය ගීතයක් වෙමින් පැවතීමේ ප්‍රීතිය මගේ හදවත ඇතුළාන්තයට දැනෙන්නේ සැනසීම කැටිව ය.

“ඇත්ත කතාව අම්මලා වැරදියි පවී. එයාලට ඔයාට ඩොක්ට කෙනෙක්ගෙ උදව් අරන් දෙන්න තිබ්බා.ඊට පස්සෙ හිත හදා ගත්තට පස්සෙ ප්‍රපෝසල් ගේන්න තිබ්බා.චාරුව අතාරින්න උණේ මට කොන්දක් නැති නිසා කියලයි මට තිස්සෙම හිතුණෙ..ඒ නිසාම මං ඔයාව බලා ගන්න හිතුවේ..”

බොහෝ කාලයක් තිස්සේ කියන්නට අමතකව ගිය නොකියා හිඳින්නට උත්සාහ කළ වාක්‍ය කිහිපයක් සංකල්පට කියන්නට මට ද ඕනෑ විය.

“සංක මට සමා වෙන්න. ඔයා ඩොක්ට කෙනෙක් ගාවට යං කිව්වමත් මං කරේ කෑගහ ගහ බැන්න එකනෙ. ඇත්තටම කිව්වොත් ඔයාගෙ ජීවිතේ හොඳම අවුරුදු කීපයක් මං නාස්ති කරල. ඒකට මට මටම සමාවක් දෙන්න බැරි වෙයි”

කියවන්න :  සුළං සීනු - 12

සීනුගේ චිත්‍ර නිදන කාමරය පුරා අලවන්නේ මා ය. “අම්මාත් තාත්තාත් බබාත්”හිඳින සිතුවමක ගැලවුණු තැනක් ප්‍රවේසමෙන් අලවන අතර සංකල්ප මදෙස බැලුවේ කාන්තිමත් සිනාවකිනි.

“සීනු වගේ හුරතල් ගුලියක් හදා ගත්තු අපි ජීවිතේ නාස්ති කර ගත්තේ නෑ පවී.. චුට්ටක් මඟෑරිලා විතරයි. සීනු මේ ගෙදර දාලා එයාගෙම ගෙයක් හදාගෙන යන දවසක් එයි.. ඒත් අපි දෙන්නාගෙ ගෙදර මේකනෙ. අපි ආයේ මුල ඉඳන් ආදරේ කරමු..”

මම සංකල්ප දෙස බලා හුන්නේ අපරිමිත ස්නේහයකිනි. දේවක මතකයෙන් නොමියෙන බව දනිමි. ඔහු මගේ සුන්දරම අතීතය ය. නමුත් වර්තමානය ද අනාගතය ද සීනුත් සංකල්පත් ය.

“නිසල්ට තමා තෑන්ක්ස් කරන්න ඕන.. මිනිහාගෙ දැල නොතිබ්බනම් තාම අපි ඈතයිනෙ..”

උස් හඬින් හිනැහෙන අතර සංකල්ප කීවේ ය.

” මිස් මිෂෙල් එයාගේ රිලේෂන්ශිප් එකට ඇත්තටම අවංක මනුස්සයෙක්..එයා කොහොමත් හොඳ කෙනෙක් නිසා නිසල් ඔය තඩි බොරුව මීට කලින් ඇද බෑවත් ප්‍රශ්නයක් නෑ. මිෂෙල් ප්‍රශ්නෙට ඉන්වෝල් වෙලා ඔයාට ඇත්ත තේරුම් කරයි..අන්න ඒ නිසා මට ඇත්තටම ඒ ගැන ප්‍රශ්නයක් නෑ. නිසල් ඔයා ගැන මට බොරුවක් කිව්වනම් ඒත් එච්චරයි.අනුන්ගෙ පවුල් ජීවිත දිහා පිටින් බලල හිස්තැන් අස්සෙන් රිංගන්න හදන ගොඩක් නරියෝ නොදන්න දෙයක් තියනව පවී.. ඒ තමන් හදන්න යන හිස්තැන් අස්සෙ තමන්ම හිරවෙනව කියල..”

වෙලාව රෑ අටේ කණිසමට ද ළඟා වෙමින් තිබිණ. අද සැබෑවටම සැමරිය යුතු දවසක් බව මම සිතීමි.

“අපි අද ටිකක්‍ රෑ වෙනකන් කතාවක් දාගන ඉමු සංක.. ඔක්කොටොම කලින් මං අර චූටි නෝනාව හෝදලා කවල නිදි කරවන්නං.. නැත්තං අපිට එළිවෙනකන් නර්සරි සින්දු අහන්න පුලුවං..”

මගේ දුරකථනය යළිත් නාද විය. ඒ ඉම හුන්නේ තිසුරි ය. මම සියල්ල අවසන් කරන්නට සිතා ඇමතුමට සම්බන්ධ වූයෙමි.

නමුත් කුණාටුව අවසන් ව තිබුණේ නැත.

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
Madhushika Vitharana
23 days ago

එක කොටසක් මග ඇරිලා වගේ..