ප්‍රිය සබඳ 

තාරුකාට  රැකියාවේ ලැබුණ උසස්වීම ගැන සහන් හිටියේ හරිම සතුටින්. ඒ උසස්වීම වෙනුවෙන් තාරුකා මොන තරම් මහන්සී වුනාද කියලා සහන් දන්නවා. ඒ නිසාම තාරුකා උසස්වීම අරගෙන ගෙදර එන දවසේ හවස සහන් වේලාසන ගෙදර ආවා. ඒ එන ගමන් ප්‍රසිද්ධ මල් වෙළඳ සැලකට ගිහින් ටියුලිප් මල් පොකුරක් මිලයට ගත්තා. කේක් එකකුයි, තාරුකා කන්නම ආස තව අරුමෝසම් කෑම වර්ග ටිකකුත් මිලයට ගත්තා. ඊට පස්සේ සුදු රත්තරන් වලින් හැඩ වුණ කුඩා මාලයකුත් මිලයට ගත්තා. 

තමන් පරක්කු වෙන නිසා කුලී රියක් වෙන් කරවාගෙන ගෙදර යන්න කියලා තාරුකාට පණිවිඩයක් තිව්වා. ඊට පස්සේ උඩුමහලේ බැල්කනිය සතුටු මුල්ලක් වෙන විදියට සැරසුවා. ඊට පස්සේ කෙටි කලිසමක් එක්ක කමිසයක් දාගෙන ඇඳේ පෙරළුණා. කොහොමටත් තාරුකා එන්න තව පැයක් වත් යන බව  සහන් දන්නවා. 

විනාඩි දහයක් විතට යනකොට සගන්ට ඇහුණා ගේට්ටුව ළඟ ත්‍රීරෝද රථයක් නවත්තන හඬ. තාරුකා ත්‍රීරෝද රථවල නොඑන බව දන්න නිසාම සහන් කුඩා ගේට්ටුව  විවෘත කරලා ආවේ  කවුද කියලා බැලුවේ කුතුහලෙන්. 

“හම්මෝ.. මෙන්න මෙයා ගෙදර .. අපි නංගීට කෝල් කරාම ඔයා අද පරක්කු වෙනවා කිව්වා නේ.. නංගී එන ගමන් කිව්වා…”

සහන්ගේ අක්කා කෑ ගහගෙන ගේට්ටුවෙන් ඇතුළු වුණා. අක්කගේ ස්වාමිපුරුෂයායි, දුවයි දෙන්නා  සහන්ට හිනාවීගෙනම බෑග් කිහිපයක් අත් දෙකේ එල්ලගෙන ගෙට ඇතුල් වුණා. සහන් ගේට්ටුව වහලා දොරෙන් ඇතුළු වෙනකොටමයි කැබ් එකක් ගේට්ටුව ළඟ නැවතුණේ. ඒ සද්දේට අක්කත් බලාගෙන හිටියා. ගේට්ටුවෙන් ඇතුළුවෙන තාරුකා දිහා සහන්ගේ අක්කා බලාගෙන හිටියේ ඇස් නළලේ තියාගෙන.

“බුදු අම්මෝ..  මේ අඩි දෙකට කැබ් එකක් දාගෙනද ? වියදම් නේ නංගී ඕවා…”

අක්කා මහ සද්දේට කියනකොට, අල්ලපු ගෙදර පෙරේරා ඇන්ටි උඩ තට්ටුවේ ඉඳන් බලාගෙන ඉන්නවා තාරුකා දැක්කා. ඒ නිසාම ඒකට පිළිතුරු නොදී හිනාවෙල කතාව ඉවර කරන්නයි තාරුකා උත්සාහ කලේ. ඒත් සහන්ගෙ අක්කා ආයෙම මහ හය්යෙන් කෑ ගැහුවා. 

“මල්ලි හම්බ කරාට, එව්වා සකසුරුවමින් පාවිච්චි කරන්නෝනි නංගී .. ඔන්න අපේ කල්පගෙන් අහන්නකෝ, මං වියදම් කරන හැටි…”

තාරුක කල්ප අය්යා දිහා බලද්දීම කල්ප තාරුකාව නොදැක්ක ගානට ඇතුලට ගියා. සහන්ගෙ අක්කගේ සමහර ගති පැවතුම් හින්දා වෙහෙසිලා ගෙදර එන සමහර දවස් වල කුසගින්නේම නිදාගන්න පවා වුණ දවස් කල්පට මතක් වුණා. 

අක්කා එතැනින් කතාව නවත්තලා ඇතුලට යනකොට, තාරුකා සහන්ට කිට්ටු වුණා.

“ඒයි.. පරක්කු වෙනවා කියලා කිව්වේ ? මං ඒ තකහනියේ ආවා..”

සහන් තොල පිට පෙරලලා නිහඬව ම තාරුකා ගේ කරටත් අතක් දගෙන ගෙදරට ඇතුළු වුනා. අඩි දෙක තුනක් යන්න වුණේ නෑ අක්කා උඩ තට්ටුවේ ඉඳන් පහලට දුවගෙන එනවා දැකල සහන් දැනගත්තා, හිත රිදෙන වචන කොයි පැත්තකට හරි විසි වෙන බව. 

“ඇත්ත කියනවා මල්ලී.. මොන නැට්ටිච්චියෙක් ද ගෙන්නගන්න බලන් හිටියේ ?”

දියණිය එතැන ඉන්න බව පවා අමතක කරලා සහන්ගේ අක්කා එහෙම කෑ ගැහුවා. තාරුකා ඒ දිහා බලාගෙන හිටියේ අගක් මුලක් නොතේරෙන ගානට. කල්ප තමන්ගේ බිරිඳව සන්සුන් කරගන්න උත්සාහ කලා. ඒත්  ඇයට ඒ ගැන වගක් තිබුණේ නැහැ.

“අක්කේ ?”

තාරුකා සහන්ව අතෑරලා අක්කා ළඟට ගියා. 

“අනේ මට සමාවෙන්න නංගී … අපේ මේ බූරුවා …”

අක්කා සහන්ට පාරවල් දෙක තුනක්ම ගහනකොටත් සහන් හිටියේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව.

“අන්න අර උඩ බැල්කනියේ, කේක් තියලා, මල් පොකුරු ගෙනල්ලා … මූ මේ වේලාසන එන්නේ නෑ කියලා බොරු කියලා නංගිට මොකියක් හරි ගෙන්නගෙන නාඩගම් නටනවා.. මං කියන්නම් ලොකු අය්යට උඹේ කෙරුවාව…”

අක්කා හය්යෙන් කෑ ගහනවා. වෙලා තියෙන්නේ මොකක්ද කියලා තාරුකාට තේරුණා. තාරුකා සහන්ගේ දිහාවට හාදුවක් පා කලා. අක්කට නොපෙනෙන්න. සහන් කලේ තාරුකාට ආදරණීය රැවුමක් පා කල එක.

“මට ලැජ්ජයි මූ ගැන…”

අක්කා කෑ ගහනවා. තාරුකා අක්කව සන්සුන් කරගෙඅ කුස්සියට එක්කන් ගියා. දියණිය බලු පැටියා එක්ක සෙල්ලමට වැටුණා. කල්ප සහන් එක්ක කතාවකට වැටුණා.

“ඔයාට ඔයාගේ මල්ලිව අවිශ්වාස කරන්න තියෙන හැම ඉඩකම ඔයා එහෙම කරනවා වුනත්, මං සහනව විශ්වාස කරන්න තියෙන හැම ඉඩක්ම විශ්වාස කරලයි අක්කේ අවිශ්වාස ට ඉඩ දෙන්නේ…සහන් කවදාවත් මගේ විශ්වාසය බිඳලා නැහැ… එයා අද ඔය මගේ ප්‍රොමෝශන් එක සමරන්න ලෑස්ති කරලා ඇත්තේ…”

තාරුකා තේ කෝප්පේ එක්කට දෙන ගමන එහෙම කිව්වා. අක්කා ලැජ්ජාවෙන් අහක බල ගත්තා. 

අනුන්ගේ ජීවිත වලට කඩා පහත් වෙලා නොදන්න කතන්දර ගොතන එකේ හානිය අක්කට වැටහුණා. තාරුකා සහන්ව විශ්වාස නොකරන විදියේ කෙනෙක් වුනා නම්, මේ සැකට කොයි තරමට ඔඩු දුවන්න පුලුවන් ද කියලා ආයෙම හිතුණා. මල්ලිගේ ජීවිතේ වෙනුවෙන් තමන් කරන්න ගිය හානිය  තාරුකා නිසා ක්ශය වුනාය සැනසීමෙන් අක්කා සුසුමක් හෙලුවා.

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles