පිට රටකදී පාස්පෝර්ට් එක නැතිවුණොත් මොකද කරන්නෙ?

ඔබ විදේශ සංචාරයක යෙදී සිටයදී හදිසියේවත් ඔබේ විදේශ ගමන් බලපත්‍රය නැතිවුවහොත් හෝ සොරාගැනීමකට ලක්වුවහොත් කලයුතතේ කුමක්ද කියා ඔබ නොදන්නවා නම් ඔබ පත්වන්නේ බලවත් අපහසුතාවකට.

විශේෂයෙන්ම ඔබ නැතිවූ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව අදාල බලධාරීන්හට දැනුම් නොදී සිටියදී එම විදේශ ගමන් බලපත්‍රය යම් කිසි අපරාධයක් සඳහා යොදාගෙන තිබුණහොත් ඔබට නෛතික ගැටලු රැසකට මුහුණපෑමට සිදුවේවි. ඒ නිසා මතක ඇතිව මෙම ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්න.

  1. ඔබේ විදේශ ගමන් බලපත්‍රය නැති වූයේ නම් වහාම ළඟම ඇති පොලීසියට පැමිණිලිකර, එහි පිටපතක් ලබාගන්න.
  2. ආගමනවිගමන දෙපාර්තමේන්තුවේ පැමිණිලි අයදුම්පත immigration.gov.lk වෙතින් බාගතකරගන්න.
  3. පොලිස් පැමිණිලි පිටපත සහ නිසි ලෙස සම්පූර්ණකල ආගමනවිගමන දෙපාර්තමේන්තුවේ පැමිණිලි අයදුම්පත ද ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයට හෝ ශ්‍රී ලංකා ජනරජය නියෝජනය කරන කොන්සල් කාර්යයාලයකට (Consulate) හෝ ශ්‍රී ලංකා ආගමනවිගමන දෙපාර්තමේන්තුවට (Department of Immigration and Emigration) භාරදෙන්න.
  4. ඔබ සිටින්නේ විදේශයක නම් ශ්‍රී ලංකා තානාපති/ කොන්සල් කාර්යයාලය විසින් අදාල විස්තර ලංකාවට එවා එම ඔබේ විදේශ ගමන් බලපත්‍රය අවලංගුකර ඒ වෙනුවට තාවකාලික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත්කරනු ඇත. හැකි ඉක්මනින් නම් නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගන්න. ඔබ ලංකාවේ සිටින්නේ නම් නව විදේශ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා ආගමනවිගමන දෙපාර්තමේන්තුව ඔබට නිකුත්කරනු ඇත.

නැතිවූ/සොරාගත් ලෙස වාර්තාවුණු විදේශ ගමන් බලපත්‍රයක් නැවත විදේහගතවීමට භාවිතා කලනොහැක. එම නැතිවූ/සොරාගත් ලෙස වාර්තාවුණු විදේශ ගමන් බලපත්‍රයේ විස්තර, අනාගතයේදී අවභාවිතාවීම වැළැක්වීම සඳහා ස්වයංක්‍රීයව ජ්‍යාත්‍යන්තර පොලීසිය (INTERPOL) හරහා ලොව පුරා අදාළ දෙපාර්තමේන්තුවලට ලාදෙයි.

ඔබට අන් අයෙකුගේ විදේශ ගමන් බලපත්‍රයක් හමුවුවහොත් නැතිවූ/සොරාගත් විදේශ ගමන් බලපත්‍ර ඒකකය, පස්වන මහළ, ආගමනවිගමන දෙපාර්තමේන්තුව, නො: 41, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව යන ලිපිනයට පැමිණ හෝ තැපෑලෙන් භාරදෙන්න. නැතිවූ/සොරාගත් විදේශ ගමන් බලපත්‍රයක් ළඟතබාගැනීම සහ භාවිතාකරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

විදේශ ගමන් බලපත්‍රය ඔබේ අනන්‍යතාවයි. ඒ පිළිබඳව නිතරම සැලකිලිමත්වන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles