ඔබට ඇහෙනවනම් – 9

0
1148

කුලාන් මා ළඟින් මෙහෙම හිඳියදී නො කෑවත් කුස ගිනි ඇති නො වෙන බව මම දැන සිටියෙමි. නමුත් ඒ බව මගෙන් ම ද සඟවා ගන්නට මට ඕනෑ වී තිබෙන්නට ඇත. කුලාන් ළඟ තනිව හිඳ බත් පත අත පත ගාමින් ද ඔහු ගේ සුවඳින් සුවඳවත් ව ද සිටියදී හදිසියේ ම ඒ සත්‍යය මා ඉදිරියේ පසක් වූවා සේ මට දැනිණ. අශිකා මෙතෙක් සැක කළේ කුලාන් ව ය. නමුත් ඔහු ගැන සිහිනයක පා වෙවී සිටින්නේ මගේ ම ස්ත්‍රී ආත්මය නොවේ ද?

ඔහු මගේ සිත දකිනු ඇත්දැයි බියකින් එසැනෙන් මහද ගැහී ගියේ ය. නමුත් එවැන්නක් කෙසේ වන්නදැයි ක්ෂණික ව මට සිහිපත් විණි. ඒ සිතිවිල්ල මගේ මුවට සිහින් සිනහවක් කැන්දන්නට ද හේතුවක් විය. සිතක් ඇතුළේ අපට ඕනෑ තරම් රහසිගත රාජ්‍යයන් තනා ගත හැකි ය. ඒවා තුළට වී ඉන්නටත් පුළුවන. සිතින් විතරක් මොහොතකට අප කැමති ලෝකයක සැරිසැරීමට අපට වන අයිතිය, අපේ ම අනවශ්‍ය භීතින් විසින් මලිනුපුටා දැමීමට උත්සාහ කිරීම නිසා අපි අපේ ම සිතෙහි සිරකරුවන් නො වන්නෙමු ද?

මේ ආගන්තුක සිතිවිල්ල තුළ මා අමුතු ප්‍රීතිමත් භාවයකට පත් වනු මට දැනිණි. මට මගේ විවාහක පුරුෂයා අහිමි විය. මගේ දරුවා අහිමි විය. නමුත් ස්ත්‍රියක වශයෙන් සතුටෙන් ජීවත් වීමේ අයිතියත් මවිසින් අහිමි කර ගත යුතු ද? එදා පැමිණි මනාලයාට අපේ පාර්ශවයේ අකමැත්ත දන්වා යවන බව තාත්තා කීවේ ය. ඉතින් මා දුක් වන්නේ ඇයි? තවමත් ජීවිතය මා ඉදිරියේ බලා සිටී. දරා ගත නො හැකි දේකට වන්නේ අම්මා කෙනෙකු ගෙන් සිය පුතු වෙන් කිරීමයි. දැන් මට රැකියාවක් තිබෙන බව පෙන්වා දී යළිත් මා පුතු මවෙත ලබා නො ගන්නේ ඇයි?

මම තිගැස්සී ගියෙමි. ඒ වූ කලී හදිසි, අහඹු සිතිවිල්ලකි. ඉරණම විසින් ඒ සිතිවිල්ල මා ඉදිරියට පමුණුවන්නට කටයුතු කළේ මගේ හදවත සතුටින් සැහැල්ලුවට පත් මේ මොහොතේ ය. එය සිදු වන්නේ එසේ විය හැක. අඳුරු දුක්බර කල්පනා වලින් සිත අවහිර වී පවතිත්දී අලුත් අදහස් සිතට පැමිණීමේ මාර්ගය අවහිර වී යයි. 

“ආව් ආව්”

හවස තේ එකත් ගෙන මගේ කුටියට පිවිසි අශිකා, මා ගීයක් මුමුණමින් කබඩ් එක අස් කරමින් හිඳිනු දැක කීවා ය. මගේ මුව නැවුම් සිනහවක් විකසිත විය. 

“අප්පත බොල මේකිගෙ හිනාව”

“ඇයි…මං කොහොමත් ඉන්නෙ හිනා වෙලානෙ”

“ඒත් මේක එහෙම හිනාවක්නං නෙවෙයි වගේ. ඩයිනිං ටේබල් එකෙං මං නැගිටල ගිය ටිකට මොකක් හරි වින්නැහියක් වෙලා වගේ”

“මොනා කියෝනවද මන්දා”

මා එසේ කීවේත් සිනහ වෙවී ය. වෙනදා අශිකා එවැනි විහිළුවක් කරන විට කිසි සේත් මගේ මුවගට එන්නේ නැති විදිහේ මඳහසකි එය. අප අපේ ම හිත් තුළ වහළුන් වීම කෙතරම් නම් ඛේදවාචකයක් ද? උපතත් මරණයත් අතරේ අපට සැලසුම් කළ හැක්කේ සතුට පමණකි. එහෙවු එකේ මිය යන තුරු ජීවිතයෙහි සතුට සොයා යාම තරම් අර්ථයක් වෙන තිබිය හැකි ද? බුදුන් වහන්සේ විසින් සිදු කරන ලද්දේත් ලොව්තුරු සුවය සොයා අභිනික්මන් කිරීමයි. සතුට විවිධාකාර ය. ඉතින් සතුට සොයා යාමේ මාර්ගත් වෙනස් වූ මං පෙත් ඔස්සේ වැටී තිබෙනු ඇත.

“මට ලෝයර් කෙනෙක් හොයාගන්න ඕන අශී”

“ලෝයර් කෙනෙක්…”

“හ්ම්. පුතාගෙ කස්ටඩි එක ඉල්ලල නඩු දානව මං”

කියවන්න :  ඔබට ඇහෙනව නම් - 1

“ඔයාට පුළුවන් ද එයාව අරං හදන්න…එයාගෙ අනාගතේ හදන්න…එක පාරක් නොවෙයි සිය දහස් වතාවක් හිතල තීරණේ කරන්න නිම්නා”

“මං තාම හිතනව අශී පුතා ළඟ නැතුව මං කොහොමද දැං අවුරුදු දෙකක් තිස්සෙ ජීවත් වෙන්නෙ කියල. ගෑනු කෙනෙක්ට බඳින්න කලිං බලාපොරොත්තු වෙන ජීවිතේ කවදාවත් කසාදෙකිං ලැබෙන්නෙ නෑ. ඒත් ඒ හැම නොලැබීමක් ම අමතක කරන්න පුළුවන් දරුවො නිසා. මාත් එහෙම හිටිය ගෑනියෙක් තමයි අශී…ඒ අයිතියත් නැති කරල දාපු”

තත්පර කිහිපයක් මම ඒ හැඟීම තුළ වූ අමිහිරි තිත්ත රස වළඳමින් සිටියෙමි. අශිකා සිය විහිළු තහළු නවතා බැරෑරුම් ස්වභාවයකින් මගේ හැඟීම් හා මුහු වෙමින් සිටියා ය.

“මාත් අවුරුදු අටක් ආදරේ කරපු පිරිමියෙක්ගෙ අතිං අත්ඇරිච්ච කෙල්ලෙක්නෙ නිම්නා. මට ඔයාගෙ වේදනාව දැනෙනව. පිරිමින්ට ආදරේ කරන්න ගිහිං ගෑනු කරන්නෙ ජීවත් වෙන්න තියෙන සීයට සීයක් ජීවිතෙං සීයට පණහකටත් වැඩිය නැති කර ගන්න එකයි. ඇත්තටම අපි හුඟක් ගෑනු අපේ ජීවිතෙං කීයෙං පංගුවද ජීවත් වෙන්නෙ…හුස්ම ගත්තත් ඉතුරු කොටස මරල දාලයි ඉන්නෙ”

“ඒක තමයි ලොකුම වැරැද්ද. ආයිත් මට ජීවත් වෙන්න ඕනෙ අශී. පුතා නැති ජීවිතේක සතුට නැති බව මං හොඳටම දන්නව. ඇයි මං මගෙ සතුට උදුර ගත්ත මනුස්සයත් එක්ක ෆයිට් කරන්නෙ නැතුව නිකංම පැත්තකට වෙන්නෙ”

ඒ කොහේ සිට මවෙත පැමිණි ශක්තියක් ද කියා මා දන්නේ නැත.  කෙසේ වෙතත් යම් සිතිවිල්ලක් සිතට නැගුණ කල එය ඉටු කර ගන්නා තෙක් මා ඒ පස්සේ පන්නන කෙනෙකු බව නම් මම දනිමි.

“මගෙ රිලේෂන් අක්කා කෙනෙක් ඉන්නව. එයා ඩිවෝස් කේස් වලට ප්‍රසිද්ද ලෝයර් කෙනෙක්. අපිට අක්කගෙං උදව් ඉල්ලන්න පුළුවන්. කොහොමත් එයා අසාධාරණකං වෙච්ච ගෑනු අයට නීතියෙ උදව් අරං දෙන්න හුඟක් මහන්සි වෙන කෙනෙක්”

අලුත් බලාපොරොත්තුව හදවතේ රුධිරය පොම්ප කිරීම වඩාත් කාර්යක්ෂම කරවන්නට ඇත. පුතු මගේ ළඟ හිඳිමින් ගෙවෙන අනාගතය ගැන සුබ සිහින දකිමින් මම වැඩ කළෙමි. මුද්‍රණාලය වෙත යාම සඳහා කුලාන් ඇරයුම් කළේ ඒ අතරේ ය. 

“මං ශොක් වුණා…ඔයා ඩිවෝස් වෙච්ච කතාව ඇහුව වෙලේ”

ටික දුරක් නිහඬ ව රිය පැදවූ කුලාන් හදිසියේ ම කීවේ ය. වීදුරු කවුළුවෙන් පිටත බලා ගෙන උන් මම හැරී බලා මඳහසක් පෑවෙමි.

“ඇත්තටම මං හිතුවෙ ඔයා මැරි කරලවත් නැති කෙනෙක් කියල”

මගේ මුව යළිත් මඳහසක සේයා ඇඳිණි. ඒත් එක්ක ම සුසුමක් ද ගිළිහී ගියේ ය.

“ඇයි එහෙම වුණේ…”

“ඒ කිව්වෙ සර්…”

සැබවින් ම මට ඔහු ගේ ප්‍රශ්නය වටහා ගත හැකි වූයේ නැත.

“ඩිවෝස් වුණේ ඇයි…”

“….මංවත් දන්නෑ සර්….”

මගේ වදන් වල ඇරඹුමේත් අවසානයේ ත් සුසුම් වල බර දැවටී තිබිණි. ඔහු ක්ෂණික බැල්මක් හෙලනු පෙනුනත් මගේ ඇස් යොමු වී තිබුණේ ඍජු ව ඔහු දෙසට නොවේ.

“ඒක පුදුම කතාවක්නෙ”

“ඒ කතාව සම්පූර්ණයෙන් ම පුදුම කතාවක් තමයි…මාත් තාම අග මුල හොයන”

“ඉතිං හේතුවක් නැතුව ඩිවෝස් එක දුන්නෙ…”

“කසුන් ට වඩා ඩිවෝස් එක ඕන වුණේ එයාගෙ අම්මට කියලයි මට හිතෙන්නෙ. ඒ අම්ම ඉවසුවෙම නෑ මායි කසුනුයි හොඳිං ඉන්න එක”

“ඒක මාර වැඩක්නෙ…ඒගොල්ලොත් එක්ක එක ගෙදරමද හිටියෙ…”

“ඔව්. කසුන් විතරයි පවුලෙ. එයාගෙ හැමදේම පාලනේ කරන්නෙ අම්මා. මං එහෙ ගියාට පස්සෙ වුණත්. මගෙ නැති වැරදි කසුන් ආවහම කියල අපි අතරෙ ප්‍රශ්න ඇති කරනව. මං උත්සාහ කළා රෙන්ට් එකට හරි ගෙයක් අරගෙන අපි වෙනම යන්න”

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 13

“ඉතිං…”

“කසුන් කැමති වුණෙ නෑ අම්මලව දාල යන්න. මටත් ඕන වුණේ අම්මලගෙයි එයාගෙයි තියෙන බැඳීම නැති කරන්න නෙවෙයි. අපේ පවුල රැක ගන්න. ඒත් අම්මා ඉස්සරහ මං පැරදුණා”

හිස අසුනට බර කර ගෙන මම මොහොතකට නෙතු පියවා ගතිමි. 

“පුදුම මිනිස්සුනෙ…”

“අම්මට ඕන වුණේ මගෙං පලි ගන්න. එයා ඒක කළා. කසුන් ට පිරිමියෙක් වගේ තීරණයක් ගන්න ශක්තියක් තිබුණෙ නෑ. පිරිමියෙක් කවදාවත් එහෙම වෙන්න හොඳ නෑ සර්. අම්මා කියන්නෙ ජීවිතේ අංක එක වෙන්න පුළුවන්. ඒත් පවුල් ජීවිතයක් පරිස්සං කරගන්න තරං පිරිමියෙක්ට ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙ. එහෙම නොවුණහම වෙන්නෙ පැත්තක හිටපු ගෑනියෙක් අසරණ වෙන එක”

කතා බහ අතරින් අපි ගමනාන්තයට එළඹ සිටියෙමු. එහෙයින් ඒ කතාව එතෙකින් නතර කරන්නට සිදු විය.

මා රියෙන් බසිත්දී, මුද්‍රණ කලමණාකරු මදෙස බලා හෙළු අඩ සිනහව අමුතු බව මට දැනිණි.  නමුත් ඒ ගැන මම දුරට හිතන්නට නො ගියෙමි. රාජකාරී මට්ටමේ කතා බහෙන් අනතුරුව මා මුද්‍රණය වන පත්තර පිටු කිහිපයක් පරීක්ෂා කරමින් සිටියදී හෙතෙම හොර පූසෙකු සේ මවෙත පැමිණියේ ය.

“බලාගෙන ආ”

ඔහු කී දේ නො වැටහුණ නිසාවෙන් මා ඔහු දෙස බැලුවේ දෑස් කුඩා කොට ප්‍රශ්නාර්ථයෙනි.

“මොකද්ද මිස්ට නීල්..”

“බොස්ලගෙ වාහන වලට නැගල එහෙ මෙහෙ යන්නෙ බලාගෙන…ශුවර් නෑ”

ඒ වෙලාවේ ඔහු ගේ මුහුණේ වූයේ පුදුම පිළිකුල් සහගත බවකි. අත දිගු කර කම්මුල හරහා පහරක් එල්ල කරන්නට තරම් මගේ කෝපය උත්සන්න වූවත්, රැකියාව කරන තැන අනවශ්‍ය ගැටළු ඇති කර ගත නො හැකි ය යන සිතිවිල්ල වහා සිතට ආවෙන් මම මාව පාලනය කර ගතිමි.

“හැම කෙනෙක්ම එක වගෙයි කියල හිතන්න එපා මිස්ට නීල්”

කියා ගෙන මා එතැනින් ඉවත් වන්නට හදත්දී හෙතෙම හිවලෙකු සේ හිනැහුණේ ය.

“බලමුකො බලමුකො මොකද වෙන්නෙ කියල”

ඔහු එහෙම කියනවාත් මට ඇසුණේ ය. මම නෑසුණා සේ මගහැර ගියෙමි.

“නිම්නා ට දැං ආයෙ ඔෆිස් එකට යන්න හේතුවක් නෑ නේද…ලේට් වෙලත්නෙ. මෙහෙමම ගෙදර යන්න”

ආපසු එන්නට අප රියට නැගෙත්දී කුලාන් කීවේ ය.

“ෆින්ගර් ප්‍රින්ට් තියන්න තියෙනව සර්”

මා එහෙම කීවත් ඔහු ඒ හැටි ගණන් ගත් බවක් නො පෙන්වී ය. හයිලෙවල් පාරෙන් රිය කොට්ටාව දෙසට හැරිණ.

“ඉතිං…නිම්නා මැරි කළේ ලවු අෆෙයා එකකින්ද…”

රිය පෝලිමට එක් වුණ ගමන්, වේගය බාල කරමින් කුලාන් මවෙත ට බැල්මක් හෙළුවේ ය. මම උකුල මත වූ අත් බෑගය මත ඇඟිලි තුඩින් බලි රූප අඳිමින් සිනහවක් නගා ගතිමි.

“නෑ සර්”

“ඒ කියන්නෙ ප්‍රපෝසල් එකක්ද…”

ඔහු බැලුවේ තිගැස්සී ගෙන ය. මමත් ඒ මොහොතේ ම බැලුවෙමි. කිසියම් ලැජ්ජාශීලී සිතිවිල්ලක් මා තුළ ඇති නො වුණා ම නොවේ.

“අපේ නෑදෑ කට්ටියකගෙ වෙඩින් එකකදි එයා මාව දැකල. ඒ කට්ටියගෙං අහල එයාල මගෙං ඇහුවා. මං කිව්ව තාත්තත් එක්ක කතා කර ගන්න කියල. එහෙමයි වුණේ”

කුලාන් හෙළු සුසුමෙන් සසැලී ගියේ මා ය. ඔහු ඒ සා කම්පිත වූයේ ඇයි? ඉරණම මා පත් කොට ඇති තත්වය එතරම් ම ඛේදනීය ද? 

3.9 7 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments