සුළි සුළඟක සුසුමක් 19 වන කොටස

ඒ වෙලාවේ නුගේගොඩ හන්දිය අතිශයින් ජනාකීර්ණ වූයේ ය. නමුත් සංකල්ප වෙත දිව යන මොහොතේ දී මට දැනුණේ අප අවට වෙන කිසිවෙකුත් නැත්තා මෙනි. සැබවින් මා කිසිවෙකු දුටුවේ නැත. තද නිල් පාට නගරාන්තර බසයක් පමණක් මට දර්ශනය වූයේ ය. ඒ හැරෙන්නට මා දුටුවේ ඔහු ව පමණි. සංකල්ප ව පමණකි.

“උත්තරා…”

සිහින් වූ ඒ ඇස් වල ප්‍රශ්නාර්ථය විය. මම ඒ දෑස් දෙස පමණක් බලා ගෙන දෙතොල් තෙරපා සිනහ වූයෙමි.

“මං එනව”

“ආ…”

ඔහු කලබල වී සිටියේ ය. නමුත් මට දැනුණේ පුදුම නිවී සැනැසුන බවකි.

“මං එනව සිංහරාජෙ යන්න”

“නගින්න නගින්න යනවනං නගින්න”

බස් කොන්දොස්තර බෙරිහන් දුන්නේ ය. බසය ඉදිරියට ඇදෙන්නට ඔන්න මෙන්න ව තිබිණ. සංකල්ප හදිසි හාදුවක් මගේ කොපුලක තියා බස් එකට පැන ගත්තේ ය. එසැනෙන් සැර දමා ගෙන බසය ඉදිරියට යන්නට විය.

කම්මුල මත හාදුවෙහි සීතල මට දැනෙන්නට ගත්තේ ය. ඒ සමග ම මා අවට නුගේගොඩ කලබැගෑනිය ඇසෙන්නට ද ගත්තේ ය. මම දෑස් කරකවා බැලුවෙමි. බස් නැවතුමේ උන් අයගේ ඇස් මවෙත හැරවී ඇති බව මට දැනිණි. දෙතොල් සිනහවකින් ඇද වන්නට හැදුවේ ය. යටි තොල සපා ගත් මම ඉක්මනට හැරී අහස් පාලම යට වන මගේ සුදු පාට කුඩා මෝටර් රථය වෙත ඇවිද ගියෙමි.

ඒ ගිය ගමන හරියට සිහිනයක් දිගේ ඇවිද ගිය ගමනක් සේ ය. වලාකුළු මතින් ඇවිද ගිය ගමනක් සේ ය. දේදුනක් මතින් එතෙර ව ගිය ගමනක් සේ ය.

රියට නැග ගත් මම තනි ව සිනහ වූයෙමි.  මගේ ඇස් දිළිසෙනවා මට ඉදිරි කැඩපතින් පෙනුණේ ය. මම ඉක්මන් කොට සංකල්ප ට ඇමතුමක් ගතිමි.

“හෙලෝ”

“සීට් එකක් හම්බ වුණාද…”

“හ්ම්”

“ගෑනු ළමයෙක් ළඟද…”

“ඔව්”

“ලස්සනද එයා…”

“හ්ම්. ගොඩක්”

“අනේ වාසනාවන්”

“පරිස්සමට ගෙදර යන්න”

“ඔයත්. මං එහෙනං තියන්නං”

මගේ හිත වෙලා ගෙන තිබි බොහෝ අඳුරු සෙවනැලි ක්ෂය වී ගොස් ඇති බවක් මට දැනිණ. උණ ගතිය සම්පූර්ණයෙන් ම තුනී වී ගොස් තිබිණි ද මම මඳ උණු වතුරෙන් දිය නෑවෙමි. නැවුම් බවක් දැනුණේ ය. නමුත් හිතෙහි හිස් බවක් මම සැබෑ ලෙස ම අත් වින්දෙමි.

මා හදිසියේ ගෙදර පැමිණීම ගැන කවුරුත් තැති ගත් බවක් පෙනිණ. විශේෂයෙන් ම අයියා ත් ඔහු ගේ බිරිය ප්‍රියංවදා අක්කා ත් මගේ පුනරාගමනය ගැන කලබල වී සිටියහ.

“නංගිට ඉතිං තව ටිකක් එහෙට වෙලා රෙස්ට් කරන්න වුණත් තිබුණා”

රෑ කෑම මේසයේ දී ප්‍රියංවදා අක්කා කීවා ය.

“නේද අනේ…”

ඇය අයියා ව ද ඒ කතාවට ඈඳා ගැනීමට උත්සාහ කළා ය.

“හ්ම්. නංගි හිතේ සැනසිල්ලෙන් විවේක ගන්න. අර ඩොක්ටව මැරි කරල සිංගප්පූරු ගියානං ඇත්තටම නංගිට එන්ජෝයි කරන්න පුළුවන්. ඔයා ඉතිං බිස්නස් ගැන වුණත් උනන්දුවක් නෑනෙ”

“උනන්දුවක් නෑ කියල බෑ. එයාගෙ දේවල් එයා බලා ගන්න ඕනෙ”

අම්මා මා වෙනුවෙන් මැද්දට පැන්නා ය. ව්‍යාපාර ගැන මගේ කිසිදු උනන්දුවක් නො වන බව ඇත්ත ය. නමුත් අයියා ගේ යටි අරමුණ වන්නේ මගේ ව්‍යාපාර කොටස් ද සියතට ගැනීම බව මට නොතේරෙනවා නොවේ. ප්‍රියංවදා ඊට අනුබල දෙන්නී ය.

“මටනං ඔය මොනාත් ඕන්නෑ”

මම මගේ අවංක හැඟීම සියලු දෙනා ඉදිරියේ හෙළි කළෙමි.

“අනේ මේ උත්තරා. ඔයා ජීවත් වෙන්නෙ ඇත්ත ලෝකෙ නෙවෙයි. ඇත්ත ලෝකෙට ආව දවසක ඔයාට තේරෙයි”

“නංගි…අර ඩොක්ටව මැරි කරන්න. එතකොට ඔයාට මේ බිස්නස් මත්තෙ නැහි නැහි ඉන්න ඕන නෑ. සිංගප්පූරුවට වෙලා සැපට ඉන්නව. ඕන්නං මට පුළුවන් නෙ ශෙයා එකක් ඔයාගෙ අකවුන්ට් එකට ඩිපොසිට් කරන්න”

අම්මා වෙතින් දිස් වූයේ නො රිස්සුම් සහගත බවකි. නමුත් මම ඉතාමත් සන්සුන් ව සිටියෙමි. අයියා ව උසිගන්වන්නේ ප්‍රියංවදා බව අම්මා නිතර ම කියන්නී ය. දැන් සිටින්නේ විවාහයට පෙර සිටි අයියා නොවේ. ඔහු තනිකර ම ප්‍රියංවදා ගේ රූකඩයකි.

“උත්තරා මැරි කරන්නෙ නෑ ම කියල හිතං ඉන්නවනං ඉතිං එයාට ඔය රත්නපුරේ ගේ දීල එයා බලාපොරොත්තු වෙන නිදහස් ජීවිතේ ගෙවන්න දුන්නනං ඉවරනෙ”

එවර ප්‍රියංවදා වෙනම ම පාරකට අවතීර්ණ වූවා ය. අයියා යමක් කියන්නට කට හැදුවා පමණකි. අම්මා ඉස්සර වූවා ය.

“එහෙම කොහොමද එයා කසාද නොබැඳ ඉන්නෙ…මං මැරුණ දාක කවුද එතකොට එයා ගැන බලන්න ඉන්නෙ…”

“මේ බලන්නකො අනේ…අම්ම කතා කරන්නෙ නිකං අපි උත්තරා ගැන බලන්නෑ වගේනෙ”

මට දැනුණේ මහත් නීරස බවකි. ප්‍රියංවදා බලා ඉන්නේ මා වෙනුවෙන් වෙන් කොට තිබෙන්නා වූ ව්‍යාපාර කොටස් ද ඔවුන් ගේ අතට ගන්නට බව, දැන් නිරුවත් වී ඇති සත්‍යයකි. නමුත් එකී සත්‍යයෙහි නිරුවත මා තුළ ඇති කළේ අතිශය අප්‍රසන්න හැඟීමකි.

“අනේ නතර කර ගන්න අප්ප ඕක”

කියා ගෙන මම කෑම මේසයෙන් නැගිට ගතිමි. හදවත පහුරු ගා ඇති සැටියෙන් සීරුම් රිදුමක් දැනිණ. ගෙදර ආ මෝඩ කමකැයි මම පසු තැවුණෙමි.

“රත්නපුරේට වෙලාම හිටියනං ඉවරයි”

කියා ගෙන මම එතැනින් නික්ම ගියෙමි.

“ඒ කෙල්ල බඩගින්නෙ”

අම්මා නෝක්කාඩු ස්වරයකින් කියනු ඇසුණේ ය.

තනි වීම ගැන අමුතු හැඟීමකින් මම දෙදරා ගොස් සිටියෙමි. ඔවුන් දරුවන් තිදෙනෙකු ම තැනුවේ මතු යම් දිනෙක උනුන් තනි නො වනු වස් යයි අම්මා හා අප්පච්චි නොයෙක් අවස්ථා වලදී පවසනු මම අසා ඇත්තෙමි. අක්කා හා අයියා විවා පත් වන්නට පෙර අප තිදෙනා එසේ සහෝදරත්වයේ බැම්මෙන් වෙලී සිටි බව ඇත්ත ය. නමුත් ඒ විවාහයන් සිදු වීමත් සමග ම අතීත බැඳීම් ලිහිල් වන බවක් පෙනෙන්නට තිබිණි. විවාහයක් කියන්නේ අලුත් ලෝකයකි. අක්කාත් අයියාත් ඔවුන් ගේ ම වූ අලුත් ලෝක තනා ගත්දී, මම පසෙකට විසි වීමි. නමුත් මගේ රැකියාවත්, අම්මා හා අප්පච්චි ත් නිසා ඒ පසෙකට විසි වීම මට ඒ තරම් දරුණුවට දැනුණේ නැත.

කෙසේ වෙතත් පවුලේ සහෝදරයන් කී දෙනෙකු සිටියත් ඔවුන් ගේ විවාහයන් සමග මුලදී තිබූ එක ම හදවත කෑලි වලට කැඩී විසිරී යන බව මම අත්දැකීමෙන් අවබෝධ කර ගෙන සිටිමි.

කාමරයේ කණ්ණාඩි මේසය ඉදිරියට වී හිස කේ පීරන්නට හිඳ ගනිත්දී මගේ ඇස් කොපුල් මත නතර වූයේ නිරායාසයෙනි. සුළි සුළඟක් සේ සංකල්ප හිත මත හැපිණි. මගේ සුසුම, ඒ සුළි සුළඟට වැද නො පෙනී නො ඇසී නො දැනී ගියේ ය.

දුරකතනය හැඬවුණේ එතකොට ම ය. සංකල්ප ගේ නම තිරය මත සනිටුහන් ව තිබිණි. අර සුළි සුළඟේ රිද්මය මට වඩාත් හොඳින් දැනෙන්නට විය.

“සින්දු කියනවද…”

මගේ හඬ ළදැරියක ගේ සෙයින් හුරතල් වූ බවක් මට ම දැනිණ.

“කාට ඇහෙන්න සින්දු කියන්නද…”

ඔහු සුසුමකින් ම අරඹා කීවේ ය. කුමක් කීවත් එය හිත් බරක් විය හැකි සේ වූ නිසා මොනවාවත් ම නො කියන එක හොඳ යයි මම සිතුවෙමි.

“කාලද ඉන්නෙ…”

“තාම නෑ”

“කන්න ඉතිං”

“හ්ම්”

“වෙලාවකට මට හිතෙනව…ආපු මෝඩ කමක් කියල”

“ඇයි…”

“අනේ මන්දා…අයිය වුණත් ඉස්සර වගේ නෙවෙයි. කාත් කවුරුත් නැතුව තට්ට තනියම ජීවත් වෙන එක හොඳයි කියල හිතෙනව. හැමෝම මොන දේ කරන්නෙත් මොකක් හරි බලාපොරොත්තුවකිං මිසක් ඇත්තටම අපිට ආදරේට නෙවෙයි කියල හිතෙනකොට…හිතට හරි අමාරුයි සංකල්ප…”

“හිත හයිය කර ගන්න”

කැඩපතින් මට මා පෙනුණේ පින්තූරයක් සේ ය. ළමයෙකු වශයෙන් ජීවිතය පිළිබඳ මා තුළ වූ කුදු මහත් ප්‍රාර්ථනා හා බලාපොරොත්තු වලට කුමක් වී ද කියා සිතත්දී දැනෙන්නේ හිස් හැඟීමකි. අද මේ කැඩපත ඉදිරියේ සිටිනා මට බලාපොරොත්තුවක් කියා දෙයක් ඇත්ද කියා සොයා ගත නො හැකි තරමි. මධ්‍යහ්නයේ තරුණයෙකුගෙන් ලද සීතල හාදුවක උණුහුම් මතකය පමණක් හදවතේ විදුලි රේඛා නංවමින් තිබේ.

“ඔයා වැඩියෙංම සතුටු දේ කරන්න”

වසර විසි ගණනක බලා හිඳීමක් ගැන ඔහු මට කීවේ ය. නමුත් අද රත්නපුරයට ආයුබෝවන් කියත්දීත් ඔහු ඒ බලා හිඳීමේ නාමයෙන් මට බලපෑමක් කිරීමට උත්සුක වූයේ නැත. අහිමි වේ යයි සිතිය හැකි අන්තිම මොහොතේ පවා හාදුවක් ඉතිරි කොට තියා ගියාට, හිමි වීමක් ගැන හීනයක් හෝ ඔහු ගේ සිත්හි නොවන බව මම දනිමි.

ඔහු දන්වන්නට තැත් කළ ප්‍රේමය නො දැනුණා සේ හිටියාට, එතැන හදෙහි ගැස්මක් ඇති කළ යමක් වූ බව මම දැන සිටියෙමි.

“ඔයාගෙ සතුට තමයි වැදගත්”

හිත කීරි ගැසී ගියේ ය. ප්‍රේමය කියන්නේ ආත්මාර්ථය නොවන බව පොත පතේ ලියැවී තිබේ. නමුත් ප්‍රායෝගික ජීවිතයේ දී අප ප්‍රේමයෙන් බලාපොරොත්තු වන්නේ අපේ පුද්ගලික සතුට ය. ඇතැම් විට එතැන්හි දී අනෙකා ගේ සතුට අපි අමතක ම කොට දමනෙමු. අනෙකා ගේ සතුට අපට අදාල නැත. වැදගත් ද නැත. නමුත් සංකල්ප මගේ සතුටක් ගැන කතා කරයි!

“ඉතිං ඉතිං…අර බස් එකේ ළඟින් ඉඳන් ගිය ගෑනු ළමය කොහෙට වෙනකල් ගියාද…”

මම සැහැල්ලුවක් මවා ගෙන මාතෘකාව වෙනස් කළෙමි.

“ගෙදරටම”

“පව් නේ…”

ජීවිතය අමුතු තැනිතලාවකට අවතීර්ණ ව ඇති බවක් මට දැනිණ. මම තව දුරටත් නිරවුල් නොවුණෙමි. ජීවිතය වූ කලී පහසුවෙන් වියා හමාර කළ හැකි පැදුරක් නොවේ!

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...

හිමගිරි අරණ -51

"ඔය කතාව ගැන කිසිම දෙයක් අම්මට කියන්න එපා.ඉස්සරලම පාරමීගේ ප්‍රශ්නෙ නිවෙන්න ඉඩ දෙන්න." දුමිඳු මල්ලිට එවන් අවවාදයක් ලබා දුන්නේ...

(අ)හිමි සිහින -147

සුධාරකට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන් ඔවුන්ට හැකි අයුරින් කරන වග දැන සිටියත් මම දිගින් දිගටම ඔහු වෙනුවෙන් ආශිර්වාදාත්මක පූජා පැවැත්වූවා.ඒවගේම මම කිසිම මොහොතක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content