මන්දාරම් හැන්දෑවක – 7

ජනිඳු නිවසට පැමිණියේ මැදියම් රැය ද පසු වී හෝරා තුනක් ද ගෙවෙද්දී ය.මැදුරේ දොරටු විවර කරන්නට ඕනෑම මොහොතක සූදානමෙන් හිඳින සේවකයන් සිටිද්දී ඔහු රැයත් දහවලත් පටලවා ගැනීම ඇරඹුවේ නව යෞවනයෙකු කාලයේ සිට ය.අම්මා හඬා දොඩමින් විස්සෝප වෙද්දී පවා එය නැසූකන් ව හිඳින පුතෙකු වන්නට ඔහු අකාරුණික විය.

“තාත්තගෙ අඩිපාරෙත් එකෙක් හරි යන්න එපැයි” වීරසේකර මැතිණිය හිත හදාගන්නට සිතුවේ එලෙස ය. කුරුළු පැටවුන් සේ ඇතිදැඩි කළ දරු තිදෙනා තෙආකාර වී කැදැල්ලෙන් ඉවතට පියඹා යාම දරා ගන්නට ඇය බොහෝ වීර්යය ගත්තා ය.ළමා නිවාස වල ආදරය ඉල්ලන කුඩා තාරකා ඇස් වලට දිලිහෙන්නට දීප්තිය දීම තෝරා ගනිමින් ඇය හිත හදා ගන්නට වෙහෙසුණා ය.සැමියා ඉතා තරුණ ගැහැනුන් සමඟ කොහේ හෝ සවාරි යද්දි ඇය හිත හදා ගත්තේ ඔහු උපයන ධනයෙන් ම දාන මාන දෙමිනි.අසරණ ව හිඳින මිනිසුන් සොයා ගොස් පිහිට වීමෙනි.

ජනිඳු පියගැටපෙළ නැග ඉහළ මාලයට යන්නට පෙර අඩැසින් අම්මාගේ කාමරය දෙස බැලුවේ ය.ඉන් ගලා එන්නේ මිහිරි පිරිත් නාදයකි.ඒ හඬ මැකී යන තරමට රොක් ගීතයක් වාදනය කරන්නට අසංවර ආශාවක් හිතට ගලා එන්නේ සමාජ ශාලාවේ දී ඇති වෙනතුරු මධු සාද පැවැත්වූ නිසා දැයි ඔහු සිතුවේ හිනැහෙන අතර ය.මේ තමා වීරයා වන දවස් ය. නිල් චිත්‍රපට නළුවෙකු වන්නට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇතැයි මිතුරන්ගෙන් එන අශෝභන විහිළු ඔහු දරා ගත්තේ අභිමානයෙනි.

ජනිඳු යහනේ මුනින්තලා වැටුණේ නින්ද සොයමිනි.මේඝාට කුමක් වන්නට ඇත්දැයි සෙවූ උපාය දූතයන්ටවත් කිසිම ආරංචියක් ලැබී තිබුණේ නැත.සියදිවි නසා ගන්නා බව දන්වා ඈ කෙටි පණිවිඩයක් එවූවද එවැන්නක් සිදු වූවානම් සමාජ ජාලා උතුරා යන තරම් කවි ද ප්‍රේමය ගැන උපදෙස් ද ලියැවෙන්නට තිබිණ.නැත!! ඇය කොහේ හෝ ජීවත් විය යුතුම ය. එහෙත් මේඝාට කුමක් සිදු වුවත් තමාට ඵලක් නැතැයි ජනිඳු සිතුවේ සැහැල්ලුවෙනි.ඇය කෙටිකාලීන සතුටක් වෙනුවෙන් කළ තෝරාගැනීමකි. තමන්ගේ කාලය අවසන් වූ පසු ඔහුගේ අහසින් බැස යන්නට හැම තරුවක්ම වග බලාගත්ත ද මේඝා එවැනි පරාජයකට කැමති නොවූවා ය.මේ ඇයට ලැබුණු සරල දඬුවම ය.

නාද වන දුරකථනය දෙස අඩ නින්දෙන් අවදි වූ ජනිඳු බලා සිටියේ නොපහන් හැඟීමකිනි.සමාජ ශාලාවේ සිටියදී පවා මේ අංකයෙන් නොකඩවා ඇමතුම් ගලා ආවේ ය.මේ කතා කරන්නේ බණ දේශනාවකට වග ජනිඳු ට විශ්වාස ය.ඔහු ඇමතුමට සම්බන්ධ වූයේම ඒවා නොසලකා හරින බවට සිතට පොරොන්දු දෙමිනි.

“නිදා ගන්න දෙනවකෝ ඕයි..පාන්දර තුනත් පහු වෙලා..”

ඇමතුමේ අනෙක් අන්තයෙන් ඇසුණේ සමච්චල් සහගත සිනාවකි.

“අච්චර බලු වැඩක් කරාටත් පස්සෙ තමුසෙට නින්ද යනවද.. තමුසෙ කියන්න ලෑස්ති වෙන්න එපා ඒක යාළුවෙක්ගෙ අතින් එළියට ගියා වගේ කතානම්. ෆෝන් එක හදන්න දීලා ඔහොම අපරාද කරගන්න මෝඩ අහිංසකයෝ ඉන්නවා. ඒ උනාට තමුසෙගෙ තරම මං දන්නවනෙ..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -18

ජනිඳු හැකි උපරිමය යොදා උස් හඬින් සිනා සෙන්නට පටන් ගත්තේ ය. අනතුරුව අසංවර පහත් ස්වරයකින් කතා කරන්නට පටන් ගත්තේ ය.

“ඔව්..ඒ කතාව ඇත්ත. තමන්ගෙ තරම නොදැන නටන ගෑනියෙක්ට දෙන්න ඊට වඩා පනිෂ්මන්ට් එකක් නෑ.. ඒක ලීක් කරේ මං.. ගෑනි නැටුවොත් තව ලීක් කරන්න ජාතිත් මං ගාව තියනවා..”

ඇමරිකාවේ ජනාකීර්ණ නගරයක ඉදිරිගාමී අදහස් ඇති තරුණයන් සමඟ එකට ගැටෙමින් ජීවත් වෙන තරිඳුට ඒ වචන කිහිපය ඇසුණේ පිළිකුල උපදවමිනි. ඔහු මෙවැනි අසංවර බාල සහෝදරයෙකු තමන්ට ලබා දුන් ඉරණම සමඟ කෝප ගත්තේ ය.

“තමුසෙට කතා කරන්නනම් මං ඇත්තටම කැමැත්තක් නෑ චූටි මල්ලි. ඒත් මේ වැඩේ අන්තිම පහත් තිරිසන් වැඩක්. ආවේගෙට කළාට කමක් නෑ..තමුසෙ අතින් දැන්වත් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන…”

තරිඳු වඩා සන්සුන් වන්නට තීරණය කළේ ය. ජනිඳු වඩා අසංවර ලෙස හිනැහෙන්නට පටන් ගත්තේ ය.

“සාධාරණේ අසාධාරණේ ඉතිං එයා සද්ද වහලා ඉන්න තරමට තීරණය වෙයි..”

“නෑ.. තමුන් අතින් ඒ ළමයට උනේ නිවැරදි කරන්න බැරි වැරැද්දක්. තමුසෙ ඒ ළමයව මැරි කරන්න ඕන. ඉක්මනට..කෝ ඒ ළමයා?”

කෙළවරක් නැතුව ලබා ගත් මත්ද්‍රව්‍ය වල මත සිරුර පුරා ක්‍රියාත්මක වෙමින් පැවැතියදී පොඩි අයියාගේ වචන ජනිඳුට දැනුණේ විකාර කතාවක් ලෙස ය.ඔහු තරිඳුව කෝපයට පත් කරන්නට තීරණය කළේ ය.

“ඉන්ටර්නෙට් එකේ හැමතැනම තියන වීඩියෝ ක්ලිප් එකක ඉන්න එකියක් මේ ගෙදර ලේලි වෙලා එන්න..ෂිට්! අම්මා පපුව පැලිලා මැරෙයි.. එහෙම බඩුවලට අපේ පරම්පරාවේ ඉඩ හම්බ වෙන්නේ නෑනෙ..”

තරිඳුට තමන්ට සිහියට ආ සියළු අසභ්‍ය වචන එකට ගොනු කර බාල සහෝදරයාට දෙස් තියන්නට උවමනා විය.නමුත් මත් ගතියෙන් උන්මාදයට පත්ව හුන් යෞවනයා ඔහේ කියවමින් සිටියේ ය.

“මං එහෙම සත්‍ය ප්‍රේම රාජයෙක් නෙවෙයි හලෝ.. ආදරේ කරන ගෑනි වෙනුවෙන් සේරම දාලා ගිය මෝඩයෙක් තමුසෙගෙ අයියා උනාට මල්ලි එච්චර හරකෙක් නෙවෙයි..මාව හදන්න එනකන් අවුරුදු පහක් තිස්සෙ අතුරුදහන් වෙලා ඉන්න අර ප්‍රේමවන්තයව හොයා ගන්නවකො.. ඊට පස්සේ මං එයාටත් කියා දෙන්නං ගෑනුන්ව ඔලුවට ගන් නැතුව සපත්තුවෙ තියන් ලව් කරන විදිය..”

තරිඳු මිනිත්තු කිහිපයක් තුළ තීරණ කිහිපයක් ගත්තේ ය.ඔහු ජනිඳු ඇමතුවේ තදිනි.වාවාගත් කෝපයෙනි.

“පහුගිය කාලෙම උඹ නටපු නැටුම් හොඳටම ඇති මල්ලි.. මං තවත් තමුසෙට නටන්න දෙන්නෑ.මං මෙහෙට වෙලා පාඩුවෙ ජොබ් එකක් කරන් හිටියා ඇති.. මං එනව ආපහු.. ඇවිල්ලා මං අයියයි අක්කවයිත් හොයා ගන්නව.. එයාලත් හැංගිලා හිටියා හොඳටම ඇති..තමුසෙගෙයි තාත්තගෙයි සේරම නැටිලි මං ඉවරයක් කරන්නං!!”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -14

ජනිඳු වහා යහන මත හිඳ ගත්තේ ය.මේ සිදු වන්නට යන දෙය විශාල රතු එළියකි. පුතුන් තිදෙනෙකු උපන් වීරසේකර මැදුරේ ඔටුනු පැලඳූ එකම කුමාරයා තමන් බව සිතා ඔහු ජීවත් වූයේ ආඩම්බරයෙනි.ලොකු අයියාගේ පාසල් පෙම්වතියට තාත්තාගේ කැමැත්ත ලැබුණේම නැත.අයියා වඩා ප්‍රිය කළ වෛද්‍ය උපාධිය හදාරන්නට විදෙස් ගත කරන්නට පවා තාත්තා කටයුතු කළේ “හිඟන කෙල්ලන්”පවුලට වද්දා නොගන්නට ය.උපාධිය අවසන් කර පැමිණි ලොකු අයියා තමන්ගේ ආදරවන්තිය ද රැගෙන අතුරුදහන් විණි.අම්මා සහ පොඩි අයියා ඔවුන් කොහේ හෝ රටක ජීවත් වන බව විශ්වාස කළද ජනිඳුට එවැනි විශ්වාසයක් වත් නැත.පවුලේ ව්‍යාපාර වලට එකතු වන්නට සිතා විදෙස් අධ්‍යාපනය හදාරමින් හුන් පොඩි අයියා මේ සිදුවීම් ද තාත්තාගේ පෙම්වතියන් ද ගැන කළකිරීම නිසා යළිත් මව් රටට නොඑන බව ජනිඳු විශ්වාස කළේ ය.ඔහු සිටියේ පවුලේ ව්‍යාපාර තනිව පාලනය කරමින් කුමාර දිවියක් ගෙවන සිහිනයක ය.

තරිඳු ඇමතුම විසන්ධි කර තිබිණ.ජනිඳු යළිත් නින්දට වැටුණේ මේඝා යළි ක්‍රියාත්මක වුවහොත් ඇය සම්පූර්ණයෙන් අඩපණ කරන ආකාරයක් සිතමිනි.
ගොදුරට ක්‍රමයෙන් මිය යන්නට ඉඩ හරිනවාදැයි නැතහොත් එක්වරම විනාශ කර දමනවාදැයි ඔහුට තව සිතන්නට උවමනා ය.මත්ද්‍රව්‍ය සිරුර පුරා ක්‍රියා කරද්දී ජනිඳු තද නින්දකට එළඹිණ.

එහෙත් මේඝා හුන්නේ නිදි නැති රැයක ය.වෙද ගෙදර රාත්‍රිය පුරා සජ්ජායනා වන පිරිත් නාදය පවා අද ඇයට හිරිහැරයකි.වෙනදා නම් ගුවන්විදුලියෙන් ඇසෙන ඒ හඬ ඇගේ නින්ද සනීපදායක ලෙස ඇයට සමීප කරන්නකි. නම නොදන්නා කුරුල්ලෙකු රෑ සංචාර අතර නඟන කටුක නාදයන් දෙසවනේ හැපෙද්දී ඈ අඳුරට ඇස අලවාගෙන නිදි නැති රැයක් ගෙවූවා ය. පාන්දර ජාමයේ නින්දත් නොනින්දත් අතර සැරිසරද්දී අම්මා ඇය වෙත ආවා ය.ඇය මහනෙල් මල් මිට මේඝා සමීපයේ තබා සිනා වූයේ අම්මා කෙනෙකුට පමණක් උරුම සුන්දරම සිනාවකිනි.

“හැම දුකක්ම ඉක්මනින් ඉවර වෙනවනෙ රත්තරං..”

අම්මා හිස පිරිමදිද්දී මේඝා නින්දට වැටුණා ය. හිරුරැස් දහරක් කාමරයේ කවුළු අතරින් එබී ඇගේ තෙත් කම්මුලක හාදුවක් තවරන තුරුම මේඝා අවදි වූයේ නැත.කාමරයේ වූ ඔරලෝසුව උදෑසන අට ට මිනිත්තු කිහිපයක් බව පවසද්දී ඇය දඩිබිඩියේ ඇඳෙන් බැස ගත්තා ය.විවර කළ ජනෙල් පියන් අතරින් ගෙමිදුල බැලූ මේඝා කුඩා සෙනුරි කොහොඹ ගස යට සිමෙන්ති බංකුවට වී මාර්ගයට නෙත් හෙළා හිඳින හැටි දුටුවා ය.අක්කාත් අයියාත් රැකියාවට පිටත් ව ගොස් ඇති වග ඇයට තේරුම් ගියා ය.මේඝා දඩිබිඩියේ කමරයෙන් පිටතට ආවේ මද්දහන වනතුරු නිදා ගත් තමාට වෙද නැන්දාගේ බැනුමක් අසන්නට වේදැයි බියෙනි.

4.8 4 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments