ඔබට ඇහෙනවනම් – 14

0
2697

‘ගෙදර යන්න හදිස්සිද’ යන පැනය මගෙන් පමණකුදු නොව අශිකා ගෙන් ද කුලාන් විමසා තිබිණි. ඇය ඇවිත් ඒ බව කී නිසාවෙන් එතෙක් ඒ ගැන මසිත් හි වූ තිගැස්ම අඩු වී ගියේ ය. මම මට ම සිනහ වුණෙමි. ගැහැනු අපි පිරිමින් වෙතින් ඉතා කුඩා ඉඟි සොයමින් සිටිමු. ඒ ඉඟි මත දැවැන්ත සිහින මන්දිර තනමු. ඇතැම් විට තනා ගෙන අප තනි ව පදංචි වන මැදුරු ගැන ඒ පිරිමින් දන්නේ හෝ නැත.

කාර්යාලය නිම වෙත්දී මා හා අශිකා මඳ අපහසුවකට පත් වූයේ කුමක් කරන්නදැයි නො දැන ය. ගිනුම් අංශයේ ප්‍රශ්න වලින් ගැලවෙනු වස් ඕ සිය අඩුම කුඩුම ද ගෙන මගේ කියුබිකල් එකට ආවා ය. ඊට මඳ වෙලාවකට පසු කුලාන් කඩිනම් ගමනින් විත් දොර හැර එබී ගෙන “යං” කීවේ ය. මමත් අශිකා ත් මුහුණෙන් මුහුණ බලා ගතිමු. කොහේදැයි නො දැන ම අපි ඔහු පසු පස ඇවිද ගියෙමු. අප දෙදෙනා කුලාන් ගේ රියට නැගෙන විට කාර්යාල පරිශ්‍රයෙහි උකුසු ඇස් යුග ගණනාවක් අප වෙත දැල්වී ගෙන තිබෙනයුරු මම දුටිමි.

“කට්ටියට අද රෑ එළි වෙනකල් නින්ද යන එකක් නෑ. අපි කොහෙද ගියෙ කියල කල්පනා කරයි”

අශිකා මගේ සවනට මිමිණුවා ය.

“ප්‍රෙස් එකට යනවද සර්…”

මම ඇගේ රහස කුලාන් ට නො දැනෙන සෙයින් ඔහු ප්‍රශ්න කළෙමි. 

“අද නිම්නා අපිට හොඳ ට්‍රීට් එකක් දෙයිනෙ…නේද අශිකා. ලොකු ඉන්ක්‍රිමන්ට් එකක් එහෙම අරගෙනනෙ ඉන්නෙ”

“ඒකනං මොකද්ද සර්”

මඳහසකින් එසේ කීවත් මේ ඊට වඩා වෙනස් ගමනක් බව මට ඉවෙන් වාගේ දැනිණි. ඔහු අප කැටිව ගියේ නවීන පෙනුමකින් යුත් ගොඩනැගිල්ලක් ඉදි වෙමින් පවතින තැනකට ය. කිසිවක් සිතා ගත නො හැකි ව අපි රියෙන් බැස ගතිමු.

“නිම්නා”

“සර්…”

“මොකද හිතෙන්නෙ මෙතන ගැන…”

“ඒ කිව්වෙ සර්…”

“මේ බිල්ඩින් එක විකුණන්නයි හදන්නෙ. දැං අපේ ඔෆිස් එක තියෙන්නෙ රෙන්ට් අවුට් කරපු බිල්ඩින් එකකනෙ. මේක අපි අරගත්තොත් මොකද…”

මගේ දෑස් දීප්තිමත් වෙන්නට ඇත.

“අනේ ෂෝක් සර්. මෙතන හොඳට ඉඩකඩ තියෙනව වගේ. අනික දැං අපි ඉන්නෙ සෑහෙන්න පරණ බිල්ඩින් එකකනෙ. මේක අලුතෙන්ම හදන තැනක්නෙ”

“හැබැයි ඉතිං අපි ලොකූ බෑන්ක් ලෝන් එකකට යන්න වෙනව. ඊට පස්සෙ අවුරුදු ගාණක් අපි ඒ ලෝන් එක කවර් කරන්න ඕනෙ. බිස්නස් එක වැටුණොත් අපි ඔක්කොම ඉවරයි. ඔයාට තේරුණාද නිම්නා…තාත්තා ඒකයි මේ වගේ රිස්ක් එකක් ගන්න කවදාවත් හිතුවෙ නැත්තෙ. ඒත් මං කැමතියි ඒ රිස්ක් එක ගන්න”

“අපි ඒක ගමු සර්. අපි මහන්සි වෙලා බිස්නස් එකත් තව දියුණු කරමු”

මම පිරිසිඳු වූ සිතින් ද, ඒ බව මැනවින් ලියැවුණු දීප්තිමත් දෑසින් ද කීවෙමි. ඔහු මහත් ත්‍යාගශීලී හැඟීමක් උතුරා දෝරෙ ගලන දෑසකින් මදෙස බලා සිටියේ ය.

“ඔයා මට ලොකු හයියක් නිම්නා”

ඒ වචන ටික, මඳක් එපිටින් උන් අශිකා ට හෝ ඇසුණා ය කියා මම නො සිතමි. ඒ ස්වරයේ වූ ත්‍යාගවන්ත බව මුළු මහත් මා වසා පැතිරෙන බවක් මට දැනිණ. එය මායාමය නිමේෂයකි. මායාමය බලයකින් ඔහු මා තමන් වෙතට ආකර්ෂණය කර ගනිමින් සිටියේ ය. මම කැමැත්තෙන් ම ඒ වසඟයට නතු වෙමින් ද සිටියෙමි.

ආපසු එමින් ගමන් කුලාන් රිය පැදවූයේ පුරුදු පාරෙන් ඔබ්බෙහි ගොස් නම් දැරූ අවන්හලක ය. 

“අද නිම්නාගෙ ට්‍රීට් එකනෙ අශිකා”

ලස්සනට සිනහ වී සැහැල්ලුවෙන් ඔහු එහෙම කියත්දී, මගේ මුළු වැටුප ම වුව ඒ සිනහව වෙනුවෙන් මේ මොහොතේ වැය කරන්නට හැකි බවක් මට දැනිණි. මා ලොකු හුස්මක් ගනිත්දී අශිකා වහා මදෙස බැලුවා ය. කුලාන් ඉස්සර වෙත්දී මට ලං වූ ඕ මගේ සවනට කොට මුමුණන්නට වූවා ය.

“මාව මේ අරං ඇවිත් තියෙන්නෙ ඔයාව තනියම එක්කං එන්න බැරි කමට”

කියවන්න :  ඔබට ඇහෙනව නම් - 1

“ඔන්න ඉතිං දොඩවන්න ගත්තා”

“බලනවකො කොල්ලගෙ මූණ”

“ඒ බිල්ඩින් එක ගන්න යන සතුට”

ඒ සතුට මගේ හදවතටත් එලෙසින් ම දැනෙමින් තිබිණි. එය සෞම්‍ය වූ සිහිලැල් සැඳෑවකි. අවන්හලේ තැන තැන කහ පාට එළි විහිදෙන බිත්ති ලාම්පු සවි කොට තිබුණේ ය. ඒ එළියෙන් ආලෝකවත් වන්නට තරම් අඳුරක් තවම ඇතුළත ට ගාල් වී නො තිබුණත්, ආලෝක ලප විසින් බිත්ති මත නෙත් කළු රටා මවා තිබුණේ ය. චීන පිඟන් මැටි බඳුන් වල සිටුවා තැන් තැන් වල තැබූ විසිතුරු පැළ වල අඳුරු පැහැ සෙවනැලි බිත්ති වලට වැටී කලාත්මක ගුප්ත බවක් දැනවී ය.  හාත්පස පරිසරය බෙහෙවින් ප්‍රේමණීය වූයේ ය. හදවත යම් මිහිරක නැහැවෙමින් තිබුණත්, හිත කෑ ගසා ඉල්ලා සිටින කිසිවක් නෑහුණා සේ ඉන්නට මම සමත් වීමි.

ප්‍රීතිමත් දොඩමළුව සැඳෑවට සව්දිය පිරුවේ ය. කිසිදු කොන්දේසියකට යටත් නැති ඇස් බැලුම් යට නොකී කතා බොහොමයක් සැඟවී තිබිණි.

අශිකා කොතෙක් ඇවිටිලි කළත් කුලාන් ඇයව බස් නැවතුමක බැස්වූයේ නැත. ඇය ගේ ළඟ දී බැස ගත් පසු රිය තුළ වූයේ මෝසම් සමයක බඳු බරැති වායු ගෝලීය තත්වයකි. නමුත් කුලාන් රිය පැදවූයේ ගීයක් උරුහම් බාමින් සැහැල්ලුවෙනි. ඒ මොන තරම් නම් නිදහසක් ද? හැන්දෑවට අපේ මිදුලට ඉහළින් සරන වැහි ලිහිනි පියාසැරිය මට සිහි විය. මේ මොහොතේ කුලාන් සිටින්නේත් ගගනත සරණා විහඟෙකු තරම් නිදහස් ප්‍රීතියකිනි. හැන්දෑවට පඩිය උඩට වී කුරුල්ලන් පියා සලන යුරු බලා සිටිත්දී දෙතොලග රැඳෙන ඉසිහින් මන්දස්මිතය මේ වෙලාවේත් මගේ මුවග වන්නට ඇත. ඒ කුරුල්ලන් අල්ලා කූඩුවක දමා ගත්තා ට කිසි දා අපට ඒ සතුට ලද නො හැකිවා නොවේද? 

“නිම්නා”

සීතල නිහැඬියාව දෙපළු කරමින් කුලාන් මගේ නම කීවේ ය. මට එය දැනුණේ මුවින් නොව හදවතින් කළ කෙඳිරීමක් ලෙසිනි.

“සර්…”

මම මුදු භාෂිතයකින් තෙපළීමි. නමුත් පිළිතුරක් ලැබුණේ නැත. පිළිතුරක් අපේක්ෂාවෙන් බලා සිටියා වූ ඒ තත්පර ඉක්මනින් ගෙවුණ  මොහොත මම හදවතින් වැළඳ ගෙන සිටියෙමි. ඔහු ගේ ඇස් කොනක සිහින් ප්‍රීති රැළි කිහිපයක් වූයේ ය. නළලත රැළි නංවන රේඛා දෙක තුන නිසා ඒ මුහුණට අමුතු පරිනත බවක් එක් වී තිබිණි. උගත් පිරිමියෙකු ගේ අසීමිත නිදහසේ ප්‍රීති ප්‍රමෝදය, සොබා දහමේ පින්සල් ඉරි දහස් ගණනකින්, කතා නොකරන ඒ තොල් මත සිතුවම් කොට තිබෙනු දැකිය හැකි විය.

“මට මේ චැලේන්ජ් එකට ෆේස් කරල සක්සස් වෙන්න ඕනෙ නිම්නා”

අවසානයේ ඔහු ඒ ටික කීවේ, තම හදවතෙහි තියා රස විඳීමෙන් පසුව ය. මම තවත් ටිකක් හිස හරවා ඔහු දෙස බැලුවෙමි. සියල්ල කියවා ගන්නට, කියන දේවලට  වඩා ඔහු නො කියන දේවල් කියවා ගන්නට මගේ ස්ත්‍රී හදවතෙහි නොනිම් ආශාවක් ඉපිද තිබුණේ ය.

පිරිමින් මුදල් හරි හම්බ කිරීමෙන් ද වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය කරා ගමන් කිරීමෙන් ද ජීවිතයේ වැඩිම සතුට ලබන බව මම අසා ඇත්තෙමි. කුලාන් ද එවන් පිරිමියෙකි. ඔහු මේ මොහොතේ භුක්ති විඳිමින් සිටින රසය, ඒ සතුටේ පෙර නිමිති වලට අදාල එකකි. බොහොමයක් කාන්තාවන්, එකී ස්වභාවික තත්වයෙන් පිරිමින් ව පිළිගන්නේ නැත. ඔවුන් බලාපොරොත්තු වන්නේ පිරිමි ස්වභාවයේ තටු කපා ඔත්පල කරවනු ලැබූ අර්ධ පුරුෂයෙකි. සිය කැදැල්ලේ අවශ්‍යතා පරිදි ජාන විකෘති කරවන ලද ගිරා පෝතකයෙකි. ඒ ගිරව් වෙලාවට ගෙදර පැමිණිය යුතු ය. කඩේ ගොස් බඩු ගෙන ආ යුතු ය. සැලෝන් දොරකඩ කල් මැරිය යුතු ය. දරුවන් සමග ඉස්පිරිතාලේ යන්නට පැමිණිය යුතු ය. දරුවන් ටියුෂන් පන්තියෙන් ගෙන ආ යුතු ය. කොටින් ම කියනවා නම් රැකියාව හැර අන් සියල්ල කළ යුතු ය. රැකියාවට මුල් තැන දෙන බොහොමයක් පුරුෂයන් ගේ ස්ත්‍රීහු කොතෙකුත් කනිපින්දම් කියති. නහයෙන් අඬති. ඔවුන් ප්‍රීතිමත් ව සිටිනු දැකීමෙන් ලැබිය හැකි සතුට නො දකිති. නො දනිති.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 7

“සර්ට ඒක කරන්න පුළුවන්”

ඔහු දයාවත් බැල්මකින් මදෙස බැලුවේ ය. වචන වලින් මොනවාවත් කියන්නට අවැසි නැත. ඒ බැල්ම මට මියෙන මොහොත තෙක් මිමිණෙමින් ළඟ රැඳෙන කවියකි.

“අවුරුදු දහ අටක කෙල්ලෙක් හිතන විදිහට පිරිමියෙක් ගැන හිතන්න දැං ඔයාට බෑ නිම්නා”

මගේ ම යටි හිත මට මුමුණනවා ඇසිණ.

“ඔය කවි පේළි වල තාලෙං හිතන්න පුළුවන් පිරිමි ප්‍රායෝගික නෑ. අනික එහෙම තැනකට හිත බැඳුනහම ලේසියෙං ගලෝගන්න බෑ. ගලෝගත්තත් ඊළඟට මුණ ගැහෙන සාමාන්‍ය පිරිමිංගෙනුත් අර විදිහෙ පිරිමිකම් හොයන්න ගිහිං හිස් කමක් ඉතුරු වෙන එක විතරයි වෙන්නෙ”

හිත ඇතුළේ හිඳ කවුරුන් මට එහෙම කියනවා දැයි මට සිතා ගත හැකි වූයේ නැත.

මත්තෙගොඩට ඉතා ආසන්නයේ දී රිය නතර කරවා ගත් මම, වෙනත් අවශ්‍යතාවයක් ඇති බව කියා කුලාන් ගෙන් සමු ගතිමි. හිතේ වූයේ දැන් තාත්තා බස් නැවතුමේ බලා හිඳින බවට සිතිවිල්ලයි. මම එක නැවතුමක දුර තිබිය දී බසයකට නැග ගතිමි. සිතුවා සේ ම තාත්තා නැවතුණ බසයට එබී බැලුවේ ය. පපුවෙහි දැවිල්ලක් ඇති වෙනවා මට දැනිණ. මහත් වරදකාර හැඟීමක් මා රිදවී ය.

“තාත්තෙ අපි සුපර් මාකට් එකට යංද…”

මට ක්ෂණික ව ඕනෑ වන්නට ඇත්තේ ඒ වරදකාර හැඟීමෙන් මිදෙන්නට ය. 

“තාත්තෙ කම්පනි එකේම සැලරි වැඩි කළා අද. මටත් දැං හොඳ සැලරි එකක් ලැබෙනව. අපිට ඉස්සරහට අමාරු වෙන එකක් නෑ. මේ මාසෙ තාත්තටයි අම්මටයි දෙන්නටම ඩොක්ට චැනල් කරල බෙහෙත් ගමු”

තාත්තා ගේ මුව මඳහසක් ඇඳිණි.

“අපි ගැන නෙවෙයි. ඔයා ගැනයි හිතන්න ඕනෙ. පොඩි එකාව ගන්න හිතං ඉන්නවනං කීයක් හරි ඉතුරු කර ගන්නත් ඕන පුතේ”

“කම්පනි එක අලුත් බිල්ඩින් එකකට ගෙනියන්න හදන්නෙ. අද අපි කීප දෙනෙක්ව එක්ක ගියා ඒක බලන්න. ඒකයි පරක්කු වුණේ”

ඒ සත්‍යය ම නො වන මුත් අසත්‍යය ද නොවේ.  අප වැඩිපුර මිල දී නො ගන්නා විශේෂ ආහාර පාණ වර්ග රැසක් ම මම මිල දී ගතිමි. 

“මෙහෙම වියදං කරන්න පුරුදු වෙන්න එපා. අපි බලන්න ඕනෙ අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් වියදං කරන්න. නාස්ති කරන්න පුරුදු වුණොත් වෙන්නෙ කොච්චර හම්බ කළත් ඉතුරුවක් කරගන්න බැරි වෙන එකයි”

මග දී තාත්තා වියදම් කිරීමේ පාඩම මට මතක් කළේ ය. මම තැන් තැන් වල තරු එක දෙක දැල්වෙන මත්තෙගොඩ අහසට හිනැහුණෙමි. දුහුවිලි සුළඟක් හමා ගියේ ය.

“හැමදාම නෙවෙයිනෙ තාත්තෙ”

මත්තෙගොඩ නගරයේ වෙළෙඳ සැල් හා මහල් නිවාස විදුලි බුබුළු වලින් ආලෝකවත් ව තිබිණි. බඩු මලු එල්ලා ගෙන අප යන පෙර මග, අම්මා බලා උන්නා ය.

“අද නිම්නා වෙනදාට වඩා පරක්කුයි”

“කොහෙටද ගියා කියන්නෙ. ඕං පඩිත් වැඩි කරලලු හොඳ ගාණකිං”

මම ඉක්මනින් නාන කාමරයට වැදී දිය නා ගතිමි. රාත්‍රී ආහාරය පිටින් ගෙන ආ නිසා අද උයන්නට උවමනා නැත. වෙහෙස තැවරුණ මිහිරි රසයකින් යුතුව මම යහනේ වැතිර ගතිමි. ඒ වෙලාවේ කොහෙත් ම මා බලාපොරොත්තු නොවූ ලෙස කුලාන් කතා කළේ ය. මා ඉක්මන් කොට උත්තර දුන්නේ මවිතයෙනි.

“සර්…”

“නිම්නා. සැලරි ඉන්ක්‍රිමන්ට් එක ගැන පොඩ්ඩක්වත් වැරදියට හිතන්න එපා. ඔයාගෙ පඩිය කීයකින් වැඩි කළත් ඊට වැඩිය සේවයක් කම්පනි එකට ඔයාගෙං වෙනව. මට තේරෙනව ඔයාගෙ ප්‍රශ්න ටික විසඳගන්න හොඳ සැලරි එකක් නැතුව බෑ. ඒ ප්‍රශ්න විසඳල දෙන්න අපිට පුළුවන් නං කම්පනි එකට මීටත් වැඩිය දේවල් ඔයාගෙං ලැබෙයි”

මට මොනවා හෝ කියන්නට ඕනෙ වුණේ ය. නමුත් මගේ උගුරෙන් වචනයක් පිට කර ගැනීම හිතූ තරම් පහසු වූයේ නැත. ඇස්, නාසය හා උගුරෙහි දැවිල්ල මුසු රිදුමක් පැතිර ගියේ ය. ඒ රිදුම මහ බරක් ලෙස අන්නස්‍රෝතය දිගේ පහළට ගිලා බසිනයුරු මට දැනිණ.

3.8 8 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments