මන්දාරම් හැන්දෑවක – 23

බොහෝ කාලයකට පසු හමු වූ දෙසොහොයුරන්ට වැළඳ ගැන්මට ඉඩක් නොලැබුණි.කාලාන්තරයකට පසු අයියාගේ මුණ ගැසීම සමරන්නට තරිඳුගේ හිත තුළ සැලසුම් පවා තිබිණ.එහෙත් අහම්බයකින් සිදු වූ අනතුර නිසා දිනිඳු වැව් පිටියට එද්දී තරිඳු හුන්නේ මේඝා අසලින් හිඳගෙන වෙහෙස නිවමිනි; පාන්දර වැවකට පනින්නට සිදු වීම නිසා සීතලෙන් වෙව්ලමිනි.

“මල්ලි මෙයා ගිලෙනකොට ද දැක්කේ?”

බොහෝ කාලයකට පසු අයියාගේ කටහඬ අසන්නට බලා හුන් තරිඳුට මුලින්ම ඇසුණේ වෛද්‍යවරයෙකුගේ හඬ ය. ඔහු වෙහෙසින් බර වූ හඬකින් අයියාට සියල්ල විස්තර කළේ ය.

සිවු වසරකට එහා අතීතයක දී සමාධිගේ වෛද්‍ය වාර්තා පිරික්සන විට හිතට ආ බර හැඟීමට සමාන හැඟීමකින් දිනිඳු මේඝා පරීක්ෂා කළේ ය. තරිඳුගේ ඉක්මන් ක්‍රියාත්මක වීම නිසා මේඝාට වතුර පෙවී තිබුණේ නැත; ජීවිත අවදානමක් තිබුණේම නැත.ඇය දෑස් හැර අවට බැලී ය.මහනෙල් මල් විල අසබඩ හිඳ අම්මාට තුරුළු වන්නට කාලය පැමිණ ඇතැයි හැඟීමකින් දෑස් විවර කළ මේඝා මුලින්ම දුටුවේ ඈ වෙත එබී හිඳින දිනිඳු ය.තද අතකින් අල්ලාගෙන තමන් මෙගොඩට ගෙනෙන්නට උත්සාහයක් ගත් අයෙකු ගැන ඡායාවක් ඇගේ සිතෙහි ඇඳී මැකී ගියේ ය.දිනිඳු අසලම හිඳින තෙත බේරෙන තරුණයා ඔහු විය හැකි බව සිතුණ ද මේඝාට ඔහුට ස්තූති කරන්නටවත් සිතක් ආවේ නැත.ඇය දෑස් පියා ගත්තා ය.

තරුණියක වැවට පැන ඇති බවත් ඒ වෙත වහා එන ලෙසටත් බිනරට දිනිඳු පැවසුවේ රිය ධාවනය කරන අතර ය. ඒ තරුණිය ගැන නොපැහැදිලි බියක් හදවත වෙළා ගනිද්දී බිනර ද මෝටර් සයිකලයකට ගමන් කළ හැකි උපරිම වේගයෙන් වැව් පිටිය වෙත පැමිණියේ ය.

“මේඝා…”

ඔහු පැමිණියේ බොහෝ කලබලයෙනි.ඒ කලබල වීම ජනිඳු අතින් ගිලිහුණු දැරියට රැඳෙන්නට තැනක් ලැබී ඇතැයි යන වැරදි අවබෝධය පවා තරිඳුට ඇති කළේ ය.ඔහු බිනරගේ කලබලය ද ඔහු නොනවත්වාම දිනිඳුගෙන් ප්‍රශ්න ඇසීම ද බලා හුන්නේ ඒ සැනසීමෙනි.

“මේඝා..හෙමින් නැගිටින්න නංගි..ඔයා ගිලිලා නෑ. ඒ නිසා පොඩ්ඩක් ෂොක් වෙලා විතරයි.දැන් හෙමින් කූල් ඩවුන් වෙන්නකො. අපි හවසම යං ඩොක්ට කෙනෙක් ගාවට.ගිහිං පොඩ්ඩක් හිත හදා ගන්න පටන් ගමු..”

දිනිඳුගේ කාරුණික වදන් මේඝා දරා හුන්නේ අපහසුවෙනි.ඇයට ජීවත් වෙන්නට ඇති ආශාව මතු වෙමින් ගිලිහෙමින් පැවතිණ.

මේඝා සිදු වූ සියල්ල විශාදයට හෝ ආතතියට ලක් නොවී දරා ගත්තායැයි සිතා සිටීම වෛද්‍යවරයෙක් ලෙස තමා සිදු කළ වැරදි විනිශ්චයක් බව දිනිඳු සිතුවේ කණගාටුවෙනි.මේඝා රාත්‍රියේ බොහෝ කැළඹීමෙන් පසු වූ නිසා ඇය සමඟ රැඳෙන්නට තිබුණු වග සිතමින් බිනර ද ශෝක විය. මේ දැරිය සියදිවි නසා ගන්නට කීවරක් උත්සාහ කරාදැයි සිතමින් තරිඳු ද පසු වූයේ දුකිනි. මිනිස් හැඟීම් ගැන නොසිතා කෙනෙකුගේ කඳුළු ප්‍රීතියක් කරගන්නට කැමති ජනිඳු සිදු කළ අපරාධයක කටුක වේදනාව මේඝා දරා ගන්නා ආකාරය ගැන සිතමින් තරුණයන් තිදෙනා වෙන වෙනම ශෝක වූහ.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - අවසාන කොටස

බිනරගේ ඇමතුමකට පැමිණි වරුණට තත්ත්වය ගැන කෙටියෙන් කියන්නට දිනිඳු සිතුවේ ය.

“නංගිට වෙලා තිබ්බ දේවල් එච්චර හරි නැති නිසා අපිට එයාට කවුන්සිලින් අරන් දීලා ටිකක් පරිස්සම් වෙන්න තිබ්බා. මං මේ දේවල් දන්නව කියලා වරුණලාට ඇඟෙව්වෙ නැති නිසාම මටත් ඒක ගැන හිතන්න අමතක උනා. මේඝා ගැන පරිස්සමින් ඉමු මචං..තුවාල සනීපයි වගේ පෙන්නුවට තාම ඇතුළෙන් ලේ ගලනවා.අපි දැන ගන්න ඕන ඒ ළමයා පරිස්සම් කරගන්න”

මාස කිහිපයකට පෙර රජරට දුම්රිය පොළෙන් තමන්ගේ සෙවණට ආ නැගණිය ගැන වරුණ බොහෝ ප්‍රවේසම්සහගත විය.ඇය ක්‍රමයෙන් තම සතුට සොයා ගන්නා බව විශ්වාසයෙන් සිටි ඔහුට ද ඇයට තවමත් කම්පනය ඉතිරිව ඇතැයි සිතුණේම නැත.මේ සියපතට පරව යන්නට ඉඩ නොදෙන්නට ඔහු තරයේ සිතා ගත්තේ ය.බොහෝ කාලයකට පෙර එකම සොයුරිය සර්ප දෂ්ටනයකට ලක් ව මිය යාම ඔහුගේ ජීවිතයේ එකම කණගාටුදායක සිදුවීම ය.ඒ වේදනාව තමන්ගේ බිරිඳ නොවිඳිය යුතු බවට වරුණ දැඩිව විශ්වාස කළේ ය.

” අපි ගෙදර යං පොඩ්ඩි..මේක වෙලා ඉවරයිනෙ.දැන් ගිහින් තෙත ඇඳුම් මාරු කරගෙන හොඳට නිදා ගන්න.බිනරයා, යං නේද?”

වරුණ කිසිදා නොදුටු තරිඳුට බොහෝ ස්තූති කළේ ය.ඔහු සිතුවේ ඒ අනුරාධපුර චාරිකාවක් පැමිණ උදෑසන සංචාරයක ආ තරුණයෙකු බව ය.තරිඳු ගැන පසුව කියන්නට සිතූ දිනිඳු ද කිසිවක්ම පැවසුවේ නැත. මේඝා රැගෙන වරුණ ද බිනර ද පිටව යනතුරුම තරිඳු වදනකුදු නොදොඩා බලා සිටියේ ය.

” මදැයි අයියා බලන්න ආවා.. අපි දැන් යං..”

උදා හිරු රැස් දහරේ පළමු රැස් වැව් දිය සිපගනිමින් තිබිය දී දිනිඳු පැවසී ය.උදෑසන හය ද පසු ව ගොස් ඇතැයි ඔහුට සිතුණේ හිරු රැස් දකිද්දී ය.තරිඳු වෙහෙස පිරුණු සිනාවක් නැගී ය.

“අයියා ඒ ළමයව දන්නවද?” තරිඳු එසේ ඇසී ය.ජනිඳුගේ නොදැමුණු ක්‍රියා ගැන කියද්දි පවා මේඝා හිඳින්නේ තම දෑස් මානයේ බව නොපැවසූ අයියා ගැන ඔහුට වූයේ පුදුමයකි.

“ඒ ළමයට අපේ බූරුවට නඩු දාන්න උවමනාවක් නෑ මල්ලි.ඒ ළමයා මෙහෙට ආව දවසෙ ඉඳන් කරේ ආයේ නැගිටින්න ට්‍රයි කරපු එක.ඊයේ අපේ එකා ආයෙ බෝම්බයක් අතාරිනකම්ම ඒ ළමයා පුළුවන් තරම් සතුටෙන් ඉන්න ට්‍රයි කරා..”

දිනිඳු එසේ කියා රියට නැග ගත්තේ තමන් පසුපස එන්නැයි තරිඳුට පවසමිනි.

රජරට උදෑසන පැවති අසිරිය තරිඳුට දැනුණේ නැත.අට්ටික්කා ගස් ද නුගගස් ද මාර ගස් ද අතරින් මාර්ගයට හිරු කිරණ පෙරී ආවේ ය.ඈතින් මිරිසවැටියේ කොත දිලිහෙමින් තිබ්ණ.ඒ මිරිසවැටිය බව හඳුනා නොගත්ත ද අයියා ජීවත් වන්නේ සැනසීම පිරී ගිය ගම්මානයක බව තරිඳුට සිතිණ.බයිසිකල් මත කිරි භාජන බැඳගෙන එහෙමෙහෙ යන මිනිසුන් ද හරිත පැහැයෙන් බැබළෙන කෙත් වතු ද පසුව ඇසේ අලවා ගන්නට තරිඳු තීරණය කළේ ය.දැන් ඔහුට උවමනා වූයේ ශෝක වන්නටය.මේඝා හදිසියේ සියදිවි නසා ගන්නා තීරණයකට එළඹියේ තමන් සහ නිමාෂා ජනිඳුට එරෙහි වීම ඇරඹීමෙන් පසුදැයි ඔහුට සැකයක් විය. ඉන්පසු ජනිඳු බොහෝ කිපුණු බව තාරුකා මේඝාට හෙළි කරන්නට ඇත.යළිත් නින්දාවන් ඉහිලීමට වඩා එකම විසඳුම පලා යාම බව මේඝා සිතන්නට ඇතැයි ජනිඳු වේදනාවෙන් සිතුවේ ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 21

ජීවිතය අතැර යන්නට තරමේ වේදනාවක් මේඝාට ඉතිරි කළ ජනිඳු වෙනුවෙන් ද පායා තිබුණේ මේඝා යළි ජීවිතය අහුලා ගද්දී නැගී ආ හිරු ය.ජනිඳු උදෑසනම අවදි වූයේ පෙරදා රාත්‍රියේ නින්දක් නොවූ නිසා ය.ඔහු ගෙඋයනේ සක්මන් කරන්නට ගත්තේ නොසන්සුන් හැඟීමකිනි.වාහන සෝදමින් හුන් රුවන් ජනිඳු දෙස නෙත් කොනින් බැල්මක් හෙළී ය.

“රුවන්..මං උඹෙන් අහන්නමයි හිටියේ..”

රුවන් කැළඹීම මුහුණට නොගන්නට වෙහෙසුණේ ය.මිෂෙල් සමඟ සම්පූර්ණ සාකච්ඡාව ඉංග්‍රීසි භාෂාවෙන් රුවන් ඉදිරිපිට කරද්දී ජනිඳු නොදැන හුන් කාරණාවක් විණි.ඒ රුවන් සංචාරක රියදුරෙකු ලෙස අත්දැකීම් ලබා ඇති බව ය. නමුත් ඉංග්‍රීසි නොදන්නා ලෙස හැසිරෙන රුවන් ගැන එවැනි දෙයක් ජනිඳු දැන සිටියේ ම නැත.

“කෝ උඹලගෙ තරිඳු මහත්තයා?” ජනිඳුගේ සමච්චල් කටහඬ මතු වෙද්දීම සැලසුමට අනුව කටයුතු කරන්නට රුවන් ප්‍රවේසම් විය.

“නුවරඑළියේ පැත්තට ගියානෙ..සර් ඕවා ගැන ඔයිට වඩා හොයන්න එපැයි..” රුවන් පවසද්දී ජනිඳු කුහුලින් ඔහු දෙස බැලී ය.

“අර සර් එක්ක පහුගිය කාලේ යාලුවෙලා ලීක් කරගත්ත කෑල්ල හොයන්න ගියේ.නුවරඑළිය පැත්තෙලු ඉන්නෙ. කෙල්ලගෙ යාලුවගෙන් හොයාගෙනනෙ..”

රුවන් මේ අමූලික බොරු පවසන්නේ ජනිඳුගේ මුහුණ දෙස නොබලා ය.නමුත් තරිඳුගේ සැලසුමට එකඟ වන්නට ඔහු තීරණය කළේ ලාබ ප්‍රයෝජන ලැබීමක් නිසා නොවේ.ජනිඳුට පාඩමක් ඉගෙන ගන්නට සිදුවීම ගැන තෘප්තිමත් හැඟීමකිනි.

“සර්ට ඒවා වැඩක් නෑනෙ දැන්..ඔෆිස් එකේ භාග්‍යා මිස් එක්ක මේ ටිකේ ඇවිදිනව කියලා ඔන්න අපිටත් ආරංචි.”

රුවන් මාතෘකාව වෙනස් කරන්නට සිතමින් ජනිඳුට පැවසුවේ සිනා වෙන අතර ය.එයට ජනිඳුගේ පිළිතුරු ගලා ආවේ උස් සිනාවක් කැටුව ය.

“ඒකි අපේ තාත්තගෙනෙ බං..උඹලට ගොසිප් එන්නෙම වැරදියට.ඒවගෙන් වැඩක් නෑ.අරකි නුවරඑළියේ ඉන්න දිහාව හොයලා දියං”

පියා ගැන අසංවර කතා පවසා නිවස තුළට යන ජනිඳු දෙස රුවන් බලා සිටියේ පිළිකුළෙනි.

4.6 9 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments