මන්දාරම් හැන්දෑවක -34

ආපසු නිවෙස බලා යන ගමන පුරා ඉනුලි සිටියේ මේඝාගේ ඇකයට වී ය.බිනර ඉදිරිපස අසුනේ නිසා මෝටර් රථයේ පිටුපස අසුන සම්පූර්ණයෙන් ම ඉනුලිටත් මේඝාටත් අයිති විය.නමුත් ඉනුලි සිටියේ මේඝාගේ උකුලේ ය.තාත්තාගේ කාරයට වඩා වේගයෙන් හඳ මාමා ගමන් කිරීම ගැන පැමිණිලි කරමින් කිකිණි සිනා නගමින් හුන් ඈ කියවිල්ල නතර කළේ පූජා නගරය පසු වෙද්දී ම ය.මේඝා විපරම් කරද්දී සිඟිත්තිය සිටියේ තද නින්දක ය.

ඉනුලිගේ කියවිල්ල නතර වීම ගැන සොයන්නට දිනිඳු පිටුපස බලද්දී මේඝා දැරිය තුරුළු කරගෙන ඇගේ නිදි ඉරියව්ව පහසු කරමින් සිටියා ය.ඈ වාහනය නවතා පිටුපස බැලූ දිනිඳුට මඳ සිනාවක් හෙළුවා ය.

“එන්න කලින් මං නූඩ්ල්ස් ටිකක් නම් කවා ගත්තා අයියේ.දැන් වොෂ් නොකරම නිදා ගනී..මේ හොඳට නින්ද ගිහිං..”

මේඝාගේ මාතෲ ස්නේහය පිරී ගිය කටහඬ ගැන බිනරට ද දැනුණේ සතුටකි;සොම්නසකි.අම්මා අහිමි වූ දා පටන් දිනිඳු නිවසේ උදව්වට හඬ ගසා ගත් වියළි කලාපයේ ගැහැනු මේ දැරිය රැකබලා ගත්තේ ඕනෑවට එපාවට බව ඔහු දැන සිටියේ ය.මාධවී සහ වෙද හාමිනේ බලහත්කාරයෙන් ඈගේ කටයුතු පවරා නොගන්නට දැරිය උස්මහත් වෙන්නේ මව් සෙනෙහස ගැන හැඟීමක්වත් නොලබා වග බිනරට සිහිපත් විණි.

“නයිට් ඩියුටි දාගන්නෙ නැතුව ඉන්න කොච්චර ට්‍රයි කරත් සමහර වෙලාවට අයියට නයිට් ඩියුටි එනවනෙ. ඒ වෙලාවට ලොකු අප්පච්චිලගෙ ගෙදරනෙ ඉනූ බබාව තියන්නෙ..”

බිනර පිටුපස හැරී මේඝා සමඟ කතාවක් ඇරඹී ය.මේඝා සන් කළේ කටහඬ බාල කරන්නට ය.ඉතින් බිනර වඩා පහත් ස්වරයෙන් කතාව ඇරඹුවේ ය.

“එහෙම දවසට මදූ අක්කා කරන්නෙ නින්ද යනකං ඉඳල සෙනූව ලොක්කම්මා ගාවින් තියනව.එළි වෙනකං ඉනු අක්කගෙ තුරුල්ලෙ..”

මේඝා කුඩා ඉනුලිගේ හිස සෙමින් සිප ගත්තා ය.මව් සෙනෙහස අහිමිව උස්මහත් වූ කාලය අවසන් බව දැරිය තුරුලට ගෙන කියන්නට ඇයට ඕනෑ විය.ඈ හැඟුම් දරා සිටියේ අසීරුවෙනි.

“මදූයි වෙද හාමිනෙයි තමා මගෙ කෙල්ලගෙ අම්මලා දෙන්න.හැමදේම හොයනව.ලෙඩක් හැදුණම එහෙම මං දොස්තර කියලත් වෙද හාමිනේට අමතකයි.පරිස්සමක් නැතුව පොඩි එකා ලෙඩ කරල කියල බලු බැනුං බනින්නේ…”

දිනිඳු වාහනය පැදවූයේ එසේ සැහැල්ලු කතා කියවමිනි.මේඝාට ද ඔහුට බනින්නට කාරණා සිහි විණි.මීට සිවු මසකට පමණ පෙර දිනිඳුගේ කාරය මිදුලේ මතු වෙද්දී ලැජ්ජාශීලි ලෙස නැගී සිටි මේඝා මේ දැන් සැරසෙන්නේ ඔහුගේ තාත්තාකමේ අඬුලුහුඬුකම් සිහි කර දෙන්නට ය.

“අයියට බැනල මදි ඒවටනං..මං කිව්ව අර වැලි වල පෙරලි පෙරලි නටන්න දෙන්න එපා මේ රෑ කියල.දැන් ගෙදර ගෙනිහිං සෝදන්නෙවත් නෑනෙ.දාඩියයි වැලියි එක්ක දූ නිදා ගනී. අනික මේ රෑ අයිස් ක්‍රීම් අරන් දුන්නනෙ.මේ දැනටමත් නහය බර වෙලා…”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -36

දිනිඳු කිසිත් නොකියා වාහනයේ වායු සමීකරණ මට්ටම පහත දැම්මේ ය.බිනරට මතු වූයේ සිනාවකි.

“අපෝ මෙයාල ඔක්කොම එකයි..මාත් අම්මගෙන් ලොක්කම්මගෙන් පටන් අරන් මදූ අක්කගෙනුත් බැනුං අහල සඳූගෙනුත් අහගෙන මේකිගෙනුත් පදේ අහගෙන මදිපාඩුවට අර පොඩි සමයමගෙනුත් බැනුං අහනව..වෙලාවකට එකේක සෙල්ලං බඩු හදල දුන්නෑ කියල මේ චූටි නෝනල දෙන්නත් බනිනව..”

වාහනයේ සිනාවක් පුපුරා ගියේ වෙද ගෙදරට වාහනය ඇතුළු වෙද්දී ම ය.ඉනුලි අවදිව හාත්පස බලන්නට විය.

“අනේ බිනර..කියවිල්ල නවත්තල පිටිපස්සට ඇවිල්ල දූව ගන්න. මට බහින්න..”
මේඝා එසේ කියද්දී කුඩා දැරිය ඇගේ ඇඟේ එල්ලී ගත්තේ මේඝාට නොබසින ලෙස බල කරමිනි.ඇගේ චුරුචුරුව හැඬුමකට පරිවර්තනය වෙද්දී මේඝා එනතුරු මඟ බැලූ වරුණ සහ මාධවී ද කාරය වෙත පැමිණිය හ.

“ඉතිං මගෙ මැණික ඇවිල්ලා පුංචි ගාවින් දොයියා ගන්න. අප්පච්චිට ගුඩ් නයිට් කියන්න..”

මාධවී සතුව විසඳුමක් විණි.නිදිමත ඇස් පිහාටු දිගේ බේරෙද්දී පවා කුඩා ඉනුලි සිනාසුණේ සන්තෝසයෙනි.මේඝා ඈ තුරුළු කරගෙන වාහනයෙන් බැස ගත්තේ ඇගේ සම්පූර්ණ අයිතිය හිමි වූ තරමේ සතුටකිනි.

“දැන් දිනිඳුට ආයේ නයිට් ඩියුටි දාගන්න පුලුවං..බේබි සිටර් ඉන්නවනෙ.ගහයි පොත්තයි වගේ ඇලිලා ඉන්න හැටි පේනවනෙ..”

ඉනුලිව තුරුළු කරගෙන නිවසට යන මේඝා පෙන්වමින් වරුණ පැවසුවේ මඳහසකිනි.එවැනි මඳහසක් මුහුණේ අලවාගෙන දිනිඳු රිය පණ ගන්වා ගත්තේ සොම්නසකිනි.

“එහෙම නයිට් යන්න වෙන එකක් නෑ.අර ගස් ගොම්මනේ තියන පාළු ගෙදර බේබි සිටර් තනියම ඉන්න එකකුත් නෑ..”

බිනර පැවසුවේ රථය නැවත මාර්ගයට වැටෙද්දී ම ය.දිනිඳු එයට පිළිතුරක් නොදී එළඹිය හැකි අනාගතය ගැන මනස්කාන්ත සිහින හිතේ පැළ කරවන්නට පටන් ගත්තේ ය.ඉනුලිගේ අනාගතය සුරක්ෂිත බවත් ඈ නුදුරු දිනයකම ආදරණීය අම්මා කෙනෙකුගේ ඇසුරටත් තුරුලටත් හිමි වගත් සිතෙද්දී ඔහුට දැනුණේ සොම්නසකි.

පෙරිමියන්කුලම ආදරය සහ ප්‍රීතිය උතුරා යමින් තිබිය දී මහරගම පාරේ මොරීන්ගේ රූපලාවණ්‍යගාරය ඉදිරිපිට නැවතුණු රියෙන් බිමට බැස ගත්තේ වසන්ති සල්වතුර ය.මොරීන් උදෑසන මනාලියක හැඩ ගන්වා මඳක් ඉසිඹු ගත්තා පමණි.ඈ රූපලාවණ්‍යගාරයේ පඩි නැග එන උස් පාවහන් හඬ අසා සිටියේ විමතියෙනි.

“උදේ අපොයිමන්ට්ස් තියනවද කෞෂි?”

ඈ සහායිකාවකගෙන් ඇසුවා ය.පිළිතුර නැත යන්න වෙද්දී නම අමතක රූපය හුරු ගැහැනියක මොරීන් ඉදිරියේ පෙනී සිටියා ය.මොරීන් ඈ කවුදැයි සිහි කිරීමට මනස වෙහෙසද්දී කාන්තාව හිනැහුණේ දිගු කාලයක පුරුදුකාරියක විලසිනි.

” මම වසන්ති සල්වතුර. ඔයා මාව දන්නව ඇති..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -12

මොරීන් වහා නැගී සිටියා ය. ඈ කාන්තාව පිළි ගත්තේ ගෞරවයෙනි. රූපවාහිනියේ කාන්තා වැඩසටහන්වලට නැතිවම බැරි ගැහැනියක වූ ඈට අවශ්‍ය රූපලාවණ්‍ය සත්කාරය කුමක්දැයි සිතමින් මොරීන් ඇගේ ව්‍යාපාරික ඇස මෙහෙයවන්නට වූවා ය.

“ව්‍රින්කල්ස් ඇවිල්ලා අනේ හරියට.ඔයාගෙ ට්‍රීට්මන්ට්ස් නියමයි කියල මගෙ යාලුවෙක් කිව්ව. මං ඔයාව හොය හොයමයි හිටියේ..අද ට්‍රීට්මන්ට්ස් වලට එක්කම ආවා..”

වසන්තිගේ ව්‍යාපාර ඥානයට මොරීන් පැරදී තිබිණ.ඈ තමන්ගේ සේවාව ගැන පුරාජේරු කෝටියක් කියවාගෙන ගියා ය. වසන්ති ඒ සියල්ල සාවධානව අසා සිටියා ය.

“ඔයා දන්නව ඇතිනෙ ඩාලිං මං විමෙන් රයිට්ස් ගැන වැඩ කරන කෙනෙක් කියල.මං ඔයාලව පහුගිය කාලෙම හෙව්ව.මෙච්චර කිට්ටුව කියලා දන්නව නම් අපිට මේ වෙද්දී මේක ඉවරයක් කරන්නත් තිබ්බා..”

වසන්ති රූපවාහිනී සංවාදයකදී මවා ගන්න සෞම්‍ය ස්වරයෙන් කතාබහ ඇරඹුවා ය.මේ අසන්නට යන්නේ අහක සිටි තමන්ගේ මුහුණේ පවා දැලි තට්ටුවක් ඉලූ මේඝා ගැන බව වැටහුණ ද මොරීන් කිසිවක් නොකියා අසා සිටියා ය.

“ඔයා අර මේඝා කියන ගර්ල්ගෙ පුංචි කියල මම දන්නව ඩාලිං.මට තේරෙන් නැත්තෙ ඇයි ඔයාල ඒ කොල්ලට කේස් එකක් ෆයිල් නොකරන්නෙ කියල.කෝ මේඝා?”

වසන්ති වඩා සෞම්‍ය ස්වරයකින් විමසුවා ය.ඒ කොල්ලාගේ මව තමන් බව මේ ගැහැනියට දැන ගන්නට තැබීම කිසිසේත්ම සුදුසු නැත.නමුත් ඈ හීන් නූලෙන් බොහෝ අරමුණු කරා යන්නට සමතියකි.

“අපෝ මොකටද මැඩම්..මං එයාව ගෙදරින් පැන්නුව.මට මගෙ ළමයි හදා ගන්න ඕන..”

“ජනිඳු කියන්නෙ වීරසේකර ඇන් සන්ස්ලගෙ බාලපුතානෙ.කම්පැනීස්ම කීයක් තියන මිනිස්සුද..අපි නඩුවක් දාමු..හම්බෙන වන්දියෙන් ගොඩ යන්න පුලුවං මේඝාට විතරක් නෙවෙයිනෙ ඔයාලටත් පුලුවං..”

ඇම වැටුණේ ඉතා පහසුවෙනි.මේඝා ඉන්නා තැනක් සොයා ගන්නට හැකි නම් තමන්ගේ ඥාති දියණියට ඒ නඩුවේ වැඩකටයුතු ඇරඹීම ඉතා පහසු බව වසන්තිගේ මුවෙන් පිට වූවා පමණි.මේඝාට ජීවත් වන්නට තිබෙන එකම තැන අනුරාධපුරයේ ඥාති සහෝදරියගේ නිවස බව මොරීන් පැවසුවා ය.තමන් කිසිදා මාධවීගේ නිවසට ගොස් නොතිබුණ ද ඒ ගමේ නම පෙරිමියන්කුලම බව මොරීන් ට මතක ය.ඈ දන්නා සියළු විස්තර හෙළි කළා ය.

“රුවන්,අපි මේ වීකෙන්ඩ් එකේ අනුරාධපුරේ යන්න ඕන හරිද?”

මොරීන්ගෙන් සමුගෙන මෝටර් රථයට ගොඩ වූ වහා ඈ රියදුරා අමතා පැවසී ය.නමුත් මේඝා ඒ කියන ඥාති නිවසේ හිඳීම ගැන ඇයට තිබුණේ සැකයකි. තරිඳු මේඝා හමු වන්නට නුවරඑළියට ගිය වගක් ජනිඳු පැවසූ අන්දම ඈට මතක ය.නමුත් මේ පටලැවිල්ල ඉතා ඉක්මනින් විසඳන්නට ඈ සිතා ගත්තා ය.

5 3 votes
Article Rating
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika
29 days ago

අයියෝ වසන්ති මැඩම්ට මේඝා හොයා ගන්න බැරි වුනොත් හොඳයි..

Anuradha silva
29 days ago

Ekanm hoda deyak newe..

සුනේත්‍රා
29 days ago

මේ හොල්මනට ඒ දෙන්නම අහුවෙයිද මන්දා

සුජා
19 days ago

අපොයි මේ මෝඩ ගෑනි කිව්වා නේද සල්ලි තන්හාවට මේඝා ඉන්න තැන😡