බිනර දෑත් මත හිස ගසාගෙන වැළපෙන දිනිඳු ලෙස බලා සිටියේ හද කකියවන ශෝකයෙනි.සහෝදර බැඳීම් හට ගන්නට ලේ බැම්ම නුවුමනා වග ඔහු උගත්තේ දිනිඳුගෙනි.හදවතින් බැඳුණු සහෝදරයා මේ දිය කර හරින්නේ සය වසරක වේදනාව වග බිනර දැන සිටියේ ය.ඇතැම් විට ඒ සය වසරක වේදනාවම නොව ජීවිත කාලය පුරා දරා ගත් වේදනාවකැයි අනතුරුව බිනර සිතුවේ ය.ඔහු දිනිඳුට තනිව හිඳින්නට හැර ඉනුලි වෙත ගියේ බරව ගිය හදවතිනි.
මද්දහන ගෙවී යමින් තිබිණ.අහස පුරා ඝන වළා එක්රැස් වන්නේ මහ වැස්සකට බව බිනර දැන සිටියේ ය.ඔහු මිදුලේ ඒ මේ අත ඇවිදිමින් වසන්ති සල්වතුර තුළ වූ උඩඟු බව සිහි කළේ ය.
“අපෙ අම්මා අටේ පන්තියෙන් පස්සෙ ඉස්කෝලෙ ගිහිං නෑ.කුඹුරු වැඩක් කරගෙන සමිතියකට ගිහිං මොකක් හරි සීට්ටුවක් දාගෙන ඉන්න මනුස්සයෙක් අපේ අම්මා.අප්පච්චිට උඩින් වචනයක් කියන් නැති පොඩ්ඩ ඇත්නම් අපිට හැඳිමිට උලුක් කරන මනුස්සයෙක් අපේ අම්මා.හැබැයි අපේ අම්මවත් ඔහොම අසාධාරණකං පෙනි පෙනී උහුලන් නෑ..”
බිනර සිතුවේ ය.අසල්වැසි ගෘහනියක ගෘහ සේවය පිණිස ඩුබායි යන්නට ගිය පසු තිස්සේම බීගත් ගෘහ මූලිකයා ගැන අම්මාට තිබූ අරෝව ඔහු අනතුරුව සිහි කළේ ය.
“අර විජේ එක විනාඩියක් හරි සිහියෙං ඉන් නෑ. ළමිස්සියක් ගේ ඇතුළෙ. උගෙ කාලකන්නි බේබදු හමුදාව ගේ අස්සෙ රිංගගෙන බොනව. කෙලි පැටික්කිට කරදරයක් කරන්න ආවොත් නම් මං ඕකුන්ට මන්නෙන් කොටනව..”
අම්මා එසේ කීවා පමණක් නොව මන්නය මුළුතැන්ගෙයි දොර මුල්ලකට ද තබා ගත්තා ය.ඇගේ ගැහැනු ඉව වැරදුණේ නැත.අසල්වැසි දැරිය ඉකි ගසමින් ගැහෙමින් දිව ආ දිනයේ අම්මා කාලි යකින්නිය මෙන් පරල වූවා ය.ඈ කෑගැසුවේ සභ්‍ය වචනවලින් නොවුණ ද වෙරිකාරයන්ගේ වෙරි හිඳෙන තරමට ඈ රළු පරළු වූයේ අසල්වැසි දැරිය නිසා ය.වරුණගේත් දිනිඳුගේත් මැදිහත් වීම යටතේ දැරිය ආරක්ෂිත ස්ථානයකට යොමු වීම ගැන බිනරගේ අම්මා වින්දේ අප්‍රමාණ සැනසීමකි.
“බත් කටක් උගුරෙන් පහළට දාගන්නයැ අක්කේ අපිට පෙනි පෙනී අර අහිංසකීට විපත්තියක් උනානං..බේබදු හැත්ත පෙති ගහන්න තරං කේන්ති මට..”ඇය වෙද හාමිනේ සමඟ ද සෝලි තැබූ හැටි බිනර සිහි කළේ ආදරයෙනි.
“අපේ අම්මල දන්න කාන්තා විමුක්තියක් නෑ.ඒත් අම්මා එදා මරාගන්න ගියෙ නැත්තං දර්ශනී නංගි මෙලහකට අම්මෙක්.අම්මට තිබ්බ හයිය දිනිඳු අයියලගෙ අම්මට නැත්තෙ ඇයි? නෑ නෙවෙයි ඒ මූණු දෙකක් දාගත්තු අයගෙ විදිය..”
ඔහු සක්මනේ යෙදුණේ ඒවා සිතමිනි.අහම්බයකින් ඇසුණු කතාන්දරයක් නිසා ඔහු සිටියේ පීඩනයෙනි.ඉනුලි තමන්ගේ දියණිය නොව නැගණිය යන කටුක සත්‍යය දිනිඳු දරා ගන්නා ආකාරය ඔහුට අදහා ගන්නට නොහැකි විය.එය දැන ගැනීම ම බිනරට ගෙනාවේ තදබල මානසික කම්පනයකි.
වර්ෂාව ඇරඹිණි.අනෝරා වැස්සක් ඇද හැලෙන්නට වූයේ පරිසරය අඳුරු කරවමිනි.බිනර ඉනුලිට වැස්සේ තෙමෙන්නට නොදී හිඳින්නට දැඩි වෙහෙසක් ගනිද්දී දිනිඳු පිටතට පැමිණියේ ය.
“වෙච්ච දේවල් හිතන් නැතුව ඉන්න කියන්න නං බෑ අයියෙ. හිත හද ගන්න බලමු. අපි තව ටික දවසකින් අයියගෙ ඔෆීෂියල් නෑයෝ.අපි ඉන්නවනෙ..”
බිනර පවසද්දී දිනිඳුගේ මුව මත ඇදුණේ සැනසුම් සිනාවකි.
“මං ඒ ළමයට එහෙම මොකුත්ම කියල නෑ බං..මේඝාට ඉස්සරලම කියන්න ඕන මම ජනිඳුගෙ මොකාද කියනෙක. ඊටපස්සෙ එයා තීරණයක් ගනී.හරියට කවුන්සිලින් අරන් එයා හිත හදා ගත්තම මං කියන්නං ඒක..එතකන් අපිට ඉවසන්න වෙනව.”
දිනිඳු පවසන්නේ කල්පනාකාරීව ය.බිනර කිසිත් නොකියා ඉනුලිට කඩදාසි බෝට්ටුවක් සෑදුවේ ය.එය ඈ අතට දුන් පසු ඔහු කටහඬ අවදි කළේ ය.
“අයියා ඔහොම කීවට ලොක්කම්මල හෙට අනිද්දට නැකැතුත් බලවයි. එයා හරි සන්තෝසෙන් ඉන්නෙ. අරුණි නංගිට දෙන්න හිටපු සේරම දේවල් මේඝාට දීලා ලොකු වෙඩින් එකකුත් ගන්න ඕන කියල හරි ආසාවෙන් කීවෙ..”
වෙද හාමිනේ ඒ යෝජනාවට එකඟ නොවෙතැයි මාධවී පවා සිටියේ දෙගිඩියාවෙනි.දරුවන් ගන්නේ හරි තීරණ බව වෙද මහතාට සැකයක් නොවුණ ද දරුවෙකු සිටින දිනිඳුට ඔහුට වඩා වසර කිහිපයකට බාල මේඝා ගැන සිතක් පහළ වීම ගැන වෙද හාමිනේ සෝලි තබතැයි මාධවී අනුමාන කළා ය.
“අපේ කෙල්ලව දරුවෙක් වගේ පරිස්සං කරයි පුතේ දොස්තර මහත්තය. කසාදයක් බැඳලා දරුවෙක් හිටියට තාම ලකේට ඉන්න ඉලන්දාරියා වෙච්ච එකේ මේඝා දුවත් අකමැති වෙන එකක් නෑ.ඒ නිසා බාරියාව නැති වුණු කනවැන්දුං පුරුසයෙක්ට නංගි කසාද බන්දන්න උනා වගේ හිත් සංකා පුතත් තියා ගන්න එපා.කෙල්ලෙක්ට ඕන හිතේ නිදහසෙන් වැටිල ඉන්න හෙවණක්. එහෙම හෙවණක් අර අම්ම නැති කෙල්ලට හදන්න දොස්තර මහත්තයට පුලුවං..”
වෙද හාමිනේ එවැනි කතාන්දර කියමින් මාධවීගේ හිත ද හදන්නට වූවා ය.ඈ විවාහ මංගල්ලය ගැන සිහින දකින්නට වූයේ ඉන්පසු ය.
ඒවා සිහි කරමින් සිටි බිනර එක්වරම ගැස්සී ගියේ වැස්ස ඉරාගෙන මිදුලට පැමිණි තෙරෝද රිය දැකීමෙනි.හදිසි රෝගියෙකු වන්නට ඇතැයි සිතුව ද ඉන් බැස ගත්තේ මේඝා ය.
“අනේ පිස්සුද හරක් පැටියො. දූවත් අරගෙන හිටිගමන් අතුරුදහන් වෙලා. බලන් ඉඳල ඉඳල මං මේ ආවේ..”
ඇය බරාඳයට ගොඩ වූයේම බිනරට කෑගසාගෙන ය. බිනර දෙඅත් ඉනට ගසාගෙන නැගී සිටියදී දිනිඳුට පහළ වූයේ සිනාවකි.
“මෙයා මේ මං ගේ ඇතුළට ගිය විනාඩියෙන් බබාවත් අරගෙන මාරු වෙලා අයියෙ.මං බය වෙච්ච තරම්.යසාට කියල ටක් ගාලා මාරු වෙලා..”.
ඇය දිනිඳුට නෝක්කාඩු කියන්නට ගත්තා ය.දිනිඳු ඇගේ ආවේගය දෙස බලා සිටියේ සෙනෙහසිනි.ඉනුලිගේ සම්පූර්ණ වගකීම තමන් පිට පවරාගෙන හැසිරෙන මේඝා ඔහුට අනාගතය ගැන සුබ අනාවැකි රැගෙන ආවේ ය.
“මට පොඩි හිසේ කැක්කුමක් ආවා නංගි.බිනරව ගෙන්න ගත්තේ ඒකයි.ඒක ඇහිලා දූත් ඇවිල්ලා”
දිනිඳු එසේ කී පමාවට මේඝා ඔහුගේ නළල මත අත්ල තබා බැලුවා ය.ඇගේ ඒ හදිසි ක්‍රියාත්මක වීම ගැන ඇයටම කෝල හැඟීමක් ඉපදෙද්දී ඈ වහා අත ඉවතට ගත්තා ය.
“අයියා ඩොක්ට කෙනෙක් මැඩම්.එයා බේත් බීලා පොඩි රෙස්ට් එකක් අරන් ඉන්නෙ.ඔයා ලෙඩ බලන්න ඕන නෑ.ගිහිං අපිට තේ එකක් හදපං..”
බිනර පවසද්දී මේඝා ඔහුට රවා බැලුවා ය.නොසිතා සිදුවූ දේ බිනරට තව කාලාන්තරයක් ගෙවෙන තුරු සරදමක් වන බව ඈට සහතික ය.
“මේඝා, ඔයාට පුලුවන් ද දවස් දෙකක් වගේ දූව බලාගන්න.මං කොළඹ ගිහින් එන්න ඕන..”
දිනිඳු හදිසි සිතුවිල්ලක එල්බ ගෙන එසේ පැවසුවේ හදිසියේ ය.හිස වනා කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව මේඝා තේ හදන්නට මුළුතැන්ගෙයට ගියේ දිනිඳු හදිසියේ කොළඹ යන හේතුව ගැන සිතමිනි.
“මං චූටි මල්ලිව මුණ ගැහෙනව බිනර.හැමදෙයක්ම කතාබහ කරල ඉවරයක් කරගන්න කාලෙ ඇවිල්ල.මේඝා බයෙන් සැකෙන් ජීවත් වෙලා වැඩක් නෑනෙ..”
දිනිඳු පහව නොගිය වර්ෂාව දෙස බලමින් පවසද්දී බිනර තිගැස්සී ගියේ ය.
මහ වැසි ඇද හැලෙමින් තිබිණ.වර්ෂාව නිම වී හිරු පායා ඒනම් කදිමයැයි දිනිඳු සිතුවේ ය.සූර්යයාට දීප්තිමත් ව බැබළෙමින් අඳුර පලවා හරින්නට කාලය එළඹෙමින් තිබිණ.
කාලය අතපසු වීම් සහ වැරදීම් නිවැරදි කිරීම අරඹන්නේ සොබාදහම සමඟ රහසිගත ගිවිසුමකට බැඳෙමිනි.මේ මොහොතේ පමණක් ජීවත් වෙමින් නොකඩවා වරදෙහි බැඳෙන්නන්ට තමතමන්ගේ රංගනයන් අවසන් කරන කාලය ලබා දෙන්නේ සොබාදහමට ඕනෑ අන්දමට ය.පෙරිමියන්කුලම ගම්මානයේ කුඩා නිවහනකට වී මේඝාට යහපත සොයා දීමේ සටන අරඹන්නට දිනිඳු සැලසුම් සකසන මොහොතේ ඔහුගේ එකම මාමා වූ හේමන්ත සල්වතුර ගිනියම් කොළඹ නගරයට වී තවත් සැලසුමක් සකසමින් සිටියේ ය.
ඒ විශේෂ මෙහෙයුම තමන්ගේ ම කෙනෙකු නීතියේ රැහැනට හසු කරන මෙහෙයුමක් බවත් ඕනෑම මොහොතක එය තමන්ට නවතා දැමිය හැකි බවත් ඔහු දැන සිටියේ ය.
එහෙත් ඔහුට නැවතෙන්නට උවමනා නොවිණි.