විහඟ පියාපත් 37

0
6249

ශයිනි අකලංකගේ ලැප්ටොප් පරිඝනකය  මේසයේ පසෙකට කලේය. අමයුරු ට තමා මෙහි පැමිණෙන බව කීවේ නැත. උදෑසන  නිවසෙහි  වූයේ කලබලයක් ය. 

එහෙත් පැය භාගයකට පෙර අමයුරු තමා කොහිදැයි විමසා ඇති වග ශයිනි දුටුවේ එවෙලෙහිය.

“මම හොටෙල් එකට ආවා…”

පණිවිඩය යැවූ මොහොත හා සමපාතව අකලංකගේ ලැප්ටොප් පරිඝනකයෙන් හඬක් නැඟුණි. ශයිනි එය එතරම් ගණනකට නොඟෙන යළි අනෙක් පණිවිඩයද යැව්වේය.

 අද අමයුරු කාර්‍යබහුල දිනයක් බව ඊයේ  කීවා මතකය. එනිසා ඇතැම්විට කොළ පැහැ සලකුණු මැසෙන්ජරය මත පෙන්නුම් කලා වුවද ඔහුගෙන් ප්‍රතිචාර නොලැබිය හැක.

“මම අද ඩ්‍රේනේජ් සිස්ටම් එක චෙක් කරනවා.. ඔයා වැඩ අවසන් වෙලා මට පණිවිඩයක් තියන්න..”

එසැනින් යළි හඬක් නැඟුණි. ශයිනි එවර නම් ලැප් ටොප් පරිඝණකය දෙස එබී බැලුවාය. විවෘතව තිබුණේ අමයුරු දිසානායකගේ මුහුණු පොතය. ශයිනි වහා  ඒ වෙතට එබුණාය. ඉන් පසුව ලැප්ටොප් පරිඝනකය  අතට ගත්තාය. ඇය තත්පර කිහිපයක් ඒ දෙස බලා උන්නේ සිහි එලවා ගන්නට නොහැකි පරිද්දෙනි. මතක තිබූ පරිද්දෙන් මේ අකලංක ට අයිති පරිඝණක යය. එහෙත් මේ පෙනෙන්නේ අමයුරු ගේ ගිණුමය. ශයිනි එහි තම පණිවිඩය විවෘත කලාය. ඉතින් සැක නැත. 

ශයිනි වහා අවට සිටින්නේ කවරෙකු දැයි විමසූවාය. පිරිසිදු කිරීමේ අංශයේ අයෙකු පැමිණියේය.ශයිනි ඔහු අමතා ඇය පැමිණෙන්නට පෙර එහි සිටියේ කවුරුන්දැයි ඇසුවාය.  ඔහු ක්ශණිකව නොපැකිලී පිළිතුරු ලබා දුන්නේය. 

“අර… රඟපාන මහත්තයා …”

“මොන..?”

“අර අකලංක මහත්තයා …”

ශයිනිට දැනුනේ හිස මත අකුණු දහස් ගණනක් පුපුරාගිය වගය. ඇයගේ විරූපීව ගිය මුහුණ දුටු  සේවකයා වහා ඇය වෙතට ඇවිද ආවේය. ඔහු විසින්  ඇය වරක් අමතද්දී ශයිනි පියවි ලොවට පිවිසියේ නැත. එනිසාම ඔහු යළි ඇයව ඇමතුවේය. සේවකයා සිතුවේ ඇයට යම් අසනීපයක්වත්ද කියාය. 

ශයිනි වහා නැගිට්ටේය. ලැප්ටොප් පරිඝනකය ද අතට ගෙන වහා එතැනින් පිටව ගියාය. කැබින් එක තුලට ඇතූලු වූයේ කෙලෙසද කියා සහ ඇය අසුනට වැටුණේ කෙලෙසද කියාවත් ශයිනිට සිහියක් තිබුණේ නැත.

 ඕ යලි  වහා ලැප්ටොප් පරිඝනකය දිග හැර ගත්තාය. අමයුරු දිසානායක ගේ ගිණුමට පිවිසියාය. එම ගිණුමට අදාල මැසෙන්ජරය ඉහළටම කියෙව්වාය. ඉතින් සැක නැත. මේ අමයුරු ය.

එසේනම් සිදුවන්නට ඇත්තේ කුමක්දැයි සිතන්නට තරම් සිහියක් ශයිනිට වූයේ නැත. කලබලයක් නිවාගන්නට  වෙනදා කරන කිසියම් වූ දෙයක් කරන්නට ඇයට සිහි වූයේ නැත.  

ශයිනි ජංගම දුරකතනය අතට ගන්නට උත්සාහ කලාය. එහෙත් ඇඟිලි අවනත නැත.  ඕ යළි ලැප්ටොප් පරිඝනකය ට එබුණාය. ඇයට යළි ඒ සියල්ල ව්‍යාජ සිදුවීමක් ලෙස සලකා ඉවත හෙලන්නට අවැසිය.  සැකයක් නැත. මේ අමයුරු ය. 

ශයිනිගේ අභ්‍යන්තර සාමය බිඳෙමින් තිබුණි. සියළු අභ්‍යන්තර සෛලීය වේදනාවන් එක් වෙමින් ගත ම ඒ වේදනාවට ඇද වට්ටවමින් තිබුණි. 

ශයිනි හිස දෑතින්ම බඳා ගත්තාය. සිදුවී ඇත්තේ කුමක්දැයි විශ්වාස කර පැහැදිලි කරගන්නට ඇයට තවමත් නොහැක. ශයිනි කඳුළු පිසලා දැමුවාය. දෙකොපුල් මතට වැටෙන්නට පෙර කඳුළු අතුරුදන් කලාය.

ඇතැම්විට අකලංක සහ අමයුරු මිතුරන් විය නොහැකිද?  අමයුරු ගේ ලැප්ටොප් පරිඝනකය යම් කාර්‍යයයක් උදෙසා අකලංක ගෙන ආවා විය නොහැකිද ? සැනින් එලෙස සිතුනි. 

ශයිනිට දැනුණේ අස්වැසුමකි. සැබැවින්ම එය සිදුවන්නට ඇත. එසේ නොවන්නට අකලංක සහ අමයුරු දෙදෙනාම එක් අයෙක් වන්නේ කෙලෙසදැයි ශයිනි කල්පනා කලාය.  ඇය දෑතින්ම හිස තද කරගත්තාය. ගැඹුරු හුස්ම කිහිපයක් ගත්තාය. හෙලුවාය.

මේසයේ පසෙක, ලැප්ටොප් පරිඝනකය ට පිටුපසින් වූ වතුර වීදුරුව ගෙන එක හුස්මට බීවාය. ඒ අතරේ පෙණුන අමයුරු සහ තමාගේ සංවාදය නොදැක්කා සේ උන්නාය. 

අමයුරු සහ අකලංක මිතුරන් නම්, තමා පිළිබඳව ඔවුන් දෙදෙනාම දන්නවා විය යුතුනොවේදැයි ඕ කල්පනා කලාය.

හදිසියේම කැඳවූ රූගත කිරීම් කොටස නිසා ලැප්ටොප් පරිඝනකය හෝටලයේ කොනක වු මේසය මත තබා පැමිණි වග අකලංක ට මතකය.  රූගත කිරීම් වල නියැලෙන මොහොතේ   ඒ පිළිබඳව වගක් වූයේ හෝ නැත.

 එහෙත් , දර්ශන වාරය අවසන්  වී පසෙකට වෙද්දී රථ ගාලේ නවතා තිබූ ශයිනිගේ මෝටර් රිය දුටු අකලංකට යම් කලබලය ක් දැනුණි. ඔහු අඩියට දෙකට ලැප්ටොප් පරිඝනකයෙන් වැඩ කරමින් උන් ඉසව්වට ඇවිද ගියේය. 

එහෙත් , ලැප්ටොප් පරිඝනකය එහි වුයේ නැත. කිසිවෙකු එය පසෙකට කරන්නට ඇතැයි සිතා අකලංක අවට මේස වෙතටද කලබලයෙන් ඇවිද්දේය. ශයිනිට මුණ ගැසුණු  පිරිසිදු කාර්‍යමණ්ඩලයේ සේවකයාම එවෙලෙහිද හමු විය. 

“සර්ගේ ලැප් එක මැඩම් කැබින් එකට ගෙනිච්චා …”

ලැප්ටොප් පරිඝනකය දැකීමෙන් ශයිනි මැඩම්ද   එය නොමැති බව දැකීමෙන් අකලංක සර්ද පත්වූ විමතිය දැක සේවකයා නිසොල්මනේම ස්ථානය  පසුකර ගියේය. අකලංක මේසයට වාරු වී දෑතට ගතම බර කර මොහොතක් උන්නේය. සියල්ල අවසාන බව දැනෙන්නේ නිකමට නොවේය. හිතට අනියත බියක් දැනේ  

අකලංක වහා ශයිනිගේ කැබිනය තුළට ඇතුළු වූවේය. ශයිනි උන්නේ හිස දෑත් මත දරාගෙනය. අකලංක දොර විවෘත කල හඬින් ඇය හිස එසෙව්වාය.

ශයිනිගේ මැලවුණ මුහුණට වහාම පසු, අකලංක දුටුවේ ඇයගේ මේසය මත තබා තිබූ තම ලැප්ටොප් පරිඝනකයය. ඔහු වහා ඒ වෙතට ඇවිද ආවේය. අකලංක ලැප්ටොප් පරිඝනකය තමා වෙත ගන්නටද, ශයිනි එය නවතන්නටද  ක්‍රියා කලේ එකම මොහොතේය. ශයිනි දින්නාය.

“ශයිනි …”

වහා සියල්ල පැහැදිලි කිරීමේ තීරණය අකලංක අනිච්චානුගවම ගත්තේය. එය සිත තුළ ක්ශණිකව හට ගත්තේය. 

“මිස්ටර් අකලංක …”

ශයිනි ලැප්ටොප් පරිඝනකය අකලංක වෙත හැරෙව්වේය. අමයුරු දිසානායක පරිඝනක තිරයේ උන්නේය. අකලංක දිගු සුසුමක් හෙලුවේය.  

“ශයිනි ප්ලීස්….. ” 

“මිස්ටර් අකලංක …  මොකක්ද මේ…” 

ශයිනි උස් හඬින් ඇසුවාය. ඇය අසුනින් නැගිටවී තිබුණි.   දෙවන වර ඇඟේ හඬ  වෙවුලමින් තිබුණි. 

” ඔහොම ඉඳගන්න… අපි කතා කරමු… ප්ලීස්…”

“මේක මොකක්ද ඕයි….කවුද මේ අමයුරු …?”

ශයිනි මහ හඬින් කෑ ගැසුවාය .  හැඩුම් අභ්‍යන්තරයේ සඟවා සිටින්නට ශයිනිට සෑහෙන්නම වෙහෙසක් ගන්නට විය. 

“ශයිනි ප්ලීස්…”

“කවුද ඕයි මේ අමයුරු ..කවුද තමුසේ….”

අකලංක ට කිසිත් පැහැදිලි කරගන්නට ඉඩක් ලැබුණේ නැත. ශයිනි උන්නේ කෝපාග්නියෙන් දැවෙමිනි. 

ඇයට දැනෙන්නේ වේදනාව ඉක්මවා යන ලැජ්ජාවකි. තම දුර්වලම නහර අල්ලා තමා මුලාවක හෙලන්නට අයෙකුට ඉඩ දුන් කෝපයය. 

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here