ගාලික් බ්‍රෙඩ් ගෙදරදීම රසවත්ව හදා ගනිමු.

ලොකු පොඩි බේදයක් නැතුව කවුරුත් කැමති දෙයක් තමයි ගාලික් බ්‍රෙඩ් ( garlic bread ) කියන්නේ. වෙළඳපොලේ ටිකක් මිලෙන් වැඩි මේ ගාලික් බ්‍රෙඩ් අපිට ගෙදරදිම පහසුවෙන් රසවත්ව හදාගන්න පුලුවන් ක්‍රම තුනක් ගැනයි අද අපි ඔබට කියන්නේ

උදෑසන හෝ රාත්‍රී ආහාර වේලකට ,එහෙම නැත්තම් ඔබ සුප් එකක් බොන වෙලාවට මේ ගාලික් බ්‍රෙඩ් රස විඳින්න ඔබට පුලුවන්. පොඩි වෙලාවක් ඇතුලත හදාගන්න පුලුවන් මේ රසවත් ආහාරය හදන ක්‍රම මොනවද කියලා අපි දැන් බලමු

Home made garlic bread

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් ගෙඩිය සෑදිමට ,

  • උණුසුම් කිරි කෝප්ප 1/4
  • සීනි මේස හැඳි 1
  • වියලි යීස්ට් මේස හැඳි 1
  • පාන් පිටි කෝප්ප 1 1/2
  • ලුණු ස්වල්පයක්

ගාලික් බටර් සෑදිමට ,

  • බටර් මේස හැඳි 2
  • කොත්තමල්ලි කොළ
  • සුදුලූනු බික් 5 – 6

සකසා ගන්නෙ මෙහෙමයි

  • මුලින්ම පිරිසිදු භාජනයකට කිරි කෝප්ප 1/4 දමාගන්න.එයට සීනි , යීස්ට් දමා හොඳින් මිශ්‍ර කර යීස්ට් ක්‍රියාත්මක වනතුරු විනාඩි පහක් එය පසෙකින් තබන්න
  • තවත් භාජනයකට පාන් පිටි ටික දමා රස අනුව ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
  • එයට කිරි මිශ්‍රණයෙන් ටික ටික එකතු කර අතේ නොඇලෙන මෘදු පදමට එන තුරු විනාඩි පහක් හොඳින් අනාගන්න
  • ඉන්පසුව තෙල් ස්වල්පයක් එම පිටි මෝලිය වටේ තවරා පැය දෙකක් තිබෙන්නට හරින්න
  • පැය දෙකකට පසු එම පිටි මෝලිය නැවතත් හොඳින් අතගා හීනි දිග හැඩයකට සාදා බටර් සහ තෙල් කොළයක් දැමූ තැටියක් මත තවත් පැයක් තිබෙන්නට හරින්න
  • පැයකට පසුව එය දෙගුණවූ පසුව මතුපිටට කිරි ස්වල්පයක් තවරා මතුපිට යන්තමින් කැපුම් පහරවල් තුනක් යොදන්න
  • ඉන්පසුව කලින් උණුසුම් කල අවන් එකක අංශක 180 උශ්ණත්වයේ විනාඩි විස්සක් බේක් කරගන්න
  • දැන් සම්පූර්ණ වෙන් නොවන සේ පාන් ගෙඩියේ පෙති කපාගන්න
  • භාජනයක් ගෙන බටර් ,ලියාගත් කොත්තමල්ලි කොළ සහ ග්‍රේට් කරගත් සුදුලූනු මිශ්‍ර කරගන්න
  • මෙම බටර් මිශ්‍රණය සාදා ගත් පාන් ගෙඩියේ පෙති ඈත් කර ඒවායේ තවරා ගන්න
  • ෆොයිල් කොලයක් ගෙන පාන් ගෙඩිය ආවරණය කර නැවතත් අංශක 180 ට විනාඩි දහයක් බේක් කරගන්න
  • ඉන්පසුව සම්පූර්ණ පෙති කපා පිලිගන්වන්න

Cheesy garlic bread sticks

  • අවශ්‍ය දේවල්
  • පාන් පෙති කීපයක්
  • සුදුලූනු බික් 8- 9 ක්
  • බටර් මේස හැඳි දෙකක්
  • කෑලි මිරිස් ස්වල්පයක්
  • කොත්තමල්ලි කොල
  • මොසරැල්ලා චීස්

සකසා ගන්නෙ මෙහෙමයි

  • ද්මුලින්ම සුදුලූනු බික් ටික හීනියට ග්‍රේට් කරගන්න
  • ග්‍රේට් කරගත් සුදුලූනු පිරිසිදු භාජනයකට දමා එයට කාමර උශ්ණත්වයේ තැබූ බටර් මේස හැඳි දෙක දමන්න
  • ඉන්පසු එයට කෑලි මිරිස් ස්වල්පයක් , හීනියට ලියාගත් කොත්තමල්ලි කොල ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න
  • සාදා ගත් ගාලික් බටර් මිශ්‍රණය පාන් පෙත්තක තවරා ඊට උඩින් මොසරැල්ලා චීස් අතුරන්න
  • ඉන්පසු කෑලි මිරිස් ස්වල්පයක් ඉසින්න
  • තවත් පාන් පෙත්තක ගාලික් බටර් තවරා චීස් ඇතිරූ පාන් පෙත්ත වසා ගන්න.එම ල්පෙත්ත උඩින්ද බටර් මිශ්‍රණය තවරන්න
  • පෑන් එකක් ලිප තබා මතුපිට බටර් ඇති පාන් පෙත්ත යටට හිටින සේ ටෝස්ට් කරගැනීම පටන් ගන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තබාගන්න
  • ඒ පැත්ත ටෝස්ට් වනතුරු උඩ පැත්තට ඇති පාන් පෙත්තටද ගාලික් බටර් මිශ්‍රණය තවරන්න
  • ඉන්පසු අනෙක් පැත්ත හරවා ඒ පැත්තද ටෝස්ට් කරගන්න
  • දෙපැත්තම හොඳින් ටෝස්ට් වුන පසු ලිපෙන් ඉවතට ගෙන තීරු කපා පිලිගන්වන්න

Cheese garlic toast

අවශ්‍ය දේවල්

  • පාන් පෙති
  • බටර් මේස හැඳි 2
  • මොසරැල්ලා චීස් ස්වල්පයක්
  • සුදුලූනු බික් 5 – 6
  • ගම්මිරිස් තේ හැඳි බාගයක්
  • කොත්තමල්ලි කොළ

සකසා ගන්නෙ මෙහෙමයි

  • මුලින්ම පිරිසිදු භාජනයක් ගෙන එයට බටර් , මොසරැල්ලා චීස් , ග්‍රේට් කරගත් සුදුලූනු, ගම්මිරිස් සහ ලියාගත් කොත්තමල්ලි කොල එකතු කර මිශ්‍ර කරගන්න
  • පාන් පෙත්තක් ගෙන සාදා ගත් බටර් මිශ්‍රණය හොඳින් තවරා ගන්න
  • බටර් ස්වල්පයක් තැවරූ පෑන් එකකට පාන් පෙත්ත දමා පියනකින් වසා විනාඩි තුනක් පමණ ටෝස්ට් කරගන්න
  • ඉන්පසු තීරු කපාගෙන පිළිගන්වන්න

Related Articles

Don't Miss


Latest Articles