අහංකාර නගරේ -10

0
2229

 සුරනි අප දෙදෙනාට ම කියා සී ෆුඩ් රයිස් එකක් දම්මවා ගත්තා ය. වැඩ ඇරී එන විට මා රෝස් පාන් එකක් හා වඩේ දෙකක් ගෙනැවිත් තිබුණෙන් මම ඇය ට විරුද්ධ වුණෙමි.

“අපරාදෙනෙ සල්ලි නාස්ති කරන්නෙ. ඔයාට විතරක් ගන්න”

“හරි හරි. මට අද අප්පච්චි සල්ලි දාල තිබුණා එකවුන්ට් එකට”

“ඒ වුණාට මන්නං ආස ම නැති දෙයක් තමයි කොළඹ අය කෑම නාස්ති කරන එක”

මා කීවේ හදවතින් ම ය. කලින් හෝටලයේ දී ත්, දැන් පිරිසිඳු කිරීමට යන තැන් වල කසල බඳුන් ඉවත් කිරීමේ දී ත්, ඉවත දමා තිබෙන ආහාර කඳු දකිත්දී මගේ හිත හෝස් ගා දැවී යයි. පිටිසර ගම් වල අප වාගේ මිනිසුන් ගේ කුස්, වේල් ගණන්  හිස් ව යන්නේ ය. ළමයි බඩ ගින්නේ හඬති. තලප ගිලින්නට බෑ කියා දෝස්මුර තබති. නමුත් නගරයේ මිනිස්සු හිත් පිත් නැති ව කුණු කූඩ වලට බත් මාළු පුරවති.

“හරි හරි. රෝස් පානුයි වඩේයි උදේට කාලා යං”

සුරනි මා සැනසුවා ය. ආපසු එන ගමනේ දී ඇය මට විදුහල්පති තුමා ගැන කතව කීවා ය.

“සමහර කාරණා ගැන ගම් වල අපේ හිත් වල පැලපදියං වෙලා තියන විදිහ ටිකක් වැරදියි මෙව්නා. මිනිහෙකුට ගෑනු අය දෙන්නෙක් ඉන්නවනං ඒ මිනිහ වල් මිනිහෙක් කියල හිතන්නනෙ අපි පුරුදු වෙලා ඉන්නෙ. ඒත් දරු පවුල් දෙකක් රකින මිනිස්සුන්ට ඊට වඩා කතාවක් තියනව කියලයි මට දැං හිතන්නෙ. මොකද ඕනනං ඕන වෙලාවක සල්ලි වලට එන ගෑනු අය ඕන තරං මේ රටේ ඉන්නටනෙ. කවුරුත් ප්‍රසිද්ධියේ කතා නොකළට ඒක ඇත්තනෙ”

විශ්ව විද්‍යාලයේ ගෙවුණු දෙවසරක ජීවිතය තුළ දී තමන් ඈ බොහෝ කාරණා ගැන අවබෝධයෙන් වැඩුණු බව සුරනි කීවා ය.

“මේ ගෙදරදි නොදැනෙන මොකක් හරි සැනසීමක් ජයශාන්ත මාමාට ඒ ගෙදරදි ලැබෙනව ඇති. ඒකනෙ එයාගෙ වෘත්තිය ගරුත්වයත් බල්ලට දාල සිකුරාදා දවල්ට එහෙ දුවන්නෙ. රෝස් ඒවා නතර නොකරන්නත් හේතු ඇතිනෙ”

ඒ හේතු හාරා අවුස්සා දැන ගැනීමේ දොළක් මා තුළ උපන. නුවරුන් ගේ ජීවිත හරියට ගැඹුරු ලිං වාගේ ය. ඒ ලිං වලට එබී බැලුවා කියා පත්ල පැහැදිළි ව පෙනෙන්නේ නැත. නිවැරදි ව දකින්නට නම් පතුලට බැසිය යුතු ම ය.

පසු දා මා වැඩට යනු පිණිස වුඩ්ලන්ඩ් මාවත දිග ඇවිද එත්දී, ඉක්මන් ගමනින් ආ සිතිජ මට එකතු විය.

“එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් වගේනෙ”

ඔහු කීවේ යන්තම් හති දමමිනි.

“මේ වෙලාවටද අයියත් යන්නෙ…”

හදවතින් උපන් සිනහවකින් එහෙම අහන්නට ගත්තත්, හිත බර වී ගෙන ආවේ පෙර දා සන්ධ්‍යාවේ වූ සිද්ධිය සිහිපත් වීමෙනි. 

“සොරි”

ඔහු කීවේ මා බලාපොරොත්තු නො වූ දෙයකි. සමාව ඉල්ලන්න ට ඔහු මට කුමක් කළේ ද? 

“අපේ නංගිගෙ මෝඩ හැසිරීමට”

මම මඳහසක් නගා ගතිමි. නමුත් ඒ මන්දස්මිතය කඳුළින් පෙඟී තිබුණා විය යුතු ය.

“ප්‍රවුඩ් ඔෆ් යූ. ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි”

“ඇයි…”

මම කෙළින් ම ඔහු ගේ මුහුණ මත මගේ දෑස් නතර කර ගෙන සිටියෙමි. සිතිජ ගේ ඇහි බැම ඉතා ඝණ ය. ඒවා නළල මැද දී යන්තම් හා වී තියේ. ඒ ඇස් මට නෙළුම් විලක් සිහි පත් කරන ලදී. හීන්දෑරි සුදු කොපුල් මත තද කොළ පාටින් රැවුල් කොට වැවී තිබිණි. හේන් කොටන ගමේ තරුණයනුත් සිතිජත් කියන්නේ යා කළ නො හැකි අන්ත දෙකකි.

“ඔයා වගේ ගර්ල් කෙනෙක් මෙහෙ ඇවිත් මේ විදිහට තනියම ජීවිතේට මූණ දෙන එක ගැන”

“මං විතරක් නෙවෙයි අයියෙ”

මම මහා දිග සුසුමක් හෙළුවෙමි.

“ඔයාල දකින්නැති වුණාට මේ හැම තැනම එහෙම ළමයි ඕන තරං ඉන්නව. ශෙනාලි අක්කටත් ඕන තරං හම්බ වෙලා ඇති. ඒත් දකින්නෑ. දැක්කත් බලන්නෑ. අඳුරගන්නෑ. එයා මාව දැක්කෙ මීට කලිං ගෙදරදි දැකල තියන නිසා. ඔෆිස් ජොබ් එකකට අපිත් ආස නැතුව නෙවෙයි අයියෙ. ඉගෙන ගත්තත් පිටිසර අපිට එහෙම අවස්ථාවල් ලැබෙනව හරි අඩුයි. එහෙමනං කැම්පස් ගිහිං රජයේ රස්සාවක් ම ලැබෙන්න ඕනෙ. පිටිසර ඉපදිලා හේන් කුඹුරු වලට පදම් වුණත් එතනිං සමහර එවුන්ට තියෙනව හීනයක්. ඉගිල්ලෙන. ඒකයි උං උදැල්ල අත්ඇරල කොළඹ දුවං එන්නෙ. හැබැයි එයාලගෙ කළු සුදු ජීවිත පාට කරන්න මෙහෙ තියෙන හුඟක් ෆැක්ට්‍රි වලටවත්…ආදරේ පෙන්නගෙන ලං වෙන්න හදන වංචාකාර පිරිමින්ටවත් බෑ. අන්න ඒක නිසා තමයි නගරෙ මිනිස්සුන්ට ඒ ළමයි…විශේෂයෙන් ම ඒ ගෑනු ළමයි පයට පෑගෙන දූවිලි වගේ දැනෙන්නෙ. ශෙනාලි අක්කගෙ වරදකුත් නෑ. මෙහෙම ඇවිත් ළඟට දකිනකොට තමයි ඔයාලගෙ ජීවිත වල වුණත් ඇත්ත අපිට පේන්නෙ. නැත්තං අපිත් කරන්නෙ කොළඹ අය හිත් පිත් නැති අය කියල හිතා ගන්න එක. අර සිදුහත් කුමාරයව සුද්ධෝදන රජ්ජුරුවො හැදුවෙ දුප්පතෙක් ලෙඩෙක් වයසක මනුස්සයෙක් පෙන්නන්නෙ නැතුවනෙ. දැක්ක ගමන් වුණේ සසර කලකිරුණ එක. කොළඹ යමක් කමක් තියෙන පුවුල් වල ළමයි හැදෙන්නෙත් එහෙමයි කියල මට දැන් හිතෙනව. ඉගෙන ගෙන තැනකට ආපු දෙමව්පියො හිතන්නෙ එයාල පොඩි කාලෙ වින්ද දුක් දරුවන්ට දෙන්නෙ නෑ කියලනෙ. අන්න එතනිං වෙන්නැති මේ ප්‍රශ්න ඇති වෙන්නෙ. මං දන්න විදිහට ඔයාලගෙ තාත්තත් මොණරාගල දුෂ්කර ගමකිං ආව කෙනෙක්”

කියවන්න :  අහංකාර නගරේ -08

මා එක දිග ට හුඟක් කතා කර ගෙන ගොස් තිබිණි. ඒ තරම් කියන්නට තරම් සාරවත් කාරණා මේ ටික දවසට කොහෙන් කොහොම ඉගෙන ගත්තා ද කියා හෝ මා දන්නේ නැත.

සිතිජ ඇවිදිමින් සිටියේ මට ළඟිනි. ඔහු හා හ්ම් නැති ව අසා උන්නේ ය. කොළඹ ජනප්‍රිය පිරිමි පාසලක ඉගෙන ගත්, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු ට මා වන් වන්නි කෙල්ලගේ දේශනා වලින් ඇති වැඩක් නැති බව මම දනිමි. නමුත් මේ ටික දිනට හිතේ එක් රැස් වී තිබූ දේවල් ඔහු ඉදිරියේ වමාරා හිත නිදහස් කර ගන්නට ලැබීමේ ප්‍රීතියෙන් මම සැහැල්ලුවට පත් වී සිටියෙමි.

ඔහු මා සමගින් කොහුවල තෙක් ම ඇවිද ආවේ ය. මම ඒ ගැන ප්‍රශ්න කරන්නට නො ගියෙමි. තව මොහොතකින් මා අවතීර්ණ වන්නේ නො මිනිස් අඩවියකට බව ද යටි හිත වරින් වර මතක් කොට දුන්නේ ය. මම ඒ ගැන ද වද වෙන්නට නො ගියෙමි.

කොහුවල හන්දියේ දී සිතිජ මගෙන් සමු ගෙන සිව් මං සලෙන් වමට හැරුණේ ය. මා ඉතිරි දුර ඇවිද ගියේ ඔහු නතර වූ තුනී පාළුවකුත් එක්ක ය.

සුපර්වයිසර් වරයා කුමක් හෝ වරදක් සොයා ගෙන මට බැණ වැදුණේ ය. මගේ අඩු පාඩුවක් ම සෙව්වේ ය. ඇතැම් අවස්ථාවක මට හැඬෙන්නට තරම් ආවත් මම හඬන්නට නම් නො ගියෙමි.

“ගණං ගන්න එපා. ඔහොම තමයි. මේ යකාට පිස්සු”

අපේ කණ්ඩායමේ ම සිටි තරමක් වැඩිහිටි පෙනුමක් තිබූ කාන්තාවක් මට ලං වී රහසින් කීවා ය.

“මෙතනට අලුතෙන් කෙල්ලෙක් ආවොත් කොහොම හරි ඒ කෙල්ලව රවට්ට ගන්නව. ඒකට ඉඩක් නැත්තං ඔය විදිහට නැති වැරදි අල්ලගෙන කෑ ගහන එක තමයි කරන්නෙ. මොනා කරන්නද ළමයො ගෑනු වෙලා ඉපදුණාම ඔහොම තමයි”

මගේ හිත හෙළවී ගියේ ය. පිටිසර ය නගරය ය කියා වෙනසක් නැති ව බොහෝ ස්ත්‍රීහු සිය ස්ත්‍රීත්වය ගැන එසේ සිතන්නට පුරුදු වී සිටිති. ඇතැම් විට එය පරම්පරා සිය දහස් ගණනක් තිස්සේ ස්ත්‍රී ජාන වලින් ප්‍රවේණියට ආ ලක්ෂණයක් වන්නට පුළුවන. නමුත් ගැහැනියක වී ඉපදීම යනු නිසැක ලෙස ම පිරිමින් ගේ තාඩන පීඩන හා ලිංගික සූරා කෑම් වලට ලක් වන්නට හේතුවක් ද?  

“හුඟක් ගෑනු අය ඔහොම හිතන එක තමයි අක්කෙ ප්‍රශ්නෙ”

ඉතා හෙමිහිට වුව මා කතා කළේ දැඩි ව ය. ඇය විශ්මිත දෑස් විසල් කොට බැලුවා ය.

“ගෑනු වෙලා ඉපදෙන එක නෙවෙයි සාපය. ගෑනු වෙලා ඉපදෙන්නෙ පිරිමින්ගෙ ගොදුරක් වෙන්නයි කියල හිතන එකයි සාපය. මන්නං එහෙම හිතන්නෑ මට මොන ප්‍රශ්න දැම්මත්”

ඇගේ ඇස් වල බියක් වූ බැව් සැබවි. නමුත් අලුත් බලාපොරොත්තුවක දීප්තියක් ද හදිසියේ ම ඒවා ට ආරෝපණය වූයේ ය.

“මොකද ඔතන කියව කියව ඉන්නෙ…අද වැඩ කරන්නෙ නැද්ද…වැඩ කරන තැන් වලට යන අදහසක් නැද්ද…”

කියවන්න :  අහංකාර නගරේ -32

සුපර්වයිසර් වරයා ඈතක සිට අප වෙත ට ගෝරනාඩුවක් දැම්මේ ය. අර කාන්තාව හෙමිහිට වෙනතක ගියා ය. සුපර්වයිසර් මවෙත සමීප විය.

“ඔය එක එක ගෑනු එක්ක සම්බන්ධකං තියා ගන්න එපා ඔයා”

මම ඍජු ව ඔහු ගේ මූණ බැලුවෙමි. 

“ඇයි…”

“ඕකුං චාටර් වෙලා ඉන්නෙ. උංව ආශ්‍රය කරන්න ගියහම ඔයාව වැටෙන්නෙත් ඒ ගොඩට”

“කොහොමත් ඒ අක්කයි මමයි දෙන්නම ගෑනු ගොඩේනෙ සර්”

“මගුලක් කතා කරනව. මේ…බඩ්ඩක් කියන්නද…”

හෙතෙම මා විනිවිද බැලුවේ ය. මහත් අප්‍රසන්න හැඟීමකින් මම ඉවත බලා ගතිමි.

“ඔය ඇඳුමට ඔයා මාර සෙක්සි”

මට හිතුණේ ඔහු ගේ මූණට කෙළ ගසන්නට තිබුණා නම් හොඳ ය කියා ය. නමුත් මම සිනහවක් පෑවෙමි. ඒ සිනහව ඔහු කෙරේ සමච්චලයෙන් නැගුණක් බව ඔහු තේරුම් ගත්තා දැයි නො දනිමි.

“කෙල්ලො ටිකක් ආඩම්බර වෙනකොටත් පිස්සු හැදෙනව අප්පා”

මම එතැනින් ඉවත් ව ගියෙමි. මේ වෙලාවේ රැකියාව අහිමි කර ගන්නට මට ඕනෑ නැත.

මම සුරනි ගේ උදව් ඇති ව බාහිර උපාධිය සඳහා පෙනී සිටීමට කටයුතු සැලසුම් කර ගතිමි. ඉරිදා ට පන්ති තිබුණේ ය. ඒ අනුව සතියේ දින හත ම අවිවේකී විය. වැඩ නිම වී ඇවිත් බෝ රෑ බෝ වන තුරු මම පාඩම් කළෙමි.

“ඊයෙ රෑ වෙනකල්ම කාමරේ ලයිට් දාල තියෙනව දැක්කා. සුරනිට එග්සෑම්ද මේ දවස් වල. ඔය ළමයටත් නිදා ගන්න අමාරු ඇති නේද ලයිට් එක නිසා…”

දිනක් උදයේ මා පහළ මාලයට එත්දී විදුහල්පති තුමා ඇසුවේ ය. සුරනි කීවා සේ ම, පෞද්ගලික ජීවිතය කෙබඳු වුණත් ඔහු ට තිබෙන්නේ මුල අමතක නො කළ කරුණාවත් මිනිස් හදක් බව මට සිතිණි.

“නෑ සර්….මාත් පාඩං කරනව”

“පාඩං…රස්සාවක් කරනව කියල නේද කිව්වෙ…”

“ඒ ගමං එක්ස්ටර්නල් කරනව සර්. ඉරිදට ක්ලාස් යනව”

“බොහොම හොඳයි බොහොම හොඳයි”

ඒ ආශිර්වාදය අවංක හදකින් නැගුණකි.

“දුප්පත් ළමයින්ට ඉගෙනීම මිස වෙන පිළිසරණක් නෑ ළමයො. ඒත් මේ හුඟක් දුප්පත් දෙමව්පියන් ට මේක ඒත්තු ගන්නන්න හරි අමාරුයිනෙ. ඒකෙ ප්‍රයෝජනේ ලබන්නෙ යමක් කමක් තියන උගත් සමාජයම තමයි. හොඳයි හොඳයි. උදව්වක් එහෙම ඕන වුණොත් කියන්නකො…ම්…”

මට සිහිපත් වූයේ සිතිජ ව ය. සුරනි කීවා සේ ඔහු ට වැටී ඇත්තේ පියා ගේ සෙවනැල්ලයි.

වැඩ නිම වී වෙහෙසට පත් ව පැමිණෙමින් සිටි සැඳෑවක, මිදුලේ දී මට රෝස් මැතිණිය හමු විය. ඇය එහි කල් මැරුවේ මා එන තුරු ම ද කියන පැනය මා තුළ ඇති වූයේ ඒ වෙලාවේ නොවේ. තවත් ටික කාලයක් ගත වුණාට පස්සේ ය.

“මෙව්නා තාම අර ක්ලීනිං සර්විස් එකේමද වැඩ කරන්නෙ… නැත්තං වෙන තැනක් හම්බ වුණාද…”

“අනේ නෑ මැඩම්. එතනම තමයි”

ඇය සැරසෙන්නේ වඩා හොඳ රැකියා අවස්ථාවක් ගැන හෝඩුවාවක් දෙන්න යයි මට සිතිණි. මීට පෙර ඈ එවන් කතාවක් කියා තිබූ බැවිනි.

“මගෙ සැලෝන් එකක් තියනව. මෙව්නා කැමතිනං මං එතන වැඩ දෙන්නං. අපිට ගෑනු ළමයෙක් තව ඕන වෙලා තියෙනව. ඔයාට පුළුවන් වැඩ ටික ලේසියෙන්ම ඉගෙන ගන්න. මෙව්නා වගේ බියුටි එකක් තියෙන ගර්ල් කෙනෙක්ව මැච් වෙන්නෙ එහෙම තැනකට මිසක් කුණු අදින රස්සාවකට නෙවෙයි”

එහිදීත් ඇය ට උවමනා වූයේ මා කරන රැකියාවේ ස්වභාවය හුවා දක්වමින් මා පහත් කොට කතා කරන්නට ය. 

“හැබැයි එක කොන්දේසියක් තියෙනව. ඔයාට මං සැලොන් එකේ වැඩ දුන්නයි කියල අපේ ගෙදර අය….ප්‍රින්සිපල් සර් එහෙම දැනගන්න ඕන කමක් නෑ. ටික දවසක් යන කොට මෙව්නාට පුළුවන් ඔයාට හිතා ගන්න බැරි තරං සල්ලි හම්බ කරන්න. කල්පනා කරල බලන්නකො. ම්..”

යන්තම් හිස වනා ගෙන මා කාමරය වෙත ආවේත් කල්පනා කරමිනි. සැලෝන් රැකියාවක්! සැලෝන් වල දැන්වීම් පුවරු මේ නගරයේ හැම අහු මුල්ලක ම මම දැක ඇත්තෙමි. නමුත් අද අද වන තුරාවට මා කිසිදු හේතුවක් මත එවැන්නක් තුළට ගොස් තිබුණේ නැත.

ඊළඟ කොටස රෑ 8.30 ට

5 1 vote
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments