තුරුලි කුමන හෝ මොහොතක අමතන තෙක් මඟ බලමින් සිටි ආදිත්‍ය කෝපයෙන් දැවෙන්නට පටන් ගත්තේ ය. ඇය ඕනෑම මොහොතක මෙල්ල වන මන්තරය වුයේ “මං මේක නවත්තනවා” කීම බව ඔහු දැන සිටියේ ය.නමුත් මේ වතාව සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇත.ඇය තමන්ව සත පහකට ගණන් නොගැනීම ම ආදිත්‍ය වියරු වට්ටන්නට සමත් වී තිබිණ.
“එකපාරටම එහෙම මිනිස්සු වෙනස් වෙන් නෑ මචං.මොකක් හරි හේතුවක් තියෙන්න ඕන.තුරුලි උඹව අදහගෙන හිටියෙ.ඒකි උඹෙන් එහාට ලෝකෙ දැක්කෙත් නෑ.මට හිතෙන්නේ කොතන හරි වැරදිලා.”
රොෂේන් කීවේ කෝපයෙන් එහාමෙහා සක්මන් කරන මිතුරා ගැන සැබෑ අනුකම්පාවෙනි.නමුත් ආදිත්‍ය ඉන් තවදුරටත් කෝප ගත්තේ ය.
“අර මියුරු කියන එකාව අපි පන්නලා දැම්මට ඌ ආයේ ඇවිත්නෙ.මට හිතෙන්නෙ හේතුව ඌ..”
තුරුලිට ළං වන ඕනෑම තරුණයෙකුට ගැටළු ඇති කරන්නට ආදිත්‍ය සමඟ සිට ගන්නා රොෂේන්ට එය එතරම් සත්‍යයක් ලෙස දැනුණේ නැත.මියුරුට පහර දුන්නේ ඔහු පාසල් සිසුවෙකු කාලයේ ය.නමුත් වසර කිහිපයක් තිස්සේ ඔහු තුරුලිව හදවතේ රඳවාගෙන හිඳ නැවත පැමිණීම අභ්‍යව බව රොෂේන්ට සක්සුදක් සේ ස්ථිර ය.මෙතැන වෙනත් හේතුවක් ඇති බව ඔහු තරයේ විශ්වාස කළේ ය.
“මියුරු නෙවෙයි මෙතන හේතුව.උඹ අතින් වුණු වැරැද්දක්.”
තමන් වැරදිකාරයෙකු බව ලෝකයම පවසද්දී පවා තුරුලි කිසිත් නොකියා තමන් දරා ගත් අන්දම ආදිත්‍ය සිහි කළේ ය.ඇය වැරදි කළ පමණට තමන් අත්හරින්නියක නොවේ.මෙතැන ඇත්තේ වෙනත් ගැටළුවකි.ආදිත්‍ය එය සොයා ගන්නට මාර්ගයක් සොයමින් දසඅතේ කල්පනා කරන්නට පටන් ගත්තේ ය.ලෝකය ඔහුට ඕනෑ අන්දමට කැරකී අවසන් වන කාලය පැමිණෙමින් තිබුණ ද ආදිත්‍ය එවගක් නොදැනම කළ යුතු සහ කළ හැකි සියල්ලම සිතමින් බොහෝ වෙලාවක් ගෙවා දැමී ය.
“උඹ මෙලෝ ජොබ් එකක් හරියට කරන්නෙත් නෑ.බිස්නස් ඔක්කොමත් මඟදි නාගන්නවා.අන්තංපුරේ ගෑනු ටිකට වියදම් කරන්නයි බොන්නයි ඔය ඉඳල හිටල හම්බ කරන සල්ලි මදිනෙ.තුරුලිට ඉගෙන ගන්න දියං..ඒකි හොඳ සැලරි එකක් තියන ජොබ් එකකට ගියාම උඹටමනෙ හොඳ..”
රොෂේන් යෝජනා කරද්දී එය ගැන තවත් වතාවක් සිතා බලන්නට ආදිත්‍යට සිත් විණි.ඔහුට අලුත් යෝජනාවක් මතුව ආයේ ඒ අතර ය.
“මට මැරි කරන්න හිතෙනවා බං..හිතුණොත් මං අම්මට කියනවා, මට හැදෙන්න ඕන.තුරුලිව බන්දල දෙන්න කියල..”
රොෂේන් ආදිත්‍යගේ මව ගැන වසර කිහිපයක් තිස්සේ හොඳින් දැන සිටියේ ය.ඇය සිතන්නේ ඇගේ පුතු තරම් නිවැරදිකාරයෙකු සහ හුරතල් දරුවෙකු මෙලොව නැති බව ය.ආදිත්‍යගේ වැරදි ගැන ඕනෑම කෙනෙකුගෙන් පැමිණිලි ලැබෙන විට ඇයට තිබුණේ එකම පිළිතුරකි.
“එයා බඳින ගෑනු ළමය දැන ගන්න ඕන එයාව හදා ගන්න..කොල්ලො හැදෙන්නෙ කසාදෙන් පස්සෙ..”
මවක් වූ පමණින් තමන්ගේ දරුවා යහපත් කෙනෙකු කරන්නට අසමත් මව්වරුන් අතරට එක් වී සිටි ඇය ඒ මන්තරය නිතර දෙවේලේ මැතිරුවා ය.පුතෙකු යහපත් මිනිසෙකු කිරීමට වගකීම ඇත්තේ ඔහුගේ බිරිඳට බව කියමින් ඇය තුරුලිට ද දේශනා පැවැත්වීමට පටන් ගෙන දැන් කාලයක් ගෙවී ඇත.ආදිත්‍ය තුරුලි සමඟ අමනාප වන ඕනෑම මොහොතක ඇය ඇමතුමක් ගෙන තුරුලිට වඩා තදින් දෙහි කැපුවා ය.කාන්තාවක් සම්බන්ධතාවයක දී ඉවසීමෙන් කටයුතු කළ අන්දමත් පිරිමියෙකු සෑම විටකම නිවැරදි වන ආකාරයත් ඇය තරම් දන්නා කෙනෙකු සිටියේ ම නැත.
සඳලි, අක්කාව ප්‍රීතිමත් සාප්පු සවාරියක් කැඳවාගෙන යන්නට සමත් වූවා ය. වෙනදාට තුරුලි නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ ඇඟලුම් කාමරයේදී පමණක් ඇඳ බලා නැවත තබා එන අලුත්ම පන්නයේ විලාසිතා කිහිපයක් ම අක්කාට රැගෙන දෙන්නට සඳලි වග බලා ගත්තා ය.මිලට ගන්නට පෙර හැම ඇඳුමක්ම ආදිත්‍යට ඡායාරූපගත කර යවා අවසර ඉල්ලා සිටින රැහැන් පට මුදා හළ තුරුලි සිටියේ සන්තෝසයෙනි.
අක්කාත් නංගීත් නිවසට ගොඩ වෙද්දී මිදුලේ සටහන්ව තිබූ වාහන ටයර වල සලකුණු මුලින්ම දුටුවේ සඳලි ය.ආදිත්‍ය යකා නටන්නට පැමිණ ඇත්දැයි ඇයට සැකයක් ඇති විණි.නමුත් අම්මාගේ මුහුණේ ශෝකයක හෝ කේන්තියක සේයාවක් තිබුණේ නැත.අමුත්තන්ට සංග්‍රහ කරන පීරිසි කෝප්ප කිහිපයක් සෝදමින් අම්මා සිටියේ සිනා වතකිනි.කෑම කාමරයේ මේසය මත ජනප්‍රිය අවන්හලක කේක් එකක් දුටු සඳලි කුඩා පිහියක් ද අතට ගෙන එය විවෘත කරන අතරම අම්මාගෙන් ප්‍රශ්නයක් ඇසුවා ය.
“කවුද අම්මා ආවේ..පොඩි පුංචිලද..නවීන් මල්ලි කීවෙවත් නෑනෙ..”
අම්මා සිනාවතකින්ම කෝප්ප පීරිසි අඩුක් කරමින් සඳලි දෙස තරවටු සිනාවක් හෙළුවා ය.ඒ කෝපයෙන් නොවේ, ආදරයෙනි.
“සේරම හොරෙං ප්ලෑන් කරල ප්‍රශ්නත් අහනවනෙ. හවසට තාත්තට ඔයාම උත්තර දීගන්න..”
අම්මා කියන්නේ කුමක්දැයි සඳලිට කුහුල ඉපදිණ.සැබෑවටම ඇය කිසිවක් සැලසුම් කර තිබුණේ නැත.අම්මාගේ උපන්දිනයට සර්ප්‍රයිස් සැලසුම් කරන්නට මුල් වන්නේ රනුක වුව ද අද අම්මාට විශේෂ දිනයක් නොවේ.තාත්තාට උත්තර දෙන්නට තරම් ජීවිත සැලසුමක් තමන් සහ රනුක සැලසුම් කර නැති බව ද ඇයට විශ්වාස ය.ඉතින් අම්මා කියන්නේ කුමක්දැයි ඇය සිතද්දී අම්මා ඇතුළු ගෙයට එබී බැලුවේ තුරුලි කොහේදැයි බලන්නට ය.තුරුලි ගීයක් ගයමින් නාන කාමරයේ බව ඇසුණු අම්මා බාල දියණියට ළං වූයේ රහසක් කියන්නට ය.
අලුත් අවුරුදු බෝනස් එපිසොඩ් එක රාත්‍රී 8.30 ට බලාපොරොත්තු වන්න.