පෙඟුණු මල් පෙති 11

“ආදරය නිසා හර්දේ බැඳෙනා

අපරාදෙ ජීවිත හානි වේ

අපරාදෙ ජීවිත හානි වේ”

බෝඩිම් කාමරයේ සඳලුතලයේ සිට රාත්‍රී අහස දෙස බලා හිඳින අතරේ පහල නිවසකින් ඇසුණු රුක්මණී දේවියගේ ගීතය කෙතරම් ඇත්ත දැයි චරිත්‍රාට සිතුණේ මිහික සමග වූ උණුසුම් සංවාදය අතරතුර කෝපයෙන් දුරකතනය විසන්දි කර සඳලුතලයට වී කෝපය වටපිටාවට මුදාහලමින් සිටින් අතරතුරය.

“මම දාපු පෝස්ට් එකක් ගැන දැකල තමුසෙ මං ගැන ඔච්චර සැක හිතන්න උවමනාවක් නෑනෙ. 

අනික අරකිට ඔච්චර තියෙන රුදාව මොකද්ද මම මගෙ ප්‍ර්‍රොෆයිල් එකේ මොනව දැම්මත්?

 ඒකි දාපු කමෙන්ට් එක දැකල තමුසෙ ඔච්චර උඩ පනින්නෙ ඒකි තමුසෙ ළඟ තොදොල් වෙන බව මම නොදන්න නිසාද?” 

වටපිටාවේ සිටින අයට ඇසේ යැයි වගක් නැතුව තමන් බුරා හැලුනද ඒ කී වදන් වල තමන්ට මෙම රහස එළිවන්නඋට යෑම ගැන තිබූ කෝපය සාදාරණ මුත් මිහිකව සැක කිරීම කිසිසේත්ම සාදාරණ නොවන බව චරිත්‍රා නොදන්නවා නොවේ.

එනමුත් ඕනෑම භයානක, අන්තරායකාරී මොහොතක තමන් බේරා ගැනීමට උත්සුක වීම මනුෂ්‍ය ස්වභාවයයි. 

නයනතාරා පිළිබඳ සිත තුළින් බුර බුරා නැගෙන කෝපය තරම්ම, මෙතුවක් දිනක් සිත තුළ සඟවා තබා ගනිමින් විඳි රහස්‍ය ප්‍රේමය මිහික ඉදිරියේ විවර වීම ගැන චරිත්‍රාට ඇත්තේ ඉමහත් වේදනවකුත්, කෝපයකුත් ය.

මුලින්ම අනියම් පෙමක් ගැන වයංග්‍යාර්තයෙන් හෝ කියවෙන ලිපියක් මුහුණු පොතේ පල කිරීම ගැන චරිත්‍රාට තමන් ගැනද කෝපය. 

සියල්ලටම මුල තමන් විසින් සිදු කල සහ සිදු කරමින් හිඳිනා වැරදි වුවද තමන් අනියම් පෙමක පැටලී සිටින වග සිතමින් “ඔයා එහෙම පෝස්ට් එකක් පබ්ලිශ් කරේ ඔයාට වෙන කෙනෙක් ඉන්නවාදැයි?” මිහික ඇසීම බරපතල පාපයකි. 

සැකයක් සිත තුල තබාගනිමින් සබඳතාවයක්, විශේෂයෙන්ම දුරස්ත සම්බන්දයක් සමබරව පවත්වාගෙන යෑම අපහසු බව මිහිකට පැහදිලි කරන්නට දැරූ උත්සාහයන් සියල්ල ගඟට කැපූ ඉණි මෙන් වූයේ මිහික එයට නයනතාරා විසින් පල කරනු ලැබූ කොමෙන්ටුව ඈඳා ගැනීම නිසාවෙනි.

තම විවාහක බිරිඳ සැක කිරීම පිරිමියෙකුට යුතු දෙයක්ද?

කෝපය වචන වලට හරවා දුරකතනය ඔස්සේ සම්ප්‍රේෂණය කරන්නට වූයේ එබැවිනි.

සිතට ඇති එකම සැනසුම නම් ළහිරු තම ජීවිතයේ සැබෑ තතු ගැන කිසිවක්ම නොදත් අයෙකු වීමයි. 

විවාහ වී සිටියදී ළහිරු සමග සබඳතාවයක් පවත්වා ගැනීම චරිත්‍රාට අනුව වරදක් නොවේ. 

ආදරය ජීවිතය තුල හමු විය හැක්කේ එක්වරක් පමණක්ද?

සෙලීන් ඩියෝන් විසින් “Love can touch us one time” යැයි කීම සත්‍යයකි.

 ආදරයට අපවත් අපේ හදවත් සහමුලින්ව නතු කරගත හැක්කේ ජීවිතයේ එක්වරක් පමනකි.

 ගති පමණක් බැඳෙන, සිතෙන් පමණක් බැඳෙන එසේත් නැතිනම් නීතියේ ඉදිරියේ පමනක් බැදෙන ආදර කතා මෙලොව කෙතරම්  නම් තිබෙන්නේද? 

ළහිරු වනාහී තම සිතත්, ගතත්, ජීවිතයත් එකවරම ආදරයෙන් මුසපත් කරන්නට සමත් වූ එකම පුද්ගලයාය. 

ඉතින් රෝස්ට ජැක්ව අතහැර ගන්නට හැකියාව ලැබුණු නමුදු චරිත්‍රා ළහිරු අතහැර ගන්නට සිතන්නේ නැත.

සන්තක සියල්ල ලබා දී හෝ ළහිරු වැනි සිත මුසපත් කරන ආදරයක් හිමි කර ගැනීමට සිතීම වරදක් බව චරිත්‍රා නොසිතන්නේ එබැවිනි.

අද පවුලේ අය සමග හිල්ටන් හෝටලේ රෑ කෑමකට යන බව ළහිරු පැවසූ බැවින් ඔහුට අමතා   දුක කියා අවසන් කර ගැනීමටද ඉඩක් නොමැත. 

අනිත් අතට මේ කිසිවක් ගැන ළහිරු සමග පවසන්නටද හැකියාවක් නැත. 

දුරකතනය නද දුන්නේ නොසිතූ මොහොතකය. 

මිහික සමග බහින්බස් වී අවසානයේ දුරකතනය ඇඳ මතට විසි කර සඳලුතලයට ආවේ කෝපය නිවාගනු පිණිස වුව තනිවම විවිද දේ ඵිලිබඳව සිතමින් හිඳීම කෝපය තව තවත් අවුලුවන්නකි.

පවුලේ අයත් සමග රාත්‍රී ආහාරය පිණිස පිටතට ගිය ළහිරුට තමන් අමතන්නට තවම වේලාව බොහෝ වුවත් බාගදා තමන්ව මතක් වීම නිසා අමතන්නට සිතුණා විය හැක.

ඔහු එතරම්ම ප්‍රේමණීය අයෙකි. ප්‍රේමණීය සිතුවිලි වපුරන්නෙකි.

එනමුත් පණිවිඩය මිහික ගෙනි.

තම සිත රිදවාලීම ගැන සිත රිදුවාගත් මිහික විසින් සමාව ඉල්ලා එවන ලද පණිවිඩයකි. 

කට කොනට සිනහවක් නැගුනේ ඕනෑම පිරිමියෙකු තමන් අණසකට යටත් කරගන්නට ඇති හැකියාව ගැනද නොඑසේනම් වරද තමාගෙන් වුවත් තමාගෙන් සමාව ඉල්ලීමට සිතුණු මිහික ගැන සානුකම්පාවෙන්ද යන්න චරිත්‍රාට සිතා ගත නොහැක.

සානුකම්පිත සිනහව මැකී යන්නට ගත වෙන්නට ඇත්තේ තප්පරයකටත් අඩු කාලයක් විය හැක.

දීර්ඝ පණිවිඩයක් අවසානයේ රැඳී තිබුනේ බලාපොරොත්තු නොවුනකි.

ජීවිතයට මෙතරම්ම කුරිරු විය හැකිද?

සැබෑ ආදරයට බාධා පමුණුවමින්, ගැහැනියකගේ සතුටට මග අහුරමින් දෛවය විඳින්නේ කුමනාකාරයේ සතුටක් දැයි චරිත්‍රාට සිතාගන්නටවත් නොහැක.

“ඔයාට මාත් එක්ක ඕන තරම් රණ්ඩු වෙන්න, වැරැද්ද මගේ පිටට දාන්න පුලුවන් චරිත්‍රා. 

හැබැයි ඒ කිසිම දේකින් ඔයා හංගන්න හදන දේවල් එළි වෙන එකක් නෑ කියල හිතන්න එපා. ඔයා ඔය ආටිකල් එක දාන්න කළින්ම මම මේ ෆොටෝ එක දැක්කෙ.

 මම ඒත් හිතුවෙ ඔයා කවදාවත් මට වරදක් කරන්නෙ නෑනෙ ඒ නිසා මම මේ ගැන හිතන්න ඕන නෑ කියල.

 ඒත් එහෙම වෙලාවක තමන්ට කෙනෙක් ඉද්දි ඒ කෙනාට වඩා සතුටක් තව කෙනෙක් දෙනවනම් ඒ දෙවනි කෙනාව තෝරගන්න එක වැරදිද කියල ඔයා දාපු ආටිකල් එක දැක්කම මම වගේ සාමාන්‍ය කොල්ලෙක්ට විතරක් නෙවෙයි අවුරුදු සීයක් කසාද බැඳල හිටපු මනුස්සයෙක්ට උනත් ප්‍රශ්නයක් හිතෙන එක සාදාරණයි. 

මට ඕන උනේ ඔයා කියන දේ විශ්වාස කරන්න නිසා තමයි මම කෙලින්ම ඔයාගෙන් ඒ ගැන ඇහුවෙ.

ඔයා ගැන සැකයක් හිතේ තිබුනනම් හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ ඔයාගෙන්ම ඒ ගැන අහන්න තරම් මම මෝඩ වෙන්නෙ නෑ චරිත්‍රා. 

මෙහෙ ඇවිල්ල ගත වෙච්ච කාලෙට මට මම ලංකාවෙ කොල්ලෙක් කියන එක අමතක වෙලත් නෑ අනිත් අතට මට තවමත් ලංකාවෙ හිතවත් මිනිස්සු ඉන්න බව අමතක කරන්නත් එපා.

නයනතාරා නංගිගෙයි ලොකු නැන්දා හිතෙයි මම ගැන අදහසක් තියෙන බව මම ඔයාට හංගල නෑනෙ.

 ඔයා එක්ක යාලු වෙච්ච මුල් කාලෙමයි මම ඒ ගැන ඔයාට කිව්වෙ. 

මම කසාද බැඳපු ගෑණි ගැන පිට ගෑණුන්ගෙන් ප්‍රශ්න අහන්න තරම් උවමනාවක් මට තවම ඇවිත් නෑ සහ ඒ තත්ත්වයට මාව ගෙනියන නොගියන එක ඔයාගේ රාජකාරිය. ඒක හොඳට මතක තියාගන්න.

මට ඔයාව සැක කරනවනම් මට ඒක පටන් ගන්න තිබුනෙ මේ අද ඊයෙ නෙවෙයි චරිත්‍රා මම මෙහෙ ආවයින් පස්සෙ මට දවසකට මැසේජ් එකක්වත් නොඑවන තරමට ඔයා බිසී උනාම.

 ඒත් ඒ කිසිම මොහොතක මම එක තප්පරේක්ටවත් ඔයා ගැන සැක කරේ නෑ. 

මොකද මම හැමදාමත් විශ්වාස කරා මගෙ ආදරේ අවංක නිසා මට කවදාවත් ඒ ගැන දුක්වෙන්න පසුතැවෙන්න හේතුවක් ඇතිවෙන එකක් නෑ කියල.

ඔයා ඔයාගෙ හිතෙන්ම අහල බලන්න සැබෑ ආදරේ ගැන කියල මගෙයි වෙන කෙල්ලෙක්ගෙයි පින්තූරයක් ෆේස්බුක් එකේ පබ්ලිශ් වෙලා තියෙනව දැක්කනම් ඔයා හැසිරෙන්නෙ මේ මම හැසිරෙන විදියටද එහෙම නැත්තම් ඊටත් වඩා අන්ත විදියටද කියල.

සමහරවිට ඔයා මගෙන් ඒ ගැන අහන එකක්වත් නෑ නේද?

කොහොමත් දැන් මම කෑවද බිව්වද කියලවත් හොයන්න ඔයාට වෙලාව නෑනෙ.

අනිත් එක මම ඔයාගෙන් මේ ගැනවත් ඇහුවෙ “මම නුවර ගියේ ට්‍රේන් එකේ” කියල ඔයා මට කිව්ව නිසා චරිත්‍රා. 

ඔයා ට්‍රේන් එකේ නම් නුවර ගියේ ගල විද්ද තැනදි පින්තූර ගන්න ඔයා ආපහු කොච්චර දුර ඇවිදගෙන එන්න ඕනද ස්ටේෂන් එකේ ඉඳල. 

අනික තනියම නුවර ගිය ඔයාගේ ෆොටෝ ගන්න කොල්ලෙක් උදව් වුනේ කොහොමද?

ඔයා වගේ කෙල්ලෙක් නොදන්න පාරෙ ඉන්න කොල්ලෙක්ගෙන් ඒ වගේ උදව්වක් ඉල්ලාවි කියල මට විශ්වාස කරන්නද කියල ඔයා කියන්නෙ?

මට තව කියන්න දේවල් නෑ.

ඒත් මෙන්න මේක හොඳට මතක තියාගන්න.

 මට ඔයාව තාමත් සැක නෑ. මට එහෙම කරන්න උවමනාවකුත් නෑ. ඒත් මට ඔයාව සැක කරන්න වෙයිද කියන්න මම දන්නෙත් නෑ. මොකද ඔයාගේ හැසිරීම ගැන දන්නෙ ඔයා නිසා”

කෝපයේ ගිනි දලු බුර බුරා නැගෙනා හිතක් සමග සියලු වේදනා සංවේදනා අමුණාලූ අකුරු සමගින් චරිත්‍රා වෙත මුහුණු පොතේ පල වී තිබූ ඇයගේත් නම නොදන්නා පිරිමියාගේත් ජායාරූපය වට්සැප් වෙත මුදා හැරියේය. 

මනුස්සයෙකුට ඕනෑම දෙයක් ඉවසිය හැකි උපරිමයක් ඇත. චරිත්‍රා විසින් තමාව නොසලකා හරින බව තේරුම් ගොස් තිබූ මොහොතක පවා ඇය ගැන ආදරයෙන් සිතන්නට ඉවහල් උනේ එකි ඉවසීම නොවේද?

එසේ කළ විටත් ඇය විටෙන් විට මෙසේ තම ඉවසීම උරගා බැලීම කෙතරම් නම් වේදනාකාරී දෙයක්ද යන්න ඇයට නොතේරෙන බව තේරුම් ගන්නට මිහිකට අපහසු මුහුණු පොත තුල කාට හෝ වේදනාවක් දුකක් අත් පත් වූ විට සානුකම්පිතව ඒ දෙස බලන බලන්නට තරම් හැකියාවක් ඇයට තිබෙන බැවිනි.

කෙතරම් දේ ඉවසුවද තම ආදරණීය බිරිඳට වෙනත් පිරිමියෙකු හා බැඳුණු කතාවක් ප්‍රචලිත වෙද්දී ඉවසා හිඳින්නට තරම් රහත් පල ලැබූවෙක් නොවේ තමා.

එනමුත් අද වුව මේ පිළිබඳව තමා ඇයගෙන් ඇසුවේ ඇසිය හැකි හොඳම ආකාරයට බව මිහික නොදන්නවා නොවේ.

කුඩා කල වුව මොනතරම්ම කුඩා හෝ විශාල ප්‍රශ්නයක් ඉදිරියේ වුව හැකි උපරිමයෙන් ඉවසා හිඳින්නට හැකියාව තිබුන අයකු වූ තමා අද වුවද කෝපගත්තේ නැති වග සහතිකය.

 චරිත්‍රාට එසේ තමාට බැන වදින්නට තරම් හේතුවක් හෝ සාධකයක් තිබුනේ නැති වගද මිහිකට ස්තිරය.

එසේනම් ඇයගේ මේ අහේතුක කෝපයට හේතුව විය හැක්කේ ඇය විසින් සඟවන්නට උත්සාහ කරන්නා වූ යම් දෙයක් එළි වීම නිසා ඇති වූ බිය නිසා විය නොහැකිද?

සමහරුන් ඉතාම අහේතුකව කෝප ගන්නේ තමාගේ වරදක් වසා ගන්නට උත්සාහ කරන මොහොතක බව තමා කොහේ දී හෝ කියවා තිබෙන බව මිහිකට මතක් වුනි.

අත වැදීම නිසා බිම ඉහිරුණු නූඩ්ල්ස් කැබලි වතුර සිඳී යාම නිසා පොළොව මත ඇලවී ඇත.

කෝපයෙන් කල්පනා කරමින් හුන් වේලාවේ එතැන අස් කරානම් බාග දා සිත මෙන්ම ගෙබිමද පිළිවෙලක් වන්නට තිබුනි.

කුසගින්න සමග සිත් වේදනාවද බිඳෙන් බිඳ නැගි එයී. 

එය දැක චරිත්‍රා තමා අමතනු ඇතැයි කොතෙක් සිතා උන්නද ඇය තවමත් නිහඬය. 

යවනු ලැබූ පණිවිඩය චරිත්‍රා විසින් කියවූ බවට පෙන්නුම් කරන නිල් පැහ සළකුන දෙස තවත් මොහොතක් බලා හිඳි මිහික නිවසේ දොර වසාලමින් පඩිපෙල දිගේ පහලට බැස්සේ උදෑසන සිට කුසගින්නෙන් පෙළෙන බඩට යමක් පුරවා ගනු පිණිසය.

නූඩ්ල්ස් කප් ගෙදර තව තිබුනද වතුර උණු කර එය තම්බා ගැනීමේ නිස්කාංසුවක් සිතට නැත.

මේ වේලාව වන විට ලසන්ති අක්කා විසින් පිසින කෑම රස විඳින්නට ඇඹුලට පැමිනෙන බොහෝ පිරිස් එයින් සමුගෙන ගොස් ඇති බව මිහික පුරුද්දෙන් දනී.

ඉතින් මේ එහි ගොස් බොහෝ දේ කල්පනා කරමින් අඳුරේ නිහඬව යමක් බුදින්නට හොඳම වේලාවයි.

දුක බෙදාගන්නට සිටින හොඳම මිතුරා අන්දකාරය සහ තනිකම මිස වෙන කවුරුන්ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles