අහංකාර නගරේ – 19

2
2433

කිරි අම්මා ට මා කවදාක හෝ මුසාවක් පවසා නැති බව ඉඳුරා විශ්වාස ය. මගේ ජීවිතය ඇයට කැඩපතක් බඳු වූයේ ය. අනවශ්‍ය විහිළුවකට පැමිණි ගමේ විවාහක මිනිසෙකු හට මා ලුණු ඇඹුල් ඇති ව බැණ අඬ ගැසූ පුවත ගැනත් එදා හැන්දෑවේ ම ඇය දැන ගත්තා ය.

“ගමේ එවුං තරහ කොර ගෙන අමාරුයි බං. ඒත් මට උඹ ගැන ආඩම්බරයි”

එහෙම කියත්දී ඇගේ ඇස් වල කඳුළක් නළියමින් තිබූ අයුරු තවමත් මට මතක ය. හේනේ කුඹුරේ වැඩ වලට කේඩෑරි වී ගිය කිරි අම්මා ගේ සතුට මා ය. ආඩම්බරය මා ය. ඒ බව දැන දැනත් ඇය ගෙන් කිසිත් සඟවා ගෙන යළි නගරයට යා නො හැකි ය.

“කිරි අම්මෙ”

මම කෙඳිරිලි හඬකින් කතා කළෙමි.

“හ්ම් හ්ම් කන ගමං කතා කරමුකො”

කියමින් ඕ තොමෝ මගේ බත් පත මගේ අතින් තැබුවා ය. යළිත් මා මැටි කෝප්පයට බෙදා බත් කන්නේ මාස ගණනාවකට පස්සේ ය. ගමේ බොහොමයක් ගෙවල, බත් කන්නට පිඟාන සේ භාවිතා කරන්නේ මැටි කෝප්පයයි. එයට බෙදා ගෙන කන විට බතෙහි අමුතු රසයක් හා සුවඳක් වන්නේ ය.

මම බත් මඩක්කුව ගෙන උළුවස්ස පා මුල පඩියෙහි හිඳ ගතිමි. කිරි අම්මා කවදත් කන්නේ ලිප් බොක්කෙහි හිඳ ගත් වන ය.

“මං කතා කළේ…මං නැවතිල ඉන්න ගෙදර ප්‍රින්සිපල් සර් ගෙ පුතා එක්ක කිරි අම්මෙ. ඒ අයිය ඉංජිනේරුවෙක් වෙන්න කැම්පස් එකේ ඉගෙන ගන්නව”

හොර ගල් අහුලමින් කතා කරන මදෙස ට කිරි අම්මා ගේ විමසුම් ඇස යොමු වී තිබිණ. මම බත් පිඬ ගිලින්නට වෙලාව ගෙන යළි කතා කළෙමි.

“ඒ අයිය මාව මහියංගනේටත් ගෙනත් ඇරලෝලයි ගියේ”

“මොකක්…”

කිරි අම්මා නො රිස්සුම් වූ බව මම වහා හැඳින්නෙමි.

“ඈ බං…තට්ට තනියම මෙලෝ දෙයක් නොදැන හිටිය කොළඹ රටට  ගිය උඹට…උපන් දා ඉඳල දන්න ගමට එන්න තනියට කෙනෙකුත් ඕන වුණාද…”

උගරෙන් පහළට කළ බත් පිඬ පහළට ගමන් නො කොට හිර වූ බවක් දැනිණ. මම වතුර උගුරක් බීවෙමි. 

“කිරි අම්මෙ…ඒ අයියයි මායි…”

මෙහෙම කතාවක් මින් පෙර කිසි දා ක ඇය ට කියා නැති අපහසුව, මා නො සන්සුන් කරවූයේ ය. කිරි අම්මා මුව මඳක් අයා බලා සිටියා ය.

“අපි අතරෙ සහ්බන්දයක් තියෙනව කිරි අම්ම. ඒ අයිය තමයි මුලිංම මට කැමතියි කිව්වෙ”

අන්තිමට මම හුස්ම අල්ලා ගෙන කියා ගතිමි. කියා නිම වූවා ට පස්සේ හිතට දැනුණේ සැහැල්ලුවකි.

“කොළේ ඉතිං ඔය”

කිරි අම්මා කේන්තියෙන් වාගේ බත් මඩක්කුව බිමින් දැමුවා ය. මගේ මුළු සිරුර ම අප්‍රාණික වෙනවා මට දැනිණ. 

“කිරි…අම්මෙ…”

මම ඉකි බිඳුම් සරින් කතා කළෙමි. ඈ සිටියේ තද කේන්තියකින් බව පෙනෙන්නට තිබුණේ ය.

“කොළඹට පය ගහපු ගමංම බොට ඕකනෙ කොර ගන්න ඕන වුණේ”

“අනේ එහෙම නෙමෙයි කිරි අම්මෙ…මේක මං හිතල මතල කරපු දෙයක් නෙවෙයි. ඒ අයිය කිරි අම්ම එක්ක කතා කරල යන්න එන්නත් හැදුව. මං කිව්ව ඊළඟ වතාවෙ යමු කියල. කිරි අම්මට විස්තරේ කිව්වට පස්සෙ”

“උඹේ අම්මට වෙච්ච දේ උඹටත් වෙනව දකින්න මට ඕන නෑ කෙල්ලෙ. ඒකිව බේර ගන්න මට බැරි වුණා. උඹව බේර ගන්නත් බැරි වුණොත්…”

කියවන්න :  අහංකාර නගරේ -07

“එහෙම වෙන්නෑ කිරි අම්මෙ. දෙයියම්පා. මං එහෙම කර ගන්නෙ නෑ”

බත් පතට ලුණු වැඩි වූයේ ය. අපේ කඳුළු අපේ බත් පතෙහි ඉහිර ගියේ ය. මහන්සි වී කිරි අම්මා පිළියෙල කළ අහර නො ගෙන ම හිස් කුසින් අපි පැදුරු වලට වැටුණෙමි. මම කිරි අම්මා ගේ බඳ වටා අත යවා ගෙන ඇය ට තුරුලු වී සිටියෙමි. නමුත් කේන්තිය ට ඈ සිටියේ මට පිටු පා ගෙන ය.

මට කලින් පිබිද කිරි අම්මා කෝපි තනා තිබිණ. ඈ මා අවදි කර වූයේ පෙර දා රාත්‍රියේ වූ කේන්තිය පළවා හැර ආදරයෙනි.

“කෙල්ලෙ…නැගිටල කෝපි උගුරක් බීල හිටිං මැණිකෙ”

කිරි අම්මා ගේ කෝපි වල සුවඳ අපේ ගෙපැල පුරා ඉහිරී තිබිණි. පෙර දා රාත්‍රියේ කිසිත් සිදු නොවූ ලෙසින් ඇය හැසිරුණා ය.

“හීල් බත් නං තියෙනව. හීලට මඤ්ඤොක්කා අලයක්වත් තම්බල දෙන්නද උඹට…”

“හීල් බත් කමු කිරි අම්මෙ. ඊයෙ රෑ ඇති වෙන්න කන්නත් බැරි වුණා”

කිරි අම්මා මගෙන් මූණ සඟවා ගත්තා ය.

මම වත්ත පහළට ගොස් සිතිජ ට දුරකතන ඇමතුමක් ගතිමි.

“එන්නද අද එක්කං යන්න…”

ඔහු ඇසුවේ ය.

“කිරි අම්මා පොල් පිත්තක් ගනියි එහෙනං. ආං දැනටමත් පුපුර පුපුර ඉන්නෙ…”

“ඇයි…”

“ඔයා මාව රවට්ට ගත්තයි කියල”

සිතිජ හඬ නගා හිනැහුණේ ය. මම දුරකතනය තව තවත් සවනෙහි තෙරපා ගෙන ඒ සිනහව තුරුලු කොට ගතිමි.

“මාව දැක්ක දවසට කිරි අම්ම තේරුං ගනියි. එයාගෙ මිණිපිරී රවට්ටගෙන තියෙන්නෙ කොච්චර අහිංසක කොල්ලෙක්වද කියල”

“අයියෙ…”

“ම්…”

“කිරි අම්ම නැත්තං මටත් තව පැයක්වත් මෙහෙ ඉන්න බැරි වෙයි. ඔයා ඔච්චර දුරක ඉද්දි”

සිතිජ සුසුමක් හෙළුවේ ය. ටික වෙලාවක් නිහඬ ව ගෙවී ගියේ ය.

“හෙට එනව නේද…”

“හ්ම්…”

“මං පාන්දරම මෙහෙං එන්නං”

“මං තනියම එන්නං. ඔයා රස්තියාදු වෙන්න එපා”

“මං එන්නං”

දුරකතන සම්බන්ධය බිඳ දමත්දී මට හිතුණේ එක ම එක දෙයකි. ඒ, මෙහෙම බැඳී අන්තිමට අප වෙන් වන්නේ කෙසේ ද කියා ය. හිමි වීමක් නැති හමු වීමක් කියන්නේ දුක් කන්දක් හිත දරා ගෙන වෙන් ව යන්නට වීමකි. අප එකතු කරමින් සිටින්නේ වෙන් ව යත්දී ගෙන යන්නට මතක හා දුක නොවේ ද?

ගමේ කෙල්ලන් එක්ක මම ඇලේ දිය නෑවෙමි. හේන් වල ඇවිදිමින් බඩ ඉරිඟු පුච්චා කෑවෙමි. ගම් තුලානේ ඇවිදින්නට ගියෙමි. තෑගි ගෙන විදුහල්පති තුමා බැහැ දකින්නටත් ගියෙමි. දවස ගෙවෙනවා දැනුණේ ම නැත. හෙට යළි නික්ම යාම ගැන කිරි අම්මා නො සතුටු වූවා ය.

“උඹ ආයෙ එන දවසක් වෙනකල් මං ජීවත් වෙයිද කියලවත් කවුරු දන්නවද කෙල්ලෙ…ඔන්න ඔහෙ හෙටත් ඉඳල පහුවදාටම පලයං”

සිතිජ දකින ආශාවෙන් ඇස් දෙක රිදෙමින් තිබුණත් කිරි අම්මා ගේ හිත රිදවන්නට බැරි මොකක්දෝ බලවේගයක් මගේ තීරණය වෙනස් කරවූයේ ය. රාත්‍රියේ මම සිතිජ ට කතා කොට පාන්දර නො පැමිණෙන ලෙස දැන්වීමි. ඔහු ඒ ආරංචියෙන් කැළඹුණ බවක් දැනුණ ද, සිතිජ කිසිත් කීවේ නැත.

“ඊළඟ සැරේ මං එන්නෙ අම්මව බලල එන්න යන්නත් එක්කමයි කිරි අම්ම”

ඇය කිසිත් නො කියා සිටියා ය. මිතුරන් සමග විනෝද ගමනක් යනවා යි බොරුවක් කියා සිතිජ රාත්‍රී බසයක මහියංගනය ට විත් පාන්දර හරියේ ඉන් බැස තිබිණි. ඒ අනුව මමත් උදයෙන් ම මහියංගනයේ ප්‍රධාන බස් නැවතුම්පළ වෙත ගියෙමි.

කියවන්න :  අහංකාර නගරේ -34

“උඹ පරිස්සං වෙන්න ඕනෙ කෙල්ලේ…නැත්තං කවද හරි මගෙ මිණී වළටත් හෙණ ගහයි”

කිරි අම්මා ගේ ඒ සෝ බර වදන් පෙළ, මගේ පසු පස පන්නා එන්නට වූයේ ය. 

දෑත් පපුවෙහි බැඳ බස් නැවතුමේ කෙටි බැම්මකට පිට දී උන් සිතිජ ගේ මූණේ වූයේ හිතුවක්කාර නොමනාපයකි. මා සිනාසුනත් ඔහු සිනහ වූයේ නැත.

“තරහ වෙලාද…”

මම අතැඟිලි වල එල්ලුණෙමි. ඔහු කතා නැතිව ගොස් බසයට නැගුණේ ය.

“කිරි අම්ම එච්චර කියද්දි එන්නෙ කොහොමද අයියෙ. ඔයා ළඟ දිගටම මං ඉන්නවනෙ”

ඔහු හිත ගලක් කර ගෙන වීදුරු කවුළුවෙන් පිටත බලා උන්නේ ය.

“කිරි අම්ම කිව්ව ඊළඟට මං ගම එන්නෙ එයාගෙ මරණෙට වෙන්නත් පුළුවන් කියල. එහෙම කියද්දිත් එන්න තරං මට නපුරු වෙන්න පුළුවන් ද…කුණු කූඩෙකට විසි කරන්න ගිය මාව මෙහෙම හදා ගත්තෙ කිරි අම්ම”

මගේ උගුර බිඳී ගිය සෙයක් දැනිණ. මම ඉක්මන් ඇස් පිය සලා කඳුළු වියළා ගතිමි. බසය කොළඹ බලා ධාවනය වන්නට පණ පෙවිණි. ඔහු තවමත් මුණිවතිනි.

“බුම්මට්ටෙක් ම තමයි”

මම ඒ අතක් අල්ලා ගනිමින් කීවෙමි. සිතිජ ට සිනහ නැගිණි. වලා රොදකින් සඳක් නිදහස් වන්නා සේ ඒ මුහුණ ආලෝකවත් වී ගෙන ආවේ ය.

“නපුරා”

මම නෝක්කාඩු වීමි.

“මට ඉන්නෙ කිරි අම්ම විතරයිනෙ අයියෙ”

කලින් හරවා යැවූ කඳුළ මේ මොහොතේ නම් හිතුවක්කාර වූයේ ය. මම සිතිජ ගෙන් මුවහ කොට දෑස් බිමට හරවා ගතිමි.

“ඒයි…”

ඔහු නිකටෙන් අල්ලා මගේ මුහුණ ඔහු වෙතට හරවා ගත්තේ ය.

“කිරි අම්ම විතරක් නෙවෙයි මාත් ඔයාට ඉන්නව මෙව්නා. තේරුණාද…ඒක අමතක කරන්න එපා. එහෙම නැත්තං රෑ නිදි මරාගෙන මට මෙහෙම එන්න පිස්සුවක් තියනවද…ආ…”

ඔහු ගේ ඇස් මගේ ඇස් විනිවිද බලමින් කතා කළේ ය. මා ඔහු දුටුවේ කඳුළු පටලයක් අතරිනි.

“කෙල්ලොනං ඕනතරං ඉන්නව යාළු කර ගන්න. කැම්පස් එකේ වුණත්. ඔයා හිතන්නෙ නෑ කියලද…”

මම ඔහු ගේ දෙතොල් මත මගේ සුරතේ ඇඟිලි තබා මුව වැසුවෙමි.

“හීනෙකිංවත් මං එහෙම හිතන්නෑ අයියෙ. ඔයා සිටු කුමාරයෙක්. මං කවුද…ඒත් මං ඔයාට ඇත්තටම ආදරෙයි. ඔයා මට අයිති නැති වෙලා ගිය දවසක වුණත්…මේ මහියංගන ගමන  මතකයක් වෙලා මගෙ ළඟ ඉඳියි”

කඳුළු වියැකී යන්නට ඕනා ආදරය විතර ය. කොළඹට එන තෙක් හෝරා ගණනක් ඔහු මගේ අතැඟිලි පටලා ගෙන සිටියේ ය. කිරි අම්මා තුළ මා පිළිබඳව වන බිය ගැන මම සිතිජ ට කීවෙමි. ඒ බිය සාධාරණීකරණය කරන්නට ද හේතු මවෙත විය. පිරිමියෙකු නිසා අම්මා මා කුස දරා ගෙන ආවා ය. නගරයට පය ගැසූ දා සිට මට ද විවිධාකාර පිරිමින් හමු වී තිබේ. අම්මා ව මුලා කරන්නට හෝ අසරණ කරන්නට ඇත්තේත් එබඳු පිරිමියෙකු වන්නට ඇත. ඒ අයුරින් කතා කර ගෙන යත්දී අම්මා ගැන මෙතෙක් හිතේ වූ අපැහැදීම දුරු වී අනුකම්පාවක් එතැනට ආදේශ වන බවක් මට දැනෙන්නට ගත්තේ ය.

5 2 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
20 days ago

❤️❤️❤️

Chamira
19 days ago

👍