අනෝරා මල් වැහි 01

තාරා උන්නේ වේදනාවකය. ඒ වේදනාව කුමක් නිසා හටගත්තක් ද කියා හඳුනාගන්නට අපොහොසත් වුවත් ඒ වේදනාව ඉපදී තිබෙන්නෙ තමන්ගේ හිත පත්ලෙන්මය. 

තාරා ඉන්ද්‍රචාපා මුණවීර – චිරායු පුලස්ති කුලතුංග ගේ පතිනිය වී දැන් අවුරුදු දෙකකි. මේ අවුරුදු දෙක පුරාවට තාරා චිරායුගේත් චිරායු තාරාගෙත් සතුටට සැනසුමට හේතුවක් වූ දිනයන් තිබේනම් ඒ අතේ ඇඟිලි වලින් ගණින්නට හැකි තරම් අඩු ප්‍රමාණයකි.

දෙපාර්ශ්වයේම නෑ හිතවතුන් අබිමුව වසර එකහමාරක පෙම් සබඳතාවයකින් පසු පෝරු මස්තකාරූඩ වූ යුවලක් විවාහයෙන් දෙවනි වසර එළඹෙද්දී එකිනෙකාගෙන් මෙසේ ඈත්වීම කෙතරම් දුරට සාමාන්‍යකරණය කරන්නට හැකිද යන්න තාරාට ගැටලුවකි.

මේ තමා පැතූ විවාහය නොවේ. මේ තමා පැතූ ජීවිතය නොවේ. කොටින්ම මේ තමා ආලය කල මිනිසාද නොවේ. එහෙත් ඒ බව දැන උන්නෙ තමා පමණකි. ලෝකය ඉදිරියේ තවමත් තමාත් චිරායුත් Couple Goals ය.

තාරාට චිරායු හමුවන්නට පෙර එතරම්ම බැඳුණාවූ ආදර කතාවක් තිබුනේ නැත. හමු වී කතාබස් කල, හාදුවක් දෙකක් හුවමාරු කරගත් ආදරයක් විනා නෙත් අග්ගිසට නැඹුරු වී හද පත්ලට කතා කල හැකි ආදරයක් තාරා කිසිදිනක අත්විඳ තිබුනේ නැත. ගංගා අක්කාගේ කතාවල හමු වූ ආලෝක සුමනරත්න වන් ආදරබර පිරිමියෙකු තාරා සැබෑ ජීවිතයේ හමුවෙතැයි බලාපොරොත්‍තුවෙන් උන්නේ නැත. ඒ පිරිමින් හිඳින්නේ කතාවක පමණක් බව සිතා සිත සනසාගන්නට තාරා සිතුවාය.

තාරා චිරායුගෙන් ආදරය ඉල්ලමින් පින්සේණ්ඩු වෙද්දි චිරායු උන්නේ තම මූල්‍යමය කටයුතු හා සම්බන්ද රැකියාවේ පතුලේ එබී මුදල් සොයන්නට වෙහෙසෙමිනි. රැකියා ස්තානයට වැඩිපුර වාසිදායක තත්ත්වයන් ගෙන එන පිණිස විදේශයන්හි Business Meetings වලට සහභාගි වෙමිනි. චිරායු ඒ ජීවිතය තුල තාරාව දුටුවේ රාත්‍රියේ නිවසට විත් නින්දට යන වේලාව අතරතුරේ පමණකි.

“ප්ලීස් මට මහන්සි තාරා, ලෙට් මී ස්ලීප්”

තාරා විසින් සීතල රැයක උණුසුම පතා චිරායුට තුරුලු වුවද එසේ පවසා අනෙක් පස හැරී නිදාගන්නවා හැරෙන්නට තාරා තුරුල් කරගන්නටවත් සිතුවිල්ලක් චිරායුට තිබුනේ නැත.

තාරා උන්නේ එවන් තනිකමකය. එවන් වේදනාවකය. 

“දරුවෙක් හදන්න කියල මම ඒකනෙ දරුවො කියන්නෙ. ලමේක් හදාගත්තනං චිරායු උනත් ඔය රස්සාවට මහන්සි වෙන එක අඩු වෙයි. දැන් ඔයාටත් තිහක්නේ. ඒ පැත්තෙ මව් දෙමව්පියොත් මුණුපුරෙක් බලාපොරොත්තු වෙනව ඇති. කොටින්ම චිරායු උනත්”

“මං එක්ක කතාකරන්නවත් වෙලාවක් නැති මනුස්සයෙක් එක්ක දරුවෙක් හදන්නෙ කොහොමද?” කියා අම්මාගේ කතා බහ ඉදිරියේ නිදහසට කරුණු දක්වන්නට තිබුණානම් අපූරුය. එහෙත් තාත්තා මිය ගිය පසු තමාවත් අක්කාවත් උස්මහත් කරන්නට අපමණ වෙහෙස වූ අම්මාගේ වේදනා කන්දට තවත් බරැති පස් පිඬක් එක්කරන්නට තාරා නොසිතන්නීය.

“පොඩ්ඩක් සෙක්සි විදියට ඉඳල බලපං. ඔය පිරිමි එහෙම

වෙලාවට ඔක්කොම එකයි. 

මං හිතන්නෙ උඹල දෙන්නම රස්සාව හොඳට කරනව වැඩියි. උඹ උනත් බං වැඩක් කරන්න ආවාම කරන්න පුලුවන් උපරිමෙන්ම

ඒක කරනවා. චිරායුත් එහෙම වෙන්නැති”

කියා උපදෙස් දෙන්නී අමන්දාය. කාර්‍යාලයේ හොඳම මිතුරියය. හරිහමන් ස්තිර ප්‍රේමයක් නැති මාස කිහිපයෙන් කිහිපයට අලුත් පෙම්වතුන් ගැන කියවන්නියය. එහෙත් එතරම්ම ස්තිර නොවූ පෙම්

කතාවන් සමගිනුත් තාරාට වඩා සතුටෙන් හිඳින්නියකය.

“ඇයි චිරායු ඔයා තේරුම් ගන්නෙ නැත්තෙ? මාත් ගෑනියෙක්. මාත් මනුස්සයෙක්. මටත් ෆීලින්ස් කියල දෙයක් තියෙනවා. මම ඔයාගෙ ඇඟට අත තිබ්බත් ඔයා ඉන්නෙ තරහෙන් වගේ. මොකද්ද මං ඔයාට කරපු වරද ඔයා මට ඔහොම සලකන්නේ?”

“අනේ ප්ලීස් තාරා මට හෙට ඉම්පෝටන්ට් මීටින් එකකට යන්න තියෙනව. ප්ලීස් ලෙට් මී ස්ලීප්. ඇයි ඔයාට නොතේරෙන්නෙ මම කොච්චර අමාරු රස්සාවක්ද කරන්නෙ කියල? මම මොනතරම් ස්ට්‍රෙස් එකකද කියල පොඩ්ඩක්වත් තේරුම් ගන්නෙ නැතුව මගෙ ඔලුව කන්න හදන්න එපා”

“ඔයාට ඉම්පෝටන්ට් මීටින්ස් විතරද? ජොබ් එක විතරද? එතකොට මම? මාව ඉම්පෝටන්ට් නැද්ද? ආ? කියන්නකො. මාව ඉම්පෝටන්ට් නැද්ද?”

එහෙත් එයට ඇහුන්කම් දෙන්නවත් උන්නේ චිරායු නොවේ. කොට්ටයත් පෙරවන රෙද්දත් අතින් ගෙන කාමරයෙන් එලියට ගිය චිරායු කාර්‍යාල කාමරයට ඇතුලු වන අයුරුත් ඉන්පසුව එහි දොර හඬනගා වැසෙන අයුරුත් ඇසෙන තුරුම තාරා නිහඬවම උන්නාය. කඳුලු දෙඇස්වලින් වැක්කෙරෙන්නට ගත්තේ ඒ හඬේ දෝංකාරයත් නෑසි ගියායින් පසුවය.

සඳ අහස මත පායා තිබෙන අයුරු නිදන ඇඳට පෙනේ. මේ නිවස මිල දී ගනිද්දී තමාත් චිරායුත් එකතුකර තිබූ මුදල් මදිවෙද්දි එයට දෙපසින්ම දෙමව්පියන්ගේ ආශිර්වාදයත් උපකාරයත් ලැබුනි. ඒ විවාහයට මසකට පමණ පෙරය. නිවස මිල දී විවාහයට

පෙර සියලුම බඩු බාහුරාදිය ගෙනවිත් තැබූ දා රැයේ චිරායු සමග මෙහි ආවා තාරාට අද මෙන් මතකය. එදවස එසේ එන්නට තරම් නිදහසක්, සැහෑල්ලුවක් තම ජීවිතවලත් රැකියාවෙත් තිබුනි.

“මේක හොඳයි නේද අපෙ බෙඩ් රූම් එකට?”

යුගල ඇඳ තබා සකසා තිබූ කාමරය වෙත ගොස් දෑත් දෙපසට විදා තාරාගෙන් ඇසූ චිරායු ඇඳ රෙද්දකින් තොරව තවමත් ඉටි කවරයෙන් ආවරණය කර තිබූ ඇඳ මත වැටී ඇසුවේය.

“හොඳයි. ලස්සනයි”

“ඇඳේ හාන්සිවෙලා ඉද්දි ග්ලාස් සීලින් එකෙන් අහස පේන හන්දමයි මම මේ රූම් එක අපේ බෙඩෲම් එකට ගත්තෙ. අපිට පුලුවන් එතකොට රෑට අහස දිහා තරු දිහා බල බල කතා කර කර ඉන්න”

“අනේ අපි නම් රෑට නිදියනවා. කතා කර කර ඉන්න මෙයාට වෙන කෙනෙක් හොයාගන්න වෙයි”

“දැන් ඔහොම කිව්වට ඒ කාලෙට අපිට රෑට නිදාගන්න දෙයිද දන්නෙ නෑ”

“කවුද?”

“වෙන කවුරුවත් නෙවෙයි ඔය රෑට නිදියගන්නවා කියන අය”

“නිදාගන්නව තමයි”

එහෙත් චිරායු කියූ ඒ නිදි නොලබන, තරු බලමින් කතා කරන රාත්‍රීන් ආවේ අහම්බෙනි. ඒද විවාහ වී ගෙවුණු මුල් මාස කිහිපයේ පමණකි. ඉන් අනතුරුව ඒ යුගල යහන දෙදෙනා දෙපසකට කර දැනූ සංතාප සුසුමෙන් පිරී ගියක් විය. එහෙත් සංතාප සුසුමෙන් තැවෙමින් උන්නේ තමා පමණක් යැයි තාරා සිතන තරමටම චිරායු තාරාගෙනුත් විවාහ දිවියෙනුත් ඈත් වෙමින් උන්නේය. මේ ඈත්වෙමින් හිඳින බන්දනය යලිත් වරක් සමීප කරගනු පිණිස අම්මා කියූ පරිදි දරුවෙක් හදා ගැනීම තාරා ඇතැම් විටක පිලිතුරක් ලෙස දුටුවාය. එහෙත් ඒ බව කතාකරන්නටවත් ඉස්පාසුවක් නිස්කාන්සුවක් චිරායුගේ දින සටහනෙහි තිබුනේ නැත.

මේ සියල්ල කල්පනා කරමින් තාරා මහාමේරු පර්වතය තරම් බරැති සුසුමක් හෙලුවාය. එහෙත් එයින් හදවත වෙලාගෙන උන් වේදනාවෙන් බිඳක්වත් අඩු වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles