අහංකාර නගරේ – 33

ගුරු පුහුණු පාඨමාලාව, එතෙක් කල් මගේ ආත්මයේ සැඟව තිබූ ආශාවකට තටු දුන්නා කියා සිතමි. නෙළුම් නැන්දා සේ රැකියාවක් කරමින් සාඩම්බර ජීවිතයක් ගත කළ යුතු ය. 

නෙළුම් නැන්දා මේ වෙත්දී මගේ හිතේ පරමාදර්ශී චරිතයක් බවට පත් වී තිබිණි. ලෝකයට අනුව ඇය පවුලක් කඩන්නට මාන බැලූ අසම්මත ගැහැනියක වූවාට, මට වැදගත් වූයේ ඇගේ ජීවිතයෙන් උකහා ගත හැකි වූ නිවහල් බවයි.

ටියුෂන් පන්ති වලින් මට සැලකිය යුතු ආදායමක් ලැබුණේ ය. ඒ අනුව මගේ ආත්ම අභිමානයෙහි ද වර්ධනයක් වන්නට වූයේ ය. ගෞරවනීය ලෙස සිය ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන් වෘත්තියක නියැළීම කෙනෙකු ගේ අභිමානය වඩවා ලයි.

“කිරි අම්මව බලල එන්න ආයෙ ගමේ ගිහිං එන්න ඕනෙ”

මම සිතිජ හා සුරනි සමගින් එහෙම කිය කියා සිටියෙමි. මා ගුරුවරියක වීමට යන බව හා දැනටමත් මා ඉගැන්වීමෙහි යෙදෙන බව කිරි අම්මා ගේ මූණ දෙස බලා ගෙන පැවසිය යුතු ය. එතකොට ඇගේ මූණේ ඇඳෙන තෘප්තිමත් සිනහව සජීවී ව දකින්නට මට ඕනා විය. 

රෝස් මැඩම් අපේ බෝඩිම ඉදිරියේ පහල වූයේ ඒ අතර තුර දවසක ය. ඇය කවුදැයි ඉවෙන් වාගේ දැන ගත් බෝඩිමේ ඇන්ටී පරල වූවා ය.

“කාගෙ අවසරේකටද දන්නෑ නේද මේ නෝනා බයක් සැකක් නැතුව මගෙ ගෙයි දොරකඩට ආවෙ…මේ ළමයට මොකක් හරි කරදරයක් වෙලා තිබුණොත් මමයි පොලිසි යන්නෙ…මමයි”

රෝස්මරී හොස්ස ගැස්සුවා ය.

“මං මේ ගුබ්බෑයමේ නතර වෙන්න ආවෙ නෑ”

“මෙහෙ කොහෙද ගුබ්බෑයං තියෙන්නෙ… ඒව කරන්නෙ කවුද කියල අපි දන්නව”

ඇන්ටී ව සන්සුන් කරවනු වස් මම ඇගේ අතකින් අල්ලා ගෙන උරහිස පිරිමැද්දෙමි.

“දුවල ඉන්න අම්මලලු. එහෙනං කොහොමද දන්නෑ තමුංගෙ දුවල වගේ ඉන්න ගෑනු ළමයිංව බිලි ගන්න හදන්නෙ. අම්මල කමට නෙවෙයි…ගෑනු කමටත් ලැජ්ජයි. ගෑනු කමටත් ලැජ්ජයි අපිට”

“මෙව්නා…මට තමුන්ට යමක් කියන්න තියෙනව. ඒක කියල යන්නයි මං ආවෙ”

ඇන්ටී ගේ හඬ පරයා රෝස්මරී හඬ ගෑවා ය.

“කියන්න”

මම ඈ කෙරේ පෙර දී දැක්වූ ගෞරව සම්ප්‍රයුක්ත බවෙන් තොර ව කීවෙමි.

“මගෙ පුතාව අත්අරින්න ඕනෙ තමුං. වහාම ඒක කරන්න ඕනෙ”

කම්මුල් හරහා පහර වැදුණා සේ පුපුරු ගැසීමක් මට දැනිණි. නමුත් මම සියලු පහර දීම් අතරින් නැගී සිටිනා උත්සාහයක් ගතිමි.

“ඒක කරන්න බෑ මැඩම්”

රෝස්මරී රතු වී ගියා ය. මා ඇයට එරෙහි ව ඒ විදිහට නැගී සිටිතැයි ඇය කොහෙත් ම අපේක්ෂා නො කරන්නට ඇත.

“ඒක කරන්න බෑ….”

“ඔව්. ඒක කරන්න බෑ. ඇයි මං මැඩම් කියන නිසා එහෙම කරන්නෙ…සිතිජ ට ඕනනං මාව අත්ඇරපුදෙං. එහෙම නැත්තං…මට එයා එපා වුණොත් මං අත් අරිනව. ඒක අපි දෙන්නගෙ තීරණයක්නෙ. මං ඇයි වෙන කාගෙවත් ඕනකමට එහෙම කරන්නෙ…”

නො සැලී ඇගේ මූණ දෙස බලා ගෙන එහෙම කතා කරන්නට මට ශක්තිය ලැබුණේ කොහෙන් දැයි මා දන්නේ නැත. හද්දා පිටිසර මහියංගනයේ ඈත දුෂ්කර ගමකින් පැමිණි කෙල්ලක, කොළඹ මුල් ඇදි නෝනා කෙනෙකු හට ඒ විදිහට අභියෝග කරන්නේ කොහොම දැයි ඇය තැති ගත්තා ට සැක නැත.

“රත්තරං කෑල්ලක් වගේ ඉන්න මගෙ පුතාට මේ ගොඩෙං ආපු කුණු අදින කෙල්ලෙක්ව කසාද බන්දල දෙන්න කියලද මට කියන්නෙ…ආ…”

“අනේ අම්මප මං වගේ වුණානං අතගානව උන්දැගෙ කම්මුලක්…”

ඈතක සිට බෝඩිමේ ඇන්ටි දත් මිටි කෑවා ය. මම මන්දහාසයක් නගා ගතිමි. ඒ දැක රෝස් මැඩම් වියරු වැටුණා ය. 

“මට ද ඔහොම හිනා වෙන්නෙ ආ…තමුං කවුරු කියලද හිතං ඉන්නෙ…පොත්ත රතට තිබුණ පලියට උඩ පනින්න එපා හරිද…දැං තමුං සැරයක් උඩ පැනල පොලිස්සිත් ගියේ…මොකද්ද කළේ…මොකද්ද කරන්න පුළුවන් වුණේ..”

කියවන්න :  අහංකාර නගරේ -09

‘මට මොකද්ද කරන්න පුළුවන් කියල දවසක සිතිජ ව බැඳලම පෙන්නන්නං’ කියා කියන්නට තරම් මා තුළ කේන්තියක් ඇති වූයේ ය. නමුත් මම රෝස්මරී ව අමතක කොට, සිතිජ ගේ අම්මා ගැන සිතා ඒ හිතිවිල්ල ගිල ගතිමි.

“මැඩම්…අනේ කරුණා කරල මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවද…”

ඒ බැගෑපත් ඉල්ලීමක් නොවේ. තරමක් තදින් කළ විධානයකි.

“ඉන්න දෙන්නං. ඒක තමයි මේ කියන්න ආවෙ. දෙයියංගෙ නාමෙට අර අහිංසක කොල්ලව අත්අරිනව. ඊට පස්සෙ මං තමුං ඉන්න පැත්තක් බලා ගෙන බත්වත් කන්නෑ”

“මං සිතිජට කියන්නං”

“මොකද්ද…”

ඇය කඩා ගෙන පැන්නා ය.

“එයාගෙ අම්ම මාව අත්අරින්නෙ එයාව අත්ඇරියොත් කිව්වයි කියල”

ඇය සමච්චල් සිනහවක් පෑවා ය.

“දැං තමුං හිතං ඉන්නෙ සිතිජ එයාගෙ අම්මට වඩා තමුංට ආදරෙයි කියල ද…මෝඩ කෙල්ලෙ…ඕවා තව ටික දවසක් තියෙයි. බොහොම ටික දවසක්. ඊට වඩා නරක ද තමුංගෙ පණ බේර ගෙන ජීවත් වෙන්න බලන එක…”

කියමින් ඇය නික්ම ගියා ය. නමුත් මම ඒ වචන ටික අතරේ තනි වී බොහෝ වෙලා නැවතී සිටියෙමි.

මහියංගනයේ ඉපදුණත් මට ඊට වඩා දුර ඈතට විහිදුණ ජීවිත පැතුමක් වූයේ ය. බලාපොරොත්තුවක් වූයේ ය. ඒ බලාපොරොත්තුව කුමක් දැයි මම නිසැක ව නො දැන සිටියෙමි. මම ඉරණම හොයා ගෙන ගෙදරින් එළියට බහින තුරුත් ඉරණම කුමක් විය හැකි දැයි මා දැන සිටියේ නැත. දැන් මා නතර වී හිඳිනුයේ නතර විය යුතු තැන බව පසුව මට දැනෙන්නට විය. ඇතැම් කාල වල රාත්‍රී නින්දේ දී මා එක දිගට සිහිනයෙන් දුටුවේ නගරයේ සිට දුෂ්කර සේවයේ වසර කිහිපය ගත කරන්නට පැමිණි ගුරුවරියන් ය. ඔවුන් සාරිය අඳින පිළිවෙල, කතා කරන හුරතලය, සිනහ වෙන සුන්දරත්වය මගේ පුංචි ලෝකයේ සිත්තම් වී තිබිණි. දැන් ඒ හීනය හැබෑවක් වන්නට යයි. නමුත්,  සිතිජ නොවන තැනක ඒ කිසිවක අරුතක් ඇතැයි මට නො සිතෙයි. රෝස් මැඩම් මේ කියන්නේ ජීවිතය දෙන්නට නම් සිතිජ අත් හළ යුතු බවකි. නමුත් සිතිජ නො වන තැනක කොහොමටත් මට ජීවිතයක් ඇත්තේ නෑ නොවේ ද?

“ඕව ගණං ගන්න එපා. ටික දවසක් ෆයර් වෙලා ඉඳියි. ඒත් පහු වෙනකොට ඕව අත්ඇරිල යයි”

සිතිජ සිය මවු ගේ හැසිරීම ගැන දැක්වූයේ එවන් අදහසකි. ඒ වෙලාවේ මා මඳ නො රිස්සුමකට පත් නො වූවා නොවේ. රෝස්මරී කී, ‘හිතං ඉන්නෙ එයා එයාගෙ අම්මට වඩා තමුං ට ආදරෙයි කියලද’ යන පැනය මා තුළ දෝංකාර නැංවෙන්නට වූයේ ය. ඇය කී ලෙසින් කිසි දා මා සිතා තිබුණේ නැත. නමුත් ඇත්තට ම එය එසේ වන්නට ඇතැයි ඒ මොහොතේ මට සිතිණි.

ඊළඟ නිමේෂයේ මම මගේ සම්ප්‍රදායික දියාරු සිතිවිල්ල ගැන පසු තැවුණෙමි. පිරිමියෙකු සිය මවට දක්වන ආදරය හා පෙම් කරන ගැහැනියට දක්වන ආදරය එකක් නොව දෙකක් බව හැම ගැහැනියක ම අවබෝධ කර ගත යුතු ය. ඒ ආදරය එකිනෙක ට සාපේක්ෂ නොවන බවත්, තනිකර ම නිරපේක්ෂ හැඟීම් දෙකක් බවත් අප අවබෝධ කළ යුතු ය. මට තාත්තා කෙනෙකු නො සිටියා වී ද තාත්තා කෙනෙකු සිටින දියණියක ගේ තත්වය ද මීට වෙනස් නැත. තාත්තා ට ද පෙම්බරා ට ද වැඩියෙන් ආදරේ යයි කිසි දා ඇගෙන් නො ඇසිය යුතු ය. මන්ද එය උත්තරයක් නොමැති ප්‍රශ්නයක් වන නිසාවෙනි.

කියවන්න :  අහංකාර නගරේ -32

මාත් එක්ක කිරි අම්මා බලන්න යන්නට සිතිජ ත් සූදානම් ව සිටියේ ය. ඔහු ඒ සඳහා ජයශාන්ත මහතා ගේ මෝටර් රථය ඉල්ලූ අවස්ථාවේ, ඒ ගමනට ඔහු ත් එක් වන්නට ජයශාන්ත මහතා කැමැත්ත පළ කොට තිබේ.

“කමක් නැද්ද තාත්තත් ආවට…මන් දන්නෑ එයා එන්න හිතං ඉන්නෙ ආන්ටිත් එක්ක ද කියලනං”

සිතිජ මට කීවේ ය.

“ඉතිං ශෝක්නෙ අනේ. තට්ට තනියම මහියංගනේට ඇවිත් කොළඹ බස් එකකට නැගපු මං…මුළු පවුලක් ම එක්ක ආයෙ ගමට යන එක දරාගන්න කිරි අම්මට පුළුවන් වෙයිද කියල මට හිතා ගන්නවත් බෑ”

මම මඳ වෙලාවක් ඒ මායාමය ලෝකය තුළට වී එහි මිහිරියාව විඳ ගතිමි. කොළඹ නෑයන්ට කන්න දෙන්න කිරි අම්මා කුරක්කන් තලප හදනු මට මැවී පෙනුණේ ය. ඒ වෙලාවේ ඇගේ දත් නැති මුවෙහි වන සිනහව පවා මට මවා ගත හැකි විය.

“නෙළුම් නැන්දා ඒ ගමන යන එක ගැන ඔයාට අවුලක් නැද්ද අයියෙ…”

මා ඇසුවේ මට දැන ගන්නට ඕනෑ කළ අවංක ප්‍රශ්නයකි. එදා නෙළුම් නැන්දා සිතිජ කෙරේ කෙතරම් කුළුපග ව හැසිරුණත්, ඔහු ඇය කෙරේ ඒ තරම් හිතෛශී බවක් පෙන්වනු මට දැනුණේ නැත. ඒ ඔහු ගේ ස්වභාවික ආඩම්බරය ද නැත්නම් සිය මව ගේ තැන ගන්නට පැමිණි බාහිර තැනැත්තියක කෙරේ කිසි සේත් ඇති කර ගත නො හැකි පැහැදීම නිසා දැයි මට පැහැදිළි ව වටහා ගත හැකි වූයේ නැත.

සිතිජ ලොකු හුස්මකින් මිදුණේ ය.

“නෙළුම් නැන්දා ගැන ඇත්තට ම ඔයාට මොකද්ද දැනෙන්නෙ…”

මම වඩාත් මෘදු ලෙස විමසීමි. සිය පෞද්ගලිකත්වයට අනවශ්‍ය ලෙස අත පොවන බවට ඔහු කෝපත් වේවි යි යම් තිගැස්මක් මවෙත නො වූවා නොවේ.

“මන් දන්නෑ මෙව්නා. ඇත්තටම ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න තාමත් මට බෑ”

“මට තේරෙනව. එයාට ලං වෙන්න ඔයාට ඉඩ නො දෙන්නෙ අම්ම ගැන ඔයාගෙ හිතේ තියෙන ආදරේ”

“වෙන්නැති. ඒත් මං එයාට වෛර කරන්නෑ කියල මං දන්නව”

“නෙළුම් නැන්දා යන නිසා ඔයාට ඒ ගමන සතුටෙන් යන්න බැරි වෙනවනං වැඩක් නෑ”

“එහෙම වෙන එකක් නෑ. බලමුකො”

මේ වෙලාවේ මා වඩාත් සියුම් ලෙස ඔහු තේරුම් ගත යුතු බව මම දැන සිටියෙමි. සිතිජ කියන්නේ කොහොම ට ත් සංවේදී තරුණයෙකි. ඇතැම් විට ඔහු ගේ ළමා හා යොවුන් වියේ දී මව හා පියා අතර ඇති වූ බිඳ වැටීම, සිතිජ ගේ මනසෙහි දිගු කාලීන තුවාලයක් ඇති කොට තැබුවා විය හැක. ඔහු ගේ ඒ සංවේදී ඉසව්ව ට අත තැබිය යුත්තේ ත් ඉතා සියුම් ලෙස පරිස්සමෙන් බව මම දනිමි.

අප ඒ ගමන යන්නට යොදා ගත්තේ සිකුරාදා සැඳෑව ය. සති අන්තයේ විනෝද ගමනක් යන බව සිතිජ නන්දාවතී ට කියා ඇවිත් තිබිණි. තාත්තා හා පුතා මා කැටිව නෙළුම් නැන්දා ගේ ගෙදර බලා නික්ම ගියහ. ඒ යන අතරේ මා සිතුවේ වෙනම ම කාරණයකි. ඒ, යම් ලෙසකින් රෝස්මරී ට අසාධාරණයක් වී නැත් ද කියා ය. 

ඇය ජයශාන්ත මහතා ගේ නෛතික බිරිඳ ය. ඔහු ට දා ව දරුවන් තිදෙනෙකු බිහි කළ ගැහැනිය ය. සිය සැමියා වෙනත් ගැහැනියක වෙත යන බව දැන ඈ හිත සකසා ගත්තේ කෙසේ ද? එය පහසුවෙන් කළ හැකි දෙයක් කියා සිතිය නො හැකි ය. අපහසුවෙන් මුත් එවන් දෙයක් කරනා තීරණයක් ගන්නට තරම් ඈ මෙහෙය වූ කරුණ කිම? 

5 3 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
6 days ago

👍

දිල්හාරා ❤️
6 days ago

❤❤❤❤