fbpx

අහංකාර නගරේ -37

“හේමලතා”

ජයශාන්ත මහතා අප කාටත් ඇසෙන සේ කීවේ ය. සිතිජ ත් නෙළුම් නැන්දා ත් රියෙන් බැස සිටිනු මා දුටුවේ යන්තමිනි. මගේ හදවත ගැස්ම නතර වී තිබුණේ ය. හුස්ම ගත්තා ද කියා මට නිනව්වක් වූයේ ම නැත. අප සියලු දෙනා මගේ ජීව විද්‍යාත්මක මවත්, සිතිජ ගේ පියා ත් දෙස බලා උන්නේ විශ්මයෙනි.

“එතකොට මෙව්නා ගෙ අම්මා හේමලතා ද…”

ජයශාන්ත මහතා ගේ ස්වරය තුළ වූයේත් කැළඹීමක් බව මට පැහැදිලි ව ම දැනිණි.

“සර්…කොහොමද…දන්නෙ…”

අම්මා ගොත ගැසුවා ය.

“තාත්තා කොහොමද මෙව්නාගෙ අම්මා ව දන්නෙ…”

ඒ හරස් ප්‍රශ්නය සිතිජ ගෙනි. නෙළුම් ඇන්ටි රතු වී හිටියා ය. මේ සියලු අභිරහස් විසඳෙන්නට මේ හැටි කාලයක් ගියේ ඇයි දැයි මම සන්තාපයෙන් සිතුවෙමි. අප සියලු දෙනා ඉදිරියේ අතීත රහස් හෙළි දරව් වන්නට ඉරණමේ ලියවී තිබුණා ද? 

“හේමලතා කාලයක් වැඩ කළේ අපේ ගෙදර”

බෝම්බය හරියට ම මගේ හදවත මැද පත්තු වූයේ ඒ වෙලාවේ ය. අම්මා ගේ කුසට මා පැමිණ තිබුණේ කොළඹ සේවය කළ නිවසක මහත්මයෙකු නිසාවෙන් බව කිරි අම්මා කොතෙකුත් මට කියා තිබුණා ද? ඒ මහත්මයා වූ කලී ජයශාන්ත මහතා ය යන අමිහිරි පුවත අසනු බැරි වනු පිණිස මගේ සවන් බිහිරි වී යන්නයි මම හිතෙන් පැතුවෙමි.

“මං හිතන්නෙ සිතිජවත් පොඩි කාලෙ හැදුවෙ කළේ හේමලතා.අපේ ගෙදර වැඩ කර කර හිටපු හේමලතා එක පාරටම අතුරුදහන් වුණා. ඒකට හේතුව…”

“සර්!”

අම්මා මැදින් පැන තරමක් තදින් කතා කළා ය.  ඇගේ විලාශය මා තුළ යම් තිගැස්මක් ඇති කරවන්නට සමත් විය.

“මට ඒ කුණු වෙච්ච අතීතෙ මතක් කර ගන්නවත් ඕන නෑ. අම්මෙ…අම්මල දැං යන්න”

වී පැදුර එහි තිබියදී අම්මා දිව ගෙන වාගේ යන්න ගියා ය. දරා ගත නො හැකි ශෝකයක් මගේ හදවත බර කොට තිබුණේ ය.

“අපි යමු මහත්තයො”

කිරි අම්මා ආපසු හැරුණා ය. අප හැම දෙනා ගේ ම හදවත් බර වී තිබෙන්නට ඇත. ටික දුරක් එන තෙක් කිසිවෙකු කතා කළේ නැත. මහත් අපහසුතාවයකින් මගේ හිත දුක් වින්දේ ය. සිතිජ ගේ හෝ ජයශාන්ත මහතා ගේ හෝ මූණ දෙස කෙලින් බලන්නට බැරි බවට මට දැනෙනා වූ හැඟීම කුමක් දැයි මට ම තේරුණේ නැත.

“හේමලතා ගෙදරිං ගිහිං තිබුණෙ දරුවෙක් ලැබෙන්න ආව නිසයි කියල මං දැන ගත්තෙ පස්සෙ. අපේ අම්ම නොකියන්න මං ඒක අදටත් දන්නෙ නෑ”

නිහැඬියාව බින්දේ ජයශාන්ත මහතා ය.

“සමහර දේවල් සදහටම නොදැන ඉන්න එක හොඳයි කියල හිතෙනව මහත්තයො”

කිරි අම්මා දෙඩුවේ බිඳීමකිනි. මට මහත් පසු තැවීමක් දැනිණ. කිරි අම්මා ද ඇතුළු ව මෙතැන සිටින ඕනෑ ම කෙනෙකු ගේ හදවතේ මේ මොහොත වන විට ඉරි තැලීමක් ඇති ව තිබෙනවා නම් ඊට වග කිව යුත්තේ මා ය. පාඩුවේ සිටි කිරි අම්මා ගේ පස්සෙන් එලව එලවා අම්මා දකින්නට යා යුතු යයි කීවේ මා ය. මා එහි ගියේ මේ වගේ ඉරි තැළුණු හිතකින් යළි පැමිණීමේ අපේක්ෂාවකින් ද? අතීතයේ වැලි තලා අතරේ සැඟ වී ගිය පැරණි තුවාල, හාරා යළි ගොඩ නො ගන්නා තරමට පහසු යයි මම අලුත් පාඩමක් ඉගෙන ගනිමින් සිටියෙමි.

“රෝස්මරීගෙ හොඳම යාළුව එක්කයි හේමලතා ඔය පටලැවිල්ල ඇති කර ගෙන තිබුණෙ”

භූමි කම්පා කිහිපයක් එක පිට එක සිදු වන විට පොළොවක් වුව දරා ගන්නේ කොහොමද? 

“අපි බඳිනකොටත් රෝස් යාළුවෙක් කියල ආස්සරේ කළේ අර්ජුනව. මට ඒ දෙන්නගෙ යාළු කම වෙලාවකට මහ ප්‍රශ්නයක් වුණත් රෝස් දිගටම එයාව ආශ්‍රය කළා. අන්තිමට මේ යකා ගෙදර වැඩ කරපු හේමලතා වත් කරදරේක දාල. රෝස් ඒක මගෙං හැංගුව. හේමලතා ගෙදරිං ගියාද නැත්තං ගෙදරිං යවා ගත්තද කියල මං දන්නෑ”

මම කම්මුල් අත ගා බැලුවෙමි. හිත පිච්චෙමින් තිබුණා ට මගේ ඇස් වල කඳුළු වූයේ නැත. ටික වෙලාවක් මා හිටියේ උගුරෙන් වචනයක් පිට කර ගත නො හැකි ව ය. නමුත් හැකි වූ ගමන් මම එය කියා ගතිමි.

“සර්…මාව ඒ කෙනා ළඟට එක්කං යන්න. මට බලන්න ඕනෙ ගෑනියෙක් අසරණ කරල දරුවෙක් අනාත කරල දාපු මගෙ තාත්ත කියන මනුස්සය කවුද කියල”

මා හැඬුවේ නැත. නමුත් මගේ හඬ වෙවුලා ගියේ ය. සිතිජ පිටුපස හැරී මහත් දයාර්ද්‍ර දෑසකින් මදෙස බැලුවේ ය. ඔහු ගේ පපුව ට තුරුලු ව ඉකි බිඳ හැඬීමේ මහා උවමනාවක් මට දැනිණි.

“මෙව්නා…සන්සුන් වෙන්න දරුවො”

එසේ මට කීවා ට ජයශාන්ත මහතා ද නො සන්සුන් බව හැඳින ගන්නට මට නො හැකි වූයේ නැත.

“අර්ජුන දැන් ජීවතුන් අතර නෑ”

නෙළුම් නැන්දා මා සිය සිරුරට තුරුලු කර ගත්තා ය. මා කියා කෙනෙක් මෙතැන තව දුරටත් ඉතිරි වී පවතිනවා යි නො සිතා ඉන්නට මට උවමනා විය. ඉරණම මා වටා ක්‍රියා කොට තිබෙන්නේ කාරුණික ව ද අකාරුණික ව ද කියා වත් මට තේරුම් ගත නො හැකි ය. කළ වරදක් ගැන තැවෙමින්, දැවෙමින්, වද වේදනා විඳිමින්, ආත්මය ට දඬුවම් පමුණුවා ගනිමින්  ජීවත් වෙන අම්මා කෙනෙක් ව මම මගේ දෑසින් දුටුවෙමි. ගැහැනියක ඒ සා විපතකට පත් කොට පලා ගිය මිනිසා ගේ මූණ වත් බලා ගන්නට දෛවය මට ඉඩ සලසා දී නැත.

“මං හිතන්නෙ මීට අවුරුදු දහයකට දොළහකට විතර කලින් ඇක්සිඩන්ට් එකකින් අර්ජුන නැති වුණා. මිනිස්සු කරපු වැරදි වලට මිනිස්සුන්ට දඬුවම් විඳින්න සිද්ද වෙනව. මෙව්නා තේරුම් ගන්න ඕනෙ අන්න ඒකයි. නේද අම්මෙ…”

“අනේ ඔව් මහත්තයො. මේ හිඟන්නිට මං කියල තිබුණෙ දාල ගිය උන් ගැන අපි දුක් වෙන්න ඕන නෑ කියල. කොහෙද ඉතිං…හිතුවක්කාර කමට කියන දේ ඇහුවෙ නෑනෙ. නිකං අපරාදෙ හිත තුවාල කර ගත්තා”

සැබවින් ම මගේ හිත බරපතල ලෙස තුවාල වී තිබිණ. නමුත් මේ වෙලාවේ, ජයශාන්ත මහතා හා නෙළුම් නැන්දා අපේ ගෙදර පැමිණ තිබෙන වෙලාවේ මට ඒ තුවාල ගැන තැවෙමින් සිටිය නො හැකි ය. ඒ නිසා සියල් සන්තාපයන් හිතේ ගැඹුරට කොට කිසිත් සිදු නො වුණා සේ ඉන්නට මම උත්සාහ කළෙමි. මෙතෙක් කල් ජයශාන්ත මහතා හෝ සිතිජ හෝ මා කාගේ කවුදැයි දැන සිටියේ නැත. ඔවුන් ට මා මහියංගනයේ දුප්පත් පවුලක කාත් කවුරුත් නැති ගැහැනු ළමයෙකු පමණක් විය. සිතිජ මට ආදරය කළේ ය. ජයශාන්ත මහතා අපේ ආදරය ට ආශිර්වාද කළේ ය.  නමුත් දැන් තත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබේ. 

දැන් මෙව්නා කියන්නේ ඔවුන් ගේ මැදුරේ බැල මෙහෙ කම් කළ හේමලතා ගේ දියණියයි. ඔවුන් හොඳ හැටි දන්නා සල්ලිකාර සෙල්ලක්කාරයෙකු හට ජාතක වූ අසරණියකි. මින් ඉදිරියට ඔවුන් මා පිළි ගන්නේ කෙසේ දැයි මම නො දැන උන්නෙමි.

එදා දහවල පිටත් වෙන්නට, කලින් සිට අපි සැලසුම් කොට සිටියෙමු. හිතේ වාං දැමූ සතුට, එක සිදු වීමක් නිසා මගෙන් ඈතට පලා ගොස් තිබුණේ ය. නැවත ඒ සතුට මා සමීපයට කැඳවා ගන්නා ආකාරයක් ගැන මා දැන සිටියේ නැත.

“අනේ මන් දන්නෑ කෙල්ලෙ මොනව සිද්ද වෙන්න යනවද කියල. මන්නං දැං ඉතිං ජීවත් වුණා ඇති. මට ඕනෙ උඹේ හිතට කරදරයක් නැතුව සතුටෙන් ජීවත් වෙන එක විතරයි”

සමු ගන්නට සූදානම් වෙත්දී කිරි අම්මා මගේ හිස පිරි මදිමින් කීවා ය. ඇගේ දහදිය තුරුලේ හිස හොවා නෙතු පියා හිටියා නම් මේ බොහෝ ළතැවුල් තුනී වී යනු ඇත.

“මොනා වෙන්නෙත් හොඳට කියනවනෙ කිරි අම්ම. එක අතකට දැං මං හැම දේම දැන ගත්තනෙ. සමහර විට කිරි අම්මා වුණත් නො දැන හිටිය දේවල් ගොඩක් දැන ගන්න ඇති. අපි ඒ ගැනවත් සතුටු වෙමු. අපි හුඟක් දේවල් අහිමි කරවපු මිනිස්සු කිරි අම්ම”

මූණ එල්ලා ගෙන ඉන්නට මට ඕන වුණේ නැත. නමුත් මේ ගමන එත්දී දැනුණ සැහැල්ලුව වාෂ්ප වී ගොස් තිබුණේ ය. කතා කරන්නට මාතෘකාවක් සොයා ගැනීම අතින් මම දුර්වල ව  සිටියෙමි. 

“දැං ඉතිං මෙව්නා දුව ඔය පරණ දේවල් ගැන හිතල දුක් වෙන්න එපා. නේද සර්…”

මුණිවත බින්දේ නෙළුම් නැන්දා ය. රිය පදවන ගමන් සිතිජ ඉදිරි කැඩපතින් මදෙස බැලුවේ ය.

“මෙව්නා මොකට දුක් වෙනවද…ඒ කිසි දෙයක් මෙව්නා කරපු දේවල් නෙවෙයිනෙ”

ජයශාන්ත මහතා ස්ථිරසාර ලෙස ප්‍රකාශ කළේ ය. මට මඳ සැනසීමක් දැනිණ.

“හේමලතා අපේ ගෙදර අවුරුදු ගාණක් ම හිටපු නිසා මං දන්නව. එයා හරිම ගුණ යහපත් කෙනෙක්. අපේ පවුලට පුදුම විදිහට අවංකව වැඩ කළා. මෙව්නා වගේ තමයි ඒ කාලෙ හේමලතාත් පෙනුම ඇති ගෑනු ළමයෙක්. ඉතිං හේමලතා ගෙ දුවගෙ ගුණ යහපත් කම ගැන අපිට වෙන මුකුත් තක්සේරු ඕන නෑනෙ”

“සර්…”

මොහොතකට රිය තුළ ඇති වූයේ මහා නිශ්ශබ්ද තාවයකි. මා කීවේ ඒ තරම් බරපතල වචනයක් දැයි මා දන්නේ නැත.

“මට වෙන සහෝදර සහෝදරියො නැද්ද සර්…”

මගේ හඬ මගේ ම ආත්මය තුළ දෝංකාර දෙන්නට වූයේ ය. නැවත එය රිය තුළත් ප්‍රතිරාව නැගෙනවා මට ඇසිණ. ඒ අතරින් ජයශාන්ත මහතා හෙලූ මහා බර සුසුමක් ද පැතිර ගියේ ය.

“නැද්ද සර්…”

මා කතා කළේ මගේ ආත්මය හැම අහු මුල්ලක ම වූ ශක්තිය එකතු කර ගෙන ය. මා වටා වූ අය, මට මහත් ශක්තියක් ඇතැයි සිතන්න ට ඇත. නමුත් ඒ මොහොතේ මා කොයි තරම් අසරණ ලෙස දිය වී වැගිරෙමින් සිටියා ද කියා දන්නේ මා පමණකි.

“අනේ කියන්නකො සර්…මට වෙන කවුරුවත් නැද්ද…සහෝදරයෙක්…”

“ඉන්නව”

මම තත්පර ගණනාවක් සිහි එළවා ගත නො හැකි ව සිටියෙමි. ඉරණම මාව ජයශාන්ත මහතා වෙත යවන්නට ඇත්තේ මෙයට ද? මා කවුරුන් දැයි සොයා දැන ගන්නට ද? 

“ඒත් ඒ කවුද කියල මගෙං දැං අහන්න එපා මෙව්නා. වෙලාව ආවහම මං ඒක කියන්නං”

එපමණක් වුව දැන ගැනීම මට ප්‍රමාණවත් විණි දැයි මම නො දනිමි. කෙසේ වෙතත් ගමනේ ඉතිරි කොටස මට තරමක පහසුවක් දැනවූයේ ය.

“ඇත්තම කියන්නද මෙව්නා…”

තේ බොන්නට මග නතර වූ වෙලාවක, නෙළුම් නැන්දා මට රහසින් කීවා ය.

“මං බයේ ගැහි ගැහි හිටියෙ. සිතිජ පුතා ඔයාගෙ අයිය වෙයි කියල”

මම ඇස් දෙක තද කොට පියා ගතිමි.

“ඒ සර් ගැන අහිතකින් නෙවෙයි. ඔය දෙන්නා අතරට එහෙම ප්‍රශ්නයක් එයි කියන බයට. දෙයියො අපේ මූණු බැලුව හොඳ වෙලාවට”

“මෙව්නා”

ජයශාන්ත මහතා මට ඈතක සිට ඔහු වෙත කතා කළේ ය. මම නෙළුම් නැන්දා වෙතින් මිදී, ඔහු හුදෙකලාව උන් තැනට ගියෙමි. මගේ හිතේ තව දුරටත් බිය මුසු තිගැස්මක් නො වූවා ම නොවේ.

“මෙව්නා දැං ඉන්නෙ අවුලෙං කියල මං දන්නව. ඒක එහෙම වෙන එක පුදුමයක් නෙවෙයිනෙ. ඔයාගෙ සහෝදරය කවුද කියල මං කියන්නං. හැබැයි මෙව්නා කලබල වෙන්න බෑ. ඒ වගේම මේක රහසක් බවත් අමතක කරන්න බෑ”

මගේ දෙපා වෙව්ලා ගියේ ය. මා බිම ඇද වැටේවිද කියන සැකය මත මම අසලක වූ බිත්තියකට බර වුණෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
3
0
Would love your thoughts, please comment.x
()
x